ක්‍රිකට් ඩ්‍රෙසින් රූම් වීඩියෝව පැන්නීමේ ඇතුළත කතාව | සිළුමිණ

ක්‍රිකට් ඩ්‍රෙසින් රූම් වීඩියෝව පැන්නීමේ ඇතුළත කතාව

මෑත කාලයේදී අපට ක්‍රිකට් තිත්ත වී තිබිණි. අපට හිතුණේ ක්‍රිකට් මිය ගොස් ඇතැයි කියාය. එහෙත් අපේ ක්‍රිකට් තවමත් හුස්මක් ගන්නා බව අප දුටුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී ය. එදා ලද ටෙස්ට් තරග ජයග්‍රහණය ලෝක ටෙස්ට් ඉතිහාසයට එක් වූ විශිෂ්ට එකකි. දකුණු අප්‍රිකාවට වර්ෂ 1898 තරම් ඈතට දිවෙන ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය පුරාවටම ඔවුන් අවස්ථා 2කදී හැර සිය නිජබිමෙහි ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්ව නැත. අප පරාජයේ නියඟය නිමා කළේ එවැනි දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරග ජයග්‍රහණයක් ලබාගැනීමෙනි. මේ ජයග්‍රහණය මෙතෙක් පිට පිට ලද අමිහිරි පරාජයන් සියල්ලෙහිම පවු ප්‍රේක්ෂක සිත් සතන්වලින් මකා දැමුවේය.

එහෙත් කලකට පසු ලද එම ජයග්‍රහණයේ සතුට 24 පැයක් හෝ විඳ ගැනීමට හැකිවූවේද යන්න ගැටලුවකි. හුදෙක්ම එය තාවකාලික සතුටක් පමණක් බවට පත්වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සමරමින් කළ කී දෑ පිළිබඳ පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලයට කිසිවකු මුදා හැර ඇති නිසාය.

එම වීඩියෝ පටයට අනුව කණ්ඩායමේ ක්‍රීඩකයන් උද්දාමයකින් යුතුව එම ජයග්‍රහණයේ සතුටු සමරන අයුරු සටහන්ව තිබෙන අතර ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අදහස් දක්වන ආකාරයද එහි පැහැදිලිව සටහන් වී තිබේ. එකී අදහස් දැක්වීමේදී ප‍රුෂ වචන කීපයක්ද ඇතුළත් වී තිබූ නිසා ලද ජයග්‍රහණය පිළිබඳව ගුණ ගැයූ රසිකයෝ කෝපාවිෂ්ට වූහ.

කෝපයට පත් පිරිස් විමසන්නේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්ද නැතහොත් පෞද්ගලික අරමුණු මුල් කරගෙනද යන්නය. පැන නැඟුණු අනෙක් පැනය වූයේ විනය පිළිබඳ ය. ඕනෑම ක්‍රීඩාවක ජාතික කණ්ඩායමක නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව ඉහළ විනයක් තිබීම අනිවාර්ය කරුණකි. එවන් වට පිටාවක සිට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ කළමනාකාරීත්වයට අදාළ සියලුම පිරිස සිටින අවස්ථාවකදී කිසිම බයක් සැකක් නැතිව පරුෂ වචන භාවිතා කිරීම, කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් වශයෙන් බොහෝ දෙනා හැඳින්වූහ. හොඳම කොටස බවට පත්වූයේ ජාතික තලයේ පසු වුවද එවැනි තත්ත්වයක් විඳ දරාගැනීමට හැඩ ගැසී නැති පිරිසක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වනු ලැබීමය.

කොටින්ම කිවහොත් ඉන් පසු ක්‍රීඩාලෝලීහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පතුරු ගැසූහ. මුහුණු පොත ඇතුළු වෙබ් අඩවිවල ඔවුන්ට විරුද්ධව දහස් ගණන් අදහස් පළ විණි. ඒ සිය හද පත්ලෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව , ක්‍රීඩකයන් ආදරයෙන් වැලඳගනු ලබන ක්‍රීඩා ලෝලීන් එය භාරගත් ආකාරයයි.

ක්‍රීඩා ලෝලීන්ගේ ආවේගශීලීත්වය ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය. එහෙත් සෑම සිදු වීමකම දෙපැත්තක් තියෙනවා සේම ක්‍රිකට් රසිකයන් කුපිත කරවන ලද එම වීඩියෝ සම්බන්ධවද දෙපැත්තක් ඇත. එහෙත් ඒ පැත්ත ගැන කිසිවකුගේ හා හූවක් නැත. මේ උත්සාහයද එකී නොපෙනෙන සත්‍ය පිළිබඳ ය.

ඇත්තටම සිදු වූයේ කුමක්ද...?

තරගයක ප්‍රතිඵලය කුමක් වුවද එම තරගය හමාර වීමෙන් පසු විවේචනයන් එල්ල වීම සාමාන්‍ය සිදුවීමකි. ඒ අතරම ක්‍රීඩා කළ ආකාරය, අගය කිරීම් පිළිබඳ සංවාද තරග අවසානයේ සිදු කෙරෙන කණ්ඩායම් රැස්වීමේදී සිදු කිරීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකනු ලබයි. පරාජයන්හිදී සාද නොපැවැත්වුවද ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවක එය සාදයක් ලෙසින් පැවැත්වීම කණ්ඩායම් සම්ප්‍රදාය වේ. එහෙත් ඒ සියල්ල සිදුවන්නේ කණ්ඩායම් අභ්‍යන්තරයේය.

එවැනි ආකාරයේ විවේචන, සංවාද නැතිව ක්‍රිකට් තියා කිසිවක් සිදු කළ නොහැකිය. ක්‍රීඩාගාර තුළ සිදුවූ විවේචන, බහින්බස්වීම්, මෙන්ම හිත් රිදවාගැනීම් සම්බන්ධ ඉතිහාසය ක්‍රිකට් තරගාවලියකට රටක් සේ මුහුණ දුන් 70 දශකයේ සිටම පැවතිණි. පරාජයේදී සිදු වන බිඳ වැටීම මෙන්ම ජයග්‍රහණයේ සතුටද බෙදී ගියේ ක්‍රීඩාගාරය තුළ උපදින සංවාදය තුළය. එහෙත් ඒ සංවාදය ක්‍රීඩාගාරයෙන් මෙපිටට ආවේ නැත. එසේ පැමිණෙන්නට අවශ්‍යත් නැත. ජාතික කණ්ඩායමක් ක්‍රීඩා කරන විට ක්‍රීඩාපිටියෙන් පිට එක් එක් ක්‍රීඩකයන්ගේ පුද්ගලික අභිමතාර්ථ අදහස් හෝ හැසිරීම් ස්වරූප නොව, රටකට වැදගත් වන්නේ ඔවුන් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරමින් රට වෙනුවෙන් අත්පත් කරගන්නා ප්‍රමාණය ය. ක්‍රිකට් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කීවේ ක්‍රීඩාව මේ සමස්ත විනය පද්ධතිය තුළම ශික්ෂණය වූ නිසාය. එම වීඩියෝ පටය ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ හිටපු ක්‍රිකට් නායකයෝ බොහෝ දෙනෙක් ඒ පිළිබඳ අදහස් දැක්වූහ. අර්ජුන රණතුංග ඍජුවම සිය ප්‍රකාශ කළේ ක්‍රීඩාගාරය තුළ මීට වඩා තියුණු සංවාද ඇති වුණ යුගයක් තමන් පසු කළ බවය. මුලින්ම සොයාගෙන පන්නා දැමිය යුත්තේ මේ අවස්ථාව රහසේ වීඩියෝගත කර සමාජ ජාලාවලට මුදාහල අය බව අර්ජුන කීවේය. අනෙක් හිටපු නායකයන් ද කතා කර තිබුණේ ඊට සමාන අදහසක් සහිතවය.

එම සිදු වීම සම්බන්ධව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද කතා කළේය. තමා ක්‍රීඩකයකුව කටයුතු කළ පාසල් අවධියේ වූ අත්දැකීම්ද උදාහරණ ලෙස ගෙන එමින් ඔහු ශ්‍රී ලංකා පිල වෙනුවෙන් පෙනී සිටියේය. "මෙතැනදී ක්‍රීඩකයන්ගේ කිසිම වැරැද්දක් මම දකින්නේ නෑ. මොකද අපි අමාරු තරගයක් දිනුවම පුහුණුකරුට තමයි ඒ ගෞරවය දෙන්නේ. ඒක හැම තැනදිම එහෙමයි. අපි සෙල්ලම් කරන කාලෙත් එහෙමයි. ක්‍රීඩකයන් සෙල්ලම් කරන්නේ රට වෙනුවෙන් නෙමෙයි, පුහුණුකරු වෙනුවෙන් කියන එක ඒකෙන් ඇඟ වෙන්නේ නෑ. අනෙක් එක ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුත් ලංකාවේ කෙනෙක්. ඉතිං ලංකාවේ පුද්ගලයෙක් වෙනුවෙන් සෙල්ලම් කළාට ඒකෙ තියෙන වැරැද්ද මොකද්ද? තරගයක් දිනුවම හැමදාම ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. නමුත් මෙතැනදී මේ වීඩියෝව අන්තර්ජාලයට නිකුත් වුණා. අන්න එතැනයි වැරද්ද. ඒක නිසා අපි බොහොම ආදරයෙන් හැමෝගෙන්ම ඉල්ලන්නේ මේ වගේ සුළු දෙයක් හින්දා මේ ලබපු විශිෂ්ට ජයග්‍රහණය හෑල්ලුවට ලක් කරන්න එපා කියලයි" යැයි හරීන් අමාත්‍යවරයා පැවැසීය.

ක්‍රීඩා අමාත්‍යවරයකු වශයෙන් කළ යුතු හරිම දේ හරීන් අමාත්‍යවරයා කළේය. මෙතරම් ක්‍රිකට් කඩා වැටීමකට ලක්ව තිබියදී ලද මහඟු අවස්ථාව ජයග්‍රාහි රිද්මයකට හරවාගන්නවා වෙනුවට එය විනාශ මුඛයට තල්ලු නොකළ යුත්තක් බව අමාත්‍යවරයා තුළ අවබෝධයක් තිබීම සතුටට කරුණකි. එමෙන්ම දක්ෂතා නැතත් නමට කණ්ඩායම තුළ පැලපදියම් වී සිටි ක්‍රීඩකයන් වෙනුවට ආදේශ කරන ලද නවක යොවුන් ක්‍රීඩකයන් මෙම ජයග්‍රහණය වෙනුවෙන් වැඩි මෙහෙයක් ලබා දී තිබෙන පසුබිමක ඔවුන්ට අධෛර්යවත් කිරීම කාලෝචිත නොවේ. මේ තරගයට ක්‍රීඩා කරවන ලද විශ්ව ප්‍රනාන්දු, ලසිත් ඇඹුල්දෙණිය මෙන්ම ඕෂධ ප්‍රනාන්දු යන නවකයන් තිදෙනාම ජයග්‍රහණය වෙනුවෙන් වැඩි මෙහෙයක් ඉටු කර තිබිණි.

මේ ජයග්‍රහණයත් සමඟ කණ්ඩායම තුළ මෙතෙක් කලක් දැක ගැනීමට නොහැකි වූ එකමුතුකමක් සහ ජයග්‍රහණය පිළිබඳ වූ ආත්ම විශ්වාසයක් ක්‍රීඩකයන් වෙතින් ප්‍රකට විය. මෙතෙක් කලක් තුනට හතරට කැඩී තිබුණැයි කී කණ්ඩායමේ එකමුතුකම මෙන්ම ආත්ම විශ්වාසයෙහි වූ උපරිම සාරය මතු වන අයුරු එම වීඩියෝ පටයේම සටහන්ව තිබිණි.

කණ්ඩායම නිසි ජවයක් සහිතව යළි ගොඩනැඟෙමින් සිටින අවස්ථාවක නැවතත් හිටපු තත්ත්වයට කණ්ඩායම හරවා යැවීමට කිසිවකුට අවශ්‍යතාවක් පවතින්නේද යන ගැටලුවක් එම වීඩියෝ පටය සමාජ ගත කිරීමෙන් මතු වී ඇත. තරගයකින් අනතුරුව ක්‍රීඩාගාරය තුළ විවෘත ස්වයං විවේචනය හා අදහස් ප්‍රකාශය නියතවම සිදු විය යුත්තකි. විමසා බැලිය යුත්තේ කුමන අරමුණක් අරභයා එම වීඩියෝ පටය සමාජ ගත කළේද යන්නය. කවුරුන් හෝ අශිෂ්ටයෙකු කර අත්තේ ක්‍රීඩකයන් දෙදෙනෙකු අතර සැකයකින් තොරව පුද්ගලික කතාබහක යෙදීමට ඇති විශ්වාසය බිඳ දැමීමය.

දැනට වාර්තා වන ආකාරයට ක්‍රීඩාගාරය තුළ වූ එම සංවාදය වීඩියෝගත කර ඇත්තේ කණ්ඩායමේ පුහුණු අංශයේම සිටිනා එක් ඉන්දියා ජාතිකයෙකි. ඔහු එම වීඩියෝපටය සිය සගයෙකු වෙත යවා තිබේ. අනතුරුව එය එක් පිතිකරණ පහුණුකරුවෙකු වෙත ලැබී ඇත. පොදු සමාජ ජාලයට එම වීඩියෝව මුදා හැර ඇත්තේ ඒ පුද්ගලයා බව කියැවේ. ඒ අශ්ලීල කටයුත්ත ගැන සෙවීම එතැනින් නැවතී තිබේ. කුමක් උදෙසා මේ අවිචාරවත් ක්‍රියාව කළේදැයි තවමත් කිසිවෙකු දන්නේ නැත.

ඒ සිදු වීම් ඔස්සේ කියැවෙන කතාව අප සිතනවාට වඩා ගැඹුරුය. ලංකාවේ ක්‍රිකට් ගොඩනැඟෙන්නට නොදෙන, ක්‍රිකට් කුණපයක් කර එහි සාරය උරාබොන්නට තතනන කුණු පණුවන් පිළිබඳ කාගේත් අවධානය යොමු විය යුතුය. ඒ ඉහඳපණුවන් ඉවත් නොකර මේ තුවාලයට බෙහෙත් දමා සුව කළ නොහැකිය. පැලැස්තර නොදා පිළියම් සෙවීම වගකිවයුත්තන්ගේ නියත වගකීමය.

Comments