සල්ලි වෙනුවෙන් රටම විකුණන ‘ගම්මිරිස් කරුංකා’ මාෆියාකාරයා | සිළුමිණ

සල්ලි වෙනුවෙන් රටම විකුණන ‘ගම්මිරිස් කරුංකා’ මාෆියාකාරයා

පසුගිය වසර අවසානයේ සිට මේ දක්වා අපට ශුභදායක ආරංචිවලට වඩා අසන්නට දකින්නට ලැබුණේ අසුබ කතාන්දරය. විශේෂයෙන්ම මත් කුඩු ජාවාරම්කරුවන් මෙරටට ගෙනා මත්කුඩු තොග පිටින් අසුවීමත්, නීති විරෝධී වාහන එකලස් කිරීම් මෙන්ම මෙරට ආර්ථිකයට හානි වන ලෙස සුළු අපනයන භෝග ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම ද සුළුපටු කරුණු නොවේ. මෙරටට අතිවිශාල ආදායමක් උපයා දෙන රේගුවේ ආදායම අඩු වුව හොත් එය රටේ ආර්ථිකයට දැඩිව දැනෙන්නකි. රේගු බදු වංචා මෙන්ම නීති විරෝධී රේගු කටයුතු සිදුවීම ගැන පසුගිය කාලයේ දිගින් දිගටම කතා ඇති විය.

මේ කතා අතරට අලුතින්ම එකතු වූයේ බීඩි කොළ රේගු බදු නොගෙවා ආනයනය කිරීමත් ගම්මිරිස් හා කරුංකා හා මෙරටට ගෙන්වා වංචනික ලෙස ප්‍රතිඅපනයනය කිරීමත්ය.

විශේෂයෙන්ම ගම්මිරිස් ජාවාරම නිසා මෙරට ආර්ථිකයේ දැඩි අර්බුද නිර්මාණය වී ඇතිවාක් ‍ මෙන්ම ගම්මිරිස් ගොවියාගේ පොකැට්ටුව මේ වන විට නැත්තටම නැතිව යමින් පවතී.

ගම්මිරිස් අපේ රටේ සුළු අපනයන භෝගයක් වූ නමුත් කලකට පෙර ගම්මිරිස් වගාව වැඩි වශයෙන් සිදු වූයේ දේශීය පරිභෝජනය පිණිසය.

මීට වසර 6කට 7කට පමණ පෙර අපේ රටේ නිෂ්පාදිත ගම්මිරිස් ප්‍රමාණය මේ රටේ අවශ්‍යතාවලටවත් ප්‍රමාණවත් වූයේ නැත. ඒ නිසා ගම්මිරිස්වලට හැමදාමත් ලැබුණේ ඉහළ මිලකි. එසේම ශ්‍රී ලංකාවේ ගම්මිරිස් රසයෙන්, සුවඳින් සහ ගුණාත්මකභාවයෙන් ඉහළ නිසා ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ ගම්මිරිස්වලට ඉහළම මිලක් බටහිර රටවලින් ලැබිණි.

ඉන්දියාව ගොවියා රකියි

අපේ අසල්වැසි ඉන්දියාවේද ගම්මිරිස් සඳහා ඉහළ ඉල්ලුමක් තිබුණත් ඉන්දියාවේ ඉල්ලුම තිබුණේ මිල අඩු ගම්මිරිස් සඳහාය. එහෙත් ඉන්දියාවට ආනයනය කරනු ලබන ගම්මිරිස්වලින් 70%ක අධික බදු මුදලක් අය කිරීමට ඉන්දියාව මීට ටික කලකට පෙර කටයුතු කෙළේ ඉන්දීය ගම්මිරිස් ගොවියා රැකගැනීම පිණිසය. ඒ නිසා වියට්නාමය වැනි රටවලට ගම්මිරිස් අපනයනය ඉන්දියාවට ඉතා අපහසු කාර්යයක් විය.

එමෙන්ම ඉන්දු-ලංකා නිදහස් වෙ‍ෙළඳ ගිවිසුම යටතේ වසරකට ලාංකීය ගම්මිරිස් ටොන් 2500ක් බදු නැතිව ඉන්දියාවට අපනයනය කළ හැකිය. එසේම දකුණු ආසියා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ටොන් 2500ට වැඩි වන ගම්මිරිස් සඳහාද 8%ක සහනදායී ආනයනික බද්දක් ඇතිව ගම්මිරිස් ඉන්දියාවට අපනයන කළ හැකිය. ඒ වෙළෙඳ ගිවිසුම්වලට පිටින් වියට්නාමය හෝ බංග්ලාදේශය වැනි රටවල් ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස් සඳහා 70% ක අතිවිශාල බද්දක් ගෙවිය යුතු වේ. ඒ නිසා කිසිදු ඉන්දීය ව්‍යපාරිකයකු එවන් රටවලින් ගම්මිරිස් ගැනීම සිදු නොකරයි.

ඒ ක්‍රියාදාමය දෙස ඇස යොමු කළ අපේ රටේ ජාවාරම්කරුවෝ පිරිසක් ගම්මිරිස් ප්‍රතිඅපනයනය කිරීමේ මහා පරිමාණ වංචාවක් නිර්මාණය කළහ. ඔවුහු වියට්නාමයෙන් මෙරටට ගම්මිරිස් ආනයනය කිරීම ඇරැඹූහ. ඒ ගම්මිරිස් ගුණාත්මකභාවයෙන් ඉතා අඩුය. ඒවා බැලූ බැල්මට මෙන්ම රසයෙන් ද ප්‍රමිතියෙන්ද ඉතා අඩු මට්ටමක පවතී.

විශේෂයෙන්ම ජර්මනිය, ජපානය, ඇමරිකාව, ප්‍රංසය වැනි රටවල් ඉල්ලා සිටින ප්‍රමිතිය හෝ ගම්මිරිස්වලින් බලාපොරොත්තුවන රස (සැර) එවායේ නැත. අපේ රටේ ජාවාරම්කාරුවෝ එය තම අණසක යටතට ගත්හ.

ඔවුහු වියට්නාමයෙන් අඩු මිලට ගෙන්වාගත් බාල ප්‍රමිතියෙන් යුතු ගම්මිරිස් මෙරට ගම්මිරිස් හා මිශ්‍ර කළහ. එසේ මිශ්‍ර කළ බාල ගම්මිරිස් තොග ශ්‍රී ලංකාවේ ගම්මිරිස් යන ලේබලයෙන් ඉන්දියාවට අපනයනය කෙරිණි. එය ඉතාම භයානක ක්‍රියාවක් වන්නේ ඉන්දියාව ඒ බාල ප්‍රමිතියේ ගම්මිරිස් මිල දී ගත්තද ජර්මනිය, ඇමරිකාව, ප්‍රංසය වැනි බටහිර රටවල් එවැනි බාල වර්ගයේ ගම්මිරිස් කිස්සේත්ම මිලට නොගන්නා හෙයිනි.

අපේ රටේ නිෂ්පාදිත ගම්මිරිස් මිලදී ගන්නා ප්‍රධාන රටවල් අතර ඉන්දියාවට මුල් තැනක් හිමි වන අතර ජපානය, ජර්මනිය, ඇමරිකාව, ප්‍රංසය සෙසු රටවල් අතර මුල් තැනක් ගෙන ඇත. එහෙත් ඉන්දියාව මෙන් නොව එම රටවල් අධික මිලක් ගෙවා ප්‍රමිතියෙන් හා ගුණයෙන් ඉහළ ගම්මිරිස් ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනී‍මට බලාපොරොත්තු වෙති.

2016 වසරේදී දේශීය වියළි ගම්මිරිස් කිලෝ ග‍්‍රෑම් 1ක් සඳහා රුපියල් 1200-1300 අතර මිලක් හිමි ව තිබූ අතර එම මිල 2017 වර්ෂයේ දී රුපියල් 600-700 දක්වා අඩු විය. ඊට විරුද්ධව ගම්මිරිස් ගොවීහු රට පුරාම උද්ඝෝෂණ කරන්නට වූහ. අවම වශයෙන් ගම්මිරිස් කිලෝවකට රුපියල් 900ක් හෝ ලබා දෙන ලෙස ඉල්ලූහ. වසරක කාලයක් තුළදී ගම්මිරිස් කිලෝ එකක මිල 50%ක ප්‍රතිශතයකින් පහළ ගියේය.

බාල ගම්මිරිස් ඉන්දියාවට

එහෙත් මේ වන විට බාල වර්ගයේ ගම්මිරිස් හා මිශ්‍ර කර ඇති අපේ රටේ ලේබලය යටතේ ගම්මිරිස් අපනයනය කෙරෙන නිසා එය ඉතාම භයානක ආර්ථික අගාධයකට මේ රටේ සුළු අපනයන භෝග පත්ව ඇත.

මෙරට ගම්මිරිස් මිල පහළ යෑමට හේතු වූ ප්‍රධානතම හේතුව ප්‍රතිඅපනයනයයි. ලංකාවේ මිලට වඩා බොහෝ මිල අඩු සේම ගුණාත්මක බවද අඩු වියට්නාම් ගම්මිරිස් තොග ගණන් මෙරටට ගෙන්වා, ඒවා ලංකාවේ ගම්මිරිස් ලෙස අපනයනනය සිදු කරයි. එහෙත් ඒවා ඇමරිකාවට හෝ ජර්මනියට, ජපානයට අපනයනය කළ නොහැකිය. අපනයනය කළ හැක්කේ මිල ගැන පමණක් සලකන ඉන්දියාවට පමණි.

දැන් මේ ජාවාරම්කරුවන්ට මතු වන ගැටලුව වන්නේ මෙරට නිෂ්පාදිත ගම්මිරිස් අඩු මිලකට ගෙන වැඩි මිලකට ජපානයට ඇමරිකාවට, ප්‍රංශයට හෝ ජර්මනියට අපනයනය කරන්නේ කෙසේද යන්නයි. ඒ සඳහාද මේ ජාවාරම්කරුවෝ ඉතා සූක්ෂ්ම ක්‍රමවේදයක් භාවිතා කළහ.

ඔවුහු මෙරට ගම්මිරිස් අස්වනු නෙළන කාලයට වියට්නාමයෙන් ගම්මිරිස් ආනයනය කර ඒවා මෙරට වෙළෙදපොළේ සුලභ කිරීමට කටයුතු කළහ. එවිට මෙරට ගම්මිරිස් මිල ස්වභාවිකවම අඩු විය. එයින් නිසි ප්‍රයෝජන ගත් ඔවුහු දේශීය ගොවියාගෙන් ඉතා අඩුමිලට ගම්මිරිස් මිලට ගෙන ඒවා පෙර කී ජර්මනිය, ඇමරිකාව හා ජපානය, ප්‍රංසය වැනි රටවලට අපනයනය කිරීමට කටයුතු කරන ලදී. ඒ අධික ලාභයට හිමිකම් කියන්නේ ඒ ජාවාරම්කාරයන් පමණි. ගොවියා කබලෙන් ළිපට වැටෙයි.

මෙරට වාර්ෂික ගම්මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 20,000කට අධිකය. ඉන් මෙට්‍රික් ටොන් 2500ක් යොදා ගැනෙන්නේ දේශීය පරිභෝජනය සඳහාය. අපනයනය කරන ගම්මිරිස් අතරින් මෙටි‍්‍රක් ටොන් 6000ක්ම ඉන්දියාව මිලදී ගනු ලැබේ.

2017 වසරේ මාර්තු මාසය වන විට ඉන්දියාව, මෙරට ගම්මිරිස් ටොන් එකක් සඳහා ඇමරිකන් ඩොලර් 10,885ක් ගෙවා ඇත. එහෙත් පසුගිය වසරේ ජූලි මාසය වන විට එම මුදල ඇමරිකන් ඩොලර් 5500ක් දක්වා අඩු වී ඇත.

ගම්මිරිස් මිල 50%කින් පහළට

2015 වසරේදී මෙට්රික් ටොන් 27,000ක් වූ ශ්‍රී ලංකාවේ ගම්මිරිස් නිෂ්පාදනය 2016 වසරේදී මෙට්රික් ටොන් 18,000 දක්වා පහත වැටිණි. එහෙත් එය 2017 දී එය නැවත මෙට්රික් ටොන් 20,000 දක්වා ඉහළ ගියේය. 2018 වසරේදී ගම්මිරිස් මිල ඉහළ ගියද ඒත් මිලට ගැනුණේ ඉතා අඩු මිලකටය. ගම්මිරිස් කිලෝ එකක් නිෂ්පාදන වියදම රුපියල් 400ක් පමණ වන අතර ඒ මුදලවත් සොයා ගැනීමට අපහසු තත්ත්වයකට මේ වන විට දේශීය ගොවියා පත්වී සිටී.

‘ශ්‍රී ලංකා ගම්මිරිස්’ හෑල්ලු වීමත් මෙරට ගම්මිරිස් ගොවියා සූරකමින් සිදු කරනු ලබන ක්‍රමවේදයත් දැන් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ සිදු වන අතර ඒ සියල්ලම මෙරට දේශපාලනඥයන්ගේ රැකවරණය ඇතිව සිදු කරනු ලබන බවට පැහැදිලි සාක්ෂි තිබේ. ඒ “අදිසි” හස්තය සොයා බැලීමට විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා ඇත.

මේ ගම්මිරිස් ජාවාරම සම්බන්ධයෙන් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය ද පරීක්ෂණයක් ආරම්භ කළාය. ඒ අනුව ප්‍රතිඅපනයනය සඳහා සුදානම් කර තිබූ ගම්මිරිස් කන්ටේනර් 134ක් පරීක්ෂාවට ලක් කරන ලදී. එම ජාවාරමෙන් පමණක් රටට සිදු වූ පාඩුව රුපියල් බිලියන 1.8ක් බව රේගුව ගණන් බලා තිබේ.

මේ ජාවාරමේ මහ මොළකරුවා ප්‍රසිද්ධ දේශපාලනඥයෙකුගේ ඥාතියකු බවට මේ වන විට හෙළි වී ඇත. රේගුව කළ පරීක්ෂණවල දී ඊට උතුරු ප්‍රදේශයේ දේශපාලනඥයකු ඍජුව සම්බන්ධ බවට තොරතුරු සාක්ෂි ඇතිව හෙළිදරව් කරගෙන ඇත.

පරීක්ෂණ රහස් පොලිසියට

‘කිසියම් පිරිසක් හොර ජාවාරම් කරමින් විදේශ රටවලින් ආනයනය කරන බාල ගම්මිරිස්වලට අපේ රටේ ගම්මිරිස් කවලම් කරමින් සිදු කරන මේ ජාවාරම් සොයාබැලීමේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට කටයුතු කළ බව ඇමැතිවරයා කීය.

ඒ ගම්මිරිස් කතාවය. ගම්මිරිස් මෙන්ම කරුංකාද මේ වන විට පාකිස්තානයෙන් ඉතා අඩු මිලට ප්‍රමිතියෙන් තොරව ගෙන්වා ප්‍රතිඅපනයනය කිරීමේ සූක්ෂ්ම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. ඒ මඟින්ද කැළලක් වන්නේ ශ්‍රී ලංකාවේ අපනයන වෙළෙඳපොළටය.

බාල කරුංකා මෙරට නිෂ්පාදන ලෙස සහතික කර සාක් කලාපීය වෙළෙඳ ගිවිසුම් යටතේ ප්‍රතිඅපනයනය කරයි. ඒවා මහා පරිමාණ ජාවාරම් ය. රටට බිලියන ගණන් බදු මුදල් අහිමි කරන ජාවාරම් ය. මේ හැම ජාවාරමකටම සෙවණ දෙන්නේ ප්‍රබල දේශපාලන බලවේගයන්ය. ඒවායින් සාක්කු පිරෙන්නේ ඔවුන්ගේ මිස ජනතාවගේ නොවේ ය. ඒවාට එරෙහිව ඇත්තේ මාධ්‍ය හඬ හා ගොවීන්ගේ උද්ඝෝෂණ පමණි.

නිමි ඇඳුම් බීඩිකොළ වෙයි

මේ ප්‍රතිඅපනයනය ක්‍රියාදාමයේ ඊළග සිදුවීම් මාලාව දිග හැරෙන්නේ බීඩි කොළ හරහාය.

ඒ කතාව මෙසේය.

බංග්ලාදේශයේ සිට ගෙන්වන ලද නිමි ඇඳුම් කන්ටේනරයකි. එම කන්ටේනරයද අඩි 40ක දිගින් යුක්ත විශාල කන්ටේනරයකි. එම නිමි ඇඳුම් මෙරට සිට ගුවන් මඟින් ඉතාලියට යැවීම ලාභදායක බැවින් ඒ ක්‍රමය යොදාගත් බව භාණ්ඩ ආනයනකරු රේගුවට තොරතුරු දන්වා ඇත.

අංක WSLU7825925 දරන නිමි ඇඳුම් කන්ටේනරය පසුගිය වසරේ දෙසැම්බර් 03 වැනිදා රේගුවට අදාළ බදු ගෙවා ඉවත් කරගැනීමට නියමිතව තිබිණි. මේ අතර නිර්නාමික දුරකතන ඇමතුමක් ලැබේ. ඒ රේගුවේ මධ්‍යම විමර්ශන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජී.ඩී. ඥානරාජ් මහතාටය.

එයින් කියැවුණේ අප ඉහත කී නිමි ඇඳුම් භාණ්ඩ කන්ටේනරය ගැනය. එහි ඇත්තේ නිමි ඇඳුම් නොව බීඩි කොළ බවත් ඒවා යළි වෙනත් රටකට නොයවන බවත් මේ බීඩි කොළ තොගය වත්තල ප්‍රදේශයට හොර රහසේ ගෙන යෑමට කටයුතු කරනු ලබන බවද එයින් කියැවිණි. එසේම ඒ සඳහා රේගු නිලධාරීන් කිහිප දෙනකුද සම්බන්ධ බව එයින් කියැවිණි.

ඥානරාජ් මහතා වහාම රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඇමතුවේය.

ඇය මනාව සැලැසුමක් සකසා දුන්නාය.

“රේගුවේ තියෙද්දි මේ කන්ටේනර් එක බලන්න එපා, මේක ක්ලියර් කරගෙන ගෙනියන තැන දක්වා ගිහින් බලන්න. මෙතැන තියෙද්දි මේක ගැන පරීක්ෂණ කරන්න ගියොත්, එක්කෝ ගන්න එන කට්ටිය එන්නෙ නැති වෙයි. නැති නම් ආයිත් පිටරට යවන්න පුළුවන්.“

ඇයගේ උපදෙස් පරිදි එදින එනම් 2018 වසරේ දෙසැම්බර් 03 වැනිදා සවස් වරුවේ ඥානරාජ් මහතා ඇතුළු පිරිසක් මේ කන්ටේනරය ගැන අවධානයෙන් සිටියහ. ඔවුහු පෞද්ගලික වෑන් රථයක් කුලියට ගෙන සවස් වරුවේ සිට බලා සිටියහ. රාත්‍රී 7.00 පමණ වන විට කන්ටේනරය මුදා හැරීමේ කටයුතු ඇරැඹී තිබිණි. බහාලුම් ලොරියක දමාගෙන එය වරායෙන් පිටත්වූයේ රාත්‍රී 9.00ට පමණය.

බීඩි කොළ අල්ලන දැල එළයි

එය පසුපසින් ඔවුන්ට නොදැනෙන සේ ගමන් කිරීමට ඥානරාජ් මහතා ප්‍රමුඛ පිරිස කටයුතු කළහ. මීගමු පාර ඔස්සේ ගමන් ගත් කන්ටේනරය වත්තල මාබෝල වැලිකඩමුල්ල පාරේ විශාල වපසරියක පිහිටි ගඩබාවකට ඇතුළු කරන ලදී. සම්පූර්ණයෙන්ම කන්ටේනරය ඇතුළු කළ පිරිස එහි දොරටු මුළුමනින්ම වසා දමන ලදී.

පිටතට කිසිදු දෙයක් නොපෙනිණි. රේගු නිලධාරීන් පිරිස වහාම පොලිසියට දැනුම් දුන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ උපදෙස් පරිදිය. පොලිසියෙන් පැමිණි පසු අදාළ දොරටුව විවර කරගෙන පරීක්ෂණ පවත්වන ලදී. ඒ වන විටත් කන්ටේනරයේ තිබූ බිඩි කොළ බාමින් පැවතිණි.

ඒවා බාමින් සිටි කම්කරුවන්ගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹුණු අතර එතැනි සිටි ප්‍රදේශීය දේශපාලනඥයෙක්ද ඔහුගේ සහායකයෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ. කම්කරුවන් සිවු දෙනාගේ ප්‍රකාශ සටහන් කරගෙන ඔවුන් නිදහස් කළ අතර සෙසු දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අදාළ කන්ටේනරයේ බාන ලද බීඩි කොළ ද යළිත් එහි කන්ටේනරයට බහා ඔරුගොඩවත්තේ රේගුවේ අංගණයට කන්ටේනරය මුද්‍රා තබා බාරදීමෙන් පසුවය.

ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඒ කන්ටේනරය මුදා ගැනීමට කටයුතු කළ වාප්පු ලිපිකරුවන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ ඔවුන් දෙදෙනා රේගු නිලධාරීන්ගේ අස්සන් ව්‍යාජ ලෙස යොදා ඇති බව තහවුරු වූ නිසාය. එමෙන්ම දොරටුවක සේවයේ යෙදී සිටි නිවාරණ නිලධාරියකුද ඒ සිදුවීමට සම්බන්ධ බවට තොරතුරු ලැබීම නිසා ඔහුද අත්අඩංගුවට ගන්නා ලදී. එමෙන්ම රේගු පරීක්ෂකවරයෙකුද අත්අඩංගුවට ගන්නා ලද්දේ ඊට ඍජුවම සම්බන්ධ බවට ලද තොරතුරු නිසාය. ඔවුන්ගේ සේවය අත්හිටුවා මේ වන විට පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී.

මහ මොළකරු අල්ලයි

මේ සිද්ධියේ මහ මොළකරු ලෙස හඳුනාගත් නූර්ඩීන් ෆයිසල් අහමඩ් නැමැති සැකකරු පසුගිය 16 වැනිදා සිකුරාදා අත්අඩංගුවට ගෙන සෙනසුරාදා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළද ඔහුට ඇප නියම විය. ඒ සඳුදා දින අධිකරණයෙ පෙනී සිටින ලෙස නියෝග කරමිනි.

අදාළ බීඩිකොළ තොගයේ වටිනාකම රුපියල් මිලියන 57ක් වන අතර එයින් රුපියල් මිලියන 43ක්ම රේගු බදු වශයෙන් ගෙවිය යුතුය. ඒ අනුව රේගු බදු වංචාව රුපියල් මිලියන 43කි.

රේගු විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මොහු වියට්නාමයෙන් හා බ්‍රසීලයෙන් මෙරටට ගම්මිරිස් ගෙන්වා ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරමේද ප්‍රධාන සැකකරුවකු බවයි.

එසේම රේගු ආඥා පනතට අනුව රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ හෝ රේගු බදු වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවකුට ඇප ලබාදීමේ බලය පැවරෙන්නේ මහාධිකරණයට පමණි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රේගු ආඥා පනතේ 127 වැනි වගන්තියට අනුව සැකකරු විසින් රුපියල් ලක්ෂ දහයකට වඩා බදු වංචාවක් සිදු කොට ඇති නිසා ඇප ලබාදිය නොහැකි බවට රේගු නිලධාරීන් අධිකරණයට කරුණු දක්වා ඇතත් ඔහුට ඇප නියම වූයේ කෙසේදැයි යන්නද ගැටලු සහගත විය. එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම ප්‍රධාන සැකකරුට මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියමව ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබියදී ය.

කෙසේ නමුත් අදාළ සැකකරු පසුගිය 16 වැනිදා අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබෙන්නේ ප්‍රමාද දෝෂයකින් බැවින් එම ඇපය අවලංගු කර අදාළ සැකකරු ලබන 25 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය පසුගිය සඳුදා (18) වැනිදා නියෝග කළාය.

බීඩි කොළ වංචාවට සම්බන්ධ තවත් රේගු නිලධාරීන් දෙදෙනකු සිටින අතර, මේ වන විට ඔවුන් සම්බන්ධයෙන්ද පරීක්ෂණ පැවැත්වේ. මේ වන විට මීට අදාළව 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවත් නිලධාරීන් දෙදෙනකු සම්බන්ධව පරීක්ෂණ පැවැත්වේ.

මේ මහා පරිමාණ ජාවාරමෙන් මෙරට ආර්ථිකයට සිදුව ඇති හානිය මෙන්ම ඉදිරියේදි ශ්‍රී ලංකාවේ අපනයන භෝග සම්බන්ධව මෙරට කීර්තිනාමයට සිදු විය හැකි හානියද අතිවිශාලය. දේශපාලනඥයන්ගේ අනු දැනුමෙන් සිදු කෙරෙන මේ ජාවාරම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ මැදිහත්ව නැවැත්වීම සිදු නොකළ හොත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිෂ්පාදන කිසිදු රටකට අපනයනය කළ නොහැකි තත්ත්වයකට පත් වීම වැළැක්විය නොහැකිය.

Comments