නීතියට උඩින් තවමත් පෙන්වන යාපනේ කේබල් රූපවාහිනි | සිළුමිණ

නීතියට උඩින් තවමත් පෙන්වන යාපනේ කේබල් රූපවාහිනි

කේබලයක එල්ලා ගමන් යන කාර් කේබල් කාර් වුවත් කේබල් රූපවාහිනී යනු එවැනි කේබල්වලින් එල්ලූ රූපවාහිනී නොවේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල කේබල් රූපවාහිනී දක්නට නොලැබුණත් යාපනය පුරාවටම මේ කේබල් රූපවාහිනී දැකිය හැකිය.

මේ දිනවල යාපනයේ කේබල් රූපවාහිනී සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් පැන නැඟී තිබේ. ඒ ඒවා පවත්වාගෙන යෑමට බොහෝ දෙනෙකුට නිසි බලපත්‍රයක් නැති වීමයි. මේ කේබල් රූපවාහිනී යාපනයට පමණක් සීමා වූයේ ඇයිදැයි යන්න විශාල ප්‍රශ්නයකි. එමෙන්ම යාපනය තුළ කේබල් රූපවාහිනී සංස්කෘතියක් බිහි වීමට තරම් මේ කේබල් රූපවාහිනී ජනප්‍රිය වූයේ ඇයි?

මේ පිළිබඳ තොරතුරු විමසීමේදී ගුවන් විදුලියේ තාක්ෂණ නිලධාරියෙකු වන එම්.එල්.සී. පෙරේරා ඒ ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කළේය.

“ මේ ප්‍රශ්නයම යාපනයටත් තිබුණා. ලංකාවේ පිහිටීම අනුව යාපනය පිහිටා ඇත්තේ පහත් බිමකයි. ඒ කියන්නේ වළක් වගේ. ගුවන් විදුලි තරංග පහළට නොයන නිසා යාපනයට රේඩියෝ ඇහුණේ නැහැ. ගුවන් විදුලි කෙටි තරංග හා මධ්‍යම තරංගවලට අමතරව එෆ් .එම් තරංග පැමිණෙන තුරු යාපනයට මේ ප්‍රශ්නය තිබුණා. මොන තරංග ආවත් යාපනයේ පිරිසට ගුවන් විදුලිය හොඳින් ශ්‍රවණය කිරීමට නොහැකි වුණා.”

“ඉන් පසුව රුපවාහිනිය පැමිණියා. නමුත් යාපනයට කලින් ප්‍රශ්නයම තිබුණා. ඊට විකල්පයක් වශයෙන් තමයි කොකාවිල් රූපවාහිනී සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ඇති කළේ. යුද්ධයේ ආරම්භයත් සමඟම කොකාවිල් පළාතේදී රූපවාහිනී ඉංජිනේරු කණ්ඩායමේ හතර දෙනෙකු කොටි අරන් ගිහින් මැරුවා. ඊට පසු ඒ මධ්‍යස්ථානය නඩත්තු කිරීමට කවුරුත් හිටියේ නෑ. කොටි ඒක අල්ල ගත්තා.”

“ මේකට විකල්පයක් විදිහට වවුනියාව මඩුකන්ද කන්දේ රූපවාහිනී විකාශන මධ්‍යස්ථානයක් පිහිටුවනු ලැබුවා. නමුත් ඒ ස්ථානයේ සිට යාපනයේ කෙළවරට දුර ප්‍රමාණය සැතපුම් සියයක් විතරක් නිසා රූපවාහිනිය හොඳින් දර්ශනය වුණේ නෑ.

“ මේ වන විට කොකාවිල් සම්ප්‍රේෂණාගාරය නවීන යන්ත්‍රවලින් සමන්විත නිසා දැන් යාපනයට හොඳින් රූපවාහිනිය දර්ශනය වෙනවා. නමුත් වසර තිස් පහක් විතර යාපනයේ ජනතාව වෙනත් රූපවාහිනී විකාශනවලට හුරු වී තිබීම නිසා අපේ රටේ රූපවාහිනී වැඩසටහන් නැරඹීමට ඒ තරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.''

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව යටතේ පාලනය වූ කොකාවිල් සම්ප්‍රේෂණාගාරය කොටි ත්‍රස්තවාදීන් අතට පත්වීමෙන් පසුව ඒ ස්ථානයෙන් විකාශනය වූයේ කොටි හඬ ගුවන් විදුලියේ වැඩ සටහන්ය.

2002 වසරේදී කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුම අස්සන් කිරීමෙන් පසුව නෝර්වේ රජයෙන් හා ජපානයෙන් කොටි සංවිධානයට නිල රූපවාහිනියක් පවත්වා ගෙන යෑම සඳහා රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍රෝරෝපකරණ ලැබිණි.

ඒ කාලවකවානුවේදී කොටි පාලනය යටතේ තිබුණේ කිලිනොච්චිය හා මුලතිව් පළාත් පමණි. යාපනය සම්පූර්ණයෙන්ම පාලනය කළේ ආරක්ෂක අංශ විසිනි. ආරක්ෂක අංශවලින් ඊට තහංචියක් නොවූවත් යාපනයේ ජනතාව කොටි ලේබලය බලෙන් අල්ලාගැනීමට අකැමැති නිසා ඔවුහු කොටින්ගේ මාධ්‍ය ඇසුරු කිරීමෙන් බැහැරව සිටියහ.

එමෙන්ම රජයේ මාධ්‍ය ඉදිරිපත් කළ ප්‍රවෘත්ති ප්‍රකාශය සමබර නොවන නිසා යාපනයේ ජනතාව එකිනෙකා වෙනත් විකල්ප ක්‍රයාමාර්ග සොයා යන්නට වූහ. යාපනයේ ජනතාවගෙන් විශාල පිරිසක් යුරෝපා රටවල සිටීම නිසා ඒ රටවලින් යාපනයට රූපවාහිනී තාක්ෂණය පියවරෙන් පියවර පැමිණියේය.

යාපනයේ එක් එක් නිවෙස්වල ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා නැරඹීමට හැකි චන්ද්‍රිකා ඇන්ටනා සවි විය. ඔවුන්ට ඒවා මඟින් ඉන්දියාවේ රූපවාහිනී නාලිකා සිය ගණනක් නැරඹීමට හැකි විණි. ඒවායෙහි උතුරේ යුද්ධය පිළිබදව සජීවී දර්ශන චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ දැකගැනීමට හැකි වූ නිසා මේ රූපවාහිනී නාලිකා යාපනයේ ජනතාව අතර එකල ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වූයේය.

යුද්ධයත් සමගම යාපනයේ බොහෝ ජනතාවට රුපියල් දහස් ගණනක් ගෙවා චන්ද්‍රිකා රූපවාහිනී අැන්ටනා මිලට ගැනීමට නොහැකි විය. ඒ සඳහා මාසිකව ගෙවිය යුතු මුදල විශාල විය. මේ අතර මුදල් යහමින් ඇති අලෙවිකරණයට දක්ෂ කිහිප දෙනෙකු කළේ තමන් ලබාගන්නා රූපවාහිනී දසුන් තවත් අවශ්‍ය අයෙකුට සුළු මුදලකට අලෙවි කිරීමය. ඒ සඳහා නිවසෙන් නිවසට ඇදුණේ කේබල්ය. ඒ නිසා යාපනයේ මේ රූපවාහිනී සේවාව කේබල් රූපවාහිනී ලෙස නම් විණි.

කේබල් රූපවාහිනී මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යෑම සඳහා ඊට නිසි බලපත්‍රයක් ලබාගත යුතුය. ආරක්ෂක අමාත්‍යංශය, පොලිස් මුලස්ථානය, විදුලි සංදේශ නියාමන කොමිසම හා තවත් ආයතන කීපයක නිසි සුපරීක්ෂාකාරිත්වයකින් අනතුරුව ඒ සඳහා බලපත්‍රයක් නිකුත් කෙරෙයි.

නමුත් යුද සමයේදී ඒ පිළිබඳ විමර්ශනයට පොලීසියට හෝ ආරක්ෂක අංශවලට ඉසිඹුවක් නොතිබූ නිසා මේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන කිසිම විරෝධතාවක් නැතිව පවත්වාගෙන ගියේය. මේ කේබල් රූපවාහිනී වැඩසටහන් නරඹන එක් නිවසකින් ඔවුන් අය කළේ ඒ කාලයේදී රුපියල් දෙසීයකි. වර්තමානයේද එය රුපියල් අටසීය ඉක්මවන්නේ නැත.

මේ කේබල් රූපවාහිනී සංස්කෘතිය යාපනයේ ජනප්‍රිය වීමට බල පෑ තවත් හේතුවක් විය. මේ මධ්‍යස්ථාන පවත්වාගෙන යන පිරිස එම වැඩසටහන් ප්‍රතිවිකාශනය කිරීමේදී ඉතා සුළු මුදලක් ගෙවා යාපනයේ වැසියන්ගේ උපන්දින සුබ පැතුම් මරණ දැන්වීම් වෙළඳ දැන්වීම් ප්‍රධාන වැඩසටහන් අතර තුර ප්‍රචාරය කිරීම ඇරඹීමය.

ඇතැම් අවස්ථාවලදී රජයේ හදිසි දැන්වීම්ද යාපනයේ දිසාපතිවරයා ඇතුළු රජයේ ඉහළ නිලධාරීහු මේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන වලට බාර දීම පුරුද්දක් කරගෙන සිටියහ. ඊට හේතුව ඒ තරමටම ඒවා ජනප්‍රිය වීමය.

ඒ ජනප්‍රියභාව නිසාම උතුරේ පැවති බොහෝ මැතිවරණවලදී මැතිවරණ අපෙක්ෂකයෝ තම ඡන්ද ව්‍යාපාරය සඳහා කේබල් රූපවාහිනී මධ්‍යස්ථානවල පිහිට පැතූහ.

මේ රටේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ කීපයකදීම යාපනයේ දේශපාලනඥයන්ට ඡන්ද 6ක් හා 24ක් බැගින් වරින් වර ලබාගෙන පාර්ලිමේන්තුවට යෑමට තරම් ආශිර්වාදයක් ඇති තරමට උතුරේ ඡන්ද ව්‍යපාරය බංකොළොත් වූ කාල වකවානුවක් තිබිණි.

මේ ඡන්ද කීපය එකතු කරගැනීමටද කෙබල් රූපවාහිනී ජාලා ඔස්සේ තමන් කළ වැඩ ජනතාවට පෙන්වීමට යාපනයේ දේශපාලනඥයෝ උත්සහ කළහ. තවත් සමහර දේශපාලනඥයෝ තමන්ටම යැයි කියමින් කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන යාපනයේ පිහිටුවා ගත්හ.

මේ කිසිම මධ්‍යස්ථානයක් නිසි අවසරයකින් හෝ ලියාපදිංචි වීමකින් තොරව පවත්වා ගෙන යන ලද කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන නොවීය. නමුත් යාපනයේම බොහෝ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන ලියාපදිංචි කරගෙන ඉතාම විධිමත්ව පවත්වා ගෙන ගිය පිරිසක්ද සිටි නමුත් ඔවුන් දේශපාලනඥයෝ නොවූහ.

යුද්ධය හමාර වී සාමය උදාවීමත් සමඟ යළි කේබල් රූපවාහිනී ආයතන අතර විශාල තරගයක් ඇති විය. ඒ ආයතනවල වැඩ්ඩන් බවට පත් වූයේ එදා කොටි නිල රූපවාහිනී මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් යුද්ධයෙන් ජීවිතය බේරාගත් පිරිසයි. ඔවුන්ට ජපානයෙන් හා නෝර්වේ රාජ්‍යයෙන් ලැබුණු තාක්ෂණික පුහුණුව හා ඥානය නිසා කොටි මාධ්‍ය ජාලවල කටයුතු කළ පිරිස කේබල් රූපවාහිනී මධ්‍යස්ථානවලට විශාල හයියක් විණි.මේ තරගය නිසාම මුළු යාපනයේම කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන බිහි වූයේ හතු පිපෙන්නාක් මෙනි. දකුණෙන් යාපනයට ගිය පිරිස්ද යාපනයේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන ආරම්භ කොට මුදල් ඉපැයුහ.

මේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන විසින් යාපනය පුරාම කේබල් ඇද තිබුණේ එක්කෝ පාරේ තිබූ විදුලි කණුවලය. එසේත් නැති නම් දුරකතන කණුවලය. එසේ ඇද තිබුණු වයරයක් ඔස්සේ වැසි දිනක විදුලිය කාන්දුවීම හේතුවෙන් යාපනය නගරයේ කාන්තාවක මිය යෑම යාපනයේ හොරට පවත්වා ගෙන ගිය කේබල් රූපවාහිනී මධ්‍යස්ථානවලට කණකොකා හඬන තත්ත්ත්වයක් ඇති කළේය.

පොලීසිය ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා අදාළ තොරතුරු අධිකරණයට වාර්තා කිරීමත් සමඟම අධිකරණය පොලීසියට හා නගර සභාවට නියෝග කළේ අනවසරයෙන් පවත්වා ගෙන යන කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසය. ඒ අනුව මේ වන විට අනවසර කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන දාහතක් පමණ ඉවත් කොට තිබේ.

යාපනය මහ නගර සභාවේ නගරාධිපති ආනෝල්ඩ් එමානුවල් මහතා පවසන අන්දමට නිසි අවසරයක් ලබාගෙන ලියාපදිංචියකින් යුක්තව යාපනයේ පවත්වා ගෙන යන කේබල් රූපවාහිනී මධ්‍යස්ථානවලට අමතරව හොරෙන් හා දේශපාලන බලය යොදා ගෙන කෙරෙන කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන හතරක් යාපනයේ ඇත. ඒ මධ්‍යස්ථාන හතර අයත්ව ඇත්තේ යාපනයේ සිටින ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුටය. ඔවුන් විවිධ ආණ්ඩු යටතේ මේ රටේ අමාත්‍යධුර ද දරා තිබේ.යාපනයේ අනවසර කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන ඉවත් කිරීමට නගරය පුරා ගියේ පොලීසියේ කුඩා නිලධාරීන් හා නගර සභාවේ සාමාන්‍ය සේවකයෝය. ඒ අවස්ථාවේදී දේශපාලන බලය පෙන්වූ යාපනයේ ප්‍රබල දේශපාලනඥයෝ දෙදෙනා ඔවුන්ගේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන ඉතිරි කරගත්හ. තවමත් ඒවා ක්‍රියාත්මකය.

ඒ සිද්ධියෙන් උරණ වූ යාපනයේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන අහිමි වූ පිරිස නගරාධිපතිවරයාට එරෙහිව යුද්ධය ප්‍රකාශ කළහ. ඔවුන් කියා සිටියේ පුංචි මිනිසුන්ගේ මධ්‍යස්ථාන පමණක් ඉවත් කිරීම නීති විරෝධී බවයි. එතැනින් නොනැවතුණු ඔවුහු යාපනය අධිකරණයේ නඩුවක් ගොනු කරමින් නගරාධිපතිවරයා ඔවුන්ගේ උපකරණ හා දේපළවලට හානි සිදු කිරීම නිසා ඒ වෙනුවෙන් වන්දි මුදලක් ඉල්ලා සිටියහ. නගරාධිපතිවරයාද යාපනය දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරමින් පවසා ඇත්තේ දේශපාලනඥයන් ඔවුන්ගේ බලය යොදා ගනිමින් කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන කීපයක් යාපනයේ පවත්වා ගෙන යන බවයි.

අධිකරණ නියෝගයක් මඟින් ඒවා ඉවත් කරන නියෝගයක් ලබා දෙන මෙන් නගරාධිපතිවරයා ඉල්ලා සිටියි.

යාපනයේ කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන සඳහා වූ නඩු යාපනය අධිකරණයේ විභාග වෙමින් පවතී. ඒවායෙහි තීන්දු ලැබෙන තුරු විශාල පිරිසක් බලා සිටින අතරතුර යාපනයේ නීති විරෝධී කේබල් රූපවාහිනී මධ්‍යස්ථාන සිය වැඩසටහන් සිරිත් පරිදි විසුරුවා හරිමින් සිටී.

Comments