අතීත ලංකාව සමෘද්ධිමත් කළ පුරාණ මහවැලි නිම්නයේ වාරි කර්මාන්තය | සිළුමිණ

අතීත ලංකාව සමෘද්ධිමත් කළ පුරාණ මහවැලි නිම්නයේ වාරි කර්මාන්තය

මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි
පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ පීඨාධිපති
සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

මහවැලි නිම්නයේ විශේෂයෙන් ම පහළ කොටස පුරාණයේ සිට ම ජනාවාසව පැවතිණි. ඒ බව තහවුරු කරගත හැකි වැදගත් ම සාක්‍ෂිය ලෙස පෙන්වාදිය හැකි වන්නේ පහළ මහවැලි නිම්නය ආශ්‍රිත දක්නට ලැබෙන පැරණි වාරි මාර්ග පිළිබඳ සාධකයෝ ය. ඇතැම් සෙල්ලිපිවල ද, වංසකතාවේ ද එවැනි වාරි නිර්මාණ ගණනාවක් පිළිබඳ සඳහන් වී තිබේ. මහවැලි නිම්නයේ වස්ගමුව ආශ්‍රිත පිහිටි මාලගමුව වැව සද්ධාතිස්ස රජු විසින් ඉදි කරන ලද බවට විශ්වාසයක් පවතී. එම වැව පිළිබඳ සාක්‍ෂි වර්තමානයේ ද හඳුනාගැනීමට පුළුවන.

මුතුගල සෙල්ලිපියක පනගමක නමින් වූ වැවක් සඳහන් වේ. වණ්ණක ඇළ කූටකණ්නතිස්ස (ක්‍රි.පූ. 44-22) රජු විසින් කරවා ඇත. එය ද මහවැලි නිම්නය ආශ්‍රිත වාරි මාර්ගයකි. එම රජු එම නිම්නයේ ම ආමදුර්ග හෙවත් අම්බදුන්න වැව කරවා ඇත.

මින්විල තිබෙන ශිලා ලේඛන කිහිපයක ම මහවැලි ගඟ සමීපයෙහි පිහිටි වාරි නිර්මාණ ගණනාවක් පිළිබඳ සඳහන් වේ. කූටකණ්නතිස්ස රජුගේ කාලයට අයත් මින්විල ලිපියක “දෙගම” නම් වූ ඇළ මාර්ගයක් පිළිබඳ දැක්වේ. එහි ම තිබෙන මහාදාඨිකමහානාග (ක්‍රි.ව. 7-19) රජුගේ ලිපියක “රජ ඇළ” නමින් වූ වාරි මාර්ගයක් පිළිබඳ සඳහන් වී ඇත. එය එකල පැවති ප්‍රධාන වාරි නිර්මාණයක් බව තහවුරු වන්නේ මින්විල ම තිබෙන තවත් ලිපි කිහිපයක ද, සෝමාවති චේතිය පුවරු ලිපියේ ද ඒ පිළිබඳ සඳහන් වීම නිසා ය. එම ඇළ නමින් ග්‍රාමයක් තිබුණු බව එක් ලිපියක සඳහන් වේ.

මින්විල තවත් ලිපියක පුදජිණියගම ඇළ හා හවිටක නම් වූ කුඹුරක් පිළිබඳ සඳහන් වේ. සෝමාවතී පුවරු ලිපියක රජලි කෙත නම් වූ කුඹුරක් පිළිබඳ දක්වා ඇත. එය මුලින් සඳහන් රජ ඇළ ආශ්‍රිත වූ කෙත්බිම ලෙස අනුමාන කිරිමට පුළුවන. සෝමාවතිය ආශ්‍රිත විශාල වගුරු බිම පුරාණයේ දී වාරි මාර්ග සහිත වූ කෘෂි බිමක් ලෙස සැලකිය හැකි ය.

මහවැලි නිම්නයේ වූ කන්දකාඩු හී ගිරි ලිපියක කමරපතිය වවිය නමින් වැවක් පිළිබඳ සඳහන් වී ඇත. වසභ (ක්‍රි.ව.67-111) රජු විසින් කරවන ලද වාතමංගන වැව පිහිටා ඇත්තේ ද මහවැලි නිම්නයේ ය. එම රජු විසින් මහවැලි ගඟේ ප්‍රධාන පෝෂක ගංඟාව වූ අඹන් ගඟ හරස්කොට ඇළිසාර අමුණ හෙවත් ඇළහැර අමුණ කරවන ලදි. මනම්පිටිය ආසන්නයේ නොච්චිපොතානේ ලිපියක වලරකහෙල්ගමු නම් ඇළ මාර්ගයක් පිළිබඳ සඳහන් වේ. වංසකතාවේ සඳහන් වන පුරාතනම අමුණ ලෙසින් සැලකිය හැකි එහි ප්‍රථම නිර්මාපකයා වන්නේ වසභ (ක්‍රි.ව. 67-111) රජු ය. ශ්‍රී ලංකාවේ විශාල වාරි කර්මාන්තවල ආරම්භකයා වන එම රජු විසින් ඇළ මාර්ග 12ක් කරවන ලද බවට මහාවංසයේ සඳහන් වුවද නමින් දක්වා ඇත්තේ ඇළහැර ඇළ පිළිබඳ පමණි.

මහාවංසයේ එය ආළිසාර නමින් හඳුන්වා තිබේ. මෙහි දිය බද්ද වසභ රජු විසින් තිස්වඩමන් හී මූචෙල විහාරයට පිදූ බව සඳහන් වේ. එම විහාරය එම අමුණේ ජලයෙන් පෝෂණය වන කවුඩුල්ල වැව අසල පිහිටා තිබෙන නටබුන් වූ විහාරය ලෙස හඳුනාගෙන ඇත. එයින් පැහැදිලි වන්නේ වසභ රජු විසින් එම අමුණ කරවීමේ අරමුණ වී ඇත්තේ දුර බැහැර ප්‍රදේශයන් කරා ජලය සැපයීම වන බවය. ඒ අනුව මින්නේරිය හා කවුඩුල්ල යන වැව් තැනීමට පෙර එම ප්‍රදේශය පෝෂණය කිරීමට ඇළහැර ඇළ මාර්ගය තනා තිබුණු බව පැහැදිලි ය. ඇතැම් විටෙක මහසෙන් රජුට මින්නේරිය හා කවුඩුල්ල වැව් කරවීමට වසභ රජු විසින් තනවන ලද ඇළහැර අමුණෙන් ආරම්භ වූ ආළිසාර ඇළ මාර්ගය ද හේතු වන්නට ඇත.

මහසෙන් (ක්‍රි.ව. 274-301) රජු විසින් ඉදි කළ මින්නේරිය වැවට අවශ්‍ය අතිරේක ජල සම්පාදනය උදෙසා එම රජු විසින් කර ගඟ හෙවත් අඹන් ගඟ හරස් කොට අමුණ බැන්ඳ වූ බව රාජාවලියේ සඳහන් වේ. ඒ අනුව මහසෙන් රජු ඇළහැර අමුණු බැම්ම යළි උස් කොට බැඳ තිලවත්ථුක හෙවත් තලවතු නම් ඇළ මාර්ගය ඔස්සේ මින්නේරිය වැවට ජලය ලබාදී තිබෙන බව පැහැදිලි වේ. තලවතු ඇළ නමින් හඳුන්වන්නේ ඇළහැර ඇළ මාර්ගයෙන් මින්නේරිය වැවට ජලය ලබාගැනීමට සකස් කරන ලද වෙනම ඇළ මාර්ගයක් ලෙස හඳුනාගත හැකි ය. එය ස්වාභාවික ජල මාර්ගයක් පදනම් කරගනිමින් සකස් කරන ලද ඇළ මාර්ගයක් බව පැහැදිලි ය.

වර්තමානයේ එම ඇළ මාර්ගය තල්වතුර ඔය නමින් ව්‍යවහාර වේ.

දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604-614) රජු විසින් නිර්මාණය කරවන ලද ගංඟාතට වාපි හෙවත් කන්තලේ වැවට හා ගිරිතට වාපි හෙවත් ගිරිතලේ වැව යන වැව්වලට අවශ්‍ය ජල සම්පාදනය සඳහා ඇළහැර අමුණ යළි ප්‍රතිසංස්කරණය කොට ශක්තිමත්ව ඉදි කරන්නට ඇති බව සිතිය හැකි ය. ඇළහැර ඇළෙන් තලවතු ඇළ ආරම්භ වන ස්ථානයේ සිට ඇරැඹෙන වෙනත් ඇළ මාර්ගය ඔස්සේ ගිරිතලේ වැවට ජලය ලබාදී ඇති අතර මින්නේරි වැවේ සිට සකස් කර ඇති ඇළ මාර්ගය ඔස්සේ කන්තලේ වැවට ජලය සපයා දී තිබේ.

පළමු වන විජයබාහු (ක්‍රි.ව. 1055-1110) රජු “කඳුරු ගං හෝවල දිය නවත්වා වේලි බැඳ රට සුභික්‍ෂ කරවූ බව ” මහාවංසයේ සඳහන් වන අතර, ඇළහැර ඇළෙන් ආරම්භ වූ මින්නේරිය වැවේ ප්‍රධාන ජල සම්පාදන ඇළ මාර්ගය වූ තලවතු නම් වූ ප්‍රධාන ඇළ ද යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් වේ. ඒ අනුව ඇළහැර අමුණ ද එම රජුගේ අවධානයට ලක් වන්නට ඇති බව සිතිය හැකි ය.

පළමු වන පරාක්‍රමබාහු රජු මින්නේරිය, ගිරිතලේ වාරි ව්‍යපාරය යළි ප්‍රතිසංස්කරණය කරන ලද අතර ඒ සඳහා ප්‍රධාන ජල සම්පාදන ක්‍රමය වූ ඇළහැර අමුණ යළි ප්‍රතිසංස්කරණය කරන්නට ඇත. එම සියලු අවදි නියෝජනය කරන විභේදන සලකුණු එම අමුණ ආශ්‍රිත ගල් කුට්ටිවල දක්නට ලැබීමෙන් ඉහත තොරතුරු සත්‍ය බව නිගමනය කළ හැකි වේ.

මහවැලි නිම්නයේ පිහිටි වැදගත් මෙන් ම විශාල වාරි නිර්මාණයක් වන මණිහීර වාපි හෙවත් මින්නේරි වැව කරවන ලද්දේ මහසෙන් (ක්‍රි.ව. 274-301) රජු විසිනි. එම රජු මහවැලි ගඟේ ශාඛාවක් වූ කාර ගඟ හෙවත් අඹන් ගඟ හරස් කොට තැනවූ වේල්ලක් මඟින් ඇරැඹෙන තලවතු නම් ඇළ ඔස්සේ මින්නේරි වැවට ජලය ගෙන ගොස් ඇත. පළමු වැනි අග්ගබෝධි (ක්‍රි.ව. 571- 604) රජු මින්නේරි වැවේ මොව් ඇළ කරවා තිබේ. පළමු වැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1153-1186) රජු මින්නේරිය වැව ප්‍රතිසංස්කරණ කරවූ බව මහවංසයේ සඳහන් වේ. මහසෙන් රජු විසින් මහවැලි ගඟේ සිට පබ්බත්තන හෙවත් පර්වත නමින් ප්‍රධාන ඇළ මාර්ගයක් කරවා තිබේ. එය මහවැලි ගඟ හරහා බඳින ලද අමුණකින් ආරම්භ වන්නට ඇත. මහසෙන් රජු විසින් කරවන ලද තිස්සවඩ්ඩමානක වැව පිහිටා ඇත්තේ ද මහවැලි නිම්නයේ ය. වර්තමානයේ එම වැව කවුඩුල්ල වැව ලෙස හඳුනාගෙන ඇත. පළමු වැනි පරාක්‍රමබාහු රජු විසින් එම වැව ප්‍රතිසංස්කරණය කර තිබේ.

මහවැලි නිම්නයේ වාරි මාර්ග සංවර්ධන කටයුතු සඳහා වැදගත් දායකත්වයක් දැක්වූ රජවරුන් ලෙස පළමු වැනි අග්ගබෝධි (ක්‍රි.ව. 571-604) හා දෙවැනි අග්ගබෝධි (ක්‍රි.ව. 604- 614) යන රජවරුන් සඳහන් කළ හැකි ය. වංසකතාවේ මණිමේඛලා, මිණිමෙවුලා නමින් හැඳින්වූ පුරාණ මිණිපේ අමුණ ඉදි කිරීම පිළිබඳ ප්‍රථමයෙන් වාර්තා වන්නේ ද පළමු වන අග්ගබෝධි (ක්‍රි.ව. 517-604) රජුගේ කාලයේදී ය. අනතුරුව දෙවන සේන (ක්‍රි.ව. 853-887) රජු විසින් ද මෙය නැවත වතාවක් කරවූ බව සඳහන්වේ. කෙසේ වෙතත් පළාතේ පැවති ජනප්‍රවාදයන් අනුව යමින් බ්‍රෝහියර් පවසන්නේ එම අමුණ හා ඇළ මාර්ගය ප්‍රදේශයේ වාසය කළ වැදි ජන කොට්ඨාසයන්ගේ සහභාගීත්ත්‍වයෙන් දාසෙන්කැළි රජු විසින් ප්‍රථමයෙන් ඉදි කළ බවකි. දාසෙන්කැළි රජු යනු ධාතුසේන රජු (ක්‍රි.ව. 455-473) ලෙස හඳුනාගෙන ඇත.

දෙවැනි අග්ගබෝධි රජු විසින් කරවූ ගිරිතට වාපි හෙවත් ගිරිතලේ වැව පිහිටා ඇත්තේ මහවැලි නිම්නයේ වම් ඉවුර ප්‍රදේශයේ ය. පළමු වැනි පරාක්‍රමබාහු රජු විසින් ගිරිතලේ වැව යළි ප්‍රතිසංස්කරණය කර තිබේ. දෙවැනි අග්ගබෝධි රජු විසින් තනන ලදැයි විශ්වාස කරන මෙම නිම්නයේ පිහිටි නෙරළු වැව පළමු වැනි පරාක්‍රමබාහු රජු විසින් යළි ප්‍රතිසංස්කරණය කර ඇත.

මහවැලි නිම්නයේ කළු ගඟ ආශ්‍රිත ව පිහිටි හත්තොට අමුණ දෙවන අග්ගබෝධි (ක්‍රි.ව. 604-614) රජු විසින් ප්‍රථමයෙන් ඉදි කර තිබෙන අතර පළමු වන පරාක්‍රමබාහු රජු විසින් යළි ප්‍රතිසංස්කරණය කළ බවද වාර්තා වේ. මහසෙන් රජුගේ මින්නේරිය වැව හා සම්බන්ධ වාරි ව්‍යපාරය හා බැඳුණු දෙවන අග්ගබෝධි රජු විසින් කරවන ලද ගිරිතලේ වැව හා කන්තලේ වැව්වලට අවශ්‍ය ජල සම්පාදනයේ දී ඇළහැර අමුණෙන් ලබාගත් අඹන් ගඟේ ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අවශ්‍ය අතිරේක ජල සම්පාදනය පිණිස එම අමුණ ප්‍රථමයෙන් ඉදි කරන්නට ඇති බව සිතිය හැකි වේ.

මහවැලි ගඟේ ප්‍රධාන ශාඛාව වන අඹන් ගඟේ අතු ගංගාවක් වූ දෙමැද ඔය හරස් කොට ඉදි කළ අමුණ සම්බන්ධයෙන් වංසකතාවේ තොරතුරු සඳහන් ව තිබේ. දෙවන මහින්ද (ක්‍රි.ව. 777-797) රජු විසින් විශාල කරන ලද කලාවැවට අවශ්‍ය අතිරේක ජලය ලබාගැනීම පිණිස එම අමුණ දෙමැද ඔය හරස් කොට එම රජු විසින් කරවා තිබෙන බව නිකොලස් පවසා ඇත. එය මහවැලි නිම්නය කලා ඔය නිම්නය සමග අන්තර් ද්‍රෝණි සම්බන්ධතාවක් ගොඩ නඟාගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකි වේ.

මහවැලි නිම්නයේ වාරි කර්මාන්ත ගොඩනැඟීමෙහි ලා වැදගත් දායකත්වයක් පළමු වැනි පරාක්‍රමබාහු රජු විසින් සිදු කොට ඇත. ඒ අතර වඩාත් වැදගත් වන්නේ පරාක්‍රම සමුද්‍රයයි. පුරාණ කාර ගංඟාව හෙවත් අඹන්ගඟ හරස් කොට අංගම්මැඬිල්ලේ දී බඳින ලද අමුණකින් ඇරැඹෙන ආකාශ ගංඟා නම් වූ ඇළ මාර්ගයෙන් මෙයට දියවර සපයා තිබේ. රජු විසින් කාර ගඟ විශාල ගල්වලින් හරස් කොට අමුණ සාදා එතැන් සිට ආකාශ ගංඟා නමින් සකස් කරන ලද ඇළ මාර්ගයක් ඔස්සේ පරාක්‍රම සමුද්‍රයට ජලය සැපයූ බව එහි සඳහන් වේ.

කාර ගඟ අඹන් ගඟ ලෙස හඳුනාගෙන තිබෙන බැවින් මහාවංසයේ සඳහන් එම තොරතුරු නිවැරැදි බව පැහැදිලි ය. එම පුරාණ අමුණ ආශ්‍රිත ගල් පුවරුවල දක්නට ලැබෙන විභේදන ලකුණු පොලොන්නරු යුගය නියෝජනය කරන ආයත චතුරස්‍රාකාර ස්වරූපය ගන්නා බැවින් එම අමුණ එම අවදිය තුළ ඉදි කළ බවට වංසකතාවේ සඳහන් වන තොරතුරු නිවැරැදි බව තහවුරු වේ. වර්තමානයේ එම ස්ථානයේ තිබෙන අමුණ 1948 - 52 කාලයේදී ගොඩනඟන ලද්දකි.

මීට අමතර පරාක්‍රම තඩාග නම් වූ මහ වැවක් ද, පරාක්‍රම සාගර නම් වූ වැවක් ද මහවැලි නිම්නයේ කරවූ බව සඳහන් වී ඇත. එම වැව් මේ වන තෙක් නිවැරදි ව හඳුනාගෙන නැති වුවත් පොලොන්නරුව අවට පිහිටා තිබෙන්නට ඇතැයි අනුමාන කළ හැකි ය. පළමු වන පරාක්‍රමබාහු රජු විසින් කරවන ලද බවට සැලකෙත කද්දූරවඩ්ඪමානක හෙවත් කදුරුවඩුන්න සහ අරිමද්දවිජයග්ගාම යන වැව් ගිරිතලේ සහ පරාක්‍රම සමුද්‍රය අතර පිහිටා තිබෙන්නට ඇති බව නිකොලස් පවසයි. ඒ අනුව මෙම වැව් සියල්ලම මහවැලි නිම්නයට අයත් අඹන් ගඟ උප නිම්නයේ පොලොන්නරුවට තාදාශ්‍රිත ප්‍රදේශයේ ඉදි කර තිබෙන්නට ඇතැයි අනුමාන කිරීමට පුළුවන.

Comments