මේ ශරීරයත් හරියට නගරයක් වගේ! | සිළුමිණ

මේ ශරීරයත් හරියට නගරයක් වගේ!

අද ලිපියට පාදක වන්නේ 'කිංසුඛෝපම' සූත්‍ර දේශනාවයි. කෑල ගසක් උපමා කරගනිමිනුයි බුදු රජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මය දේශනා කොට තිබෙන්නේ. දවසක් එක්තරා භික්ෂුවක් තවත් භික්ෂුවක ළඟට ගිහින් මෙහෙම ප්‍රශ්නයක් නැඟුවා: "ඛෙත්තාවතාවෝ ආවුසෝ භික්ඛුණෝ, අස්ස සං සුවිසුද්ධංහෝතී?" "ඇවැත්නි, භික්ෂුවගේ දර්ශනය පිරිසුදු වන්නේ කුමකින්ද?" මේ පැනයට විසඳුම් සොයන භික්ෂුවට එසේ ඇසීමට හේතුවකුත් තිබුණා. උන් වහන්සේ බොහෝ ශ්‍රද්ධාවෙන් බුද්ධශාසනයේ පැවිදි වූ කෙනෙක්. උන් වහන්සේ කැමැතියි මාර්ගඵල අවබෝධ කරගනිමින් මේ සසරින් නිදහස් වීමට. මේ ප්‍රශ්නය ටිකක් ගැඹුරුයි. ඉස්සර වෙලා අපි පැහැදිලි කරගනිමු. මොකක්ද මේ 'දර්ශනය' කියන්නේ කියලා.

'දර්ශනය' කියලා මෙහිදී දැක්වෙන්නේ සෝවාන් මාර්ගයයි. එසේ කීමට හේතුව: ඒ මාර්ගයේ ගමන් කරන කෙනාට යම්කිසි දවසක ලෝකෝත්තර මාර්ගය දර්ශනය වනවා. අප ගමන් මේ කරන ලෞකික මාර්ගයට එය හුඟාක් දුරයි. මේ ලෝකෝත්තර මාර්ගය සති ගණන්, මාස ගණන්වලින් පැහැදිලි කරන්න පුළුවන් එකක් නොවෙයි. එත් මේ මාර්ගයේ ගමන් කරන්නාට එක් ඇසිල්ලක සෝවාන් ඵලයට පත් වන්න හැකි වනවා. අන්න ඒ ලෝකෝත්තර මාර්ගයයි 'දර්ශනය' කියලා මෙහිදී හැඳින්වෙන්නේ. දැන් අපි මේ 'දර්ශනය' කියන වචනය භාවිත කරන්නේ ඇයි කියලා පැහැදිලි කරගනිමු.

අඳුරු කුටියේ කණමැදිරි එළිය

'දර්ශනය' කියලා අප සාමාන්‍යයෙන් කියන්නේ දකිනවාට-පෙනෙනවාට. ලෝකෝත්තර මාර්ගයට මේ වචනය භාවිත කරන්න හේතුව පළමු වතාවට නිවන දර්ශනය වීමයි; සක්කාය දිට්ඨි, උද්දච්ච-කුක්කුච්ච, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදි සංයෝජන ප්‍රහීණ වනවාත් සමඟ ඒ මෙහොතේම, මොහොතකට නිවන ස්පර්ශ වීමට පටන්ගැනීමයි. පළමු වතාවටයි මේ නිර්වාණය පිළිබඳව විඳීමට ලැබෙන්නේ. ඒක උපමාවකින් දක්වා තිබෙන්නේ මෙහෙමයි: අතිශය අන්ධකාර කුටියක් තිබෙනවා. ඒ අඳුරු කුටියට කණමැදිරි එළියක් ගෙන ගොස් ඇතුළේ ඇති දේවල් ඒ එළියෙන් දකිනවා. ‍මේ වගේම සෝවන් මාර්ගයට පිවිස සිටින කෙනාට සුළු මොහොතකට නිවන ඉතා ස්වල්පයක් දර්ශනය වෙනවා; ඒ වගේම නිවනේ ඇති ශාන්ත සුවය අත්විඳින්න ලැබෙනවා. ඒ නිසා සෝවාන් මාර්ගයට 'දර්ශනය' කියන වචනය භාවිතා කරනවා. මෙලෙස 'දර්ශනය' සිදු වන වාර හතරක් තිබෙනවා. පළමු වරට දර්ශනය වන්නේ සෝවාන් මාර්ගයට පත් වූ විටයි. දෙවැනි වතාවට සකෘදාගාමි මාර්ගයෙන්. තුන්වැනි වතාවට අනාගාමි මාර්ගයෙන්. සිව්වැනි වතාවට අරිහත් මාර්ගයෙන්. දර්ශනය පිරිසුදු වන්නේ රහතන් වහන්සේ කෙනකු බවට පත්වීමෙන් පසුවයි.

ස්පර්ශය හැඳිනීමෙන් අවබෝධයට

ඉතින් 'දර්ශනය පිරිසුදු වන්නේ කුමකින්ද?' අර භික්ෂුව විමසූ විට අනෙක් භික්ෂුව මෙහෙම පවසනවා "අසවල් ගමේ අසවල් විහාරයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ මාර්ග-ඵල අවබෝධ කරගත් කෙනෙක්, උන් වහන්සේගෙන් අහන්න' කියලා. අර භික්ෂූන් වහන්සේ ඒ කියන ගමේ ඒ රහතන් වහන්සේ වෙත ගොස් ගෞරව සම්ප්‍රයුක්තව තම පැනය විමසනවා. උන් වහන්සේ පිළිතරු දෙනවා: "යථෝඛෝ ආයුසෝ භික්ඛු, චන්නං පස්සායතනානං සමුදයංච අත්තංග මතායතනං පජාති එත්තාවතාඛෝ ආවුසෝ භික්ඛුණෝ සුවිසුද්ධෝ." "මේ සසරින් නිදහස් වීමට නම් ඇවැත්නි, යම් කලක භික්ෂුවක ස්පර්ශ ආයතන අවබෝධ කරගත්තා නම්, ස්පර්ශයේ ඇති ඇතිවීම සහ නැතිවීම අවබෝධ කරගත්තා නම්, එදාට ඒ තැනැත්තාගෝ දර්ශනය පිරිසුදු වනවා" කියලා. 'ස්පර්ශ' කියලා පොදුවේ කියන්නේ යමක් ගෑවීමටයි. එහෙත් පාළියෙන් 'ස්පර්ශ' කියන්නේ ඒ අරුත නොවෙයි. පාලියෙන් ස්පර්ශයට කියන්නේ එකතු වීම කියලා වගේ තේරුමක්. මෙතැන එකතු වීම කියන්නේ කරුණු තුනක එකතුවකටයි . බුද්ධ ශාසනයේ ස්පර්ශ හයක් තියනවා. මොනවාද ඒ හය. ඇස මඟින් රූපයයි සිතයි එකතු වෙනවා. ඇස-රූපය-සිත: කරුණු තුනයි. එය ඇසේ ස්පර්ශයයි. මේ විදිහට සියලු ආයතනවලදී කරුණු තුනක් එක් වී ස්පර්ශය ඇති වනවා. ඇස, කන, නාසය, දිව, කය මනස සමඟ එකතු වීමෙන් මේ ස්පර්ශය සිදු වනවා. මේ ස්පර්ශය ඇතිවීම නැතිවීම සපුරා වැටහුණු දවසක නිවන පරිපූර්ණත්වයට පැමිණෙන බව බුදුන් වහන්සේ දේශනා කළා.

මේ කතාව අනුව ඒ රහතන් වහන්සේ රහත් වී තිබෙන්නේ ස්පර්ශය පිළිබඳ විදර්ශනා වඩා-ලායි. ඒත් මේ පිළිතුරින් ප්‍රශ්නය ඇසූ භිකෂුව සෑහීමට පත් වුණේ නෑ. උන් වහන්සේ කල්පනා කළා: 'ස්පර්ශය විතරක්ද තිබෙන්නේ? මේ සංසාරෙන් එතෙර වීමට නම් තවත් දේ අවබෝධ කළ යුතුව තිබෙනවා. එනම්: වේදනා, සඤ්ඤා, පංච උපාදන ස්කන්ධ, පටිච්ඡ සමුප්පාද තිබෙනවා‍. මේ කිසිවක් අවබෝධ කරන්නේ නැතිව මේ භික්ෂුව ස්පර්ශය පමණක් අවබෝධ කරගත්තා නම් ඇති කියලා කියන්නේ කොහොමද?. මේ තරම් විශාල දෙයක් ශාසනයේ තිබියදී මේ ස්වාමින් වහන්සේ පිළිතුරු දෙන්නේ සුළු දෙයක් ගැන විතරයි!' කියලා. එසේ සිතා උන් වහන්සේ ගියා තවත් භික්ෂූන් වහන්සේ නමක ළඟට; ගිහින් අහනවා: "දර්ශනය පිරිසුදු කරගන්න මම කැමැතියි. කාගෙන්ද මෙයට උපදෙස් ගන්නට ඕනෑ?". "අසවල් ගමේ, අසවල් නමින් භික්ෂුවක සිටිනවා. උන් වහන්සේ කරා ගොස් විමසන්න" යි පිළිතුරු ලැබෙනවා. මේ කියන ස්වාමීන් වහන්සේත් රහතන් වහන්සේ නමක්.

පංචුපාදානස්කන්ධ වැටහීමෙන් අවබෝධයට

එවර අර භික්ෂුව අර ප්‍රශ්නයම උන් වහන්සේගෙන් අහනවා. පිළිතුර: 'යථෝඛෝ ආයුසෝ භික්ඛු, පංචානං උපාදානක්ඛානං සමුදයංච අතාභූතං පජානාති එත්තාවතාඛෝ ආයුසෝ දස්සිනං සුවිසුද්ධං තිථි" "යම් කලෙක භික්ෂුව පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම නැතිවීම දැනගත්තා නම්, එපමණකින් දර්ශනය පිරිසුදු වනවා" කියලා. පංච උපාදාන ස්කන්ධය කියන්නේ කුමක්ද කියා අප දන්නවා. ඒ කියන්නේ අපේ ජීවිතය හඳුන්වන තවත් නමක්. එක් පුද්ගලයෙක් කියන්නේ එක පංච උපාදන ස්කන්ධයක්. තවත් පුද්ගලයෙක් කියන්නේ තවත් පංච උපාදාන ස්කන්ධයක්. පංච උපාදාන ස්කන්ධයකට කොහොමද ජීවිතය බෙදෙන්නේ? මේ ජීවිතයේ භෞතික දේවල් තියනවා. එනම් ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේවල්. මේ කයට දැනෙන ටික තමයි අපි 'රූප උපාදාන ස්කන්ධය' කියලා හඳුවන්නේ. අපේ මුළු කයම රූප උපාදාන ස්කන්ධයක්. ඉන් පසු අපට දැනෙන කායික මානසික වේදනා තිබෙනවා; සතුට, සැප, දුක්-දොම්නස් දැනෙනවා; මධ්‍යස්ථ බව දැනෙනවා. මේ කායික සහ මානසික වේදනා සමුදායට කියනවා 'වේදනා' කියලා . එයට වේදනා උපාදාන ස්කන්ධය කියලත් කියනවා. එයත් අපේ ජීවිතයේ කොටසක්. මේ ලෙස ඇස-රූපත්, නාසය-ගඳසුවඳත්, දිව-රසයත්, කය-පහසත්, මනස-සිතිවිලිත් හඳුනාගන්නවා. මේ හඳුනාගැනීම් ටික තමයි 'සඤ්ඤා උපාදාන ස්කන්ධය' කියලා කියන්නේ. අපේ සිතිවිලි සියල්ලට අප 'සංකාර උපාදාන ස්කන්ධය' කියලා කියනවා. අපට ඇති වන සිතිවිලිවලට කියනවා 'විඤ්ඤාණ' කියලා. අපට දැන් තේරෙනවා ජීවිතය යනු පංච උපාදාන ස්කන්ධයක් බව. මේ පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම් නැතිවීම් යම් කලෙක විදර්ශනා වඩලා වටහාගත්තා නම් පරිපූර්ණ වශයෙන්ම එදාට මාර්ග-ඵල ලැබීමට හැකියාව පවතින බවයි අර රහතන් වහන්සේ අදහස් කළේ.

සතර මහා භූතයන් හැඳිනීමෙන් අවබෝධයට

එහෙත් අර භික්ෂුව එයිනුත් සෑහීමට පත් වුණේ නෑ. ඔහු කල්පනා කළා 'මේ සංසාරෙන් එතෙර වීමට නම් පංච උපාදාන ස්කන්ධය පමණක් අවබෝධ කරගෙන ඇතිද? තව කොයිතරම් දේවල් තියනවාද?' කියලා. නොසතුටට පත් වී ආයේමත් සොයාගෙන ගියා දර්ශනය පිරිසුදු කරගැනීමට හැකියාව ඇති තැනකට. එතැනදී පිළිතුරු ලැබෙනවා: "ඇවැත්නි, සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම දන්නවා නම් එපමණකින් දර්ශනය පිරිසුදු වනවා. එනම්: පඨවි, අපෝ, තේජෝ, වායෝ යන මේ ධාතු ටික අවබෝධ කරගත්තා නම් දර්ශනය පිරිසුදු කරගන්න පුළුවන්" කියලා. මුන් වහන්සේ මේ ධාතුමනසිකාර විදර්ශනාව වඩලා රහත් ඵලයට පත් වූ කෙනෙක්. ඒත් මේ භික්ෂුවට එයත් ප්‍රමාණවත් වුණේ නැහැ; තව භික්ෂුවක් ළඟට ගියා. ගිහින් තම පැනය යොමු කළා. "යම් කිසි දවසක හට ගන්නා සියල්ල නැති වනවා කියා වටහාගැනීමෙන් පසු විදර්ශනා වැඩීමෙන් මාර්ග-ඵල අවබෝධ වනවා" කියා පිළිතුරු ලැබෙනවා. ඒත් ප්‍රශ්න නඟන ස්වාමීන් වහන්සේ එයිනුත් සතුටු වුණේ නැහැ. 'මට පරිපුර්ණ අවබෝධයකට පත් වූ කිසි කෙනකු හමු වූයේ නැහැ. මේ ඇවිදීම නතර කර කෙළින්ම බුදුන් වහන්සේ ළඟට ගියා නම් හරි' කියා සිතුවා.

එකම කෑල ගස - එක එක විධියට!

ඉතින් මේ භික්ෂුව බුදු රජාණන් වහන්සේ මුණගැසීමට ගියා; එකත් පස්ව හිඳ සම්පූර්ණ කතාවම කිව්වා. සියල්ල සාවධානව ඇසීමෙන් අනතුරුව බුදු රජාණන්වහන්සේ දේශනා කරනවා: "භික්ෂුව, කෑල ගසකින් යම් වැඩක් ඇති කෙනකු ඉන්නවා, ඒත් එයා කිසි දින කෑල ගසක් දැක නැහැ. ඔහු යනවා කෑල ගහක් දැක ඇති කෙනකු සොයාගෙන. ගොසින් අසනවා 'කෑල ගස කොයි වගේද?' කියලා. දැක ඇති කෙනා කියනවා: 'කාලඛෝ සෙය්‍යතාපි ධ්‍යාමත්කරෝති' 'කෑල ගස කළු පාටයි, පිච්චුණ කණුවක් වගේ' කියලා. ඒත් මොහු ඒ දේ පිළිගත්තේ නැහැ; තව කෙනකුගෙන් අසනවා. ඔහු කියනවා: 'කෑල ගස රතුපාට මස්පිඬුවක් වගේ' කියලා. ඔහු කෑල ගසක් දැක තිබුණේ දළු දාපු කාලේ. ඒත් මේ අය එයිනුත් සතුටට පත් වුණේ නැහැ; තවකෙනකු ළඟට ගියා. 'කෑල ගස මහරී ගස වගේ; පොතු පැළිලා' කියලා පිළිතුරු ලැබෙනවා. එයිනුත් මොහු සෑහීමට පත් වුණේ නැහැ; තව කෙනකු හමු වී විමසනවා. ඔහු කියනවා 'කෑල ගස නුග ගසක් වගේ' කියලා. මේ අය එකිනෙකා පවසන්නේ තම-තමන් දකින වේලාවේ කෑල ගහ තිබුණු හැටි තම-තමන් අවබෝධ කරගත් ආකාරයයි. ඒත් කියන්නේ එකම කෑල ගහක් පිළිබඳවයි.

නිවන් පුරයට පාර කියූ සැටි!

බුදු රජාණන් වහන්සේ තව උදාහරණයකින් මෙය පැහැදිලි කරනවා. එනම්: "නගරයක් ති‍බෙනවා. මේ නගරය වටේ හුඟාක් ශක්තිමත් ප්‍රකාර තිබෙනවා. මේ නගරයට ඇතුළු වන දොරටු හයකුත් තිබෙනවා. හැම දොරටුවකම දොරටු පාලකයකු ඉන්නවා. මිනිසුන් දෙදෙනකු ඇවිත් අසනවා "පුරුෂය, නගරයේ හිමියා කොහේද ඉන්නේ?" කියලා. "මැද සිව්මංසලක් තිබෙනවා. නගරයේ හිමියා ඉන්නේ ඒ සතර මංසන්ධියේ" කියලා ඔහු පිළිතුරු දෙනවා. බටහිර දොරටුවට පැමිණි දෙදෙනකුත් මේ ප්‍රශ්නයම අසනවා. නැඟෙනහිරිනුත් ඇවිත් අසනවා. උතුරු දොරිනුත් අහනවා. එකම තැනකට යන්නයි පාර කියන්නේ. මේ ආකාරයටමයි ඒ රහතන් වහන්සේලා ඔබට නිවන් යන්න පාර කීවේත්" කියා වදාළා.

තවදුරටත් කියනවා: "නගරය කියන්නේ මවුපියන්ගේ ධාතුවෙන් වැඩුණු තැනයි. එහියි පටන්ගැනීම තිබෙන්නේ. මේ ශරීරයත් නගරයක් වගේ. මෙහිත් ද්වාර හයක් තිබෙනවා. ඒ කියන්නේ: ඇස, කන, නාසය, දිව, කය, මනස කියන ආධ්‍යත්මික ආයතන හයයි. දොරටු පාලකයා දන්නවා එන්න ඕනෑ අය සහ නැති අය පිළිබඳව. මෙතැනදී වේගයෙන් පැමිණි දෙදෙනා ලෙස හැඳින්වූයේ සමථ භාවනාවයි, විදර්ශනා භාවනාවයි. හතර මංසන්ධිය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර ධාතුවලයි. නගර හිමියා කියලා කියන්නේ විඥානයටයි. සත්‍යවචන කියලා කියන්නේ නිර්වාණයටයි. එයට යන්න තිබෙන පාර ආර්ය අෂ්ටංගික මාර්ගය බව බුදු රජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කර දුන්නා.

Comments