ක්‍රිකට්වල නිල ඉරණම තීන්දු කළ නිලවරණය | සිළුමිණ

ක්‍රිකට්වල නිල ඉරණම තීන්දු කළ නිලවරණය

චමිල

පිට්ටනියේ සිට ක්‍රිකට් බලන අපටත් කණ්ඩායමට සිදුවී ඇති කොඩිවිනය පෙනිණි. පුහුණුකාර පාර්ශවයෙන් ආගමික කල්ලියක් කණ්ඩායම තුළ ගොඩනගමින් සිටින ආකාරය ගැන කියැවිණි. ඒ සමගම කණ්ඩායමේ නායකත්වය පිළිබඳ අදහසක් ඇතිකරගත හැකි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තම තමන්ගේ කල්ලි ඇතිකරගෙන ඇති බව වාර්තා විය. සමහර කල්ලිවලට පුහුණුකරුවාගේ ආශීර්වාදය ලැබුණු බවටත්, තවත් එවාට නොලැබුණු බවටත් වූ කසු කුසුවක් මතුවී ආවේය. පිට්ටනියට බැස්ස විට මේ ක්‍රීඩා ලෝලීන් දුටුවේ එකෙකුට එකෙක් නැති හුදකලා පුද්ගලයන් 11 දෙනෙකුගේ ක්‍රීඩාවක් විනා අපට පුරුදු ශ්‍රී ලංකා ක්‍රිකට් නොවේ. එහෙත් සීතල යුද්ධයක්ව පැවැති ක්‍රිකට් නිලවරණය අවසන්ය. තිලංග සුමතිපාල පාර්ශ්වය නියෝජනය කරමින් තරග වැදි ශම්මි සිල්වා දැන් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාය. ඒ අනුව ඉදිරි වසර 2ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ මහ කෙරුමා ශම්මිය. ක්‍රිකට් මහ පුටුවට පැමිණීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ නව සභාපතිවරයා කියා සිටියේ තමාගේ මොන වාසනාවකට සභාපති තනතුර ලැබුණේද යන්න නොදන්නා බවය.

සැබැවින්ම ඒ වාසනාව කාගේද යන්න රටම දනී. කෙසේ වෙතත් දැන් එම වාසනාව ශම්මිගේ නොවිය යුතුය. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාව බවට පත් කළ යුතුය. එහි වගකීම ඇත්තේ දැන් ශම්මි අතේය.

ශම්මිගේ එකම සහ ප්‍රධානතම ප්‍රතිවාදියා වූයේ ජයන්ත ධර්මදාසය. ජයන්තද ලේසියෙන් පැරදීමට කැමැති කෙනෙක් නොවේ. ඔහු ඒ සඳහා හැකි සෑම උත්සාහයක්ම දැරූ බව නොරහසකි. එහෙත් තිලංග සුමතිපාලලා සිය පාලන කාලය තුළ ක්‍රීඩා සමාජ සමඟ ගොඩ නඟාගෙන තිබුණු සුහදතාව ධර්මදාසගේ සුහදතාව පරයා ගියේය. අවසානයේ එම පාර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත් වුණු අය අතරින් උප සභාපතිධුරයට තරග වැදි කේ. මතිවානන් පමණක් තෝරා පත් වෙද්දී සෙසු සියලු නිලයන් සුමතිපාල පාර්ශ්වයෙන් පත් වී තිබිණි.

ශම්මිගේ කතාව ඇත්තය. ඔහු සතු වන වාසනාව නොවන්නට ඔහු උප සභාපතිවරයාය. මන්ද යත් මෙවර නිලවරණයේදී සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දී තිබුණේ මොහාන් ද සිල්වාය. එහෙත් නිලවරණ කමිටුවේ නිර්දේශයන් අනුව මොහාන්ගේ නම ප්‍රතික්ෂේප විණි. පසුව එය අභියාචනාධිකරණය දක්වා දුර ගියේය. නඩුව විභාග කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත්ව තත්ත්වය සමනය නොකරන්නට ඉකුත් බ්‍රහස්පතින්දා දින පැවැත්වීමට නියමිතව තිබුණු ක්‍රිකට් නිලවරණය බොහෝ විට කල් යෑමට ඉඩ තිබිණි. එහෙත් එවැන්නක් සිදුවුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අපේ හරහට හිටින බව ක්‍රීඩා ඇමැතිවරයා තුළ අවබෝධයක් තිබීමද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වාසනාවට හේතු වූවාය කීවොත් නිවැරදිය. එවන් වට පිටාවක පැවැති මෙවර ක්‍රිකට් නිලවරණයේදී මොහාන් නැති වීම ධර්මදාසගේ වාසියට හිටිනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස විය. එහෙත් ව්‍යවස්ථාව අනුව මෙවර පත් වන විධායක කමිටුවෙහි පුටුවක් තිලංග සුමතිපාල වෙනුවෙන් ඉතිරි වන බව එම අදහස් දැක්වූ පිරිසට අමතක විය. සැබෑවට සිදු වූයේ එයමය. මේ පැහැදිලි ජයග්‍රහණයේ ඇතුළාන්තයේ සිටින්නේ තිලංග සුමතිපාලය. ක්‍රිකට් නිලවරණ කලාවේ ඔහුව පරාජය කළ හැකි තරමේ ජගතකු තවමත් බිහි වී නොමැති බව මේ ජයග්‍රහණයෙන් මොනවට පැහැදිලි විය.

අවසන් වරට තිලංගලා ක්‍රිකට් පුටුවට පත් වූයේ වසර 4 ක පාලන කාලයක් සඳහාය. ඔවුහු ක්‍රිකට් ගොඩ නංවන ලද සැලැස්ම සිවු අවුරුද්දකට එලූහ. දෙවසරක් අවසනදී පැවැත්වීමට නියමිත වූ විශේෂ මහ සභා රැස්වීමේදී යළි සිය බලය තහවුරු කරගැනීම සුමතිපාල පාර්ශ්වය බලාපොරොත්තු වූ නමුත්, මහ සභා වාරය පැවැත්වීමේදී වූ පටිපාටිය උල්ලංඝනය වී තිබෙන බවට මෙවර නිලවරණයේ ලේකම් ධුරයට ඉල්ලූ අපේක්ෂකයකු වූ නිශාන්ත රණතුංග අධිකරණයට යෑම නිසා ක්‍රිකට් පරිපාලනය සුමතිපාල පාර්ශ්වයට අහිමි විය. එහෙත් දැන් යළිත් ඔවුහු පැමිණ සිටිති. වෙනසකට ඇත්තේ නිලතලවල ඇති වී තිබෙන සුළු වෙනස්කම් පමණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් කඩා වැටීමට තිලංගලාද වගකිව යුතුය යන්න සමාජය තුළ මතයක් වේ. තිලංගලා නිසා තරග පරදින්නේය යන්න ඔවුන් තුළ අදහසක් වේ. එහෙත් ඉකුත් මාස කීපයේදී තිලංගලා සිටියේ නැත. දකුණු අප්‍රිකාවට එරෙහිව ලද ටෙස්ට් තරග ජයග්‍රහණය හැරෙන්නට ඒ වකවානුව තුළදීද මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ලැබුවේද සුපුරුදු පරාජයන් ම පමණි.

වාසනාවකට මෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව ලද තරග ජයග්‍රහණය නිසා වෙනදා නොදුටු ජවයක් කණ්ඩායම තුළ ගොඩ නැඟී ඇත. අවශ්‍ය වන්නේ එය එලෙසින්ම පවත්වාගෙන යන අතරතුර තව තවත් දියුණු කිරීමට අවශ්‍ය පසුබිම පරිපාලකයන් විසින් සකස් කර දීම පමණි. ක්‍රිකට් විනාශ වී ඇත්තේ තිබුණු පරිපාලනයේ වරදින්ය යන්න අලුතින් පත් පිරිසට චෝදනා කළ නොහැකිය. ඒ මීට මාස කීපයකට ප්‍රථම වූ වසර 2ක කාලයේ ක්‍රිකට් පරිපාලනය කළේ ඒ පිරිස බැවිනි. වැදගත් වන්නේ ක්‍රිකට් දියුණු කිරීමේ ක්‍රමවේදයක් සිදු කරගෙන ගියේද, එය නතර වුණු තැනින් නැවතත් ආරම්භ කොට වැටී ඇති නරකාදියෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගැනීමය. ක්‍රීඩා අමාත්‍යවරයාට එය ගොඩගැනීමේ තද අවශ්‍යතාවක් පවතියි. ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත් වීමෙන් අනතුරුව ක්‍රිකට් වෙනුවෙන් ඔහු කළ කී දේ දෙස බැලීමේදී ඒ බව පැහැදිලිවම පෙනී යයි. එබැවින් ශම්මි සිල්වාගේ පාලන කාලය මෙරට ක්‍රිකට් සුගතියටද, නැතහොත් අගතියට යන්නේද තීරණය වනු ඇත.

Comments