
මත්කුඩු සහ හිරගෙදර ඇත්තේ නොබිඳෙන බැඳිමකි. “රටේ කුඩු ඉවර කරන්නේ නැතිව කොහොම ද හිරගෙදර කුඩු ඉවර කරන්නේ. කෙනෙකු එසේ අසන්නේ සමච්චලයටය.” ගෙවුණ කාලයේ හිරගෙදර සම්බන්ධව ඇසුණු කතා බොහෝය. එ කතා අතර එල්ලුම් ගහ යළි ක්‍රියාත්මක කරන්නට යන කතාව ද, ඩුබායි හිදී අත් අඩංගුවට ගැනුණු මධුෂ් සමඟ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු සිටින කතාවද වැඩි දෙනෙකුගේ අවධානයට යොමු වූ කතා අතර වේ.
“ හිරගෙදර කුඩු නැති කරන්න බැහැ.” හිරගෙදර පිළිබඳ දන්නා අය ඒ කතාව කියන්නේ වගකීමෙනි. කලක් හිරගෙදරට කුඩු ආවේ වනාතමුල්ල පැත්තෙනි. වනාතමුල්ලෙන් කුඩු එන එක් මඟක් වන්නේ කාන්තා අංශයයි. කාන්තා අංශයේ එක් මායිමක් වන්නේ වනාතමුල්ල සිවලී පුර ප්‍රදේශයයි. කාන්තා අංශයේ තාප්පය එක් බිත්තියක් සේ යොදාගෙන වනාතමුල්ලේ ඇතැම් තැන්වල නිවාස ඉදි කර තිබේ.
මීට මාස කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයට අලුත් අධිකාරිවරයකු පත් කළ විට වැඩිපුරම කලබලයට පත් වූයේ වැලිකඩ කාන්තා අංශයේ ගැහැනුය. ඒ වැලිකඩ කාන්තා අංශයේ යමක්කමක් කළ හැකි ගැහැනු මෝරු ය. ඔවුන් සිය ආවතේවකම් කරගන්නේ අනෙක් ගැහැනුන් ලවාය . ඒ සඳහා වියදම් කරන්නේ බත් පැකට් එකක් බීම බෝතලයක් ආදි දේය. ඒ සියලු ගනුදෙනු වෙන්නේ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් අතරය. මන්දයත් අච්චු සිරකාරියන්ට නොව රිමාන්ඩ්භාරයේ සිටින අයට නිවෙස්වලින් කෑම ගෙන්වා ගන්නට අවසර ඇති බැවිනි.
ඒ බත් පැකට් සනීපාරක්ෂක තුවා ආදිය සමඟ කුඩු පැකට් එකද ඇතුළට එන්නේ කාගෙත් ඇස් වසාය. ගැහැනු පැත්තේ සේම පිරිමි පැත්තේද මේ දේවල්ම සිදු වේ. නඩුවකට පෙනි සිටීම සඳහා එළියට ගොස් පැමිණෙන සිරකරුවා ඇතුළට එන්නේ එක්කෝ ගංජා සුරුට්ටු සමඟය . නැත්නම් කුඩු සමඟය. නිලධාරින් ඔවුන් සෝදිසි කළද නිලධාරීන්ගේ ඇස් වසා ජංගම දුරකතන කුඩු ආදිය ගෙන එන්නට හිරකරුවෝ සමත්ය.
ඇයි මේවා අල්ලන්න බැරි.? දිනක් සිරකරුවන්ගෙන් මෙන්ම නිලධාරීන්ගෙන් ද අපි ඇසුවෙමු.
“ඇතැම් වේලාවට සෝදිසි කරන නිලධාරියා වුණත් විශ්වාස නැහැ. ගන්න පඩියට අමතරව කීයක් හරි අතමිට මොළවාගන්න සමහරු කැමතියි. එහෙම ලැබෙන නිසයි සමහරු ඒවට උදව් කරන්නේ. තව සමහරු නම් සෝදිසි කරන නිලධාරියාගේ ඇස්වහලා හිරගදෙරට කුඩු ගේනවා. සමහරු ‘බංකරේ‘ ගහගෙන එනවා.(මොවුන් බංකරේ යනුවෙන් හඳුන්වන්නේ ගුද මාර්ගයයි. )
තව සමහරු කටේ දිව යට හරි තල්ලෙ හරි කුඩු හංගගෙන එනවා. බන්ධනාගාරවලට බොඩි ස්කෑනර් නැහැනේ. එහෙම තිබුණා නම් ඇඟේ හංගාගෙන එන ඒවා හොයාගන්න තිබුණා. වැලිකඩ හිරගෙදර තියෙන්නේ පාර්සල් සෝදිසි කරන ස්කෑනර් එකක් විතරයි.”
හිරගෙදරට එන බඩු ගැන ඇසු විට නිලධාරියෙකු කීවේ එවැනි කතාවකි.
ගෙවුණ කාලය තුළ සිරකාරයන්ට අමතරව නිලධාරියෝ ද හිර ගෙදරට කුඩු ඇද්දාහ. ඒ සඳහා හිරකරුවෝ වැය කළ මුදල රුපියල් ලක්ෂ ගණනකි. විටෙක තොප්පියේ සඟවාගෙනද ද තවත් විටෙක සපත්තු මේස් අස්සේ සඟවාගෙන ද නිලධාරිහු ඇතුළට බඩු ගෙන ගිගහ. හිරගෙදර නිලධාරින් සෝදිසි කිරීම කරන්නේ බුද්ධි අංශය මඟිනි. බුද්ධි අංශය නිලධාරින් සෝදිසි කරන්නට කෙනෙකු නැත . එය හොරාගේ අම්මාගෙන් පේන අහනවා වැනි වැඩකි. අවසානයේ බුද්ධි අංශයේ ඇතැම් අයද ඇතුළට කුඩු ගෙන ගොස් හසු වුහ.
බුද්ධි අංශයේ අැතැම් නිලධාරීන් කරන අකටයුතුකම් නිසා පසුගියදා බුද්ධි අංශය ද විසුරුවා හැරිණි. නැවත තෝරාගත් නිලධාරීන් සිය දෙනෙකුගෙන් බුද්ධි අංශය ආරම්භ කර ඇත. හිරගෙදර සිට අපරාධ මෙහෙය වන්නෝ මෙන්ම ඊෂි කෑස් ක්‍රමයට මුදල් ගරන්නෝද සිටිති. ඒ සියල්ලම කෙටි කාලිනය. මන්ද යත් කුමන හෝ ක්‍රමයකින් එවා නිතීයේ රැහැනට හසු වන නිසාය. නමුත් ඒ හැම වරකම මේ සියලු අකටයුතුකම් නව ක්‍රමයකින් යළිත් සිදු වේ.
හිරගෙදරට එන වෛද්‍යවරුන් ගේට්ටුවේදි සෝදිසි කරන්නේ නැත. අනෙක නම් ඇතැම් වෛද්‍යවරුන් අකටයුතුකම් කරති යි සිතන්නේ ද නැත. මීට මාස කිහිපයකට පෙර සිරකරුවන්ට කලක් තිස්සේ අරක්කු ගෙන ගොස් දුන් වෛද්‍යවරයෙක් ද හසුවිය. මේ වන විට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට විශේෂ කාර්ය බළකාය යොදවා තිබේ. වැලිකඩ බන්ධනාගාර සංකීර්ණයටද මේ ආරක්ෂාව යොදන්නට කටයුතු කළ ද තවමත් එය ක්‍රියාත්මක වී නැත.
දැන් හිර ගෙදරට කුඩු ගෙන එන අලුත්ම ක්‍රමය වී ඇත්තේ සීනිවලට කලවම් කරගෙන ඒමය. එසේ ගෙන එන්නේ අයිස් නම් වර්ගය යැයි කියැවේ. ඒ නිසා රක්ෂිත බන්ධාගාර ගතව සිටින්නන්ට නිවෙසින් සීනි ගෙන ඒම ද තහනම් ය. දැන් සිරකරුවන්ට ගෙන එන සීනි පිටි ආදිය ගත යුත්තේ හිරගෙදර ඇති කැන්ටිමෙනි. සීනි තේ කොළ පිටි ආදි සියල්ල සීල් කර දිම නිසා දැන් නිලධාරින් ඒ වගකිමෙන් නිදහස්ය.
වාරියපොළ රිමාන්ඩ් බන්ධානාගාරයට දැන් සීනි ගෙන යෑම සපුරා තහනම්ය. ඒ හිරගෙදර කැන්ටිමක් නැති බැවිනි.
සිරකරුවන්ගෙන් පමණක් නොව ඇතැම් නිලධාරින්ගෙන්ද බන්ධනාගාරය ආරක්ෂා කරගැනීම විනය රැකගැනීම අසීරුය. මාකදුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ බන්ධනාගාර නිලධාරීන් අතර සිටින්නේ යැයි කියන ලලිත් කුමාර ද මාකඳුරේ මධුෂ්ගේ ගමේ අයෙකි. ඔහු සම්බන්ධව විවිධ කතා පැතිර ගොස් ඇත.
කළුතරදී සමයං ඝාතනයට ඔත්තුව දුන්නේ මොහු යැයි ද ඇතැමෙක් පවසති. සේවයේ යෙදි සිටින කාලයේ ඔහු ද බොහෝ ඇට්ටර වැඩ කළ අයෙකි. මොහු ගැන දන්නා අය ඔහු පිළිබඳ ප්‍රසාදයෙන් කතා කරන්නේ නැත. කලක් බුද්ධි අංශයේ සිටි ලලිත් නැමැත්තා අයහපත් කල්කිරියාව නිසා බුද්ධි අංශයෙන් ඉවත් කෙරිණි. ඉන්පසු එළියේ ආරක්ෂාව සඳහා ඔහු යොදවනු ලැබීය. ඒ නීතියට හසු වූ එක් අයෙක් පමණි. එවැනි තවත් අය හිරගෙදර නැතුවා නොවේ.