
- ප්‍රංසයට ගෙනයනවා කියලා ලක්ෂ ගණන් මුදල් අරන්
- දවස් විසි ගණනක්ම හිටියේ මහ මුහුදේ
- ‘ස්කීපර්, ගියේ දරුපවුලම අරන්, මාස අටක දරුවෙකුත් හිටියා
ඔස්ට්‍රේලියාවට යන්නට ගොස් රැවටීම්වලට ලක් වූ මිනිස්සු අපමණය. බල්ලන් මරා හෝ සල්ලි හොයන්නට හුරු වී සිටින අපේ මිනිසුන් දැන් මිනිස් ජාවාරම් කරන්නටද පටන් ගෙන ඇත. හොරෙන් ඔස්ට්‍රේලියා යන ගමන අසාර්ථක නිසා දැන් අලුතෙන්ම යන්නට හදන රට ප්‍රංසයයි. ප්‍රංසයේදී අනාගතය ගොඩ නඟන්නට හදන ඔවුන් ජාවාරම්කරුවන්ට හොර ගමන වෙනුවෙන් ලක්ෂ ගණනින් දෙන්නට සුදානම්ය. පසුගිය දිනෙක ප්‍රංසයට යන්නට ගොස් අතරමං වී ගුවනින් ලංකාවට පැමිණි පිරිස හැත්තෑ ගණනකි. නමුත් රුපියල් ලක්ෂ තුන හතර දී ඒ අය ගොස් තිබුණේ ප්‍රංසයට නොව ‘රියුනියන්‘ දූපතටය.
බෝට්ටුවෙන් ප්‍රංසයට යන්නට ගොස් රියුනියන් හි අත්අඩංගුවට පත්ව ගුවනින් පැමිණි මඟී පිරිස නිසාය. දහසකුත් එකක් සිහින දකිමින් රියුනියන් ගිය පිරිස දින ගණනාවකට පසු යළි සිය රට පැමිණියේ බිඳ වැටුණ බලාපොරොත්තු සමඟය.
උඩප්පුව, යාපනේ, කරුකපනේ, හලාවත ආදි ප්‍රදේශවලින් සෙනඟ පටවාගෙන යන්නට ගිය බෝට්ටුවේ ප්‍රංසයට යෑම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ අට, හය ආදි වශයෙන් මුදල් ගෙන තිබේ. ඒ මිනිස් ජාවාරම මෙහෙය වූ අය රුපියල් රුපියල් කෝටි පහකට ආසන්න මුදලක් උපයා ගන්නට ඇතැයි සැක කෙරේ.
ධිවර කර්මාන්තය සඳහා මීගමුවෙන් පිටත් වූ යාත්‍රාව පිළිබඳ හිමිකරුට දවස් ගානක් යන තුරුම දැන ගන්නට ලැබි නැත. ඒ නිසා ඔහු ඒ පිළිබඳ මීගමු පොලිසියට පැමිණි කර ඇත.
රියුනියන් යන්නට ගොස් කොටු වු ‘ජේ ප්‍රශංසා 04 ‘නමැති යාත්‍රාවට අමතරව තවත් යාත්‍රා කිහිපයක්ම අත්අඩංගුවට පත් වී ඇත. අත් අඩංගුවට ගැනුණු යාත්‍රා අතුරෙන් දෙකක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. දැනට රියුනියන් දුපතේ ශ්‍රි ලංකා බෝට්ටු තුනක් ඇත. රියුනියන් යන්නට ගිය එක් බෝට්ටුවක් අනතුරට පත් වී මුහුදේ ගිලි ඇති අතර එහි සිටි ශ්‍රි ලාංකිකයන් රියුනියන් දුපතට ගොස් ඇත. කාර්මික දෝෂයකට ලක්වූ බෝට්ටුවේ සිටි පිරිස සීෂෙල්ස් වෙත ගොස් ඇත.
පසුගිය දා හලාවතින් ගිය ජේ.ප්‍රශංසා 04 බෝට්ටුවේ ගිය මඟින් ප්‍රංශයට යෑම සඳහා ගමන සුදානම් කළ අයට රුපියල් ලක්ෂ හය, ලක්ෂ අට ආදි වශයේ මුදල් ගෙවා ඇත. නමුදු ගමන සුදානම් කළේ කවුදැයි යන්න දන්නේ නැත. ජේ ප්‍රශංසා බෝට්ටුවේ හිමිකරු වෙනුවෙන් කතා කළේ ඔහුගේ හිතවතෙකි.
“බෝට්ටුවේ ස්කීපර් විදිහට වැඩ කළේ මහවැව තෝඩුවාවේ කෙනෙක්. කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් හිටියා. බෝට්ටුවේ එන්ජිම අලුතෙන් තිබ්බා. ජනවාරි නව වැනිදා බෝට්ටුව මීගමුවෙන් පිට වුණා. හත් දෙනාට මාස දෙකකට අවශ්‍ය පරිදි කෑම තිබුණා. ඉන්ධන ලීටර් 10,000ක් තිබුණා. ඒ හැරුණාම ලක්ෂ විස්සකට ආසන්න මාළු අල්ලන උපකරණ ආදියත් තිබුණා. එදා මීගමුවෙන් පිටත් වුණ යාත්‍රාව ඇවිල්ලා තියෙන්නේ හලාවතට.”
බෝට්ටුවේ හිමිකරු සුදර්ශනගේ මිතුයකු වන විජිත් ප්‍රනාන්දු පවසා සිටියේය.
බෝට්ටුවේ නැඟ ප්‍රංසයට යන්නට ගොස් ගුවනින් පැමිණි දිනේෂ්ගේ කතාවයි මේ.
“මම ඉන්නේ උඩප්පුවේ. අයියා කෙනෙක් තමයි කිව්වේ මෙහෙම රස්සාවකට යන්න පුළුවන් කියලා. ඔක්කෝම ගාන ලක්ෂ පහළොවයි. මම ලක්ෂ තුනයි දුන්නේ. ගිහිල්ලා ලක්ෂ දෙකක් දෙන්නම් කිව්වා. පස්සේ ඉතිරි ටික දෙන්නම් කිව්වා. අපේ කොල්ලෝ අට දෙනෙක් හිටියා. අපි මහ බෝට්ටුවට නඟින්න පොඩි බෝට්ටුවක නැඟලා දැදුරු ඔය දිගේ ආවා. වේලාව රෑ දහයට දහයාමාරට විතර ඇති. ඒ ජනවාරි දහතුන් වෙනිදා. අපි බෝට්ටුවට නැඟලා විනාඩි තුනකට විතර පස්සේ බෝට්ටුව පිටත් වුණා. බෝට්ටුවේ යද්දි වමනේ යන්න ගත්තා. එතකොට අපිට බෙහෙත් දුන්නා. මුලින් අපි හිටියේ බෝට්ටුව ඇතුළේ. ඒත් ඒක ඇතුළේ ඉන්න බැහැ මාළු ගඳයි. ඒ නිසා බෝට්ටුව උඩට වෙලා හිටියේ.
දවස් විසි දෙකක් අපි හිටියේ මුහුදේ. සමහර දවස්වලට වහිනවා. මුහුදු වතුරෙන් නානවා. වතුර බොන්න ලැබුණේ කෝප්පයකින් පොඩ්ඩයි. ඒ ගොල්ලෝ ලොකු මාළු ඇල්ලුවා. මාළුයි, පරිප්පුයි සොයාමීට් සමඟ බත් කන්න ලැබුණේ. නමුත් බෝට්ටුව පදවපු ස්කීපර්ගේ පවුලේ අයට හොඳට කන්න දුන්නා. ඒ අය අතර ඔහුගේ බිරිය, මව, දරුවෝ තුන්දෙනා හිටියා. මේ බෝට්ටුවේ නමක් තිබුණේ නැහැ. අපි ඒ ගිය ගමනෙදි බොහෝම දුක් වින්දා.”
තරුණයා කියාගෙන යන්නේ මුහුදු ගමනේදි විදි හිරිහැරය. ඔවුන් අත්අඩංගුවට පත් වුණේ කෙසේදැයි කියා අපි ඇසුවෙමු.
“බෝට්ටුවේ දවස් දහයක් විතර යනකොට බෝට්ටු පදවන්නා කිව්වා සමහරු සල්ලි දීලා නෑ වගෙයි කියලා. ඒ කතාව අපිට හරියට තේරුණේ නැහැ. දූපතට යන්න දවස් දෙකකට කලින් කිව්වේ බේට්ටුවේ තියෙන ඔක්කෝම විසි කරන්න කියලා. නමුත් අපිව එහෙ ආරක්ෂක අංශයට අහුවුණා. චොපර් එකකින් ඇවිත් තමයි අපිව අත් අඩංගුවට ගත්තේ. ඒ රටේ වරායට යන්න පැය එකොළහක් විතර ගියා. අපි එක එක්කෙනා වෙන වෙනම අරගෙන තමයි ප්‍රශ්න කළේ. එළියට යන්න එන්න දුන්නේ නැහැ. අපිට කන්න බොන්න දුන්නා. දවස් අටක් අපි ඒ විදිහට හිටියා. කට උත්තර ගත්තා. පස්දෙනෙක් ඒ රටේ නතර කරගත්තා. ඒ ගොල්ලෝ දෙමළ අය. එක්කෙනෙක්ගේ කකුලක අමාරුවක්. අනෙක් හතර දෙනා එයාලට දෙමළ නිසා ප්‍රශ්න තියෙනවා කියලා තිබුණා. අන්තිම මොහොත වෙන තුරුම අපි හිතුවේ නැහැ අපට ලංකාවට එන්න වෙයි කියලා. අපි හිතුවා නඩු දාලා අවුරුදු තුනක් විතර තියාගෙන ඉඳලා අපිට ඒ රටේ ඉන්න ලැබෙයි කියලා. නමුත් බෝට්ටුව හොර එකක් නිසයි අපිට මෙහෙම වුණේ. ගමන යන්න පිටත් වුණ දවසේ ඉදලා දවස් තුනක් යන තුරුම අපි හිටියේ බෝට්ටුව ඇතුළේ. එහෙම ඉන්න කියලා ඔවුන් කිව්වේ නාවික හමුදාව දකීවි කියලා.” දිනේෂ් පවසන්නේ තමන් ලොකු අමාරුවක වැටුණබව කියමිනි.
දැන් ප්‍රංසයට මුහුදින් යෑමේ හොර ගමනේ අලුත්ම නැවතුම් පොළ වී ඇත්තේ රියුනියන් දූපතයි.
රියුනියන් දූපත අයත් වන්නේ ප්‍රංසයටයි. ඉන්දියන් සාගරයේ අපේ රටට වම් පසින් මැඩගස්කර් දූපත ආසන්නට වන්නට රියුනියන් දූපත පිහිටා තිබේ. එම දූපතේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2511කි. ලක්ෂ නවයකට ආසන්න ජනතාවක් එම දූපතේ වාසය කරන අතර එරට ප්‍රධාන මුදල් ඒකකය වන්නේ යුරෝය.
කෙසේ වුවත් රියුනියන් ප්‍රංසයට අයත් දූපතක් නිසා මිනිස් ජාවාරම්කරුවන් කරන්නේ ප්‍රංසයට රැගෙන යන බව පවසමින් මිනිසුන් එම දූපට ගෙන ගොස් අතරමං කිරීමය. රියුනියන් බලා යන මුහුදු ගමනට දින විසිපහකට වැඩි කාලයක් ගත වන අතර යා යුතු නාවික සැතපුම් ගණන 3000ක් පමණ වේ.
ගමන දුෂ්කර වුවද පොලිසිය නාවික හමුදාව, වෙරළ ආරක්ෂක බළකායේ අංශයේ මෙන්ම වෙනත් ආරක්ෂක අංශවල ඇස්වලට වැලි ගසමින් යන මේ ගමනේ අවසානය එක්කෝ සරණාගත කඳවුරකය. නැති නම් අන් රටක අත්අඩංගුවට පත්වීමය. එහෙමත් නැති නම් යළිත් මෙරටට පැමිණීමය.
බොට්ටුවෙන් ප්‍රංසයට යන්නට ගොස් ගුවනින් ලංකාවට පැමිණි පුද්ගලයන් සොයා හලාවත වෙන්නප්පුව හා ඉරණවිල ආදි ප්‍රදේශවල කළ සංචාරයකදි අපට හමු වූයේ පසුගිය අගෝස්තු මාසයේදි රියුනියන් හිදි අත්අඩංගුවට පත් ව යළි මෙරටට එවන ලද බහුදින යාත්‍රාව පදවාගෙන ගිය ස්කීපර්ය. ඔහු ඉමේෂ් දිනිදු. වයස අවුරුදු විසිපහකි. බහුදින යාත්‍රාවක සේවය කළ ඔහු රියුනියන් යන්නට පිටත් වී ඇත්තේ මුදලාලිගේ කීමටය. මුදලාලි යනු ඉමේෂ් වැඩ කරන බෝට්ටුවේ හිමිකරුය.
මම වැඩ කළේ හෙවින් පුතා බෝට්ටුවේ. අපි හිටියේ ත්‍රිකුණාමලය මුහුදේ. බෝට්ටුවේ තෙල් බ්ලොක් එකක් තිබුණා. මම මුදලාලිට පණිවිඩයක් යැව්වා. ඔහු මට කිව්වා ගොඩබිමට එන්න කියලා. ආවාට පස්සේ අයිතිකාරයා ඇහුවා මෙහෙම ගමනක් යන්න තියෙනවා යනවා ද කියලා. මට ලක්ෂ දහයක් දෙන්නම් කිව්වා. සෙනඟ රියුනින් යවනවා කියලා තමයි කිව්වේ. අප හය දෙනෙක් බෝට්ටුවේ ගියා. තව දෙන්නෙක්ට ත්‍රිකුණාමල වරායට එන්න කියලා තිබුණා. ගාල්ලෙන් විස්සක් බෝට්ටුවට නඟින්න ඉන්නවා කිව්වා. ගමන පටන් ගත්තේ ත්‍රිකුණාමලයෙන්. බේරුවල තංගල්ල පැත්තේ මුහුදෙන් අපි යන්න ගියේ.
ගාල්ලේ මිනිසුන් පටවාගන්න බැරි වුණ හේතුව ඊට පෙර ගිය බෝට්ටුවක් අත්අඩංගුවට පත්වෙලා තිබුණ නිසා. ඒ වෙන කොට අපේ බෝට්ටුවේ අට දෙනෙක් හිටියා. මුදලාලි අපට කිව්වේ මුහුදේ ඉන්න කියාලා. දවස් තුනක් ඉන්න කිව්වා. නමුත් ඒ වෙන කොට තෙල් අඩුයි. විස්ස පැටෙව්වොත් තවත් බර වැඩියි. මුදලාලි අපේ බොට්ටුවට ගැජට් කෑල්ලක් හයි කරලා තිබුණා රේඩාර්වලට අසුනොවි යන්න. අපි රියුනියන් යන්න ගියා. දවස් විසිදෙකක් ගියා ගමනට.
නමුත් අපිව එහෙ පොලිසියෙන් අල්ලා ගත්තා. අපි කිව්වා අපව ලංකාවට එවන්න එපා කියලා. ටික දවසකට පස්සේ අපව මොරිසස් ගෙනිච්චා. ඉන් පස්සේ ප්‍රංසයේ පැරිස් නුවරට ගෙනිහිල්ලා ගුවන් මඟින් ඉන්දියාවට එව්වා. අප අට දෙනා සමඟ ප්‍රංසයෙන් නිලධාරින් අට දෙනකුත් ලංකාවට ආවා.
අපේ බෝට්ටුව අල්ලා ගත්තම මම එහෙදි මුදලාලිට කතා කළා. ඔහු කිව්වා ඔහුට බෝට්ටුවත් නැහැ. අපි සෙනඟ පටවාගත්තෙත් නැති නිසා පාඩුයි කියලා. කොහොම වුණත් ලංකාවට ආවාම එයාර්පෝර්ට් එකේදි අපිව අත්අඩංගුවට ගත්තා. මීගමුවේ හිර ගෙදර මාස හතරක් ඉන්න වුණා. මුදලාලි පැමිණිල්ලක් දාලා ඔහුගේ බෝට්ටුව මම හොරකම් කළා කියලා. තවම නඩුව ඉවර නැහැ. දැන් මම හැම ඉරිදාවකම රහස් පොලිසියට එන්න ඕන අස්සන් කරන්න.”
ඉමේෂ් පැවැසුවේ තමන් පත් වී සිටින අසරණභාවය ගැනය. අගොස්තු මාසයෙ ඉමේෂ් සමඟ එම බෝට්ටුවේ ගිය ඔහුගේ මිත්‍රයකුද අපට හමු විය. ඔහු දනුක. ඉමේෂ් හා දනුක බෝට්ටුවෙන් රියුනියන් යන්නට පෙර ඔස්ට්‍රේලියාවේ ගොස් අමාරුවේ වැටුණ සුපුන් ද අපට හමු වූයේය.
“මේ සිද්ධිය වුණේ දෙදහස් දොළහ අවුරුද්දේ. මම ගියේ බෝට්ටුවේ හෙල්පර් කෙනෙක් විදිහට. ඒ නිසා සල්ලි දෙන්න වුණේ නැහැ. අපේ බෝට්ටුවේ පනස් එක් දෙනෙක් හිටියා. අපි ගියෙ මිරිස්සෙන්. මුලින්ම ගියේ කොකෝස් දූපතට. ඒ දුපත ගාවදි තමයි අපිව අත්අඩංගුවට පත් වුණේ. ඔවුන් අපිව ක්‍රිස්මස් දූපතට ගෙනාවා. සති දෙකකට පස්සේ ඔස්ට්‍රේලියාවේ ඩාවින් වලට ගෙනාවා.
අප හිටියේ සරණාගත කඳවුරුවල. නමුත් අපිට හොඳට සැලකුවා. සපත්තු දෙකේ සිට හැම දේම අපට දුන්නා. ඔස්ට්‍රේලියාවාට ගිහිල්ලා මුලින්ම ලංකාවට එවපු කණ්ඩායමේ තමයි අපි හිටියේ. ලංකාවට ආවාම නඩු දැම්මා. නඩුව අවසානයේ රුපියල් පනස් දාහක් දඩ ගැහුවා. ඊට පස්සේ මම රට යන හීනය අත්හැරියා.”සුපුන් පවසයි.
මේ විදෙස් ගතවන්නට ගොස් සිහින සෑබැ නොවුවෝය. නමුදු අප ඇවිද ගිය ඒ ප්‍රදේශයේ මාළු බෝට්ටුවලින් හොරෙන් රටකට පැන අද සමෘද්ධිමත් ජීවිත ගතකරන්නෝ ද වෙති. නමුදු ඒ කිසිවෙක් ඇත්ත නොකියති. කට්ට කාගෙන ගත කළ ජිවිතයේ ඇත්ත කියන්නට ඔවුන් අකමැතිය.
මේ ගමනේදී පසුගියදා රියුනියන් යන්නට ගිය ස්කිපර්ගේ නිවෙස සොයාගෙන අපි ගියෙමු.
අවට කතාවලින් දැන ගන්නට ලැබෙන්නේ ඔහු සිය දරු පවුලම රැගෙන ගිය බවය. දැන් ඔහු ගමේ නැත. ඔහු පමණක් නොව ඔහුගේ දරුවන් මෙන්ම බිරියද මව ද ගමේ නැත. ඔවුන් කොහේ ගියේදැයි කියන්නට කිසිවෙකු දන්නේද නැත.
රියුනියන් යන්නට ගොස් කොටු වු ‘ජේ ප්‍රශංසා 04‘ යාත්‍රාවට අමතරව තවත් යාත්‍රා කිහිපයක්ම අත්අඩංගුවට පත්වී ඇත.
පසුගිය දා හලාවතින් ගිය ජේ.ප්‍රශංසා 04 බෝට්ටුවේ ගිය මඟින් ප්‍රංශයට යාම සඳහා ගමන සුදානම් කළ අයට රුපියල් ලක්ෂ හය, ලක්ෂ අට ආදි වශයේ මුදල් ගෙවා ඇත. නමුදු ගමන සුදානම් කළේ කවුදැයි යන්න දන්නේ නැත.
මේ සිද්ධි කිපයක් පමණි. මෙය අවසන් සිදු වීමද නොවනු ඇත. අමාරුවෙන් සොයාගන්නා සල්ලි කාට හෝ දී ජීවිතයද අවදානමක දා ගනිමින් තිරණාත්මක ගමන් ගොස් නීතියේ රැහැනට කොටු වුවෝ බොහෝමය. ඒ පිළිබඳ කටයුතු කරන බලධාරින් රටේ මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එවැනි ගමන් ගොස් අමාරුවේ නොවැටෙන ලෙසය.
ඡායාරූප - තුෂාර පුනාන්දු ප්‍රසාද් පූර්ණමාල්
ඉනෝකා සමරවික්‍රම