අපි දන්නා සහලේ නොදන්නා අලුත් ම කතාව | සිළුමිණ

අපි දන්නා සහලේ නොදන්නා අලුත් ම කතාව

බත් කා හැදුණු ජාතියකැයි කියන අපේ මිනිසුන්ගේ බත් හා බැඳුණු ඉතිහාසය වසර දහස් ගණනක් තරම් ඈතට යන්නේ ය. කොතරම් අතීත සබඳකමක් ඇතත් අපි තවමත් සහලේ, බතේ නියම වටිනාකම දන්නේ දැයි හැඟෙන්නේ සහල් ගැන දැන ගන්නට ලැබෙනා අලුත් ම කතාවක් නිසා ය. කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ, කෘෂි තාක්ෂණ අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කාංචනා අබේසේකර අපි මෙතෙක් නොදැන සිටි සහලේ අපූරු කතාව ලෝකයේ මුල් වරට පර්යේෂණ මඟින් තහවුරු කරගෙන ඇත්තේ, එවකට කාර්මික තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ව සිට දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ හෙද පීඨයේ ජ්‍යෙෂ්ථ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනා ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ය.

”සහල්, බත් කියන්නේ අපිට නුපුරුදු දෙයක් නෙමෙයිනේ. ඒත් ඒ බත් කාලත් අපේ මිනිස්සු අද නොයෙක් විදියට ලෙඩ වෙනවා. විශේෂයෙන් ම ලෝකයේ අති බහුතරයක් දෙනා වගේම අපේ රටේ මිනිස්සුත් අද බෝ නොවන රෝග වලට ලක් වෙලා. ඒ වගේම තව දුරටත් එවැනි රෝග වලට ලක් වීමේ වැඩි ප්‍රවණතාවකුත් අපේ රටේ තියෙනවා. ඒ නිසයි අපි කවුරුත් කෑමට ගන්නා බත් වලින් ම මේ අවධානමට විසඳුමක් සොයාගන්න පුළුවන්ද කියලා බලන්න අපි උත්සාහ කළේ. අපි මේ පර්යේෂණයට අපේ පාරම්පරික සහල් වගේම අපේ බතලේගොඩ සහ බෝඹුවෙල වී පර්යේෂණ ආයතනවල දියුණු කරලා දැනට වගා කෙරෙන සහල් ප්‍රභේදත් තෝරා ගත්තා. මම මගේ ආචාර්ය උපාධි පර්යේෂණය විදියට සොයලා බලන්න උත්සාහ කළේ අපේ රටේත් බෝහෝ පිරිසක් පීඩාවට පත් කරමින් තිබෙන බෝනොවන රෝග වලට අපේ ප්‍රධාන ආහාරයේ ම විසඳුමක් තියෙනවාද කියලා බලන්න.”

”දියවැඩියාව, දියවැඩියාව එක්ක බැඳෙන අතුරු ආබාධ, ඉදිමුම් රෝග, පිළිකා වලට සහල් වල බලපෑම තමයි මූලිකවම ඉලක්ක වුණේ. ලෝකයේ වගේ ම ලංකාවෙත් දැනට තියෙන බරපතලම බෝ නොවන රෝගය විදියට තමයි දියවැඩියාව හඳුනාගන්න ලැබෙන්නේ. දියවැඩියාව කියන්නේ පුද්ගල ශරීරයේ ක්‍රියාකාරීත්වය බෝහෝ දුරට වෙනස කරන රෝගයක්. දියවැඩියාව නිසා වගේම දියවැඩියාව තිබෙන රෝගීන්ට ඇතිවෙන අතුරු ආබාධත් බොහොමයක් තියෙනවා. ඇස් පෙනීම දුර්වල වීම, වකුගඩු අකර්මණ්‍ය වීම, හෘදයාබාධ, ස්නායු ආබාධ වගේම අංශභාගය වැනි තත්වයන්ට පවා දියවැඩියාව හේතුවෙනවා. ඒ වගේම තමයි දියවැඩියා රෝගීනට පාද වල ඇතිවෙන තුවාල සුව වීමේ හැකියාව ඉතා අඩුවීම. මේ සියල්ල ම අද අපේ රටේ විශාල සෞඛ්‍ය ගැටලු බවට පත්වෙලා. අපි ගන්නා ආහාරයේ තියෙන පිෂ්ඨය නැත්නම් කාබෝහයිඩ්‍රේට ජීරණය වෙලා ග්ලූකෝස් බවට පත්වීමේ ක්‍රියාවලිය වේගවත් වීම තමයි දියවැඩියා රෝගයට පසුබිම සකසන්නේ. අපේ ශරීරයේදී මේ කටයුත්තට දායක වෙන්නේ ඇල්ෆා ඇමයිලේස් කියන එන්සයිමය. ඇල්ෆා ඇමයිලේස් වලින් සිදුවෙන මේ ක්‍රියාවලිය වේගවත් වෙද්දී රුධිරයේ සීනි මට්ටම වේගයෙන් ඉහළ යනවා. ඇල්ෆා ඈමයිලේස් වල ක්‍රියාව අඩාල කරලා අපේ ආහාර වල තියෙන පිෂ්ඨය සීනි බවට පත් වීමේ ක්‍රියාවලිය අඩාල කරන්න යම් සංයෝගයක් සමත් වෙනවා නම් දියවැඩියාව ඇති වීමේ අවධානම අඩු කරන්න එය දායක වෙනවා. මේ ගැන අපි කරපු පර්යේෂණයේදී තමයි අපි හඳුනා ගත්තේ සහල් වල නිවුඩ්ඩ මේ ඇල්ෆා ඇමයිලේස් වල ක්‍රියාව අඩාල කරන්න ඉතාම ඉහළ සමත්කමක් දක්වන බව.”

මේ පර්යේෂණ වලින් තහවුරු වී ඇති පරිද්දෙන් දියවැඩියා අවධානම අඩුකිරීමේ වැඩිම හැකියාව ඇත්තේ දේශීය සහල් ප්‍රභේද වලට ය. සුදු හීනටි, ගොඩ හීනටි, දික් වී සහ මසුරන් තිබෙන්නේ මේ හැකියාවෙන් ඉහළ ම තැනක ය. පාරම්පරික සහලේ මේ ගුණ විශ්වාස කළ නොහැකි තරමට ඉහළ වන්නා සේම දැනට අපේ රටේ වගා කරනා දියුණු කළ වී ප්‍රභේද වල ද මේ ගුණ ඉතා ඉහළ මට්ටමකින් ඇති බව කියැවෙන්නේය.

”අපේ පාරම්පරික සහල්වලට ඇල්ෆා ඇමයිලේස් වල ක්‍රියාව අඩාල කිරීමේ හැකියාව හොඳින් ම තියෙනවා. ඒ වගේම මේ ගුණ ඒ ආකාරයට ම තියෙනවා අපේ රටේ දැනට වගා කෙරෙන බොහෝ රතු සහල් ප්‍රභේද වලත්.සුදු සහල් එක්ක සැසඳුවාම රතු සහල්වලට තියෙන මේ හැකියාව ඉතාම ඉහළයි. ඇතැම් වෙලාවට වෛද්‍යවරු පවා කියනවා සුදු සහල් වලයි රතු සහල්වලයි කිසිම වෙනසක් නැහැ කියලා. ඒත් ලෝකයේ මුල්ම වතාවට අපි පර්යේෂණ මගින් තහවුරු කරලා තියෙනවා රතු සහල් වලට දියවැඩියාවට එරෙහිවීමේ ගුණයක තියෙනවා කියලා. ගැටලුව තියෙන්නේ සහලේ නොවෙයි; අපේ රටේ මිනිස්සු ඒ සහල් පාවිච්චි කරන්න පුරුදුවෙලා ඉන්න විදිය තමයි ගැටලුව. මේ සහල් වල සියලු ම වටිනා ගුණ තියෙන්නේ නිවුඩ්ඩේ. රතු සහල් වල නිවුඩ්ඩේ මේ ගුණ ඉතාම ඉහළ මට්ටමකින් තියෙනවා. රතු සහල් ඇටයේත් මේ ගුණ යම්තරමකට තියෙනවා. වර්ණයෙන් වැඩි සහල් වල මේ දියවැඩියා මර්දන හැකියාව ඉතා ඉහළයි. අපි අද ආහාරයට ගන්න රතු සහල් වලටත් වඩා වර්ණයෙන් වැඩි පාරම්පරික සහල් වල මේ හැකියාව වැඩි ඒ නිසයි. දියවැඩියාව වගේම දියවැඩියාව නිසා ඇතිවෙන අතුරු ආබාධ වලටත් හොඳ ම විසඳුම මේ සහල් නිවුඩ්ඩ සතුයි. රුධිරයේ සීනි මට්ටම ඉහළ ගියාම ඒ සීනි සහ ශරීරයේ තියෙන ප්‍රෝටීන අතර රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවෙනවා. ඒකට කියන්නේ මිලාඩ් ප්‍රතික්‍රියාව කියලා. මේ ප්‍රතික්‍රියාව හරිම සංකීර්ණයි. මෙහි අවසාන ප්‍රතිඵලය තමයි ඇඩ්වාන්ස් ග්ල්යිකේෂන් එන්ඩ් ප්‍රඩක්ට්... කියන සංඝටකය. දියවැඩියා රෝගීන්ට අතුරු ආබාධ ඇති වෙන්න හේතුව මේ සංඝටකය. මේ සංඝටකය හැදෙන එක නතර කරන්න නම් මිලාඩ් ප්‍රතික්‍රියාව නතර කරන්න හෝ පාලනය කරන්න වෙනවා. රුධිරයේ සීනි මට්ටම වැඩි නොවුණා වුණත් පුද්ගලයෙක් වයස්ගත වෙද්දී මේ මිලාඩ් ප්‍රතික්‍රියාව ශරීරයේ සිදුවෙන්නට පටන් ගන්නවා. ඒ නිසා මිලාඩ් ප්‍රතික්‍රියාව පාලනය කිරීමේ වැදගත්කම දියවැඩියා රෝගියකු නොවන පුද්ගලයකුට වුණත් තියෙනවා. එහෙම වෙන්නේ ශරීරයේ දිගුකාලයක් තිස්සේ පවතින ප්‍රෝටීන නිසා. ඒ නිසා මිලාඩ් ප්‍රතික්‍රියාව පාලනය කරන්න වගේම එම ප්‍රතික්‍රියාව ආපසු හරවා එහි බලපෑම අවම කර ගන්නට යම් සංයෝගයකට හැකියාව තියෙනවා නම් එය ඉතාම වැදගත් වෙනවා. අපි කරපු පර්යේෂණ වලින් තහවුරු වුණු විදියට මේ මිලාඩ් ප්‍රතික්‍රියාව වළක්වන්න විතරක් නොවෙයි ආපසු හරවන්නත් සහල් නිවුඩ්ඩ ඉතාම විශිෂ්ට හැකියාවක් පෙන්වනවා. අපේ පාරම්පරික සුදු හීනටි, ගොඩ හීනටි, දික් වී සහ මසුරන් මෙතනදීත් මුල් තැනට ඇවිත් තිබුණත් නිවුඩ්ඩ සමඟ ආහාරයට ගන්නා රතු සහල් වලටත් මේ හැකියාව හොඳින් ම තියෙනවා. විශේෂම දේ වෙන්නේ මේ මිලාඩ් ප්‍රතික්‍රියාව අඩාල කරන ඖෂධ ලෝකයේ තිබුණත්, මිලාඩ් ප්‍රතික්‍රියාව නැවත හැරවිය හැකි ඖෂධ ලෝකයේ නැති වීම. මිලාඩ් ප්‍රතික්‍රියාවට මේ තරමේ බලපෑමක් කරන්න සහල් වලට හැකියාවක් තියෙනවා කියලා ලෝකයට මුල්වරට හෙළිවෙන්නේ මේ පර්යේෂණයෙන්. ඒ වගේමයි ග්ල්යිසිමික් අගය, ඒ කියන්නේ පිෂ්ඨය සහිත ආහාරයක් ගත්තම ඒ ආහාරය නිසා රුධිරයට සීනි එකතු වීමේ වේගයත් නිවුඩ්ඩ සහිත රතු සහල් වල ඉතාම අඩුයි.

දියවැඩියාවට සේම පිළිකා රෝග මැඩීමට ද මේ රතු සහල් විශිෂ්ට සමත්කමක් දක්වන්නේය. ලෝකය ම බරපතල ගැටලුවක් බවට පත් වී ඇති පෙනහළු පිළිකා අද අපේ රටේ ද බරපතල සෞඛ්‍ය ගැටලුවක් වී ඇත. එසේම අක්මාව ආශ්‍රිත පිළිකා, කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා, මොළය ආශ්‍රිත පිළිකා, බඩවැල් සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා සැලකිය යුතු තරමට අපේ රටේ හඳුනාගෙන ඇත්තේ ය.”පිළිකාව කියන්නේ අද ලොකු ගැටලුවක්. ඒක ගැටලුවක් වෙන්නේ නිසි ප්‍රතිකාරයක් නොමැති නිසා. ජාතික විද්‍යා පදනමේ මුදල් සහයෝගය ඇතිව පාකිස්තානයේ කරච්චි විශ්වවිද්‍යාලයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අකන්සාස් විශ්වවිද්‍යාලයේ අපි කරපු පර්යේෂණ වලින් තහවුරු වුණා අපේ පාරම්පරික සහල් වලට සහ දැනට වගා කෙරෙන රතු සහල් නිවුඩ්ඩ සහිතව ගත්තම මේ පිළිකා සෛල වැඩීම අඩාල කරන්න පුළුවන් හැකියාවන්ගෙන් යුක්තයි කියලා. මිනිස් පිළිකා පටකම අරගෙන ඉතා මිල අධික පර්යේෂණ කරලා තමයි අපි මේ සොයා ගැනීම කළේ. පිළිකා සෛල වැඩීම අඩාල කරන්න විතරක් නොවෙයි, පිළිකා ඇති කරවන්න හේතුවෙන එන්සයිම වල ක්‍රියාකාරීත්වයත් පාලනය කරන්න මේ සහල් නිවුඩ්ඩ සතු හැකියාව අපිව පුදුම කරවූවා කිව්වොත් නිවැරදියි. ඒ වගේම අපේ ශරීරය තුළ සිදුවෙන රසායනික ක්‍රියාවලීන් නිසා ශරීරයට මුදා හැරෙන ක්‍රියාකාරී මුක්ත ඛණ්ඩ අපට බෝ නොවන රෝග ඇති කිරීමට හේතුවන්නක්. මේ මුක්ත ඛණ්ඩ උදාසීන කරලා ඒවායේ බලපෑම අවම කිරීමේ ක්‍රියාවලියක් අපේ ශරීරය තුළම සිදුවෙනවා. ඒ වුණත් අපි වයස්ගත වෙද්දී මේ බලපෑම අවම කිරීමේ කටයුත්ත තරමක් අඩපණ වෙනවා. ඒ නිසයි වයස් ගත වීමේදී බෝ නොවන රෝග වලට ලක් වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වන්නේ. අපේ සහල් ආශ්‍රිතව කරපු පර්යේෂණයෙන් අපි තහවුරු කර ගත්තා ශරීරයට අහිතකර බලපෑම ඇති කරවිය හැකි මේ මුක්ත ඛණ්ඩ වලින් සිදුවන බලපෑම අවම කර ගත හැකි ප්‍රති ඔක්සිකාරක ගුණ නිවුඩ්ඩ සහිත රතු සහල් වල ඉතාම ඉහළ මට්ටමින් තිබෙන බව. අනෙක තමයි ඉදිමුම් රෝග. ලෝකයේ අලුත් ම පැහැදිලි කිරීම් වලට අනුව ඕනෑම බෝ නොවන රෝගයක් ඇති වීම හඳුන්වන්නේ ඉදිමුම් රෝගයක් හැටියට. අපිට යම් ආකාරයකින් මේ ඉදිමුම් රෝග තත්ත්වයන් පාලනය කර ගන්නට පුළුවන් නම් බෝනොවන රෝග පාලනය කර ගන්නටත් පුළුවන්. ඒ ඉදිමුම් රෝග පාලනය කිරීමේ හැකියාව අතිනුත් නිවුඩ්ඩ සහිත රතු සහල් තියෙන්නේ ඉදිරියෙන්.”

රතු සහල් ඇටයේත් මේ අපි කියන ගුණ යම් තරමකට තියෙනවා වුණත් නිවුඩ්ඩ ඇතිව රතු සහල් ආහාරයට ගැනීමෙන් ලැබෙන ගුණ එක්ක ඒ ගුණ සසදන්නත් බැරි තරමයි. අපේ පාරම්පරික සහල් වල මේ ගුණ ඉතාම ඉහළ වුණත් ඒ සහල් වර්ග අද වගා කෙරෙන්නේ ඉතාම අඩුවෙන්. රතු සහල් වුණත් වගා කෙරෙන්නේ අපේ වී වගාවෙන් සියයට 30ක් වගේ අඩු ප්‍රමාණයක්. ඒත් අපිව පීඩාවට පත් කරන බොහෝ රෝගවලට විසඳුම තියෙන්නේ එතන. හරියට ම කිව්වොත් අපි උත්තරේ ළඟ තියාගෙන උත්තර හොයාගන්න ලොකු මුදල් වියදම් කරගෙන හැම තැනම යනවා.”ආචාර්ය කාංචනා අබේසේකර පවසන්නීය.

සැබෑවටම අපේ නොසැලකිල්ල නිසා අපි මඟ හැර ගන්නේ ලෝකයේ මෙතෙක් භාවිතයට ගැනෙනා ඔසු අතරවත් නැති තරමේ වටිනා ඔසුවක් බව සිතිය යුත්තේය. වෙහෙසක් නැතිව සැමදා ගන්නා බත් පත ම ඔසුවක් කර ගත හැකි ජාතියක් වන අපි, අවාසනාවන්ත ලෙස ඒ ඔසුව මඟ හරිමින් සිටිනවා නොවේදැයි මඳක් සිතන්න. තවමත් අපි ප්‍රමාද නැත. නිවුඩ්ඩ සහිත රතු සහල් බතක් අපේ බත් වේල කර ගන්නට අපිට තවමත් පුළුවන් කම ඇත්තේ ය. රතු සහල වැඩි වැඩියෙන් සොයනා විට රතු සහල් වැඩි වැඩියෙන් වැවෙනු ඇත. නිවුඩ්ඩ ඇතිව රතු සහල සොයනා විට පොලිෂ් සහලට තැනක් නැතිවනු ඇත. සිදුවිය යුත්තේ එයම නොවේද!ගුණැති බත් පතක රස බලා නීරෝගීකම නම් උතුම් ලාභය ලබන්නට බත් කෑ, බත් කන ජාතියක් ලෙස අපිට තවමත් කාලය ඇත්තේ ය.

Comments