ප්‍රභූ රැස් විහිදපු කොලු මදාවියන්ගේ කොල්ලුපිටියේ අපරාධය | සිළුමිණ

ප්‍රභූ රැස් විහිදපු කොලු මදාවියන්ගේ කොල්ලුපිටියේ අපරාධය

අන්තර්ජාතික ක්‍රීඩා තරගාවලියක් වූ 'අයන්මෑන්' ක්‍රීඩා තරගාවලියට ‍ගෝල්ෆේස් ඇතුළු කොල්ලුපිටිය ප්‍රදේශයේ සියලු කටයුතු සූදානම් වෙමින් තිබිණි. මෙනිසා තරගාවලිය පැවැති පසුගිය 24 වැනිදා අවට පොලිස් ස්ථානවල රථවාහන හසුරුවන නිලධාරීන්ටනම් අමතර රාජකාරි බහුල දිනයක් වූයේය. බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍රටද එදින ක්‍රීඩා තරගාවලියේ විශේෂ රාජකාරි වූ හෙයින් පාන්දර යාමයේම නිවෙසින් පිටත්වීමට සිදුවූයේ නියමිත වේලාවටම රාජකාරියට වාර්තා කළ යුතු හෙයිනි.

ඔහු එදින අවදි වූයේ පාන්දර දෙකට පමණය. බොරලැස්ගමුවේ සිය නිවෙසින් පිටත්ව බොරැල්ල පොලිසියට ගොස් නිල ඇඳුම්ලා පොලිස් ජංගම යතුරුපැදියට නැඟුණේ විශේෂ රාජකාරි සඳහා ගාලු පාරට යෑමටය. බොරැල්ලේ සිට තුම්මුල්ල දෙසින් ගොස් බම්බලපිටියේ ඩුප්ලි - බුලර්ස් හතරමංහන්දියේ සරත්චන්ද්‍ර සිය යතුරුපැදිය නතර කළේ එහි වර්ණ සංඥාවේ රතු වර්ණය දැල්වී තිබූ නිසාය.

රතු එළි දැල්වෙද්දී විදුලි වේගයෙන්

වේලාව හරියටම පාන්දර 4.35ට පමණ විය. කොළ වර්ණ දැල්වීමත් සමඟ ගාලු පාර දෙසට යෑමට යතුරුපැදිය පණ ගන්වා ඉදිරියට ගියද ඔහු ගියේ අඩි ගණනක දුරකි. ඔහු දුටුවේ තරගයට මෙන් විදුලි වේගයෙන් ඉදිරියට ඇදී එන ජීප් රථ දෙකකි.

එලෙස කොල්ලුපිටිය දෙසින් වැල්ලවත්ත දෙසට යෑමට ඩුප්ලිකේෂන් පාරේ විදුලි වේගයෙන් පැමිණි ඩිෆේන්ඩර් සහ ලෑන් කෘෂර් රථවල රියැදුරන් රතු වර්ණ දැල්වී තිබියදීම ඩුප්ලි - බුලර්ස් මංසන්ධිය හරහා යෑමට තැත් කළේ එම ස්ථානය හතරමංසන්ධියක් යැයි තඹ සතේකට මායිම් නොකරමිනි.

වර්ණ සංඥා නොතකමින් ඇදෙන රථ දුටු සරත්චන්ද්‍ර ක්ෂණිකවම යතුරුපැදිය නතර කළේ එම නොහික්මුණු රියැදුරන්ට ඉදිරියට යෑමට ඉඩ සලස්වමිනි. එහෙත් සිදුවූයේ නොසිතූ දෙයකි.

ඩිෆෙන්ඩර් රථය මදක් වමට හැරවිණි. ඒත් සමඟම නතර කර තිබූ යතුරුපැදියද හප්පාගෙන ඩිෆෙන්ඩර් රථය ඉදිරියට ඇදිණි. පසුපසින් පැමිණි ලෑන්ඩ් කෘෂර් රථයේ පිරිසද මරාන්තික අනතුර සියැසින් දකිමින් කිසිදු දෙයක් සිදු නොවූවාසේ විදුලි වේගයෙන් ඇදී යන ආකාරය අසල සීසීටීවී කැමරා කාචයකද මනාව සටහන්ව තිබිණි. මද දුරක් ඉදිරියට ගිය එක් රථයක් නවතා බැසගත් අයකු බරපතළ තුවාල ලද සරත්චන්ද්‍ර ගැන විපරම්කොට පලා ගොස් ඇති බවද සැලවේ.

මාරාන්තික තුවාල ලබා වැටි සිටි සරත්චන්ද්‍රගේ පිහිටට ආවේ අසල රාජකාරියේ නිරතව සිටි බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකි. එම නිලධාරියා තුවාලකරු රෝහල්ගත කිරීමට කටයුතු යොදා තිබිණි.

හැරිලාවත් බැලුවේ නෑ

මේ වන විට ශල්‍යකර්ම කිහිපයකටම භාජනය කොට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සරත්චන්ද්‍රගේ තත්ත්වය පුවත්පත මුද්‍රණයට යන මොහොත වන විටත් පැවතියේ දැඩි අවදානමකය. ඔහු ශල්‍යකර්ම කීපයකටම ලක් කර සිටි අතර තවත් ශල්‍යකර්මයක් කිරීමට නියමිතව තිබිණි.

මේ අනතුර සියැසින් දුටු අසල ආයතනයක ආරක්ෂක නිලධාරියෙක් මාධ්‍යයට විස්තර කළේ මෙසේය.

"ජීප් රථ දෙක විදුලි වේගයෙන් ආවේ... මං හිතන්නෙ ඒ මහත්තයා බයික් එක නතර කළේ ජීප් රථ දෙකට යන්න ඉඩ දීලා. හැබැයි ඒත් එක්කම එක ජීප් එකක් බයික් එක හප්පගෙනම ගියා. ඒ හැප්පුණු මහත්තයා අඩුම තරමේ රෝහලට ගෙනියන්නවත් ඒ අය කාරුණික වුණේ නෑ. ඔවුන්ට තිබුණා හොඳටම ඔහුව දාගෙන යන්න. තනිකරම මාර්ග නීති උල්ලංඝනය කරලයි ඒ රියැදුරන් රථ ධාවනය කළේ..."

මෙලෙසින් මාරාන්තික රිය අනතුරක් සිදුකොට පලා ගිය ඩිෆෙන්ඩර් රථය තුම්මුල්ල දෙසට හරවන වර්ණ සංඥාවද නොතකමින් ධාවනය කර තිබූ බව එම රථ දෙක පිළිබඳ සිදුකළ සීසීටීවී දසුන් පරීක්ෂාවේදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් කීවේය.

ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය කරමින්, අනතුරක් සිදුකොට පලා යෑම, වර්ණ සංඥා නොතකා ධාවනය කිරීම මෙන්ම මිනීමැරීමට තැත් කිරීම ආදි වැරැදි රැසක් කොට පලා ගිය රියැදුරන් සොයා රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ සහ ‍සහකාර පොලිස් අධිකාරි චන්දන කොඩිතුවක්කුගේ උපදෙස් මත බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි සහ අපරාධ අංශ ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද ඇතුළු පිරිස සීසීටීවී දසුන් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළේය.

ව්‍යාජ ලෙස සැකසූ රථයක්

ඒ අනුව අනතුර සිදුවී පැය කිහිපයකට පසු එදින සවසම WP FZ 9143 අංක දරන අදාළ ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල, පැලවත්ත, පැගෝඩා ගාඩ්න්ස්හි නිවෙසක ගාල් කර තිබියදී සොයා ගැනීමට බම්බලපිටිය අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසට හැකිවිණි. ඩිෆෙන්ඩර් රථයද යුද හමුදා වෙන්දේසියකින් ලබාගත් රථයකට කොටස් එකලස් කොට නිර්මාණය කරමින් ව්‍යාජ ලෙස සකස් කළ රථයක් බව අනාවරණය වී තිබිණි.

පරීක්ෂණවලදී අනාවරණය වූයේ අනතුර සිදුකළ රථය පදවා තිබුණේ මාලඹේ, තලංගම උතුර, පොතුඅරාව පාරේ වෙසෙන 27 හැවිරිදි නවිඳු ඔමේෂ් රත්නායක නමැත්තා බවයි.

ඔහු ප්‍රභූ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායකගේ පුත්‍රයා බව හෙළි වේ. ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක ඉගෙනීම් කටයුතුවල නිරත නවිඳු කෙටි නිවාඩුවකට මෙරටට පැමිණ සිටියේය. සිය පාසල් මිතුරන් සමඟ කොල්ලුපිටියේ රාත්‍රි සාදයකට එක්ව ආපසු යමින් සිටියදී මේ මරාන්තික අනතුර සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

එම ඩිෆෙන්ඩර් රථයේ එහි හිමිකරු කොල්ලුපිටියේ පදිංචිකරුවකු වන වි‍සිත ශ්‍රී විජේසේකර සමඟ රනිෂ්ක බණ්ඩාර අලුත්ගමගේ, සේසිත රන්දීප් ගුණදාස සහ වින්ද්‍යා විශ්වභාෂිනී වීරසිංහ යන අය සිට ඇතැයි වාර්තා වේ. රනිෂ්ක බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයාය.

ලෑන්ඩ් කෘෘෂර් රථයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයකු වන දුමින්ද ආටිගල, කිරන් මැතිව් සහ චාමර දාබරේ නමැති තිදෙනා ගමන්කර තිබිණි. එම රථයද පසුව බම්බලපිටිය පොලිස් ස්ථානයට බාර දී තිබිණි. මේ සියලු දෙනාම අනතුර සිදුකරන මොහොතේ අධික ලෙස බීමත්ව සිට ඇති බව සැල වේ. අනතුර සිදු කළ දිනම සවස මත් ගතිය පහව ගියපසු පොලිසියට බාරවූ අයගෙන් රථය පැදවූ නවිඳුට හැර ඉතිරි සියලු දෙනාට ඇප ලබා දීමට අධිකරණය කටයුතු කර තිබිණි. පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කර තිබුණේ නොසැලකිලිමත් ක්‍රියාවකින් බරපතළ තුවාල සිදුකිරීම, අපරීක්ෂාකාරි රිය ධාවනය, රිය අනතුරක් වාර්තා නොකිරීම හා තුවාලකරු රෝහලට රැගෙන නොයෑමය.

අනතුර සිදුකළ රථය පැදවූ නවිඳු ලබන 11 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුට එරෙහිව මිනීමැරීමට තැත් කිරීම යටතේ චෝදනා ගොනු කර ඇත. ඒ මාර්ගයේ වැටි සිටි තුවාලකරුගේ ශරීරය මතින් රථය ගමන් කිරීමට සලස්වන අන්දම සීසීටීවී දසුන්වලින් මනාව දිස් වන හෙයිනි.

තාත්තා නිතරම හිතුවේ අප ගැනයි

1988 වසරේදී පොලිස් සේවයට එක්වූ සරත්චන්ද්‍රගේ ගමහිඟුරක්ගොඩ දොරදෙක ප්‍රදේශයයි. 2009 වසරේ හෘද සැත්කමකටද භාජනය කර සිටි ඒ මහතා තිදරු පියෙකි.

වැඩිමහල් පුතු අශාන් සරත්චන්ද්‍ර සිය පියාගේ තත්ත්වය පිළිබඳ සිළුමිණ හා මෙසේ අදහස් දැක්වීය.

"වෛද්‍යවරු තවම තාත්තගෙ තත්ත්වය ගැන නිශ්චිතවම කිසිවක් කියන්නෙ නැහැ. තාත්තගේ මුළු ඇඟේම තුවාල. කකුල් දෙකම කැඩිලා.

උකුල් ඇටය පුපුරලා. ඒ වාහනය ඇඟ උඩින් ගිය නිසා. මූණට බරපතළ හානිවෙලා. හිසට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒක තමයි තියෙන බරපතළම හානිය.

වෛද්‍යවරු කියන්නෙ තාත්තගෙ මොළේට ලේ බහිනවා කියලයි... ඒක නිසා මොළේ ලොකු වෙන ප්‍රමාණයට ඔළු කට්ට කපන්න ඕනැලු. නමුත් ඒක දැම්මම කරන්න බැරි තාත්තා බයිපාස් කරපු නිසා රුධිරය තුනී වෙන්න බෙහෙත් බීපු නිසා. ඒ බෙහෙත්වල පවර් එක දින ගණනාවක්ම ඇඟේ තියෙනවාලු.

තාත්තා නිතරම අපේ අනාගතය ගැනයි හිතුවේ, අපි බොරලැස්ගමුවේ කුලියට ඉන්නෙ. එදා පාන්දර රාජකාරියට යෑමට සැරැසෙද්දීත් මට කීවේ, අපටම කියලා ඉක්මනින්ම ගෙයක් හදාගන්න ඕනෙයි කියලයි.

ඇත්තටම මං අහන්නෙ පොලිස් නිල ඇඳුමක් ඇඳ රාජකාරියකට යන අයකුට මෙහෙම වුණානම් සාමාන්‍ය කෙනෙකුට කොහොම වෙයිද? තාත්තට මේ අනතුර සිදුකළ අයගේ පිරිස ඇවිත් අපිට උදවු කරන්න අහනවා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. මොකද ඒවත් අන්තිමට වෙන විදිහකට තමයි සමාජගත වෙන්නෙ..."

වෛද්‍යවරිය සිදු කළ මාරක රිය අනතුර

පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණි ද බීමත්කම නිසා සිදු වූ මෙවැනිම අනතුරකින් ජීවිතයෙන් වන්දි ගෙවූ තවත් පොලිස් නිලධාරියෙකි. පසුගිය වසරේ සැප්. 29දා බීමතින් රිය පැදවූ විශේෂඥ වෛද්‍යවරියක විසින් සිදුකළ අනතුරින් අජන්තට ජීවිතය අහිමි වෙද්දී ඔහුගේ බිරිය ඇතුළු දරුවෝ මරාන්තික තුවාල ලැබූහ.

එම රිය අනතුරද රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. එහෙත් එම අනතුරට මුහුණ පෑ අජන්තගේ පවුලේ අයට මේ වන තුරුත් කිසිදු සාධාරණයක් ඉටු වී නැත.

මෙවැනි රියැදුරන් නිසා සමාජයේ සාමකාමී අහිංසක ජනතාවට සිදුවන විපාක අඩුකර ගැනීමට කිසිදු ලෙසකින් හැකියාවක් නොමැත්තේ නීතිරීතිවල අඩුවක් නිසා නොව නොහික්මුණු විනයක් නොමැති රියැදුරන්ගේ ‍ නොහොබිනා ක්‍රියා නිසා යැයි උසස් පොලිස් නිලධාරියෙක් අපට කීවේය.

කෙසේ හෝ මෙවැනි අනතුරු සිදුකරන රියැදුරන්ට එරෙහිව කඩිනම්ව දැඩි දඬුවම් පමුණුවා රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. එසේ නොමැති වුවහොත් එදා අජන්තට මෙන්ම වත්මනෙහි සරත්චන්ද්‍රට සිදුව තිබෙන ඛේදවාචකය හෙට ඔබටද සිදු විය හැකිය.

Comments