
වාහන මයිලේජ් මීටර් වෙනස් කිරීම සම්බන්ධව අප ගිය සතියේ පළ කළ ලිපියෙන් පසු අපට දැනගන්නට ලැබුණේ මේ වන විට වාහන වංචා සම්බන්ධව, විශේෂයෙන් වාහන මයිලේජ් වෙනස් කිරීම සම්බන්ධව නඩු කිහිපයක්ම අධිකරණයේ විභාග වෙමින් පවතින බවයි. එමෙන්ම වාහන මීටර් වෙනස් කිරීම සම්බන්ධයෙන් කප් ගැසූ පුද්ගලයකු නුගේගොඩ ප්‍රදේශයේ වෙසෙන බව අපට ලැබුණු තවත් තොරතුරකින් ප්‍රකාශ විය.
කෙසේ වුවද අපට ලැබුණු අති මහත් පාඨක ප්‍රතිචාර හමුවේ නුවන් මදනායක මහතා සිළුමිණට පවසා සිටියේ තවත් පුදුම සහගත විස්තර රාශියකි. ඒ සියල්ල අපේ රටේ වාහන ක්ෂේත්‍රයේ අවිධිමත්බව සම්බන්ධවය. ඔහු පවසා සිටියේ නිසි අධ්‍යාපනය ලැබූවකු සහ ක්ෂේත්‍රයේ වසර ගණනාවක් ක්‍රියාකාරීව සිටින්නකු ලෙස මේ ක්ෂේත්‍රය සම්බන්ධව අදහස් දැක්වීමට තමාට අයිතියක් ඇතැයි තමා සිතන බවයි. එමෙන්ම දිනෙන් දින තමන්ට පෙනෙන්නේ අප රටේ වාහන ක්ෂේත්‍රයේ අගතියක් මිස ප්‍රගතියක් නොවේයැයිද ඔහු පවසයි.
ඔහු අප රටේ හයිබ්‍රිඩ් රථ සම්බන්ධයෙන් සිදු කෙරෙන තවත් අවභාවිතයක් සම්බන්ධව මෙසේ අදහස් දක්වා සිටියේය.
“අපේ රටේ හයිබ්‍රිඩ් ජනප්‍රිය වුණේ 2006 විතර. ඒකට මුලින්ම හේතු වුණේ ඒ සඳහා ලබා දුන් බදු සහන. මේ වාහනවල ප්‍රමිතිය, අමතර කොටස් ලබාගැනීම සහ අලුත්වැඩියා කළ හැකි පුද්ගලයන් යනාදිය සම්බන්ධව නොසලකා මේ වාහන සේල්වලින් ගෙන්වන්න පටන් ගත්තා.
මේ රථවල මිල පහසු වීම සහ අති සුඛෝපභෝගි බව නිසා මිනිස්සු අවදානම තමන් අරගෙන මේ රථ මිලදී ගත්තා. ඒ නිසා හයිබ්‍රිඩ් වාහන අපේ රටේ වේගයෙන් ජනප්‍රිය වුණා. මේ වන විට හයිබ්‍රිඩ් රැල්ල තරමක් අඩු වෙලා . මගේ කාර්මික ආයතනයේ සේවාදායකයෝ 5000ක් විතර ඉන්නවා. ඒ අය මගෙන් සේවාව ලබාගැනීමට එන්නේ වරින් වර. ඒ කියන්නේ මාසයකට මේ අතරින් 20 - 25ක් වගේ පිරිසක් ආයතනයට එනවා. මේ පිරිස දිහා බැලුවම පෙනී යන්නේ මේ අය ක්‍රමයෙන් හයිබ්‍රිඩ්වලින් ඉවත් වෙමින් සිටින බවයි. තමන්ගේ මුල්ම හයිබ්‍රිඩ් රථය මිලදී ගත් අය බොහෝ විට දෙවැනි හෝ තුන්වැනි රථය වෙන කොට හයිබ්‍රිඩ් අතඅරිනවා. ඒ වෙනුවට හයිබ්‍රිඩ් නොවන වාහන මිලදී ගන්නවා.
ජනතාව හයිබ්‍රිඩ් රථවලින් ඉවත් වෙන්න එක හේතුවක් තමයි නිසි අලුත්වැඩියාවක් සිදු නොවීම. අද වෙන කොට හැම ගරාජ් එකකම හයිබ්‍රිඩ් අලුත්වැඩියාව කියලා තියෙනවා. ඒත් මේ අතරින් අති බහුතරයක කිසිම ප්‍රමිතියක් නැහැ. හයිබ්‍රිඩ් අලුත්වැඩියාව ගැන අධ්‍යාපනය ලබාදෙන තැන් හැම තැනම. කොච්චරද කිව්වොත් දැන් ගෘහිණියොත් හයිබ්‍රිඩ් බැටරි සර්විස් කරනවා. අපි දන්නවා දරුවන් පාසලට දැම්මට පස්සේ ගෘහිණියන්ට පැය කිහිපයක කාලයක් ලැබෙනවා ගෙවල්වල විවේකයෙන් ඉන්න. ඉස්සර මේ අය මේ කාලයේදී නිරත වෙන්න රූපලාවණ්‍ය පාඨමාලා කළා. ඒත් දැන් ඒ වෙනුවට ඇතැම් කාන්තාවන් හයිබ්‍රිඩ් පාඨමාලා හදාරනවා. ඔබට දකින්න ලැබිලත් ඇති ඇතැම් තැන්වල දින දෙකේ හයිබ්‍රිඩ් බැටරි සර්විස් කිරීමේ පාඨමාලා කියලා දැන්වීම් දාලා තියෙනවා. මේ තැන්වලින් කිසිසේත්ම නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ.
වෘත්තිය අධ්‍යාපනය කියන්නේ කාලය සමඟ ලැබෙන පුහුණුව හා ප්‍රගුණත්වය සමඟ ලබාගත යුතු දෙයක්. හරියට බැලුවොත් ඒ අධ්‍යාපනයෙන් දැනුම ඒ කියන්නේ න්‍යායාත්මක දැනුම, ඒ සමඟ ලැබෙන ප්‍රායෝගික පුහුණුව සමඟ ආකල්ප වර්ධනය වීමක්ද සිදු විය යුතුයි.
කාර්මික විද්‍යාලයක ලබන අධ්‍යාපනයෙන් මේ කරුණු තුනම සම්පූර්ණ විය යුතුයි. විශේෂයෙන්ම ඔටෝමොබයිල් ක්ෂේත්‍රයේදී ආරම්භයේ සිට දැනුම ලබාගත යුතුමයි. දින දෙකේ තුනේ පාඨමාලාවලින් එවැනි පූර්ණ අධ්‍යාපනයක් ලබාගැනීමට හැකියාවක් නැහැ. එවැනි අසම්පූර්ණ දැනුමක් ලබාගනිමින් අපේ ගෘහිණියන් ඇතුළු කාර්මික මහතුන් හයිබ්‍රිඩ් සර්විස් කිරීමට, අලුත්වැඩියාවට පෙලඹීමෙන් රථයේ ආයු කාලය අඩු කරගන්නවා විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතත් අවදානමට ලක් කරගන්නවා.
මම කියන්නම් ඒ කොහොමද කියලා. හයිබ්‍රිඩ් බැටරියක වෝල්ටීයතාව 100කට වඩා වැඩියි. අපි හිතමු ප්‍රියස් එකක් කියලා. එහි DC කරන්ට් එක ගත්තොත් වොල්ටීයතාව 200යි. මේ කරන්ට් එක AC 650කට බූස්ට් කරනවා. වැඩි දෙනා නොදන්නවා වුණාට හයිබ්‍රිඩ් රථයක අභ්‍යන්තරයේ එතරම් අධි විදුලියක් (High Voltage) තියෙනවා. මේ අධි විදුලිය මිනිසුන්ට ඉතාම අහිතකරයි. සාමාන්‍යයෙන් මිනිහෙක් මැරෙන්න අවශ්‍ය අඩුම වෝල්ටේජ් එක DC 60යි. ඇම්පියර්වලින් බැලුවොත් මිලි ඇම්පියර් 75යි. එවැනි අධික විදුලිබලයක් සහිත උපකරණ අලුත්වැඩියාව ඉතාම සැලකිල්ලෙන් කළ යුතුයි. හයිබ්‍රිඩ් රථයක ඇති AC 650ක විදුලිය වැදුණොත් මිනිහෙක් මැරෙන්න ගත වෙන්නේ තත්ත්පර 0.03යි. අද හයිබ්‍රිඩ් අලුත්වැඩියා කරන ගරාජ්වල මේ වෙනුවෙන් යොදා ගන්නා ආරක්ෂිත උපකරණ කිසිවක්ම භාවිත කරන්නේ නැහැ. ඒ වගේම තමයි හයිබ්‍රිඩ් අලුත්වැඩියාව දවස් දෙකකින් ලබාගන්න බැහැ. එහෙම ලබා දෙනවා කියලා කවුරුහරි කියනවා නම් රැවටෙන්න එපා. මේ වෙනුවෙන් විධිමත් වෘත්තිය අධ්‍යාපනයක් ලබා ගත යුතුමයි. මේ අනතුරුදායක බව නොදන්නා හෝ එය ගණන් නොගන්නා ඇතැම් පුද්ගලයන් තමන්ගේ නිවෙස්වලදී තම රථයේ හයිබ්‍රිඩ් බැටරිය සර්විස් කරගන්න පටන් අරගෙන තිබෙනවා. ඒ සඳහා ඔවුන් උපකාර ලබාගන්නේ තම බිරියගෙන්. මම පෙර සඳහන් කළ අන්දමට මේ කාන්තාවන් මුලින්ම අර දින දෙකේ පාඨමාලාවට යවනවා. ඊට පස්සේ බැටරිය ස්ර්විස් කරන්න අවශ්‍ය වුණාම ගලවලා කොටස් කරලා ගෘහිණියන්ට ලබා දෙනවා. දවල් කාලයේ ලැබෙන විවේකයේදී එය ස්ර්විස් කරලා තියන්න. හයිබ්‍රිඩ් බැටරියක මොඩියුල් එකට සම්බන්ධ කෙරෙන තඹ පතුරු මැදලා සුද්ද කිරීමට තමයි ඔවුන්ට නියම වෙන්නේ. රථ හිමියා හවස ගෙදර ඇවිත් බැටරිය නැවත රථයට සවි කරගන්නවා.
වැඩි දෙනා මෙය කරන්නේ මුදල් ඉතිරි කරගන්න. මොකද අර අධ්‍යාපනය ලබා දෙන තැන්වලදී මෙහි ඇති අනතුරුදායක බව කියලා දෙන්නේ නැහැ. ලැබිය හැකි ලාභය ගැන විතරයි අවධානය යොමු කරවන්නේ. මුලින්ම මේ බැටරිය ගැලවීම සහ සවි කිරීම අතිශයින් අන්තරාදායක බව කියන්න ඕනේ.
ඊට හේතුව මම මීට පෙර සඳහන් කළ හයිබ්‍රිඩ් බැටරියේ අන්තර්ගත අධි විදුලිය. මේ බැටරිය ගැලවීමේ හෝ සවි කිරීමේදී ජීවිත හානි පවා සිදුවිය හැකියි.
මීළඟට බැලුවොත් නිසි ආරක්ෂණ ක්‍රියාමාර්ග ගන්නේ නැතිව බැටරිය සර්විස් කිරීම ඉතාම අන්තරාදායකයි. බැටරිය ඇතුළේ අන්තර්ගත වන්නේ අධි රසායනිකයක්. එය ක්‍රියා කරන්නේ විද්යුත් විච්ඡේදකයක් වශයෙන්. (High Risk Alkaline) එහි අන්තර්ගත වන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ ද්‍රාවණය ඉවතට ඇවිත් අපි කියමු වැරදීමකින් ඇසක ගෑවුණා කියලා, තත්ත්පර 20කින් අන්ධ වනවා. හමේ ගෑවුණොත් පිළිකා හැදෙනවා. නිවෙස්වල කාන්තාවන් සහ බොහෝ ගරාජ්වල මේ සර්විස් කිරීම සිදු කරන්නේ කිසිදු දැනුම්වත් වීමකින් හෝ ආරක්ෂිත උපකරණ, මෙවලම් හෝ නැතිව.
හයිබ්‍රිඩ් ගැන නිසි දැනුමක් ඇති පුද්ගලයා කිසිදවසක මේ බැටරි නිකම් ගලවන්න යන්නේ නැහැ. ඒ වෙනුවෙන්ම නිපදවා ඇති උපකරණ, අත්වැසුම්, සහ මාපක යොදාගන්නවා.
බැටරිය ගැලවූ පසු ඇතුළේ අන්තර්ගත පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය යම් විදිහකින් ඉවතට ඇවිත් තියෙනවාද කියලා මුලින්ම පරීක්ෂා කරගන්නවා. ඒ වෙනුවෙන් බෝරික් ඇසිඩ් සොලූෂන් කියලා ක්‍රමවේදයක් තියෙනවා.
මේ සඳහා බෝරික් ඇසිඩ් ග්රෑම් 800ක් වතුර ලීටර් 20ක කලවම් කරනවා. ඒ හැදෙන ද්‍රාවණය බැටරියේ අම්ලය ඉවතට ඇවිත් කියලා සැක කරන ස්ථානයට වත් කරනවා. එවිට අම්ලය ඉවතට ඇවිත් තියෙනවා නම් එය භෂ්මයක් බවට පත් වෙනවා. එසේ වෙලාද කියලා තහවුරු කර ගන්න ලිට්මස් පරීක්ෂාව කරනවා. එහෙම තහවරු කරගැනීමෙන් පසුව තමයි හයිබ්‍රිඩ් බැටරියක් සර්විස් කළ යුත්තේ.
බැටරියේ තඹ පතුරු සමඟ ඇති සම්බන්ධතා අසලින් මේ රසායනිකය ඉවතට පැමිණීමේ හැකියාව තිබෙනවා. බැටරි සෙල් එකේ වෝල්එක කැඩී යෑම හෝ කඩතොලු වීම නිසාද ද්‍රාවණය ඉවතට පැමිණිය හැකියි. ඇතැම් විට බැටරියේ අභ්‍යන්තරයේ පීඩනය හේතුවෙන්ද ද්‍රාවණය ඉවතට පැමිණීමට ඉඩ තිබෙනවා.
ඒ වගේම තමයි හැම හයිබ්‍රිඩ් බැටරියකම පෙර පැවති සිස්ටම් එකක් තිබෙනවා. මෙය ඕනෑම බැටරියකට පොදුයි.
හයිබ්‍රිඩ් බැටරියක පෙර සිස්ටම් එක හරියටම සීල් වෙලා තියෙන්න අවශ්‍යයි. බැටරියක් ගලවන විට මේ පොයින්ට් කැඩෙනවා. යළි සවි කළාට පස්සේ එවා නිවැරැදිව සීල් වෙලාද කියලා බලන්න අවශ්‍ය කරනවා. එසේ කළ හැක්කේ රථය පරිගණකයට සම්බන්ධ කර ස්කෑන් කිරීමෙන් පමණයි. එමෙන්ම පරිගණකය ආධාරයෙන් බැටරියේ අගයන් නැවත සකස් කළ යුතු වනවා. එයට කියන්නේ Relearning කියලයි.
ගෙදරදී බැටරිය රථයට සවි කරගැනීමේදී මේ කිසිවක් කිරීමට හැකියාවක් නැහැ. බැටරි ගලවා සර්විස් කරන විට වායුසමීකරණ පරිසරයක් තිබිය යුතුයි. ආරක්ෂාව සඳහා class 0 ආරක්ෂිත අත් වැසුම් තිබිය යුතුයි. මේ ආරක්ෂිත අත්වැසුමක් භාවිත කළ හැක්කේ මාස හයක් පමණයි. නිශ්චිත ආරක්ෂිත අගයක් සහිත මල්ටි මීටර භාවිත කළ යුතුයි. තඹ පතුරු පිරිසුදු කිරීම සඳහා වැලිකඩදාසියකින් මදිනවා කියන්නේ ඒවා යළිත් ඔක්සයිඩ් වෙන්න වැඩි ඉඩක් ලැබෙනවා කියන එකයි. ඒත් අපේ මිනිස්සු හිතන්නේ වැඩේ කොහොම හරි කෙරෙනවා කියලයි. මුදල් ඉතිරි කළා වගේ නෙමෙයි ඔවුන් මුහුණ දෙන ජීවිත අවදානම. ඒ වගේම මේ ක්‍රියා රථයේ දිගු කාලීන පැවැත්මටත් ඉතාම අහිතකරයි.
මේ සියල්ලටම ප්‍රධාන හේතුව අවිධිමත් අධ්‍යාපනය. මේ දින කිහිපයේ පුහුණුව ලබා ගන්නා ඇතැම් දෙනා තමන්ට මුදල් උපයා ගැනීමට නිවෙස්වලට ගොස් බැටරි සර්විස් කර දෙන්න පටන් ගන්නවා. එක පාරක් ගෙදරට ගෙනල්ලා සර්විස් කලාට පස්සේ රථ හිමියා ඒක බලාගෙන ඉඳලා ඊළඟ පාර තමන්ම නිවසේදී සර්විස්එක කර ගන්න පටන් ගන්නවා. කාන්තාවන් හයිබ්‍රිඩ් සර්විස් කරන්න සම්බන්ධ වෙන්නේ අන්න ඒ විදිහට.
ඒත් දැන් ජනතාව දැනුම්වත් විය යුතුයි. මේ අසංවිධිත අධ්‍යාපනය සමාජයෙන් ඉවත් කර දැමිය යුතුයි. එසේ කිරීම මෝටර් රථ ක්ෂේත්‍රයේ මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයේ යහපතටත් හේතු වනු ඇති.