
භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්
නිහඬ සේවා රැසක් ජනතාව වෙනුවෙන් ඉටු කරන ප්‍රධාන රාජ්‍ය ආයතනයක් ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සුවිශේෂ වන්නේ මෙරට සෑම වැසියකුටම අදාළ වන්නා වූ සේවා සපයන ආයතන කිහිපයක්ම මේ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන බැවිනි. ඕනෑම පුද්ගලයකුගේ උපත, විපත, විවාහය සහ මරණය මෙන්ම චංචල - නිශ්චල දේපළ ලියාපදිංචිය, ඒ ලේඛන සංරක්ෂණය, සහතික පිටපත් නිකුත් කිරීම සහ අවශ්‍ය පාර්ශ්වයන්ට ඒ පිළිබඳව තොරතුරු වාර්තා කිරීම සිදු වන්නේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මඟිනි. 1864 වර්ෂයේදී ආරම්භ කරන ලද මේ දෙපාර්තමේන්තුව මේ සපුරමින් සිටින්නේ 155 වසරයි. තම සේවාවන් නවීන තාක්ෂණය හා ගළපමින් අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් උප්පැන්න ලේඛනයක් මේ වසරේ සිට නිකුත් කිරීමට මේ දෙපාර්තමේන්තුව සූදාමින් වෙයි.
අපගේ උප්පැන්න සහතිකය පිළිබඳ මතකය ආවර්ජනය කිරීමේදී එය පොඩි නොවී, විනාශ නොවී ආරක්ෂා කරගැනීමට අප නොයෙකුත් ක්‍රම අනුගමනය කරන සැටි සිහිපත් වේ. එහෙත් මේ වසරේ පටන් උප්පැන්න සහතිකය ඉතා සුරක්ෂිත ලෙස ජනතාව අතට පත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පළාත් සභා සහ පළාත් පාලන, ස්වදේශ කටයුතු පිළිබඳ ඇමති වජිර අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව භාෂා තුනෙන්ම සකස් කරනු ලැබූ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සකස් කරන ලද උප්පැන්න සහතිකයක් ඔබ අතට පත් වනු ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් එන්සී විතානගේ මහතා සිළුමිණට පැවසීය.
මෙහිදී සුවිශේෂ වෙනස්කම් රැසක් සිදු කර තිබේ. මෙතෙක් කල් උපැන්න සහතිකය ලබා දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිටින අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර්වරයාගේ අත්සනින් යුතුවය. මින් ඉදිරියට එය නිකුත් කෙරෙනුයේ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනකින් පමණක් වීම විශේෂත්වයකි.
මීට පෙර තිබූ උප්පැන්න සහතිකය ඕනෑම අයකුට වංචනික ලෙස සකස් කිරීමට හැකියාව පැවතිණි. මේ යටතේ බොහෝ වංචනික ක්‍රියාකාරකම් සිදු වූ බව නොරහසකි.
එක් පැත්තකින් මෙය කූට ලේඛන ලෙස සකස් කෙරිණි. එලෙසම මෙහි තිබෙන මුද්‍රාව ඕනෑම කෙනකුට ව්‍යාජ ලෙස සකස් කර යොදාගැනීමට හැකියාව තිබූ අතර, එලෙස යොදාගත් අවස්ථා රැසක් නීතියේ රැහැනට හසු විය.
නව ක්‍රමය යටතේ උප්පැන්න සහතිකයට නව ක්‍රමය ආරක්ෂා උපායමාර්ග රැසක් යොදා ඇත. මින් ඉදිරියට මේ සහතිකය කිසිදු පුද්ගලයකුට වංචනික ලෙස සකස් කිරීමේ මඟ අසුරා තිබේ.
නව සහතික පතේදී ‘කිව්ආර්’ කේතනයක් සහ රාජ්‍ය ලාංඡනය සහිත තවත් විශේෂ සලකුණුවලින් සමන්විත ලාංඡනයක් ඇතුළත් කර ඇති අතර, අනුක්‍රමණ අංකයක් හා බාකොඩ් කේතනයක්ද එක් කර ඇත.
මෙතෙක් කල් පැවැති ක්‍රමයට අනුව යල් පැන ගිය උප්පැන්න සහතිකවලට නැවත නිකුත් කිරීමේදී දෙමාපියන්ගේ විවාහක අවිවාහක භාවය පිළිබඳව සොයා බැලීමක් සිදු කළ අතර, නව ක්‍රමයට අනුව එය ඉවත් කර ඇත.
ජාතිය පිළිබඳවද ගැටලු සහගත තත්ත්වයක් පැන නැඟී තිබිණි. නව ක්‍රමයට අනුව උප්පැන්න සහතිකය තුළ ජාතිය ගැන සඳහනක් නොකරන අතර ශ්‍රී ලාංකික භාවය ගැන පමණක් සඳහන් කරනු ලබයි.
තවද, සිංහල භාෂාවෙන් හා දෙමළ භාෂාවෙන් නිකුත් කරනු ලබන උප්පැන්න සහතික පත් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරනු ලබන අතර, අන්තර්ජාතිකව ද භාවිත කිරීමේදී ගැටලුවක් පැන නොනැඟීම මෙමඟින් තහවුරු වේ.
දැනට මේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ කොළඹ පිහිටි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පමණක් වන අතර, ඉදිරියේදී සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙය සිදු කිරීමට රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
ඉකුත් වසර 30කට ආසන්න කාලයකට අදාළ ලියකියවිලි සහ උප්පැන්න සහතික පිළිබඳ තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් රැස් කර, ඒවා පරිගණකගත කොට වසර 30කට ආසන්න කාලයක් ආපස්සට පුද්ගලයන්ට නව ක්‍රමයට අනුව උප්පැන්න නිකුත් කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක්ද මෙහිදී ක්‍රියාවට නංවා තිබේ.
මෙතෙක් උප්පැන්න සහතිකය ලෙස අතින් ලියන ලද ලියවිල්ලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ජනතාවට ලබාදුන් අතර ඉදිරියේදී එය පරිගණකගත කරන ලද තොරතුරු ඇතුළත් මුද්‍රිත පිටපතක් වශයෙන් ලබාගත හැකිය.
මේ ව්‍යාපෘතියට අමතරව ඉඩම් හා ඊට අදාළ ලේඛන ලියාපදිංචිය වඩාත් කාර්යක්ෂම කරමින් පැය 24ක් ඇතුළත ඉඩම් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක්ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර, මෙය මාර්තු මස 16 වැනි දා සිට ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.
මෙහිදී සාමාන්‍ය ගාස්තුව යටතේ කල් ගෙන ලියාපදිංචිය සිදු කැරෙන ක්‍රමවේදය එසේම පවතින අතර, අවශ්‍යතාව මත විශේෂ ගෙවීමක් යටතේ මේ කඩිනම් සේවාව සැලසෙනු ඇත.