නූල් බෝලයක් මෙන් පැටලුණු සීමාවාසික වෛද්‍ය පත්වීම් අර්බුදය | Page 2 | සිළුමිණ

නූල් බෝලයක් මෙන් පැටලුණු සීමාවාසික වෛද්‍ය පත්වීම් අර්බුදය

හර්ෂා සුගතදාස

සීමාවාසික වෛද්‍ය පත්වීම් 278ක් ලබා දීම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ පසුගිය 26 වැනිදා ය. මේ නියෝගය මාර්තු 27 දක්වා බල පැවැත්වේ. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් මේ නියෝගයත් සමඟ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාගැනීම සඳහා අරලියගහ මන්දිරයට පැමිණ සිටි වෛද්‍ය උපාධිධාරීහු බලවත් අපහසුතාවට පත් වූහ. මවුපියන් සමඟ පැමිණ සිටි වෛද්‍ය උපාධිධාරීන් ශාලාවෙන් පිටතට කැඳවා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එදින සීමාවාසික වෛද්‍ය පත්වීම් නොදෙන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳවත් පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔවුන් ආපසු පිටත් වී ගියේ බලාපොරොත්තු සුන් වීමෙන් ලද ළතැවුලත් සමඟිනි. එහෙත් මෙදින පශ්චාත් සීමාවාසික පත්වීම් 1080ක් ප්‍රදානය කෙරිණි.

සීමාවාසික වෛද්‍ය පත්වීම් 278ක් ලබා දීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවනු ලැබුවේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනකු ගොනු කර තිබූ අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය. මෙහි වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, දේශීය වෛද්‍ය සෞඛ්‍ය හා පෝෂණ ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ය. මොවුන් වගඋත්තරකරුවන් කරමින් සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනකු අධිකරණය වෙත ගියේ මන්ද යන්න විමසා බැලීම වටී.

“මම මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණේ 2009 අවුරුද්දේ. 2016 මැයි මාසයේ වෛද්‍ය උපාධිය ලැබුවා. වෛද්‍ය ආඥා පනතට අනුව මා ඇතුළු සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ 84 දෙනකුට සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට අයිතියක් තිබෙනවා. සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබන්න නම් අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි විය යුතුය. ඒත් ශ්‍රීලංකා වෛද්‍ය සභාව අපිට ලියාපදිංචිය දුන්නේ නැහැ. ඒ නිසා අපි අභියාචනාධිකරණයේ නඩුවක් දැම්මා. එහිදී අපව ලියාපදිංචි කර ගන්නා ලෙස අධිකරණය දැනුම් දුන්නා. ඒත් අපව ලියාපදිංචි කර ගත්තේ නැහැ. ඊට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් දැම්මා. 2018 සැප්තැම්බර් මාසයේ නැවතත් අධිකරණය දැනුම් දුන්නා අපව ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබා දිය යුතු බව. අපි අයදුම්පත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දීලා තිබෙන්නේ. ඒත් තවමත් අපට ලියාපදිංචිය දුන්නේ නැහැ. ඒ අතරවාරයේදී මේ අවුරුද්දේ ජනවාරි 29 දා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කළා කොළඹ වෛද්‍ය විද්‍යාලයේ විභාගය අසමත් වී යළි සමත්වෙලා වෛද්‍ය උපාධිය ලැබූ අයටත් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන්ටත් සුදුසුකම් සපුරා සිටින විදේශීය වෛද්‍ය උපාධිය ලැබූ අයටත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දෙන බව. එහි සයිටම් වෛද්‍ය උපාධිධාරින් ගැන සඳහනක් නැහැ. අපව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් ලියාපදිංචි කරගන්නෙත් නැහැ. අපි නීතියේ පිළිසරණ පතනවා හැර වෙන මොනවා කරන්නද?” යනුවෙන් විස්තර කළේ නඩුව ගොනු කළ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙ‍නාගෙන් එක් අයකු වන ෂේන් හල්පේය.

සීමාවාසික වෛද්‍ය පත්වීම් වසරකට දෙවතාවක් ලබා දීම සාමාන්‍ය පිළිවෙතය. ඉන් ප්‍රථම වරට ලබා දෙන්නේ මෙරට වෛද්‍ය උපාධිය ලැබූ අයට සහ සුදුසුකම් සපුරා ඇති විදේශීය වෛද්‍ය උපාධිය ලැබූ අයට ය. සාමාන්‍යයෙන් වෛද්‍ය අධ්‍යාපනය ලබා අවසාන වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටින වෛද්‍ය සිසුසිසුවියන්ගෙන් 100ත්-300ත් අතර පිරිසක් විභාගය අසමත් වෙති. නැවතත් ඔවුන් විභාගය සමත් වූ පසු දෙවැනි වතාවට ලබා දෙන සීමා වාසික වෛද්‍ය පත්වීම් සඳහා ඔවුහු සුදුසුකම් ලබති. ඒ අවස්ථාවේදී ද සුදුසුකම් සපුරා ඇති විදේශීය වෛද්‍ය උපාධිය ලබා ගත් අයට ද සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දෙනු ඇත. මේ ආකාරයට වසරකදී 1500ක පමණ වෛද්‍ය උපාධිධාරීහු පිරිසක් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබති.

එහෙත් වසර දෙකක් පමණ කාලයක් පුරා වෛද්‍ය ශිෂ්‍යයන් අඛණ්ඩව පංති වර්ජනයක නිරත වීමෙන් මෙරට වෛද්‍යවරුන්ගේ හිඟයක් ඇති වී තිබේ. වර්ජනය ක්‍රියාත්මක වූයේ කලකට පෙර වුවත් එහි අනිටු ප්‍රතිඵල මතු වන්නේ වර්තමානයේ බව අමුතුවෙන් කිව යුතු නැත. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අවසාන පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණ ද එය දැන් පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ මේ වසරේ ජුනි- ජූලි මාසවල වීමෙන් මේ අර්බුදය මනාව පැහැදිලි වේ. මේ ගැටලුව නිසා වෛද්‍ය උපාධිය සමත් වී සීමාවාසික පත්වීම් ලබාගැනීමට නියමිතව සිටින පිරිසෙහි හිදැසක් ඇති විය. ඉතිරි වූයේ වරක් පරීක්ෂණය අසමත් වී නැවතත් විභාගය සමත් වී වෛද්‍ය උපාධිය ලබා සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබීමට සිටින පිරිස (Repeaters) පමණි. වෛද්‍ය විද්‍යාලවල පැවැත්වීමට නියමිත විභාග නොපැවැත්වුණු නිසා ඔවුන්ගේ දැනුම අමතක වේ යැයි යන පදනම යටතේ ඔවුන්ට වෙනම පරීක්ෂණයක් පවත්වා වෛද්‍ය උපාධිය ලබා දී තිබුණේ වෛද්‍ය හිඟයට යම් සහනයක් ලබා ගැනීමට විය හැකිය. කෙසේ හෝ ඔවුන්ට සීමාවාසික පත්වීම් ලබා දීමට නියමිතව තිබුණේ පසුගිය නොවැම්බර් මාසයේදීය. එහෙත් මෙරට ඇති වූ දේශපාලන බල පෙරළිය මත එය පස්සට තල්ලු වී ගියේය. පසුගිය 26 දා අරලිය ගහ මන්දිරයේදී පිරිනැමීමට සූදානම් කර තිබුණේ ඔවුන්ගේ සීමාවාසික වෛද්‍ය පත්වීම්ය. එහෙත් එයටද තහංචි වැටිණි.

“සයිටම්-එකේ ළමයින්ව කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බඳවා ගත්තා. හැමෝම දැන් එහි අධ්‍යාපනය ලබනවා. ඒත් ළමයින් 80 ගණනක් එහි ගියේ නැහැ. ඔවුන් ප්‍රකාශ කළා ඔවුන් වෛද්‍ය උපාධිය ලබා තිබෙන නිසා එහි යන්නේ නැහැ කියලා. ඒ ළමයින්ට දීලා තිබුණ සහන කාලය ඉවර වුණාම අපි ම ජනාධිපති හමුවෙලා ඒ කණ්ඩායමට කොතලාවල වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වීමට මාර්තු 31 වැනිදා තුරු සහන කාලයක් දී තිබෙනවා. එහෙම දීලා තිබෙද්දී ඒ අය ලියාපදිංචි නොවී ඔවුන් වෛද්‍ය උපාධිය ලබාගෙන ඉන්නේ කියලා කියනවා,” යනුවෙන් පැවසුවේ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේය.

එහෙත් ෂේන් හල්පෙ ඇතුළු සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ අය පවසන්නේ ඔවුන්ගේ වෛද්‍ය උපාධිය මෙරට අධිකරණය ද පිළිගෙන ඇති බැවින් ඔවුන් තවදුරටත් ලියාපදිංචි වීම අනවශ්‍ය බවයි. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරන ආකාරයට ඔවුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අධිකරණයෙන් ඉ‍ඩ සලසා තිබුණද තවමත් කිසිවකු අයදුම්පත් සම්පූර්ණ කර භාර දී නැත. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ මේ සිසුන් අතර අපොස උසස් පෙළ අසමත් වූ අය සිටින බැවින් ඔවුන්ට ලියාපදිංචි වීම සඳහා පැමිණිමට හැකියාවක් නැති වීමය.

“අපි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අයදුම්පත්‍ර පුරවලා අපේ උසස් පෙළ සහතික, උපාධි සහතික සේරම ගෙනිහින් භාර දීලා තියෙන්නේ. ඊ‍ට අමතරව ලියාපදිංචි ගාස්තු වශයෙන් රු. 4,000කුත් ගෙව්වා. ඒ සේරම රිසිට්පත්, පිටපත් අපි ළඟ තිබෙනවා. අවශ්‍ය වෙලාවක අපට පෙන්වන්න පුළුවන්. අනික අපි හැමෝම අපොස උසස් පෙළ සමත් වූණු අය. අපට ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න ලකුණු මදි වුණා. ඒත් අපි උසස් පෙළ අසමත් අය නොවෙයි.” යනුවෙන් සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ ෂේන් හල්පෙ සඳහන් කළේය.

“ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට නීති නැහැ. ඒ හිදැස්වලින් වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීමට ගත් උත්සාහයක් හැටියටයි මම නම් මා‍ලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය හඳුන්වන‍්නේ. සයිටම් එකේ ළමයින් අසු ගණනක් ඒ විද්‍යාලයේ අවසාන පරීක්ෂණය ලිව්වා. ඒත් මගේ පුතා ඇතුළු ළමයින් පිරිසක් ඒ විභාගය ලිව්වේ නැහැ. මොකද සයිටම් අර්බුදය දුරදිග යන විට අපටත් අවබෝධ වුණා සයිටම් වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන අවසාන විභාගයට පෙර මාස 6ක් රජයේ රෝහලක පුහුණු වෙලා ඊට පසුවයි අවසාන විභාගය ලිවිය යුත්තේ. ඒත් සයිටම් ළමයින්ට ඒ පුහුණුව ලැබුණේ නැහැ. ඔවුන් පුහුණු වුණේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් විතරයි. එය ප්‍රමාණවත් නැති බව අපට තේරුණා. ඒ නිසයි මගේ පුතා අවසාන විභාගයට ලිව්වේ නැත්තේ. දැන් මගේ පුතා ඇතුළු සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනගන්නවා. මේ දිනවල මගේ පුතා අවිස්සාවේල්ල රජයේ රෝහලේ පුහුණු වෙනවා. එයාලා දැන් සයිටම් නම කියන්නවත් කැමති නැහැ. කොතලාවල වෛද්‍ය පීඨයේ අය විදිහටයි පෙනී සිටින්නේ. සයිටම් කියපු ගමන් එයාලාට අනෙක් අයගෙන් ගොඩක් ප්‍රශ්න ආවා. සයිටම් කිව්වාම වපර ඇහින් බලන්නේ,” යනුවෙන් පැවසුවේ මාලබේ සයිටම් වෛද්‍ය දෙමවුපිය සංසදයේ හිටපු සභාපති ගැමුණු විජේරත්නය.

සයිටම් වෛද්‍ය උපාධිය ලැබූ ෂේන් හල්පේ සඳහන් කරන්නේ ඔවුන්ට රජයේ රෝහල්වල පුහුණුව දීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය එරෙහි වීම නිසා ඔවුන්ට මාලබේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලෙන් සහ සෙසු පෞද්ගලික රෝහල්වලින් පුහුණුව ලැබීමට සිදු වූ බවයි. සයිටම් වෛද්‍ය උපාධිය ලබා සිටින එහෙත් කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ලියාපදිංචි නොවු 80 දෙනා මේ වන විට හුදෙකලා වී සිටින බවක් පෙනේ. ෂේන් හල්පේ සඳහන් කරන්නේ මේ වන විට ඔවුන්ට ඉතිරි වී සිටින්නේ නීතියේ පිහිට පැතීම පමණක් බවය.

සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලැබූ තිදෙනාගේ අයිතිවාසිකම් පෙත්සමට අමතරව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මේ සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් තවත් ගැටලුවක් මතු කර සිටියි.

“මේ වන විට ජයවර්ධපුර, යාපනය, පේරාදෙණිය, රජරට යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අවසාන පරීක්ෂණවල ප්‍රතිඵල නිකුත් කර අවසන්. ඇයි ඒ අයට සීමාවාසික පත්වීම් ලබා නොදෙන්නේ ? සයිටම් අර්බුදය පටන් ගත් කාලේම අපි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට පෙන්වා දුන්නා මේ ප්‍රශ්නය දුරදිග ගියොත් රටේ වෛද්‍ය හිඟයක් ඇති වන බව,” යනුවෙන් ඔහු පවසයි.

කෙසේ නමුදු සීමාවාසික පුහුණුව අවසන් කළ 1080 දෙනකුට පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබා දුන් බැවින් රෝහල් කටයුතු අඩපණ නොවී පවත්වා ගෙන යෑමට හැකි වී තිබේ. මුල, මැද, අග පැටලුණු මේ අවුල් වියවුල් මධ්‍යයේ රජයේ රෝහල් කටයුතු සාර්ථකව පත්වා ගෙන යෑම නම් සැබැවින්ම සතුටුදායක පුවතකි.

Comments