
දිනය: පසුගිය 28 වැනිදා, බ්‍රහස්පතින්දා
ස්ථානය: කොළඹ කොටුව දුම්රිය ස්ථානය
වේලාව: පෙ.ව. 6.45
ආරක්ෂක නිලධාරීන් දෙ-තුන් දෙනකු සමඟ දුම්රිය ස්ථානයට පැමිණි ඇමැතිවරයකු දෙවැනි වේදිකාවේ නවතා තිබුණු මහනුවර බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට නැඟ, තම ප්‍රවේශ පත්‍රයට හිමි ආසන අංකය සොයා, එහි අසුන් ගත්තේය.
දියුණු රටවල අමැතිවරු දුම්රියේන් ගමන් කළද අපේ රටේ මැති-ඇමැතිවරු සාමාන්‍යයෙන් දුම්රියෙන් ගමන් ගන්නේ නැත.
‘ඇමැතිතුමා! කොහෙද මේ කෝච්චියෙන්?’
‘මහනුවර සුපර්මාකට්-එක ළඟ අද තියෙනවා සුවසැරිය ගිලන් රථ සේවාව ජනතා අයිතියට පවරා දීමක්. ඒකට යනවා.’
‘ඉතින් කෝච්චියෙන්?’
‘වාහන තදබදයන් නැහැ නෙ... ඒ වගේම රටට යමක් ඉතුරු කරල දෙන්නත් පුළුවන්නෙ...’ පිළිතුරු ලැබිණි.
එදින දුම්රියෙන් මහනුවරට ගමන් කොට, ඒ සුවසැරිය මහජන සේවාව සැලසූ ඇමැතිවරයා එදිනම පස්වරුවේ දුම්රියෙන් කොළඹ බලා පැමිණීමට සිටියද; වෙනත් අත්‍යවශ්‍ය හේතුවක් නිසා එය වැළැකී ගියේය.
මීට පෙරද අවස්ථා ගණනාවකදී ඇමැතිවරුන් දුම්රියෙන් තම ගමන් පහසුව සලසාගන්නා අයුරු අපි දැක ඇත්තෙමු. ඒ ඇමැතිවරුන් සියලු දෙනාම පාහේ සන්දර්ශනාත්මක ලෙස කරළියේ සිටින ඇමැතිවරුන් නොවීම නිසා මේ ගැන වචන පේළියක්-දෙකක් සටහන් කිරීම වටින්නේ ඒ ඔස්සේ රටට මෙන්ම අනෙක් මැති-ඇමැතිවරුන්ටද ආදර්ශයක් ගත හැකි බැවිනි.
පැය දෙකහමාරක් වැනි කාලයකදී මහනුවරට ගමන් කළ හැකි එකම ගොඩබිම් ප්‍රවාහන මාධ්‍යය දුම්රිය සේවාව පමණි. මෙදින තම ගමනට ඒ සේවාව තෝරාගන්නට ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිවරයා පියවර ගත්තේ එබැවිනි.
කොළඹින් පෙරවරු 7.00ට ගමන් ඇරඹූ දුම්රිය හරියටම පෙරවරු 9.31 වන විට මහනුවරට ළගා විය. මේ ගමන යෑමට ඇමැතිවරයා තම මෝටර් රථය භාවිත කළේ නම් ඒ සඳහා වැය කළ යුතු වන ඉන්ධන ප්‍රමාණය කෙතෙක්ද? එසේම පරිවාර ආරක්ෂක වාහනයක් සඳහාද අමතර වැයක් දරන්නට සිදු වේ. අවම වශයෙන් මේ ගමන යෑමට වාහන ක්ෂය වීම් ඇතුළුව රුපියල් 25,000ක් පමණ වැය වනු ඇත. එහෙත් වායු සමනය කළ නැරැඹුම් මැදිරියේ ගමන් කිරීමට එක් අයකුට මෙහිදී වැය වූයේ රුපියල් 800ක් පමණි. එය ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ආර්ථික න්‍යාය අනුව බලන්නේ නම් විශාල විනිමය ඉතිරියකි.
මේ අයුරින් මීට පෙරද ඇමැතිවරුන් කිහිප දෙනකුම දුම්රියෙන් ගමන් කරනු අප දැක ඇත. පසුගිය දෙසැම්බර් මාසෙය්දී එවකට මධ්‍යම පළාත් මහ ඇමැතිවරයා වූ සරත් ඒකනායක මහතා මහනුවර සිට කොළඹට පැමිණියේද දුම්රියෙනි. අපි ඔහුගෙන්ද ඒ ගැන විමසුවෙමු.
‘පුළුවන් හැම වෙලාවෙම පොදු ප්‍රවාහන සේවාව භාවිත කරන්න පුළුවන් නම් හොඳයි. දියුණු රටවල එහෙම තමයි. ඒත් අපේ රටේ ඉක්මනින් හැම තැනකටම යන්න තවම පොදු ප්‍රවාහන සේවාව දියුණු තත්ත්වයක නැහැ. රාජකාරි වැඩි අපි වගේ අයට දුම්රිය ප්‍රවාහන සේවාවක් ලෙස යොදාගන්න පුළුවන් නම් හොඳයි. ඒකට සැහැල්ලු දුම්රිය සේවාව වැනි ක්‍රමවේද හැම තැනකම පුළුල් කරන්න පුවළුන් නම් හොඳයි,’ මහ ඇමැතිවරයාගේ පිළිතුර විය.
පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගි වීම සඳහා පස්වරු 1.00ට පමණ මහනුවරින් පිටත්ව පැමිණීමට ඇති එකම ප්‍රවාහන සේවාව දුම්රිය බව අවබෝධ කරගත් මහ ඇමැතිවරයා කඩිනමින් පැමිණියේ ඒ වන විට බදුල්ලේ සිට පැමිණෙන උඩරට මැණිකේ දුම්රිය ඇති බව දැනගත් නිසාය.
මහ ඇමැතිවරයා එහිදී අපට අපූරු සිද්ධියක් මතක් කළේය: ‘මම දවසක් කොළඹ ඉඳල මහනුවරට යන්න හවස 3.35 කෝච්චියට ආවා. 3.30ට විතර යාළුවෙක් කතා කරල කිව්ව මාව හමු වෙන්න එනව, කොළඹ ඉඳල මහනුවර එන්නෙ, තවම නිට්ටඹුව පහු කළා විතරයි කියලා. කොහේ වත් වාහනය නතර නොකර ආපු එයා ගෙදර ආවේ මම ගෙදර ගිහින් පැය බාගෙකට විතර පස්සෙ!’ දුම්රියේ ගමන් වේගය මහ ඇමැතිවරයා අපට පෙන්වා දුන්නේ එසේය.
අකිල විරාජ් කාරියවසම් සහ තවත් වරෙක මලික් සමරවික්‍රම ඇමැතිවරයාද පසුගිය දිනක මහනුවර සිට පැමිණි දුම්රියෙනි. ඉරාන් වික්‍රමරත්න ඇමැතිවරයා දිනපතාම කොළඹට පැමිණියේ කාර්යාල දුම්රියෙනි. ඒ මුහුදුබඩ මාර්ගයේය.
‘ඇමැතිතුමා කෝච්චියෙන් වගේ අමාත්‍යාංශයට එන්නේ?’
‘මං හුඟක් දවස් ආවා.’
‘ෆොටෝ-එකක් අරගන්නද?’
‘අනේ ඔය ප්‍රදර්ශන වැඩ ඕන නැහැ! මං ආවෙ මගේ ගමන ඉක්මනට යන්නයි. පැයකට වඩා යනවා මොරටුවේ ඉඳල මේ ටික එන්න විතරක්.’
වත්මන් ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතාද පසුගිය දිනක කොළඹ සිට දුම්රියෙන් කිලිනොච්චියට ගොස් පාසල් දරු-දැරියන්ට පොත්-පත් බෙදා දුන්නේය. ඔහු එම දුම්රියෙන්ම යාපනයටම ගොස්, එදින රාත්‍රියේම එම දුම්රියෙන්ම යළි කොළඹ බලා ආවේය.
නළා ශබ්ද කරමින්, ප්‍රධාන ලාම්පු දල්වමින්, අත් එළියට දමා වාහන එහා-මෙහා කරමින්, මාර්ගනීති පවා උල්ලංඝනය කරමින් ගමන් ගන්නා දේශපාලනඥයන්ට එක් අතකින් මේ ඇමැතිවරුන් උගන්වා ඇත්තේ අපූරු පාඩමකි!
ආදර්ශය කවුරුන්ගෙන් හෝ ලබාගැනීම වැදගත් වේ. දේශපාලනඥයන්ගේ නාස්තිකාරකම්වලට දොස් පැවරීමට කටයුතු කරන අතරතුර, ඔවුන්ගේ මෙවන් ආදර්ශවත් ක්‍රියා ඇගැයීමටද අප අමතක නොකළ යුත්තේ එහෙයිනි.