ශ්‍රී ලංකාවේ අධික ණය බර අඩු කිරීමට නම්... | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකාවේ අධික ණය බර අඩු කිරීමට නම්...

මේ දිනවල නිතර ම කථා කරන්නේ රටේ අධික ණය බර ගැන ය; එසේ ම එම ණය ගෙවා දැමීමට තව තවත් ණය ගන්නා මාර්ග ගැන ය. 2019 වර්ෂය තුළ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 455ක් චීන බැංකුවෙන් ඩොලර් මිලියන 1000ක් අන්තර්ජාතික සංවර්ධන බැඳුම්කරවලින් ඩොලර් මිලියන 2000ක් පැන්ඩා හා සමුරායි බැඳුම්කරවලින් ඩොලර් මිලියන් 500ක් වශයෙන් 2019 වර්ෂය තුළ ඩොලර් බිලියන 5.9 ක විදේශ ණය මුදලක් ගෙවා දැමීමට නො ගන්නා උත්සාහයක් නැති තරම් ය. ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි මට්ටම ණය වර්ගීකරණ ආයතන මඟින් පහළ දමා තිබෙන තත්ත්වයක් යටතේ මේ ණය ලබා ගැනීම් දුෂ්කර ය. එසේ ම ඒවාට අධික පොලියක් ගෙවීමට සිදු වීම ද වැළැක්විය නො හැකිය.

මෑතකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට තැත් කළත් එය අසාර්ථකවීමත්, ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ණය මුදල් චීන බැංකුවෙන් ඉල්ලුම් කර තිබ‍ූ නමුත් එය තවමත් ලබාගැනීමට නොහැකි වීමත් හා චීන බැංකුව ඒ සම්බන්ධව ප්‍රශ්න කිහිපයක් යොමු කර තිබීමත් මීට නිදසුන් ය. මේ අතරතුර 2015 – 2018 කාලය තුළ විදේශ ආයෝජන ගලා යෑම ද තීව්‍ර වී ඇත. 2017.12.31 දින ඩොලර් මිලියන 2110ක් 2018.10.25 දින ඩොලර් මිලියන 1340ක් සහ 2018.12.31 දින ඩොලර් 880ක් වශයෙන් විදේශ ආයෝජන පිටවීම ද රටේ විදේශ ණය අර්බුදය උග්‍ර කරයි.

මේ නිසාම රටේ විදේශ සංචිත ද 2014 අග තිබූ ඩොලර් බිලියන 8.2ට සාපේක්ෂව 2018 අග වනවිට ඩොලර් බිලියන 6.9 දක්වා අඩු වී 2019 අග වනවිට ඩොලර් බිලියන 6.1ක් වීමට ද නියමිත ය. මෙය ද බරපතළ අවදානම් තත්ත්වයක්. පසුගිය වසර 4 තුළ රාජ්‍ය සුරැකුම්පත්වල විදේශ ආයෝජන කළ හැකි ප්‍රතිශතය මෙතෙක් තිබූ 10% මට්ටම මහ බැංකුව විසින් 5%කට‍ අඩු කිරීමට තීරණය කිරීමද රට තුළට විදේශ ආයෝජන ආකර්ෂණය කිරීමේ බරපතළ ගැටලුව ඉස්මතු කොට පෙන්වයි.

නිදහසින් පසු බලයට පත් හෑම රජයක් ම දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් ලබාගත් රාජ්‍ය ණයත් එය එක පුද්ගලයකුට ගැනෙන ප්‍රමාණයත් එම ණය ලබාගෙන රටේ දළ දේශීය නිෂ්පාදිතය කොතෙක් දුරට එක් පුද්ගලයකුට ලැබෙන ආකාරයට යොදවා තිබේ ද යන්නත්, රාජ්‍ය ණය තිරසාර බව මනින මිනුම වන මුළු රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් කවර ප්‍රතිපත්තියක් ද යන්නත් දැන ගැනීම හරහා රට වැඩියෙන් ණය කළේ කවුද? ණය ලබාගෙන රට දියුණු කළේ කවුරු ද? යන්න ගැන අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත්ය.

වසර 1948 – 1977 දක්වා ශ්‍රී ලංකාවේ බලයට පත් ආණ්ඩු එතරම් ණය වී නැති බව පැහැදිලිය. 1977 අග වන විටත්, මුළු රාජ්‍ය ණය ප්‍රමාණය (දේශීය + විදේශීය) රු. මිලියන 25,000කට අඩු ය. ඒ නිසාම ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 1798 ක් විට, ඒක පුද්ගල ආදායම ද රුපියල් 2611ක් තරම් මට්ටමක් විය. එනම් වසර 30 කට ම ඒක පුද්ගල ආදායම වැඩි වූයේ රු. 2215ක් තරම් අඩු වේගයකිනි.

මුළු රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 21% සිට 69% දක්වා මේ වසර 30 තුළ 48% ක ප්‍රමාණයකින් රාජ්‍ය ණය ඉහළ ගොස් ඇත. කෙසේ වුව ද නිදහස ලැබෙන විට ආසියාවේ පොහොසත් රටක් බවට පත් ව තිබ‍ූ ශ්‍රී ලංකාව 1977 වන විටත් ලෝකයේ දුප්පත් රටවල් 18 දෙනා අතර සිටියේ රට එතරම් ණය නොවී, ඒක පුද්ගල ණය ‍අඩු වී, ඒක පුද්ගල ‍ආදායම අඩු වූ නිසා ය. එයින් ඉස්මතු කරන්නේ ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටක් පමණක් නොව ඇමෙරිකාව වැනි සංවර්ධිත රටක් පවා ණය නොවී දියුණුවක් ලබා ගත නොහැකි බව ය. එය පුද්ගලයකු සම්බන්ධයෙන් වඩාත් වැදගත් ය. කෙනකුට තමන්ගේ වැටුප යොදා ගෙන ගෙයක් සෑදිය නොහැකි ය. මෝටර් රථයක් මිලට ගත නොහැකි ය. ඒ නිසා සෑම සාර්ථක මිනිසකු පසුපස තිබෙන්නේ ණය කන්දරාවකි. එහෙත් වැදගත් වන්නේ ණය ගැනීම මෙන් ම ඒවා ගෙවා දැමීමට හැකි ආදායමක් ජනනය වන ආකාරයට ක්‍රියා කිරීමය. 1977 න් පසු ශ්‍රී ලංකාවේ ණය කන්දරාව ඉහළ ගිය අතර ඒ හරහා ශ්‍රී ලංකාවේ ජාතික ආදායම වැඩි වී ඒකපුද්ගල ආදායම, ඒකපුද්ගල ණය ප්‍රමාණයට වඩා වැඩි වී ලෝකයේ 18 වැනි දුප්පත් රට බවට පත් ව සිටි තත්ත්වයෙන් මිදී දුප්පත් රටවල් 42ක් අබිබවා ගොස් පහළ මැදි ආදායම් රටක් බවට පත් වීමත් මේ වනවිට ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වීමට ආසන්න වී සිටිමින් ය.

1977 විවෘත ආර්ථිකය එජාපය හඳුන්වා දීමත් සමඟ විශාල වශයෙන් ණය ගත් අතර 1994 වන විට මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් මිලියන 550,931ක් විය. එසේ ම එම දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% ක් විය‍. ඒ නිසා ම රටේ ඒකපුද්ගල ආදායම රු. 32367ක් බවට පත්වී ශ්‍රී ලංකාව 1994දී පහළ මැදි ආදායම් ‍කාණ්ඩයේ රටක් බවට පත් විය. 1994 - 2004 කාලය තුළ රට විශාල වශයෙන් ණය වූ අතර 2004 වනවිට රට ප්‍රථම වරට රුපියල් ට්‍රිලියන 2ක ණයක් ඇති රටක් බවට පත් විය‍. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 102%ක් විය. ඒ නිසා ම ඒක පුද්ගල ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් රු. 107581ක් විය. ඒක පුද්ගල රාජ්‍ය ණය එම ආදායම ඉක්මවා ගිය ප්‍රථම යුගය බවට වාර්තා විය.

රට ණය වීම හා රට වර්ධනය වීම අතර සම්බන්ධය ගැන අවබෝධයක් ද ලබා ගැනීම වැදගත්ය‍. වසර 2005 – 2014 කාලය තුළ රුපියල් ට්‍රිලියන 5 ක් ණය වී ලබා ගත් වර්ධනය 6.8%ක් වූ අතර එය නිදහසින් පසු පළමු ස්ථානය බවට පත් වීමට ද සමත් විය. එහෙත් 2015 - 2018 කාලය තුළ ද රට ට්‍රිලියන 5 ක් ණය ව‍ූ අතර ලබාගත හැකි වර්ධනය ව‍ූයේ 3.9% කි. එය නිදහසින් පසු ආණ්ඩු අතර 6 වැනි ස්ථානය බවට පත් විය. කෙසේ වෙතත් UNP ආණ්ඩු ය‍ටතේ 1948 – 55, 1966 – 70, 1978 – 94 රටේ ආර්ථික වර්ධනයක් 5%ක මට්ටමට ගෙන ඒම ගැන ද සතුටු විය යුතු ය.

2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මෙතෙක් තිබූ ප්‍රබල පක්ෂ දෙකක් එකට එකතු වීමෙන් බිහිවූ එකකි. එකිනෙකට පරස්පර ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂ දෙකකට වැඩි කල් එකට සිටිය නොහැකි බව එම යහපාලන සම්මුතිය බිඳ වැටීමෙන් රටට ප්‍රත්‍යක්ෂ කර දුන්නේ ය. ඒ යටතේ රටේ ණය ප්‍රමාණය 2018 අග වනවිට ට්‍රිලියන 12ක් දක්වා ට්‍රිලියන 5කින් වසර 4ක් තුළ වැඩිවීම කැපී පෙනෙන ණය වර්ධනයකි. ඊට සාපේක්ෂව ආර්ථික වර්ධනය වූයේ 3.9කිනි. ඒකපුද්ගල ආදායම වසර 4 තුළ වැඩි වූයේ වර්ෂයකට රු. 32,000 බැගිනි.

රටක් ණය වන්නේ ප්‍රධාන වශයෙන් හේතු දෙකක් මත ය. එකක් නම් විදේශ අංශය තුළ විදේශ ලැබීම්වලට වඩා විදේශ ගෙවීම් වැඩි වූ විට ය. ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් මෙන් ආනයන වියදම් දෙගුණයක් වී තිබීම මීට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් නිසාත්, ශ්‍රී ලංකාව එවන විදේශ සේවා නියුක්ති ප්‍රේෂණ නිසාත් මෙම දැවැන්ත හිඟය අවම කර ගැනීමට හැකි වුව ද ගෙවුම් තුලනයේ ජංගම ගිණු‍ෙම් පෝෂණයද 1978 සිට ම දැවැන්ත හිඟයක් පෙන්නුම් කිරීම නිසා ශ්‍රී ලංකාවට විදේශ ණය ගැනීමට සිදුවීම වැළැක්විය නො හැකි වී තිබේ. ඒ නිසා කළ යුත්තේ ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවර්ධනය කොට අනවශ්‍ය ආනයන මර්දනය කිරීමට රට මීට වඩා කල්පනාවෙන් කටයුතු කළ යුතු ය.

ශ්‍රී ලංකාව ලබාගන්නා විදේශ ණය ස්වරූපය අනුව දෙයාකාර වේ. එකක් ව්‍යාපෘති ණයයි. අනෙක ව්‍යාපෘති නොවන ණයයි. නිතරම ව්‍යාපෘති ණය ව්‍යාපෘති නොවන ණයවලට සාපේක්ෂව දෙගුණයකි. ශ්‍රී ලංකාව ලබාගන්නා විදේශ ණය ආයතන අනුව වර්ග තුනකි. සහනදායි විදේශ ණය (බහු පාර්ශ්විය හා ද්විපාර්ශ්විය) සහනදායි නොවන විදේශ ණය හා වාණිජ ණය ඒ අතර වෙයි. වාණිජ ණය අතරට ගැනෙන්නේ අන්තර්ජාතික ස්වෛරීත්ව බැඳුම්කර විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම්, නේවාසික භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය දේශීය හා විදේශීය වශයෙන් වැඩිවීමට ප්‍රධානතම කරුණ වී ඇත්තේ හැම ආණ්ඩුවක් ම පෙන්නුම් කරන දැවැන්ත අය වැය හිඟයයි. මෙම හිඟය 1948 - 1977 දක්වා අඩු මට්ටමක තිබුණත් 1978 දී ප්‍රථම වරට 10% ඉක්මවා ගොස් 12.5%ක් විය‍. 1981දී 19.2% ක් විය. 10% ඉක්මවූ ඊළඟ වර්ෂ වූ‍යේ 1982, 1983, 1984, 1986, 1988, 2001 යන වර්ෂයි. 2001න් පසු මේ දක්වා අය-වැය හිඟ 10%කට වඩා අඩු කර ගැනීමට කටයුතු යොදා තිබේ. 2014 අග වනවිට එය 5.7%කට අඩු කරගෙන තිබිණි.

යහපාලන රජය යටතේ 2015 දී යළිත් 7.6%කට වැඩි වූ අයවැය හිඟය. පසුව 5.4% හා 5.5%ක මට්ටමකට අඩුකර ගන්නත් රට ණය වීම අඩු කිරීමට නම් අයවැය හිඟය 2020 දී 3.5%කට අඩු කිරීමේ ඉලක්කය වෙත ළඟා විය යුතුමය. ලබන මාර්තු 5 දා රජය ඉදිරිපත් කරන 2019 අයවැයෙන් එම ඉලක්කයට ළඟා වීමට කටයුතු කරමින් සිටින බව පැවසේ. එසේ කිරීමෙන් තොරව නම් රට මුහුණපාන ණය අර්බුදයෙන් රට ගොඩගැනීම අසීරු බව අවසාන වශයෙන් සඳහන් කරමු.

Comments