
ගමනක් යන කල කුඩා හෝ බරක් ඔසවාගෙන යන්නට දරුවාට ඉඩ නොදෙන ඔබ, වසරේ මාස 10ක් තුළ දිනපතා කිලෝ ගණනක බැරි බරක් ඔසවාගෙන යෑම අනුමත කරන්නේ කෙසේදැයි මොහොතක් සිතන්න. කාලයත් සමඟ හරඹ කරන ඔබ, ඔබේ දරුවාට කවා පොවා අන්දවා පාසලට පිටත් කරන්නේ කිලෝ ගණනක බරක් දරුවාගේ පිට මත එල්ලමිනි. ඒ, දරුවා ඉගෙනගන්නා පොත් සහිත පාසල් බෑගයයි. පොත් බෑගයට ඇති ගරුත්වය නිසාම මෙය බොහෝ දෙනකුගේ හිතට වදයක් ගෙන නොදෙනවා වන්නට පුළුවනි. එහෙත් සත්‍ය නම්: ඔබේ දරුවා උදයට යන්නේත් සවසට පැමිණෙන්නේත් තමන්ට උසුලාගත නොහැකි තරමේ බරක් පිටේ රුවාගෙන බවයි.
ලංකාවේ මේ තත්ත්වය මෙසේ වුවත් බොහෝ විදේශයන්හි දරුවන් උදයට පාසල් යන්නේත්, හවසට නිවෙසට එන්නේත් සැහැල්ලුවෙනි. ඔවුන්ට බරක් නොදී අධ්‍යාපනය කරගෙන යෑමට ඒ රටවල හොඳින්ම නිදහස දී ඇත්තේය. පෙළපොත්, සටහන් පොත්, පෑන්-පැන්සල්, කෑම හා වතුර බෝතලය සමඟ බොහෝ විට මේ මල්ලට අමතර පන්ති පොත්ද එක් වන්නේ පොඩි එකාගේ බරටත් වැඩි බරක් සකසමිනි.
සාමාන්‍යයෙන් පහේ ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සිට මේ අවදානම බොහෝ විට සාමාන්‍ය පෙළ විෂයන් දක්වා සිසුන්ට දැඩිව විඳින්නට සිදු වන්නේ මේ අවධියේ මුහුණ දෙන විෂයන් සංඛ්‍යාව මෙන්ම අතිරේක පන්තිද වැඩි වීම හේතුවෙනි. පහ වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවකුගේ පාසල් බෑගය කිලෝ 9කට ආසන්න වන බව සොයාගෙන ඇත්තේය. එයින් 37%කට ආසන්නව ඇත්තේ මුද්‍රිත පොත් හෙවත් පෙළපොත් වන අතර, විෂය ලීවිම් පොත් ඇත්තේ 30%කට ආසන්න ප්‍රමාණයකි. අනෙකුත් ඉඩ වෙන්ව ඇත්තේ පොත් නොවන ද්‍රව්‍යයන්ට බව අනාවරණය වී ඇත.
කෙසේ වෙතත් මේ අධික බරින් යුතු පාසල් බෑගය මේ වන විට දරුවන්ගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් වී හමාරය. පාසල් බෑගයක තිබිය යුතු බර පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතියක් ඇත්තේය. ඒ ප්‍රමිතියට අනුව බෑගයෙහි මුළු බර, දරුවාගේ සිරුරේ බරින් 10%කටත් වඩා අඩු වන්නේ නම් වඩා හොඳ බව තීරණය කර ඇත. එසේම ඒ අගය 15% නොඉක්මවිය යුතු බව අවධාරණය කර තිබේ. ඒ අනුව දරුවන් උසුලාගෙන යන කිලෝ 8ක බර වැඩිහිටියකුටවත් සරිලන බරක් නොවන බව පැහැදිලිය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මේ වන විට බරින් වැඩි පෙළපොත් කොටස් කිරීමක් කර ඇත. මේ නිසා 6,7,8 ශ්‍රේණිවලට මේ වන විට පෙළ පොත් වර්ග 12ක් 13ක් පමණ භාවිත කරති. මෙයිනුත් සමහරක් කොටස් කර ඇතත් එයද මේ ගැටලුවට නිසි විසඳුම් නොදෙන්නේ ඒ සැම පෙළපොතක්ම සාමාන්‍ය බරට වඩා අධික බරින් යුතු වීමය. මෙහි නිසි බර සකසාගන්නට නම් පෙළපොත් තවත් කොටස් තුනකට වක් කැඩිය යුතු වුවත් එයද දැරිය නොහැකි වියදමක් වන්නේය.
මේ පිළිබඳ අදහස් දක්වන බලධාරීන් සඳහන් කරන්නේ පෙළපොතක් යනු දරුවන්ට නිවෙසේ සිට තනිවම පරිහරණය කිරීමට ඇති පොතක් විනා, එය පන්ති කාමරයේ සිට දරුවන්ට පාඩම් ඉගැන්වීමට ඇති පොතක් නොවන බවයි. ගුරුවරුන් කළ යුත්තේ සිය ගුරු අත්පොත්වලින් පන්ති කාමරයේ සිටින දරුවන්ට න්‍යායාත්මක දැනුමක් ලබා දී ඒ පිළිබඳ ස්වයං හැදෑරීමක් නිවෙසේ සිට දරුවන්ට පෙළපොතින් කරන්න සැලැස්වීමයි. එහෙත් අද දරුවකු සිය විෂයයට අදාළ පෙළපොත් පාසලට ගෙන නොගියොත් බොහෝ ගුරුවරු “ඇයි පොත ගෙදර තියලා ආවේ? අම්මට පාඩම් කරන්නද ?“ යනුවෙන් විමසති. බොහෝ විදේශ රටවල පෙළපොත් මඟින් දරුවන්ට ඉගැන්වෙන ක්‍රමවේද ඇත්තේම නැත. දරුවන් පාසලට ගෙන යන්නේද ගෙන එන්නේද එක් පොතක් පමණක් වන අතර, බොහෝ පොත් තබන්නට පන්ති කාමරයේ ඒ වෙනුවෙන් සැකසූ ආරක්ෂිත රාක්කද ඇත. මුලින් ලංකාවේද මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්නට චක්‍රලේඛ නිකුත් කළද ඒ කිසිවක් සාර්ථක වූයේ නැත. පාසල් විෂය මාලාවෙන්ද මේ ගැටලුවට විසඳුම් සෙවිය හැක්කේය.
ලංකාවේ අධ්‍යාපනය ක්‍රියාකාරකම් මත පදනම් වූවක් නොවේ; විභාග මත පදනම් වූවකි. මේ නිසා ලංකාවේ පාසල්වලට පෙළපොත පමණක් නොව; විශාල ප්‍රමාණයේ වැඩපොත්ද දරුවාට ගෙන එන්නට ගුරුවරු බල කරති. විෂයමාලාවද දරුවන්ගේ වයස් මට්ටම් හා අවශ්‍යතා අනුව වෙනස් විය යුත්තේය. පාසල් විෂයමාලාවට දරුවන්ගේ ක්‍රියාකාරකම් වැඩියෙන් ඇතුළත් කළ යුතු වෙයි. වර්තමානයේ බොහෝක් පාසල් ගුරුවරුන් නියමිත කාලසටහන්වලට පරිබාහිරව ඉගැන්වීම්වල යෙදීමද මේ බර උග්‍ර වීමට තවත් හේතුවකි.
පසුගිය කාලයේ මේ පැනයට විසඳුම් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව පාසල් සිසුන්ගේ අධික බෑගයේ බර සීමා කරන්නට සෞඛ්‍යාත්මක පාසල් බෑගයක් හඳුන්වා දුන්නේය. ඒ සඳහා දායක වූයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතාය.
“සාමාන්‍යයෙන් හොඳම පාසල් බෑගය ලෙස අප නිර්දේශ කරන්නේ Backpack හෙවත් උරහිස් දෙකට පටි සහිතව පිටේ එල්ලාගෙන යන බෑගයයි. මේ බෑගයට සිරුරට අවම හානියක් ගෙන දෙන ආකාරයෙන් වැඩි බරක් ගෙන යා හැකියි. එහෙත් ඒ බෑගයේ උස හා උඩ දාරය උරහිස් මට්ටම නොඉක්මවිය යුතු අතර, යටි දාරය තට්ටම්වල මට්ටම නොඉක්මවිය යුතුයි.
ඒ වගේම මේ බෑගය කොටස් කර තිබිය යුත්තේ බර සමබරව බෙදී යන ආකාරයෙන්. ඒ වගේම හොඳ බෑගයක් පළල් හා මැනැවින් කුෂන් කළ ගාංචු සහිත උරහිස් පටිවලන් යුක්ත විය යුතුයි. එහෙම වුණොත් බෙල්ලේ ඇති ලේ නහර හා ස්නායු අඩුම මට්ටමින් තෙරපීමක් සිදු වෙනවා. ඒ වගේම මේ බෑගයේ සිරුරට දරාගැනීමට හැකි වන ආකාරයට ඉණ පටියක් තිබිය යුතුයි. පසුගිය කාලයේ අප කළ පර්යේෂණයකින් පෙන්නුම් කළේ පාසල් දරුවන්ගෙන් 70%ක් පමණ නිරන්තරයෙන් නොකීවත් යමෙකු ඇසුව හොත් ඇඟ පත වේදනා තමන්ට තිබෙන බව පවසා තිබෙනවා. 35%ක් දරුවන් පවසා ඇත්තේ නිරන්තරයෙන්ම මෙවැනි වේදනා තමන්ට පවතින බවයි.
මේ පොත් බෑගයේ බර නිසා දරුවන්ට ඇති විය හැකි සෞඛ්‍ය තර්ජන විශාලයි. විශේෂයෙන්ම දරුවන්ට මස් පිඬු වේදනාව, මාංසපේශි හා සැකිලි ආශ්‍රිත වේදනාවන්, උරහිස් පහත් වීම්, කශේරුකා ඇද වීම්, කශේරුකා ඉදිරියට නෙරීම් වැනි තත්ත්ව ඇති වන්න පුළුවන්. සාමාන්‍යයෙන් දරුවකුගේ ඉරියවු වයස අවුරුදු 10-12 වන විට ස්ථාවර වීමක් සිදු වන නිසා මේ කාලයේ වැරදි ඉරියවුවෙන් සිටිය හොත් එය ස්ථාවර වන්නේ වැරැදි ආකාරයටයි. අද බාහිර රෝගි ප්‍රතිකාර සඳහා පැමිණෙන හන්දි රෝගීන්ගේ ඉතිහාසය බැලුව හොත් එය පාසල් වියේදී සිටම පැවැත එන්නක්.
මේ දරුවන්ගේ රෝගි තත්ත්ව අවුරුදු 40 වෙද්දී එය නිදන්ගත සන්ධි රෝග තත්ත්වයට පත් විය හැකියි. පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කරන්න අපි කොතරම් වෙහෙස මහන්සි වූවත් ප්‍රමාණවත් නැහැ, එයට අදාළ අංශ ක්‍රියාත්මක නොවන්නේ නම්. මේ තත්ත්වයට පිළියම් සැපයීම හැමෝගේම වගකීමක්.“ ඒ වෛද්‍ය කපිල ජයරත්නය.
කෙසේ හෝ මේ සෞඛ්‍යාරක්ෂිත බෑගය පාසල් දරුවන් අතර සාර්ථකව ක්‍රියාත්මක වූයේ නැත. බෑග් නිෂ්පාදකයන්ගේ මාෆියාව ඊට හරස් විය. තමන්ටද දරුවන් සිටින මේ මාෆියා කරුවන් නවත්වන්නට බලධාරීන්ද උනන්දු වන්නේ නැත. දැන් පාසල් දරුවෝ නිහඬවම දුක් විඳිති. මේ බැරි බර හේතුවෙන් පාසල් දරුවන් රෝගීන් වීමේ ප්‍රවණතාව ඉහළය.
(ස්තුතිය: තොරතුරු සැපයූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්න මහතාට)