
ගයාන් කුමාර වීරසිංහ
අමිල මලවිසූරිය
පොලීසියෙන් යැයි කියාගත් පිරිසක් පැමිණ බූස්ස තරුණයන් දෙදෙනෙකු රැගෙන ගොස් අතුරුදන් කිරීම පිළිබඳ තිරශ්චීන අපරාධය මේ වන විට විසඳී හමාරය. බූස්ස රත්න-උදාගම විසූ 33 හැවිරිදි තිදරු පියෙකු වන මංජුල අසේල කුමාර සහ 31 හැවිරිදි එක් දරු පියෙකු වන රසින් චින්තක පසුගිය මස 23 වැනි දා බදාදා පෙරවරු 10.30ට පමණ එලෙස පැහැරගෙන යෑමෙන් අනතුරුව එදිනම මරා දමා පුලුස්සා ඇති ආකාරය දැන් හෙළි වී තිබේ. මේ අපරාධය පසුපස අප මුලින් කී අයුරින්ම සිටින්නේ පොලිසිය ය.
මේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා නීති විරෝධී ගිනිඅවි කුලියට ලබාදීමේ සිද්ධිවලට යම් සම්බන්ධයක් ඇතැයි කලක සිට පොලිසිය සැක කර තිබිණි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා විසූ ගමට පැමිණි ටී 56 ගිනි අවියෙන් සන්නද්ධ වූ 13 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් ඔවුන් පැහැරගොස් තිබිණි. ඒ කළු පැහැති කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථයකින් සහ සුදු පැහැති මෝටර් රථයකිනි. රසින්ව පැහැරගෙන ගොස් තිබුණේ ඔහුගේ නිවෙසේ රැඳි සිටියදීයි.
රසින් සහ මංජුල පැහැරගෙන ගොස් දින කිහිපයක් ගතවෙද්දී එම ප්‍රදේශයේ සංචාරය කළ අපි ඒ සම්බන්ධව ලිපියක් සැපයුවෙමු. ඒ 'බූස්සට මරණ බිය ගෙනෙන පොලිස් අවනඩුව' යන මැයෙනි.
දැන් ඒ තිරශ්චීන පොලිස් අවනඩුවේ තතු පොලිස් පරීක්ෂණවලින්ම අනාවරණය වෙමින් තිබේ.
සිද්ධිය වූ දා සිට රසින්ගේ සහ මංජුලගේ පවුල්වල අයට අදාළ පොලිස් ස්ථානවලින් ලැබුණේ කුඩම්මාගේ සැලකිලියි. එදා අප රත්න-උදාගමට ගිය මොහොතේදී දරු පැටියෙකු මෙලොව බිහි කිරීමටද සිටින රසින්ගේ ගැබිනි බිරිය හඬා වැටෙමින් කීවේ මෙවන් කතාවකි.
"ගෙදරින් 10.10ට පමණ ගිහින් විනාඩි දහයක් ගියේ නෑ පණිවිඩේ ආවා මගේ මහත්තයයි, මංජුල අයියයි පොලිසියෙන් ඇවිල්ලා අරන් ගියා කියලා. ඉතින් අපි ඒ වේලාවෙම රජ්ගම පොලිසියට ගියා. පොලීසිය අපේ පැමිණිල්ල බාරගත්තෙත් නෑ. අපට රජ්ගම පොලිසියෙන් කීවා, දැන් ගෙදර යන්න... කොහේ අරන් ගියත් පහ වෙනකොට නිව්ස් එකක් ඒවි කියලා. අපි එහෙම්ම ගාල්ල පොලිසියට ගියා. ගාල්ලෙන් කීවා, යන්න හවසට මෙසේජ් එකක් එයි කියලා. ඉතින් එහෙනුත් ආවා. ඒත් අපිට කිසිම මෙසේජ් එකක් පොලිසි දෙකෙන්ම ආවේ නෑ. පස්සෙ හවස හයයි තිහට විතර ආයෙ රජ්ගම පොලිසියට ගියා. ඒ ගියාම මෙසේජ් එකක් ආවේ නෑ කියලයි පැමිණිල්ල ලියාගත්තෙ. දැන් මොකද්ද වෙලා තියෙන්නෙ කියලා හෙළි වෙනවානේ. අපට කිසිම පිළිසරණක් නෑ . තියෙන එකම සරණ මාධ්‍යයේ පිහිට පමණයි. " පැහැරගැනීමේ සිද්ධිය ගැන ගමේ අය අපට කීවේ එලෙසය.
නිර්නාමික ලිපිය
දිගින් දිගටම මාධ්‍ය මේ පැහැරගැනීමේ අවනඩුව ගැන ලෝකයා දැනුවත් කරමින් සිටියදී පසුගිය හය වැනි දා මංජුලගේ බිරිය සමන්තිට නිරනාමික ලිපියක් ලැබුණේ මාතර නූපේ පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරින් පිරිසකගෙනි.
උපපොලිස් පරීක්ෂක පත්මසිරි නමැති අයෙකුගේ නමක් සඳහන් ලිපින කවරයේ බහා 2784 දරන අංකය සහිත ලියාපදිංචි තැපැලෙන් ලැබුණු ලිපිය තැපැල් කර තිබුණේ පස් වැනි දා මාතරිනි. එම ලිපියේ සඳහන් කර තිබුණේ මෙසේ ය.
"ඔයාලයි ගෙදර පිහිටි ගෝනපිනුවල මංජුල අසේල සහ ඔහු සමඟ කොස්ගම රසිත් චින්තක යන දෙන්නා 2019.01.23 දින කළු පාට කේ.ඩී.එච්. වෑන් රථයකින් සහ සුදු පාට කාර් රථයකින් අරගෙන ගියාය. ඔයාලට දන්වන්නැයි මේ ලිපිය ලියන්නෙ.
ඔවුන් දෙන්නා මාතර නුපේ හංදියේ තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයේ ඕ.අයි.සී. රෝහණ සහ අයි.පී. නිශාන්ත ඇතුළු කණ්ඩායමක් තමයි අරගෙන ගියේ. ඉන් එක් අයෙකුට ගහන කොට මැරුණා. අනෙක් කෙනා ඒක දැක්කා. එම නිසා අනෙක් කෙනා දැක්ක නිසා ඔහුත් මැරුවා. දෙදෙනාම මේ වන විට පුච්චලා මරලා අවසන්.
කළු පාට කේඩීඑච් වෑන් එක අයි.පී. නිශාන්තගේ යාළුවකු වන අක්මීමන පොලිස් වසමේ පස් අනුර නමින් ප්‍රසිද්ධ අයෙකුට අයත් එකක්. ඔහු හොරට පස් කපලා අදින කෙනෙක්. ඒ නිසා අක්මීමන පැත්තෙ ඕන කෙනෙක් දන්නවා.
මේ ලියුම කාටවත් පෙන්වන්න එපා. විස්තර ටික දැනගෙන ජනාධිපතිට හෝ වගකිවයුතු තැනකට පැමිණිලි කරන්න. දකුණු පළාත් බාර ඩී.අයි.ජී. මේක යට ගහනවා ඔහුගේ නිලධාරින් බේරන්න. මේකට ගාල්ලෙ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන මහතා ද සම්බන්ධයි.
කවුරු වුණත් මිනිස්සු මරනවට අපි කැමැති නැහැ. අපි මාතර නූපේ කාර්යාලයේ පොලිස් නිලධාරීන්."
එලෙස ලැබුණු ලිපිය පිළිබඳ අදාළ පොලිස් ස්ථාන එතරම් තැකීමක් නොකළේය. එහෙත් පසුගිය 13 වැනිදා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ඍජු මැදිහත් වීමෙන් මේ අවනඩුව ගැන පරීක්ෂණයක් පැවැත්වීමට බාර කෙරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ නිලධාරීහු කඩිනම් පියවර ගනිමින් පසුගිය 18 වැනි දා ලිපියේ නම සඳහන් වී තිබූ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ විශේෂ ඒකකයේ අයි.පී. නිශාන්ත හෙවත් කපිල නිශාන්ත ද සිල්වා ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලයේදී අත්අඩංගුවට ගත්හ. තවද එම ඒකකයේ කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගෙන දිගින් දිගමට ප්‍රශ්න කළහ. ඒ නින්දිත අපරාධයේ සියල්ල චිත්‍රපට ජවනිකාවක් සේ දිගහැරෙන්නේ ඉන් අනතුරුවය.
සියල්ල හෙළිදරවු වූ ආකාරය
රත්ගම ව්‍යාපාරික තරුණයන් දෙදෙනාට සැබෑවටම කුමක් සිදුවූදැයි යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියල්ල සාක්ෂි සහිතව පැහැදිලවම දැන් අනාවරණය කරගෙන හමාරය. පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ඇතුළු හත් දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් විසින් රසීන් චින්තක සහ මංජුල අසේල නම් වූ ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැරගෙන ගිය ආකාරය තහවුරු කර ඇත. ඔවුන් පැහැර ගන්නේ මේ දෙපළ සතුව ගිනි අවියක් ඇතැයි ලැබී තිබුණු තොරතුරකටය.
මාතර නුපේ හංදියේ තිබෙන දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් එම පැහැරගැනීම කර තිබිණි. සිදුවීම පෙළ ගැසී තිබුණේ නිර්නාමික ලියුමේ තිබුණු අයුරින්මය. පසුගිය ජනවාරි 23 වෙනිදා පෙරවරුවේදි පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ව්‍යාපාරිකයන් දෙදෙනා පැහැර ගන්නේ වෑන් රථයකින් සහ කැබ් රථයකිනි. වෑන් රථය ඔහු ඊට පෙර සේවයේ නිරතව සිටි අක්මීමන පොලිස් වසමේ පදිංචි ව්යාපාරිකයෙකුගේය. එම රථය ඔහු ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ගන්නේ සිය මව අසනීප වී සිටින බැවින් වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කරන්නට රැගෙන යන්නට යැයි කියාය. අනතුරුව නිශාන්ත කර තිබුණේ එම රථයෙන් තරුණයන් දෙදෙනා පැහැරගෙන යෑමය. නිවැරදි පිළිවෙත නම් අත්අඩංගුවට ගත් පුද්ගලයන් රැගෙන යා යුත්තේ මාතර පිහිටි පොලිස් ඒකකයටය. එසේ වූවත් ඔවුන් දෙදෙනාව නිශාන්ත ඇතුළු කණ්ඩායම විසින් රැගෙන යන්නේ අක්මීමන ගොනාමුල්ලේ පිහිටි පාළු නිවසකටය. කන්දක් මුදුනේ පිහිටි එම නිවස වධකාගාරයක් කරමින් නිශාන්ත ඇතුළු පොලිස් කණ්ඩාවම ව්‍යාපාරිකයන් දෙදනාට පහරදෙමින් ක්‍රෑර හිංසනයට ලක් කළ බව කියැවිණි. ඒ ගිනි අවියක් ඉල්ලාය.
තමන් සතුව ගිනි අවියක් නැති බව ව්‍යාපාරිකයන් වේදනාවෙන් මිරිකෙමින් පවසන විට මේ පොලිස් කණ්ඩායම ඔවුන්ට පහර දී තිබුණේ මෘගයන් ලෙසිනි. හෙළි වී ඇති කරුණු අනුව එම පහර කෑම් ඉවසා ගන්නට නොහැකිව රසීන් දින්තක මිය ගොස් තිබේ. එම මරණය සඟවන්නට මංජුලද ඝාතනය කරන්නට ඇතැයි දැනට ඇති තොරතුරු සනාථ කරයි.
සියල්ල රහසක් ලෙස තබා ගන්නට කථිකාකර ගන්නා පොලිස් කණ්ඩායම මළ සිරුර විනාශ කරන්නට තීරණය කරන්නේ ගිනි තබාය. ඒ වළ දැමීමක් හෝ මුහුදට විසි කිරීමක් කළහොත් එය හසුවන්නට හැකි බැවිනි. එබැවින් ඔවුන් මළ සිරුර පුලුස්සා විනාශ කිරීමට තීරණය කරන්නේ වලස්මුල්ලේ පල්ලෙකන්ද රක්ෂිතයේදීය.
රාත්‍රිය වන තුරු පොලිසිය මළ සිරුරු ගොනාමුල්ලේ නිවසේ තබාගන්නී. අනතුරුව මළ සිරුරු වලස්මුල්ලට රැගෙනගොස් ඩීසල් දමා ගිනි තබයි. ඒ පල්ලෙකන්ද රක්ෂිතයේ ජලය බැස යෑමට ඇති ආරකට දමාය. මළ සිරුරු දෙක පිලිස්සී අඟුරු වන තුරු පැය මතර පහක් එහි රැඳී සිටි ඔවුන් නැවත සිය සේවා ස්ථානය වන මාතරට එන්නේ කිසි දිනක මෙම ද්විත්ව ඝාතනය හෙළි නොවනු ඇතැයි අපේක්ෂාවෙනි.
එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දක්ෂ විමර්ශනයන් ඔස්සේ දැන් එම අපරාධයේ මූලික තොරතුරු හෙළි කරගෙන හමාරය. ද්විත්ව ඝාතනයෙන් හරියටම මසක් යන විට ඝාතනයේ සියලු රහස් එළියට එන්නේ එම පොලිස් කණ්ඩායමේ දෙවැනි සාමාජිකයා ලෙස අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදීය. පොලිස් සේවයට තවමත් ආධුනිකයෙකු වන විරාජ් මධුසංක නැමැති එම උපපොලිස් පරීක්ෂකයා එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් ඒ වන විටත් තැවෙමින් සිට ඇත. ඔහු ඒ සියල්ල හෙළි කරන්නේ හිතට සහනයක්ද පතමිනි.
කපිල නිශාන්ත ද සිල්වා
සිද්ධිය සම්බන්ධ ප්‍රධානම සැකකාර නිලධාරියා පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වාය. ඔහුගේ පැටිකිරියත් දැන් හෙළි වෙමින් තිබේ. නිශාන්ත සිය පොලිස් සේවයේ වැඩි කාලයක්ම සේවය කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේය. යුද්ධය දරුණුවටම පැවැති වකවානුවේ ඔහු සේවයේ නිරතව සිටියේ නැගෙනහිර පළාතේය. මෝටාර් භාවිතය සම්බන්ධව විශේෂඥ දැනුමක් තිබූ ඔහු කලක් ඒ විෂය පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කළේය.
එහෙත් එකල එහිදී එල්.ටී.ටී.ඊ.යෙන් අල්ලාගත් බැකෝ යන්ත්‍රයක් අලෙවි කිරීමට සූදානම් වීමක් සම්බන්ධයෙන් චෝදනාවක් ඔහුට එල්ලවී තිබිණි. ඒ සම්බන්ධයෙන් නිශාන්තට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වූ අතර වැඩ තහනමකට ලක් නොවී ඔහු රැකියාව බේරාගන්නේ තමාට පිළිකාවක් වැලඳී ඇතැයි වෛද්‍ය වාර්තාවක් ලබාදෙමින් බව කියැවිණි. එහෙත් පසුකාලීනව අනාවරණය වූයේ එම වෛද්‍ය සහතිකය ව්‍යාජ එකක් බවය.
එම පොලිස් පරීක්ෂකවරයා ආබාධිත තත්වයේ සිටින්නෙකි. ඔහු වැලිකඩ බන්ධනාගාරයේ ගැටුම පැවැති අවස්ථාවේදි විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා වන නියොජ්‍ය පොලිස්පති රණවන සමග මෙහෙයුමට සහභාගී වූවෙකි. එහිදී ඔහු බන්ධනාගාර රැඳවියන්ගේ වෙඩි ප්‍රහාරයකටද ලක් විය.
පොලිස් විශේෂ කාර්ය බළකායෙන් ඔහු සාමාන්‍ය රාජකාරි සඳහා පොලිසියට යොමු කෙරෙන්නේ මෙයට මාස හය හතකට පෙරය. ඔහුට පත්වීම ලැබෙන්නේ ගාල්ලලේ අක්මීමන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසිනි. මාස දෙක තුනකට ඔහුට එහි සේවයේ නිරතවන්නට ඉඩක් නොවීය. ඔහුට එරෙහිව මහජන පැමිණිලි ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබෙන්නට ගත්තේය. වතු අධිකාරීවරයෙකු සමඟ එක්ව වතු සේවකයෙකුට මත්කුඩු පැකට් දමා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ බව ඒ එක් චෝදනාවකි. තවත් චෝදනාවක් වන්නේ බූරු පොලිකින් අත්අඩංගුවට ගත් මුදල් ඔහු සිය පෞද්ගලික පරිහරණයේ තබාගත් බවටය.
මේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඔහුට ස්ථාන මාරුවීමක් ලබාදෙන්නේ පෝද්දල පොලිසියටය. ඒ ස්ථානාධිපති වගකීමක් නැතිවය. එම නියෝගයට අවනත නොවූ ඔහු දකුණු පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති මඟින් සිය ස්ථාන මාරුවීම අවලංගු කර ගනිමින් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ඇති විශේෂ විමර්ශන ඒකකයේ සේවයට ගියේය. ඔහු අවසනායේදී මේ තිරශ්චීන අපරාධයේ ප්‍රධාන සැකකරු වී සිටී.
සිවිල් මිනිසුන් දෙදෙනෙකු මරා පුච්චා දමා ඇත. ඔවුන්ට එරෙහිව අඩුම තරමේ අධිකරණයක හෝ පොලිසියක ලියැවුණු අපරාධ චෝදනාවක්වත් නැත. දරුවන් සිවු දෙනෙකුට පියවරුන් දෙපළක් අහිමි වී ගොස්ය. තවත් දරුවකුද මෙලොව බිහි කිරීමට සිටින රසින්ගේ බිරිය සහ මංජුලගේ බිරිය ඇතුළු ඥාති හිතමිතුරන් සියලු බලධරයන්ගෙන් විමසන්නෙ මෙවන් අපරාධයක් සිදු කළේ කුමන වරදක් නිසා දැයි යනුවෙනි. සියලු කරුණු පෙළ ගැසෙන්නේ ඇසින් දුටු සාක්ෂි ඔස්සේය. නීතිය සියතට ගෙන අවිචාරවත්ව මිනී මරන අපරාධකාරයන් සම්බන්ධව නීතිය ඒ ලෙසම ක්‍රියාත්මක වන තුරු රටම බලාගෙන සිටී.