ගම්පහින් එළියට එන මත් මාෆියාවේ අලුත්ම සෙල්ලම | Page 2 | සිළුමිණ

ගම්පහින් එළියට එන මත් මාෆියාවේ අලුත්ම සෙල්ලම

  • මත්පෙති ජාවාරම්කරුවන්  ගම්පහ හරස් පාරවල
  • තූල් ගහලා මත්වුණු තරුණ සිසුන්  මහපාරේ නිරුවතින්
  • "අයිස්’ මත්ද්‍රව්‍ය  අයිස්ක්‍රීම් තරම්  සුලබයි

ගම්පහ ලංකාවේ ප්‍රධාන නගර කීපයකින් එකකි. සති අන්ත දිනවල ගම්පහ නගරයට එන වැඩිම ජනගහනය පෞද්ගලික පන්ති සඳහා සහභාගී වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සමන්විතය. නගරයේ කඩ සාප්පු ඇතුළු ව්‍යාපාර ගණනාවක් පෞද්ගලික උපකාරක පන්ති සඳහා පැමිණෙන තරුණ තරුණියන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන්ම පවත්වා ගෙනයනු ලබයි. ටියුෂන් ළමයින්ට පමණක් කෑම දෙන ‘ස්පෙෂල් මෙනියු’ එකේ සිට ඔවුන් සඳහාම අතේ ඇති මිලට හයර් වන කාමර සහිත ගුබ්බෑයම් ද ගම්පහ අවට ඕනෑතරම්ය.

කාන්තාවන්ට මෙන්ම පිරිමින් සඳහා ද විවිධ මාදිලියේ රූපලාවණ්‍ය ආයතන නගරයේ බොහෝ තැන්වල පිහිටා ඇත. නගරයට ආසන්නව රූපලාවණ්‍යාගාරයක් තිබේ. තරුණ පිරිසගේ වැඩි අවධානය දිනාගෙන ඇති මෙම ආයතනය පවත්වාගෙන යනු ලබන්නේ කලක් විදේශ රටක කොණ්ඩා සැකසීමේ ශිල්පියෙකු ලෙස සේවය කළ තැනැත්තෙකි. මෙම ආයතනය තරුණ තරුණියන්ගේ රූපලාවණ්‍ය අවශ්‍යතා රැසක් ඉටු කරයි. ටැටූ නොහොත් පච්ච කෙටීමද මෙම සැලෝන් ආයතනය මගින් සපයනු ලබන තවත් එක් සේවාවකි.

මෙම රූපලාවණ්‍යාගාරය වෙත අප යන මොහොතේ රූමත් තරුණියක ඇයගේ නිරාවරණය වූ ළැම පෙදෙසේ ඉදිකටු තුඩු මගින් වර්ණවත් සමනල රුවක් සහිත පච්චයක් සටහන් කරගනිමින් සිටිනු දක්නට ලැබිණි. ඇය පැමිණ සිටියේ පෙම්වතාද සමඟිනි. බාබර් පුටුවේ සිටින තරුණියත් ඇයගේ තරුණ පෙම්වතාත් මා සමඟ ගිය මගේ ගමන් සගයා දුටු මනතින් බොහෝ ළෙන්ගතු සිනාවක් පෑවෝය.

“අයියා... මෙහෙ...” තරුණයා ඔහු අසලට පැමිණ ඔහුට සිය සුරත දිගු කළේය.

“ ඔව් මල්ලි... ඔයාලා දෙන්න මෙහෙ ආව කියලා දැනගෙන ආවෙ. ඇත්තටම පොඩි වැඩක්. ඔයාගෙ බොක්ක හොඳ හින්දාම තමයි මෙච්චර කට්ටක් කාලා ඔයා හොයාගත්තෙ.” මගේ ගමන් සගයා ළෙන්ගතු ලෙස ඔවුන් ඇමතුවේය. වියැකී යන ජීවිතවල අඳුරු සලකුණු මේ තරුණයන්ගේ මුහුණු මත යන්තමින් සටහන් වෙමින් ඇති අයුරු මම උවමනාවෙන් නිරීක්ෂණය කළෙමි.

මේ තරුණයාත්, ටැටූ කොටාගන්නා ඇගේ තරුණ පෙම්වතියත් මත් පෙතිවලට ඇබ්බැහිවූවෝ ය. කලෙක මගේ ගමන් සගයාද ඒ බිහිසුණු උවදුරේ ගොදුරක්ව සිට ඒ අගාධයේ මුවවිටින්ම ගොඩ පැමිණියෙකි. ඒ ව්‍යසනයෙන් සමජය ගලවා ගැනීම සඳහා හැකි පමණින් කැපවූවෙකි.

තරුණයා සමඟ කෙටි පිළිසඳරක යෙදෙමින් රූපලාවණ්‍යාගාරයෙන් පිටතට පැමිණියෙමු. ඔහු සිය ඛේදජනක ජීවිතය පිළිබඳ එක දිගට කතා කරයි. ඔහු ගන්නා මත්ද්‍රව්‍යවල ඉතිහාසය පිළිබඳ හැදෑරීමක් ද මේ අමුතු තරුණයා සතුව තිබේ.

“ අපි දෙන්නා අයිස්වලට මාරු වුණා. මේ එක පෙත්තක් රුපියල් තුන්දාහකට, නැත්නම් ඊට වැඩි මිලකට ගම්පහදි විකිණෙනවා. ගන්න තැන අහන්න එපා අයියෙ. අපි වෙන දේවල් ගැන කතා කරමු. මේ බඩු මුලින්ම හදලා තියෙන්නෙ ජර්මනිය බවයි. හිට්ලර්ගේ හමුදාව යුද්ධයට යද්දී සොල්දාදුවන්ගේ නිදිමත නැති කරන්න හදපු එකක්ලු ‘අයිස්’.”

සැබැවින්ම මේවා භාවිත කළවිට නිදිමතක් නොදැනේ. සිටිනුයේ නින්දත් අඩනින්දත් අතරය. මේ පෙත්ත ලංකාවට මුලින්ම හඳුන්වාදී ඇත්තේ රටේ නමගිය ප්‍රභූවරයකුගේ පුතෙකි. පටන් ගත්තේ කොල්ලුපිටිය, බම්බලපිටිය වාගෙ කොළඹ නගරයට ආසන්න සමාජ ශාලාවලිනි.

“අද නම් ගම්පහ විතරක් නොවෙයි මිනුවන්ගොඩ, නයිවල, දිවුලපිටිය, වේයන්ගොඩ සහ නිට්ටඹුවෙ සමහර පොට්වලත් ‘අයිස්’ තියෙනවා.” ඔහු පවසන්නේ මිනිස් ශරීරයට අතිශය අහිතකර, තරුණ ජීවිත බලා සිටියදී වනසා දමන ලංකාවේ ඇති බිහිසුණුම, මිල අධිකම මත්ද්‍රව්‍යය වන ‘අයිස්’, අයිස් ක්‍රීම් තරම්ම ගම්පහ සුලභ බවය.

මේ කතාබහ අතරේ තවත් කිහිපදෙනෙකු හඳුනා ගැනීමේ ඉඩහසර පෑදේ. මේ සියලු දෙනා තරුණයන්ය. මත්ද්‍රව්‍යයන්හි ගිලී මියැදෙමින් සිටින අවාසනාවන්තයන්ය. ‘පිල්’ නමැති මත්පෙති වර්ගයක් ගම්පහ පොට්වල විකිණේ. මෙම මත්ද්‍රව්‍ය නර්තනයේ යෙදෙන්නන්ට අපූරු උත්තේජනයක් සපයන බව පැවසේ. මේ වර්ගයේ මත්පෙති පානයට ඇබ්බැහි වූ පිරිසට මිරිස් සහිත ආහාර අනුභව කළ නොහැකි ය. අපට මේ කතාව කියන්නේ පිල්වලට ගොදුරු වූ තරුණයෙකි. ඔහුට තවමත් තමන් ගිලගෙන සිටින මාරයා පිළිබඳ ලොකු හැඟීමක් නැත.

“පිල් ටැබ්ලට් එක ගැහුවම එක තැනක ඉන්න හිතෙන්නෙ නෑ. දත් ඇඳි දෙක කසනව වගේ දැනෙනව. දත්මිටි කන්නමයි හිතෙන්නෙ. එහෙම දත්මිටි කන වෙලාවට දිවේ දෙපැත්තම හැපෙනව. ලේත් එනව. ඒත් ඒ වෙලාවට ඒක දැනෙන්නෙවත් රිදෙන්නෙවත් නෑ.

සමහර වෙලාවට කතා කරගන්න බැරි තරමට දිව ඉදිමෙනව. දවස් ගාණක් යනකං පැණිරස දේවල් විතරයි කන්න වෙන්නෙ. මිරිස් දාපු කිසිම දෙයක් කට හරියෙ තියන්න බෑ.” මිරිස් කන්න බැරි හේතුව ඔහු අපට කියන්නේ එසේය. උවමනාවෙන් බැලුවෙමි. මේ මත්ලෝලී තරුණයාගේ දිවෙහි දෙපැත්තම රතු පාටට ඉදිමී ඇත.

රුපියල් දෙදහස් පන්සීයේ සිට ඉහළ මිල ගණන්වලට අලෙවි කරන ‘ඩාන්සින් ටැබ්ලට්’ නමින් ප්‍රකට පෙති වර්ගයක් විකිණීමේ අරමුණෙන් ගම්පහ අවට ද සාද පැවත්වේ. උඩුගම්පොල අවටදී අපට හමුවන එක් තරුණයකු මුල්වරට මෙම මත්පෙති පානය කරන්නේ සමාජශාලාවක පැවති නර්තන සාදයකදීය. සංගීත කණ්ඩායමක නිත්‍ය සාමාජිකයකු ලෙස කටයුතු කරන මොහු සමඟ මිතුරු සංගීත ශිල්පීහු බොහෝ දෙනෙක් අද මෙරට නිෂ්පාදනය නොවන මත්ද්‍රව්‍ය රාශියක් භාවිත කරමින් ව්‍යසනයට පත්ව සිටිති.

නානාමාදිලියේ සංගීත පිරිස් සමඟ නිරන්තරව ගැටීම හේතුවෙන් මෙවන් මත්ද්‍රව්‍ය ආයාසයකින් තොරවම ඔවුන් වෙත ළඟාවේ. මත්ද්‍රව්‍ය ශීඝ්‍රලෙස පැතිර යෑමේ වාහකයන් වන්නේද මොවුන්ය. තමන් ආදරය කරන කලාකරුවන් ක්‍රීඩකයින් වැනි ජනප්‍රිය පුද්ගලයින් අනුකරණය කිරීමට පෙලඹෙන තරුණ කොටස් ඉතා පහසුවෙන් මෙවන් අන්තරායකර මත්ද්‍රව්‍යවලට පුරුදුවලට ගොදුරු වෙති.

“පාන්පරාක්, බාබුල්, තූල්, ඈෂ් වැනි ඉන්දියාව හා පාකිස්තානයෙන් නීති විරෝධී ක්‍රමවලට මෙරටට ගෙන්වන දුම්කොළ ආශ්‍රිත මත්ද්‍රව්‍ය පාසල් ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර ගොස් තිබේ. කොළඹ නගරයේ බුලත්විට කඩවල නිදහසේ අලෙවි වූ මෙම පුවක් සහ දුම්කොළ මිශ්‍ර මත්ද්‍රව්‍ය ගම්පහ ගම්වලට පැමිණියේ සමහර සාරවිටකාරයන් මාර්ගයෙනි. සංගීත ප්‍රසංග, කානිවල් ආදී උත්සව අවස්ථාවල අලංකාර ලෙස සැරසූ ඔවුන්ගේ බුලත් වට්ටියේ මිල ගණන් කීපයකට අලෙවි කරන සාරවිට වර්ග තිබේ. මත් පුවක්, මත් දුම්කොළ හා මත්වන පැණි වර්ග බුලත් විට සමඟ අලෙවි කෙරේ. මෙය එතරම් අවධානයට යොමු නොවූ කරුණක් වූයේ බුලත්විට සැපීම අපේ රටට ආගන්තුක කාරණයක් නොවන බැවිනි.

ඉන්දියන් මත් පුවක් තොගයක් ළඟ තබාගැනීමේ වරදකට අත්අඩංගුවට පත්ව නිදහස් වූ අයෙක් යක්කල පැත්තේදී අපට හමුවිය. ඔහු පවසන්නේ ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ප්‍රවාහණය කරන නිසා මෙම විෂ දුම්කොළ හා පුවක් වර්ගවල හිඟයක් නොමැති බවයි. මෙම නීති විරෝධී සංක්‍රමණික ද්‍රව්‍යවලින් මත්වීම හැරුණු කොට අතුරු ආබාධ ගණනාවක් ඇති වෙයි.

ඉතා කෙටිකලකදී දත් දිරායාම දත් මුල් දියවීම හා මුඛ පිළිකා ඇතිවීමේ අවධානම ඉන් කීපයකි. ඒ අතර අවාසනාවන්තම තත්ත්වය වන්නේ ලිංගික ශක්තිය දුර්වල වී ළාබාල තරුණ වයසේම ඇතිවන ලිංගික අප්‍රාණිකත්වයයි.

මානසික රෝග සඳහා ලබාදෙන පෙති වර්ග මත්ද්‍රව්‍ය ලෙස භාවිත කිරීම බොහෝ කලකට පෙර සිටම සිදුවන්නකි. විවිධ මානසික රෝගවලට ගොදුරු වූ රෝගීන් සඳහා ලබාදෙන ඇතැම් ඹෟෂධ වර්ග ෆාමසිවලින් ලබා ගැනීමට වෛද්‍යවරයෙකු අනුමත කළ රිසිට් පතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. ෆාමසිකරුවන් මෙන්ම වෛද්‍යවරුන් ද මානසික රෝගීන්ට ලබාදෙන පෙති වර්ග මත්වීම සඳහා පාවිච්චි කරන බව නොදැන සිටිනවා වන්නට නොහැකිය.

එය එසේ වුවත් ගම්පහ දුම්රිය පොළේත් බස් නැවතුම් පොළේත් මේ පෙති පානය කර අඩ නින්දෙන් සැරිසරන තරුණ පිරිස් අපට නිතර හමුවේ. ඛේදවාචකය වන්නේ මේ අය අතරින් බොහෝ දෙනකු පාසල් සිසුන් වීමය. දරුණු මානසික ආබාධවලට ගොදුරු වී ඇති රෝගීන් පාලනය කිරීම ඉතා අපහසු කාර්යයකි.

ඔවුන් මෙල්ල කිරීම සහ පාලනය කිරීම සඳහා නිපදවන බෙහෙත් වර්ග ඔසුසල් හිමි සමහර කාලකන්නි අමනුෂ්‍යයෝ අධික මිල ගණන්වලට සිය දරුවන්ගේ වයස්වල පසුවන තරුණයන්ට අලෙවි කරති. විවිධ ක්‍රම මගින් මෙම පෙති ගෙන්වාගෙන ජවාරම් කරන අමනුෂ්‍යයෝද ගම්පහ නගරයේ සමහර හරස් වීදිවලදී හමුවිය හැකිය.

‘ටැබා’ නමින් මත්ලෝලීන් හඳුන්වන මෙම පෙති පානය කළ පාසල් සිසුවෙක් ලේස් දෙක එකට ගැටගැසූ සපත්තු කුට්ටම, ගැලවූ කලිසම හා කමිසය කරේ දමාගෙන යට ඇඳුම පමණක් සහිතව වේයන්ගොඩ නගරයේ ගමන් කළ අවස්ථාවක් වාර්තා විය. මෙලෙස අශෝබන ලෙස දෙනෝදාහක් සෙනඟ මැද මහදවල් මහපාරේ ගමන්කරමින් සිටි තරුණ සිසුවා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට බාර දෙන ලදී. මේ කියන්නේ සිහිය විකල්වන ඖෂධ වර්ග මත්ද්‍රව්‍ය ලෙස ඉතා පහසුවෙන් තරුණ පිරිස් අතට පත්වන බවය.

එය එසේ සිදුවන්නේ කෙසේදැයි දැනගන්නට නගරයේ සාප්පු සංකීරණයක උඩු මහලේ පාළු කඩ කාමරයක රස්තියාදු ගසමින් සිටි මත්ලෝලීන් පිරිසක් සොයා ගියෙමි. ඔවුන් පවසන්නේ දන්නා හඳුනන ඔසුසල් කීපයකින් මෙම පෙති වර්ග මිලට ගතහැකි බවය. ෆාමසි නොවන තැන්වලද හොර රහසේ මෙම පෙති වර්ග අලවි කරන අතර රට පුරා ෆාමසිවලට බෙහෙත් වර්ග බෙදාහරින වෙළෙඳ නියෝජිතයින්ගෙන් වැඩි මිලට මෙම පෙති හොර මත්ද්‍රව්‍ය වෙළෙන්දන් අතට පත්වන බවය.

වෛද්‍යවරුන්ගේ ව්‍යාජ අත්සන් යෙදා සකසන ලද රිසිට් පත් ඉදිරිපත් කරමින් මත්වීමට ගන්නා ඹෟෂධ පෙති වර්ග ලබාගන්නා බව මේ තරුණ පිරිස් පවසති.

පසුගිය කාලයේ තවත් වසංගතයක්ව පැවති ‘කොරෙක්ස් ඩී’ නමැති කුඩා දරුවන්ගේ කැස්සට ලබාදෙන පැණිය දැන් වෙළෙඳපොළේ අලෙවි කරන්නේ සැර ගතිය බාලකිරීමෙනි. ඒ වෙනුවට මත්බව ඇතිකරන විවිධ නම්වලින් යුතු පැණි වර්ග පාසල් ළමයින් අතරට පැමිණ තිබේ. ‘කුෂ්’ එලෙස අලුතින්ම මෙරටට පැමිණි තවත් එක් මත් විෂේශයකි. මෙම මත්ද්‍රව්‍යට වඩාත් ඇලුම්කරන්නේ කංසා නොහොත් ගංජා පානයට ඇබ්බැහිවූවන්ය.

කුෂ් නැමති මත්ද්‍රව්‍ය හෙරොයින්වලට වඩා මිල අධිකය. ඩ්‍රෑම් එකක් වැනි පුංචි ප්‍රමාණයක මිල රුපියල් පන්දාහක් පමණය. කුෂ් ඉතා කුඩා ප්‍රමාණයක් සිගරට් කුඩු සමඟ මිශ්‍රකර සිනිඳු කඩදාසියක ඔතා ගංජා මෙන් පානය කරමින් සිටි මත්ලෝලියෙක් නිට්ටඹුව ආසන්නයේදී හමුවිය. කොළඹදී මිලදී ගත් බව පැවසූ ‘කුෂ්’ රැගෙන ආ තරුණයා මෙම මත්ද්‍රව්‍ය සොයාගැනීම තරමක් අපහසු කාර්යයක් බවද කීවේය.

මද වෙලාවක් ඔහු සමඟ ගතකර නැවත ආපසු එන්නට හැරුණෙමි. මේ හෙළිවෙමින් ඇත්තේ මේ රටේ අපට නොසිතන සමාජ ඛේදවාචක ගැඹුරය. ගම්පහ අවටදී මතුනොව, රට පුරාම මතට ඇබ්බැහි වෙමින් සිටින මේ තරුණ පිරිස අනාගත ජාතියක සොහොන් ලකුණු පහළ කරමින් සිටිති. පාසලට යන දරුවා පාසලේදී ආරක්ෂා කරගත නොහැකි, ටියුෂන් යන තරුණ සිසුන්ට රැකවරණය සැපයිය නොහැකි, සියලු සමාජ සදාචාරයන් ඉවත දමා මත්පෙති මත්ද්‍රව්‍ය නොදරුවන් ඉලක්ක කරගෙන විකුණන සහ ජාවාරම ප්‍රවර්ධනය කරන කාලකණ්ණි පිරිසක් සහිත අනාරක්ෂිත සමාජයක අසරණ මිනිසුන් ලෙස අපි ශිෂ්ඨාචාරයේ අවසන් හුස්ම හෙළමින් හිඳිමු.

සුදත් සමරදිවාකර

Comments