කළුතර කප්පම් කල්ලියේ හෙළි වුණු සෙල්ලම | Page 3 | සිළුමිණ

කළුතර කප්පම් කල්ලියේ හෙළි වුණු සෙල්ලම

ගිනිගහන මධ්‍යහනයේ පසුගිය දහසය වැනිදා සමන්ති චතුරාණි කළුතර උතුර පොලීසියට දිව ආවේ සිය සැමියා පිරිසක් පැහැරගෙන ගිය බවට පැමිණිල්ලක් කිරීමටයි.

"අනේ මහත්තයෝ... නාඳුනන පිරිසක් පොලිසියෙන් කියලා ගෙදරටම ඇවිල්ලා මගේ මහත්තයා අරගෙන ගියා..."

කළුතර උතුර, පනාපිටියේ, ගැමුණු මාවතේ වෙසෙන 48 හැවිරිදි උදය ලක්ප්‍රිය ජයසිංහ සිය බිරිය සමන්ති සමඟ කටුකුරුන්දේ අමතර පන්තියකට ගොස් සිටි දියණිය රැගෙන ඒමට පසුගිය 16 දා මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේය.

වේලාව එදින පෙරවරු දහය පසු වූවා පමණි. කළුතර උතුර පොලිසිය පිටුපස අශෝකාරාමය අසලදී WP-PA4217 අංක දරණ වෑන් රථය ලක්ප්‍රියලා ගමන් කළ මෝටර් රථය හරස්කර නතර කෙරිණි.

එකම වර්ගයේ අත්දිග සුදු කමිස සහ කළු කලිසම් හැඳ සිටි සිවුදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෑන් රථයෙන් බැස ගත්තේය. "අපි එෆ්සීඅයිඩී එකෙන්... යමු අපිත් එක්ක..."

ඊට ලක්ප්‍රියගෙන් ප්‍රතිචාරය වූයේ,

"මගේ ලියකියවිලි ගෙදර තියෙනවා... මම ඒවා ඉදිරිපත් කරන්නම්... යමු ගෙදර..."

ඒ අනුව ලක්ප්‍රියගේ මෝටර් රථයට නැඟුණු පිරිසගෙන් තිදෙනකුසමඟ රථ දෙකම ලක්ප්‍රියගේ නිවෙසට ගියේය.

ලක්ප්‍රිය සතොස ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස සේවය කරමින් සිටියදී වූ අක්‍රමිකතාවක් හේතුවෙන් මීට මාස තුනකට පමණ පෙරදී වැඩ තහනමකට ලක්ව ඇත. ඒ වෙනුවෙන් මේ වන විට එෆ්සීඅයිඩීහි පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබිණ. පැමිණි පිරිස නිවෙසට ඇතුළුවීමත් සමඟ, "උඹ හුරතල් කළා ඇති... නැඟපන් වෑන් එකට..." යනුවෙන් එකෙක් පැවසීය. ඒ අතරේ පිරිසෙන් අයකු තවකෙකුගෙන් විමසා තිබුණේ, පිස්තෝලය වෑන් එකේ තියෙනවා නේදැයි යනුවෙනි.

එය කන වැකුණු ලක්ප්‍රියට ජීවිතයේ ප්‍රථම වරට මර බිය දැනිණි.

අනතුරුව නාඳුනන පිරිස ලක්ප්‍රිය වෑන් රථයේ නංවාගෙන කළුතර පොලිසිය දෙසට පැමිණ ප්‍රධාන බස් නැවැතුම අසල නතරකර තවත් අයකු රථයට නංවාගෙන තිබේ. ඒ වෙද්දී ලක්ප්‍රියට සිය ජීවිතයට අනතුරක් අත ළඟ බව වැටහිණ.

"මං උඹලට ලක්ෂ 10ක් දෙන්නම්... මාව ගෙනියන්න එපා..."

"නෑ... නෑ... අපිට ලක්ෂ විස්සක් ඕනෙ..."

පසුව ලක්ප්‍රිය ලක්ෂ 10කට ඔවුන් කැමැති කරවාගෙන නැවතත් කොල්ලකරුවන් සමඟම නිවෙසට පැමිණෙමින් සිටින අතරතුර කියා තිබුණේ, ලක්ෂ දහයක මුදලක් නොමැති නමුත් මෝටර් රථය උකස්කොට මුදල් දිය හැකි බවත්ය.

නිවෙසට පැමිණ විපරම් කළ විට නිවෙසේ සිටියේ වයසක මව පමණි. බිරිය සහ දරුවා නිවෙසේ නොවූහ. පසුව ලක්ප්‍රිය මෝටර් රථයද රැගෙන කප්පම්කරුවන් සමඟ යෑමට සැරැසුණේ කැලණිය ප්‍රදේශයටය. අතරමඟදී කප්පම්කරුවන් ලක්ප්‍රිය මෝටර් රියෙන් වෑන් රථයට නංවාගනු ලැබිණ. නැවතත් කැලණිය ප්‍රදේශයේදී ලක්ප්‍රිය මෝටර් රියේ ඉදිරිපස අසුනේ හිඳුවාගත් කප්පම්කරුවෙක් ලක්ප්‍රියගේ මිත්‍රයෙකු මුණ ගැසීමට කැටුව ගියේය.

"මචං... මට පොඩි හදිසියක්... ලක්ෂ දහයක් දියන්..." නිවෙසේදී ලක්ප්‍රිය මිතුරාගෙන් ඉල්ලීය.

මිතුරාගෙන් ලැබුණේ ලක්ෂ නවයකි. ඔහු මුදල් දෙමින් තමාට මෝටර් රථය අනවශ්‍ය බවත් ලක්ෂ නවය රැගෙන යන ලෙසත් ලක්ප්‍රියට පැවසුවේ දෙදෙනා අතර ඇති මිතුදම නිසාය. එහෙත් ලක්ප්‍රිය මිතුරාට මෝටර් රථය තබා ගන්නා ලෙසට පෙරැත්ත කළේය. මිතුරා පුන පුනා කීවේ මෝටර් රථය අනවශ්‍ය බවයි. අවසානයේ කප්පම්කරුවාට නොපෙනෙන සේ ලක්ප්‍රිය තම මිතුරාට සංඥා කළේ මෝටර් රථය තබාගන්නා ලෙසය. එතෙක් සිදුවන්නේ කුමක්දැයි මිතුරා කිසිවක් දැන් නොසිටියේය.

පසුව ලක්ප්‍රියද කප්පම්කරුවාට නොපෙනෙන සේ මිතුරාගෙන් ලැබුණු ලක්ෂ නවයෙන් ලක්ෂයක මුදලක් සඟවාගෙන ඉතිරි මුදල බෑගයක බහා කප්පම්කරුවා අත තැබීය. ලක්ප්‍රිය සහ කප්පම්කරුවා එම නිවෙසෙන් නික්ම ගියේ මිතුරා ගෙන්වා දුන් ත්‍රිරෝද රථයකිනි. දෙදෙනාම පැමිණියේ කැලණිය බස් නැවතුමටය.

එහිදී කප්පම්කරුවා වෑන් රථයේ ඔවුන් එනතෙක් මඟ බලා සිටි සෙසු සගයන්ට ඇමතුමක් ගත්තේය. පසුව ලක්ප්‍රිය බස් නැවතුමේ තනිකොට කප්පම්කරුවෝ ගොදුරක් ඩැහැගත් උකුස්සන් සේ එතැනින් පලා ගියහ. ඒ සැණින් ලක්ප්‍රිය කුලී ත්‍රිරෝද රථයකින් පැමිණියේ කළුතර උතුර පොලිසියටය. ඒ අතරේ ලක්ප්‍රියගේ පැහැරගැනීම පිළිබඳ කළුතර උතුර පොලිසියට ලැබුණු පැමිණිල්ල අනුව කළුතර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ උපදෙස් මත කළුතර කොට්ඨාස බාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න සහ සහකාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාසගේ ඍජු අධීක්ෂණයෙන් උතුරු කළුතර පොලිස් ස්ථානාධිපති ඔෂිත ලංකා ද සිල්වාගේ මෙහෙයවීමෙන් උපොප පෙරේරා, පොසැ (58801) ප්‍රියන්ත සහ කොස්තාපල්වරුන් වන (32329) පැතුම්, (91467) ඉන්දික යන අය සූක්ෂ්ම මෙහෙයුමක් දියත් වෙමින් පැවතිණ.

සිද්ධිය පිළිබඳ හෝඩුවාවකට තිබුණේ පැහැරගෙන ගිය රථයේ අංකය පමණි. පොලිසිය වහාම කළේ රියේ වත්මන් හිමිකරුගේ වතගොත සොයා ගැනීමය. එහිදී අනාවරණය වූයේ රථය පොකුණුවිට හේමචන්ද්‍ර නමැත්තෙකුට අයත් බවකි. ඒ අනුව පොලිසිය හේමචන්ද්‍රගේ නිවෙස සොයා ගියේය. හේමචන්ද්‍රට වෑන් රථ හතරක්ම තිබෙන බවත් ලක්ප්‍රිය පැහැර ගැනීමට යොදාගෙන තිබුණේ ඉන් එක් රථයක් බවත් එහිදි හෙළි විණි. හේමචන්ද්‍රගෙන් පොලිසිය දිගින් දිගටම විමසූවේ අදාළ රථය ඇත්තේ කොහේද යන්නයි.

"පොකුණුවිට තියෙනවා රෙන්ට කාර් ආයතනයක්... ඒකට දාලා තියෙන්නෙ මේ වාහන... මාත් වැඩ කරන්නෙ එතැනයි."

"දැන් ඉතින් මේ වෑන් එක කෝ..."

"වෑන් එක සර්... ඊයේ හවස දෙන්නෙක් ඇවිල්ලා සල්ලි දීලා අරගෙන ගියා... හැබැයි අද හවස තුන වෙනකොට අනිවාර්යයෙන්ම වෑන් එක ආයෙත් ගේන්න ඕනෙ..."

ඒ වෙද්දී සවස දෙක පසුව තිබිණි. තමන් නියම වෙලාවට පැමිණ ඇතිබව වටහාගත් නිලධාරින් සැඟව ස්ථානගත වී මාන බලමින් සිටියේ රථය පැමිණෙන තෙක්ය. එහෙත් කියූ වෙලාවට රථය නොපැමිණියේය. පැයෙන් පැය ගෙවීගොස් රථය එක්වරම කුලී රථ ආයතනය ඉදිරිපිටට පැමිණියේය.

ක්ෂණිකව ක්‍රියාත්මක වූ නිලධාරීන් කඩාපැන්නේ ත්‍රාසජනක චිත්‍රපට දසුනක් මවාපාමිනි. මුලින්ම රථයේ රියැදුරාගේ දෑත්වලට විලංගු වැටිණි. රථයේ සිටි සියලු දෙනාම කොටුකර ගනු ලැබුයේ කිසිවෙකුට පැන යාමට ඉඩ නොතබිමිනි. කප්පම්කරුවන් අතර සිටි ලක්ෂාන් නමැත්තා අත ඒ වෙද්දී පැහැරගත් මුදල් බෑගයද විය.

එතුළ රුපියල් හත්ලක්ෂ හැත්තෑනව දහසක් තිබිණි. ඔවුන් සයදෙනා ඒ වන විටත් පැහැරගත් මුදලින් ප්‍රමාණයක් වියදම්කර 'ජොලි' කර හමාරය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනා වයස අවුරුදු තිහට අඩු හොරණ මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෝය. එදිනෙදා රැකියාවල නිරත වන ඔවුන් මේ කප්පම් ගැනීමට පෙලඹි තිබුණේ චමින්ද නමැත්තකුගේ මාර්ගයෙනි. චමින්ද යනු පැහැර ගැනීමට ලක්වූ ලක්ප්‍රියගේ රැකියා ස්ථානයේ රියැදුරායි. ඔහු ලක්ප්‍රියගේ සියලු තතු දත් අයෙකි. මේ පැහැර ගැනීමේ 'ප්‍රධාන චරිතය' චමින්දයි.

ඔහු කප්පම්කරුවන්ට පවසා තිබුණේ, "අහවලා ළඟ මුදල් තියෙනවා... කරන්න තියෙන්නෙ එකම දෙයයි... එෆ්සීඅයිඩී කියලා බය කරන එකයි..." යනුවෙනි.

උතුරු කළුතර පොලිස් නිලධාරින්ගේ කඩිනම් මෙහෙයුම නිසා පැය හතරක් වැනි කෙටි කාලයකදී සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිණි.

ඒ අතරේ රටම කතා කරන කප්පම්කරුවා වූ මාකඳුරේ මධුෂ්ද ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වෙද්දී අගලවත්ත, පිඹුර ආදි ඒ අවට ගම්දනව්වල අහිංසක ජනයා කලෙක සිටම භීතියට පත්කළ අපරාධකාරයකු සහ ඔහුගේ තවත් සගයකු පසුගිය 17 වැනිදා නීතියේ රැහැනට කොටුකර ගැනීමට කළුතර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිලංග සංජීව ඇතුළු කණ්ඩායම සමත් විය. එසේ කොටු වූයේ 36 හැවිරිදි ලක්ෂ්මන් වන්නිආරච්චි හෙවත් පිඹුරේ ලකී සහ 22 හැවිරිදි ලකීගේ සගයෙකි. මේ අපරාධකරු වසර ගණනක සිට අවිආයුධ ළඟ තබාගෙන පිඹුරේ හල්ඕවිට පුංචි කැලේ නමැති ගන වනාන්තරේ ගල් ගුහාවක කල් ගත කර තිබිණි.

අහිංසක ජනයාගෙන් කප්පම් ගනිමින්, නීති විරෝධි මත්පැන් ජාවාරම ගජරාමෙට කරමින් සිටි ලකීට එරෙහිව කිසිම පැමිණිල්ලක් නොවූයේ ඔහුට තිබූ බිය නිසාය.

බුලත්සිංහල විසූ ප්‍රකට අපරාධකාරයකු වූ ගවරගිරියේ පියසේන නමැත්තාගේ ගෝලයකු ලෙස පිඹුරේ ලකී හැඳින්වේ. මීට වසර ගණනාවකට පෙර පියසේනගේ ඝාතනයෙන් පසුව පිඹුරේ ලකී කරළියට පැමිණ තිබුණේ මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේද ආශිර්වාදය ලබමින් බවට වාර්තා වේ.

මෙලෙස කළුතර දිස්ත්‍රික්කයේ වෙසෙන කප්පම්කරුවන්ට පමණක් නොව රටපුරාම සිටින අපරාධකාරයන්ට 'වැඩ' වරදින ලකුණු මේ වන විට පහළ වෙමින් පවතිනුයේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සිදුකරන සූක්ෂ්ම මෙහෙයුම් නිසාය.

ඡායාරූප - අනුරාධ ප්‍රියදර්ශන

Comments