
- මධුෂ් ඩුබායි පොලීසියට කොටු කරලා ඒ කුඩු තොගයත් අරන්
- සීෂෙල්ස්වලට කුඩු යවන්නෙත් මේ ජාවාරම්කරු
- බේරුවලින් අසු වුණු කුඩු කිලෝ 231ත් ඔහුගේ
අන්තරායකර ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනය කිරීමේ අංශය භාර අධ්‍යක්ෂවරයෙකු වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා සම්පාදන කළ පර්යේෂණ පත්‍රිකාවක සඳහන් වන ආකාරයට කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පමණක් හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූවන් ලක්ෂයක් පමණ පිරිසක් ජීවත් වෙති. ඒ අය වෙනුවෙන් කොළඹ නගරයේ පමණක් දිනකට සංසරණය වන හෙරොයින් ප්‍රමාණය කිලෝ හතරකි.
එසේ නම් තවත් කිලෝ එකක් හෝ දෙකක් කොළඹ අවට ජීවත් වන මත්කුඩු භාවිතා කරන්නන් වෙනුවෙන් සංසරණය වනු ඇත. ඒ අනුව අපේ රටේ සිටින මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් වෙනුවෙන් පමණක් දිනකට හොරොයින් කිලෝ හතක් පමණ අවශ්‍ය වනු ඇත. එය මාසයකට කිලෝ 210කි. වසරකට කිලෝ 2500 ඉක්මවනු ඇත.
රටේ තැනින් තැන මේ දිනවල හසු වන හොරොයින් තොග දෙස බැලීමේදී පුදුම විය යුතු නැති තරම්ය. මෙයට වසර දෙක තුනකට පෙර පොලිසිය හෙරොයින් කිලෝ එකක් අත්අඩංගුවට ගන්නවායැයි කියන්නේ පත්තරවල මුල්පිටුවේ ලොකු අකුරින් පළ වන පුවතකි. එහෙත් අද කිලෝ 10ක් අල්ලාගත්තද එය මුල්පිටුවේ තබා ඇතුළු පිටුවක ලොකු අකුරින් පළ කරන්නට තරම් වත් පුවතක් නොවන තැනට පත්ව හමාරය. ඒ අපේ රටේ දැන් මත්කුඩු අල්ලන්නේ කිලෝ සිය ගණනින් වන බැවිනි.
එහි නියමුවා වන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාය. එතෙක් මෙතෙක් මෙරටින් අල්ලාගත් විශාලතම හෙරොයින් තොගය ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගන්නට හැකියාව ලැබෙන්නේ ඔහු යටතේ ක්‍රියාත්මක වන පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ක්‍රියාකාරීත්වය හේතුවෙනි.
හෙරොයින් නිෂ්පාදනයේ නිරතව සිටින ඇෆ්ගනිස්තානයත් එහි නිෂ්පාදන ලෝකය පුරා බෙදාහරින ප්‍රබලතම ජාවාරම්කරුවන් සිටින පකිස්තානය සහ ඉන්දියාවත් හැරුණු කොට ආසියාතික කලාපයේ රටක එකවර අල්ලාගත් විශාලතම හෙරොයින් ප්‍රමාණය ලෙස මේ වන විට සැලකෙන්නේද එයය. එම හෙරොයින් තොගයේ බර කිලෝ 294යි ග්රෑම් 490කි. වැටලීම සිදු වන්නේ මෑතකදී විවෘත කෙරුණු කොල්ලුපිටියේ පිහිටි මෙරට විශාලතම සාප්පු සංකීර්ණයේ රථ ගාල තුළදීය. එහි මත්කුඩු හුවමාරුවක් සිදු වන බවට විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවය.
එම වැටලීමට විශේෂ කාර්ය බළකා සෙබළුන්ට අමතරව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහුද එක්ව සිටියහ. වෙස් වළාගත් පොලිස් නිලධාරීන් පැය ගණනක් සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රථ ගාලේ රැඳී සිටියේ මත්කුඩු හුවමාරුව සිදු වන විටදීම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නටය. ඔත්තුකරුවන් දැනුම් දී තිබුණු ආකාරයට අනුව මත්කුඩු තොගය රථ ගාලට රැගෙන එන්නේ කුඩා ප්‍රමාණයේ වෑන් රථ දෙකකිනි. එහි අංක පවා ඒ වන විට බුද්ධි අංශ නිලධාරීන් සතුව තිබිණි.
රථ දෙක සුපිරි වෙළද සංකීර්ණයේ රථ ගාලට ඇතුළු කරන්නේ සවස හතරට පමණය. ඒ එක්කම ඔත්තුකරුවන්ගෙන් බුද්ධි නිලධාරීන්ට ඇමතුමක් ලැබෙන්නේ ජාවාරම්කරුවන්ට ඇති වුණු සැකයක් මත එදින මත්කුඩු හුවමාරුව සිදු නොවන බවය. ඒ අනුව වෙස්වළාගත් පොලිස් නිලධාරීන්ට ඉහළින් උපදෙස් ලැබෙන්නේ වෑන් රථ දෙක වටලා එහි සිටින්නන් සිය භාරයට ගෙන පරීක්ෂා කරන ලෙසටය. එතෙක් මෙතෙක් මෙරටින් සොයාගත් විශාලතම හෙරොයින් තොගය අල්ලන්නේ එසේය.
එම හෙරොයින් තොගය වෑන් රථ දෙකෙහි අසුරා තිබෙන්නේ ගමන්මලු තුළය. ගමන් මලු පහ බැගින් වෑන් රථ දෙකෙහි ගමන් මලු දහයකි. එකී මලු දහයේ පොලිතින්වල ඇසුරූ හෙරොයින් පැකට් 272කි. වෑන් රථ දෙකේ රියැදුරන් හැරුණුකොට එක් වෑන් රථයක වයස අවුරුදු හතරක කුඩා දරුවෙක්ද සිටියේය.
ඒ එම වෑන් රථයේ රියැදුරාගේ දරුවාය. රියදුරා යැයි මුලින් හදුනාගත්තද සැබෑ ලෙසම ඔහු එම වෑන් රථයේ රියැදුරා නොවීය. මේ මත්කුඩු ජාවාරමේ මෙරට නියෝජිතයාය. මොහොමඩ් රිලා අහමඩ් රුක්සි නම් වූ ඔහු තිස් දෙහැවිරිදි වියැතිය. පාණදුර කෙසෙල්වත්තේ තොටවත්ත පැත්තේ පදිංචිකරුවෙකු වන ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථානයක්ද පවත්වාගෙන යන්නෙකි. ඔහු සමඟින් අත්අඩංගුවට ගත් අනෙක් තැනැත්තා මෙහොමඩ් බසීර්ය. ඔහු හතලිස් තුන් හැවිරිදිය. ඔහුත් පාණදුර කෙසෙල්වත්තේම පදිංචිකරුවෙකි. රුක්සිගේ ගෝලයෙකු වන ඔහු වෘත්තියෙන් රියැදුරෙකි. දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වන්නේ වසර පහක් තිස්සේ ඩුබායි හී රැඳී සිටින රුක්සිගේ මස්සිනා මේ ජාවාරම මෙහෙයවන බවය. ඔහු නමින් රහීම්ය.
විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට මේ ජාවාරමේ මහ මොළකරුවා වන්නේ ඩුබායිහි සිටින මෙරට ආරම්භක මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මොරිල්ය. හෙරොයින් කිලෝ දෙකක් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට 2001 වසරේදී හසු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් පවා අධිකරණයෙන් 2006 වසරේදී නියම වූ මොරිල් ඩුබායි රටට පැන යන්නේ අභියාචනාධිකරණයෙන් ලද නිදහසින් පසුවය. ඔහු මේ වන විට ඩුබායි සිට හෙරොයින් ජාවාරමේ නිරතව සිටින්නේ මහා පරිමාණයෙනි.
පාකිස්තාන ජාවාරම්කරුවන් සමඟද ඔහුට ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති බවද කියති. මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුළ දරමින් සිටි මාකඳුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටු කරදීමේ මෙහෙයුම පිටුපසද මොරිල් සිටියේය. ඔහු එරට පොලිසියට මධුෂ් කොටු කර දෙන්නේ මත්ද්‍රව්‍ය ආරවුලක් දුරදිග ගොසිනි.
ඊට මුල් වන්නේ මධුෂ් සහ මොරිල් එක්ව බෝට්ටුවකින් පකිස්ථානයේ සිට මෙරටට ගෙන්වන ලද හෙරොයින් කිලෝ 178ක් මධුෂ් විසින් මාතර දෙවුන්දරදී සිය ගෝලයන් යොදා පොලිස් වෙසින් කොල්ලකෑමකි. මධුෂ් ඩුබායි පොලිසියට කොටු කර දීමෙන් පසු මධුෂ්ගේ කොටසද අත්පත්කර ගත් මොරිල් දැන් එංගලන්තයේ සිට ජාවාරම මෙහෙයවන බවට තොරතුරු බුද්ධි අංශ සතුය.
බේරුවලින් පසුගිය දෙසැම්බර් 18 වැනිදා අල්ලාගත් මත්කුඩු තොගයේ ප්‍රධාන ජාවාරම්කරු ලෙස හඳුනාගෙන ඇත්තේ ද මොරිල්ය. එහිදී අල්ලාගත් හෙරොයින් තොගයේ බර කිලෝ 231කි. එම මත්කුඩු තොගයද අල්ලාගන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවය. එම හෙරොයින් තොගය සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ එක් අයෙක් බේරුවල පැත්තේම පදිංචි බහුදින යාත්‍රා හිමිකරුවෙකි.
එතෙක් රහසක්ව පැවැති අපේ රටත් සීසෙල්ස් දූපත් අතරත් කෙරෙන මහා පරිමාණයේ මත්කුඩු ජාවාරමක්ද ඒ සමඟම හෙළිවන්නට විය. පාකිස්තානයේ සිට මෙරටට බෝට්ටු මඟින් රැගෙන එන හෙරොයින් තොග සීෙෂල්ස් දූපත්වලට රැගෙන ගොස් තිබුණේ බේරුවල ජාවාරම්කරුය.
ඒ බහුදින ධිවර යාත්‍රාවල සඟවා මුහුදු මාර්ග ඔස්සේය. එම ධිවර යාත්‍රා හිමිකරු සීෂෙල්ස් කාන්තාවක සමඟ විවාහ වී සිටින අතර එරට ජාවාරම මෙහෙයවනවා යැයි අනාවරණය වන්නේ ඇගේ සහෝදරයා සමඟ එක්වය. ඒ ගැන වැඩිදුර විමර්ශනයන් සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා සඟ බේරුවල වැටලීමට සම්බන්ධ නිලධාරිහු දෙදෙනෙක් ඉකුත් සතියේ සීෂෙල්ස් බලා පිටත්ව ගියහ. ඒ අය අතර ලංකාවේ ලොකුම හොරොයින් තොගය වන කිලෝ 294 අල්ලන්නට ඔත්තුව ලද විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයාද වෙයි. බේරුවලින් අල්ලාගත් හෙරොයින් කිලෝ 231 ඔත්තුව ඔහුගේය.
කොල්ලුපිටියේ රථ ගාලින් ලංකාවේ ලොකුම හෙරොයින් තොගය අල්ලන්නට පෙර රටින් ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය ලෙස වාර්තා පොත්වල ඇතුළත්ව තිබුණේ ගල්කිස්සේදි පසුගිය දෙසැම්බර් 31 වැනිදා බංගලාදේශ ජාතිකයන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 270ය. එම හෙරොයින් තොගයට අමතරව කොකේන් කිලෝ පහමාරක්ද එම වැටලීමේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට අනුයුක්තව සේවයේ නිරතව සිටින එම උප පොලිස් පරීක්ෂකවරයාගේ, පෞද්ගලික තොරතුරු කරුවන්ගේ සහායෙන් පසුගිය ජනවාරි 22 වැනිදාද කොල්ලුපිටියේ සුපිරි තට්ටු නිවාස සංකීර්ණයකින් හොරොයින් කිලෝ 97ක් සොයා ගත්තේය. ඒ ඇමරිකානුවන් දෙදෙනෙකු, ඇෆ්ගන් ජාතිකයෙකු, තුර්කි ජාතිකයන් දෙදෙනෙකු සහ හික්කඩුවේ දෙදෙනකු අත්අඩංගුවට ගනිමිනි. ඇමෙරිකානුවා මඟින් මත්කුඩු තොග මෙරට ඔස්සේ යුරෝපීය රටවල් කිහිපයකට බෙදා හැරීමේ ජාවාරමක්ද ඒත් එක්කම හෙළි විය.
එම නිලධාරියාට ඇති තොරතුරුකරුවන්ගේ සම්බන්ධකම් සුවිශේෂිය. මාකඳුරේ මධුෂ් ඩුබායි රජ්‍යයට පැනගත් වීසා බලපත්‍ර යේ ඡයාපිටපතක් පවා ඔහු අත විය. මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට ගොස් එහි සිට ඩුබායි රාජ්‍යට මධුෂ් පැනගත් බවට වූ සැකය බැහැර වන්නේ 2005 වසරේදී ඔහු කටුනායක ගුවන්තොටින් ඩුබායි බලා ගමන් කළ එකී වීසා බලපත්‍ර යේ ඡායාපිටපත බලධාරීන් අතට ඔහු පත් කිරීමත් සමඟිනි. අජිත් එරංග වර්ණකුලසූරිය නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් ඩුබායි ගිය මධුෂ්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසියෙන් නිල් නිවේදනයක් පවා නිකුත් කරන්නට හැකියාව ලැබෙන්නේ එකී වීසා ඡායාපිටපත නිසාය.
මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබුණු හෙරොයින් කිලෝ 85ක් කැලණිය රජමහා විහාරය ආසන්නයේදී 2014 වසරේ පොසොන් පොහෙය දින විශේෂ කාර්ය බළකායේ පිරිසක් අත්අඩංගුවට ගන්නේද එකී නිලධාරියාට ලද තොරතුරකට අනුවය.
එපමණක් නොව බ්‍රසීලයේ සිට සීනි කන්ටේනර් තුළ සඟවා මෙරටට කොකේන් රැගෙන එන බව හෙළි වන්නේද එම නිලධාරියා ලද තොරතුරකට අනුව 2016 වසරේ ජුනි 14 වැනිදා ඔරුගොඩවත්ත රේගු අංගණයේදී කළ පරීක්ෂාවකදීය. ඉන්පසුව කන්ටේනර් රැසකින් කිලෝ 1000කට වැඩි කොකේන් අල්ලා ගන්නට හැකියාව ලැබෙන අතර ජනාධිපතිවරයා දැනුම් දෙන්නේ උප පොලිස්පති ධුරයක් දරන එම නිලධාරියාට උසස් වීමක් ලබාදෙන ලෙසය.
කොස්තාපල්වරයෙකු ලෙස 1989 වසරේදි පොලිස් සේවයට එක්ව ඇති එම නිලධාරියා සැරයන්වරයෙකු ලෙස උසස්වීමක් ලැබෙන්නේ පෑලියගොඩ පොලිසියේ සේවයේ නිරතව සිටියදී ඔහුට ලැබෙන තොරතුරකට අනුව ඇමරිකානු ඩොලර් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කරනු ලබන වත්තල පිහිටි මුද්‍රණාලයක් වැටලීමට ක්‍රියා කිරීමක් සම්බන්ධයෙනි. එහි තිබී බිලියන 42ක නෝට්ටු හමු වී ඇති අතර එම නෝට්ටු සැබෑ ඇමරිකානු ඩොලර් නෝට්ටුවලට සෑම අතින්ම සමානකමක් දක්වා ඇත. එබැවින් එකල ඒ සම්බන්ධයෙන් විමර්ශන සඳහා ඇමරිකාවේ එෆ්.බී.අයි විමර්ශකයෝ ද මෙරටට පැමිණියහ.
සාමාන්‍ය පොලිස් රාජකාරිවල නිරතව සිටි ඔහුට විශේෂ කාර්ය බළකායට එක් වීමට අවස්ථාව හිමි වන්නේ ඒ සමඟය. 2004 වසරේ සිදු වන සරත් අඹේපිටිය විනිසුරු ඝාතනයෙන් පසු විශේෂ කාර්ය බළකායේ පාතාල විමර්ශන බුද්ධි අංශය ස්ථාපිත කිරීමේදි ඊට ආරම්භක සාමාජිකයෙකු ලෙස එක් වන ඔහු පාතාල අපරාධකරුවන් කොටු කරගැනීමටද විශාල දායකත්වයක් දක්වන්නේ සැරයන් තනතුරේ සිට 2011 වසරේ උප පොලිස් පරීක්ෂක තනතුරට උසස් වීමක්ද ලැබමිනි.
එම නිලධරියාගේ සම්බන්ධකම් ජාලයේ ඔත්තුකරුවන්ගෙන් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ලොකුම මත්කුඩු තොගය කොල්ලුපිටියෙන් අල්ලා ගන්නා විට ඒත් එක්කම මොහොමඩ් රිලා අහමඩ් රුක්සි ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි කරන්නේ ගෙවී ගිය මාස තුනේදි පමණක් හෙරොයින් කිලෝ 1000ක් පමණ තමන් කොළඹ සහ ඒ අවට නගර ආශ්‍රිතව බෙදා හැරිය බවය. ඒ අවස්ථා 15කදීය.
“මස්සිනා කෝල් කරලා කියනවා බඩු පටවන තැන ගැන. ඒ තැනට රෙන්ට් එකට වාහනයක් අරගෙන යනවා. ඒ තැන්වලින් ට්‍රැවලින් බෑග් වාහනේට පටවනවා. ඊට පස්සේ මස්සිනා කියන තැනකට ගිහින් යතුරත් එක්ක වාහනේ පාකින් එකක නවත්තල මම බැහැල යනවා. එම අවස්ථා පහළොවේදීම රුස්කි මත්කුඩු තොග බෙදාහැර තිබුණේ එසේය.
ඒ සෑම අවස්ථාවකදීම ඔහු මත්කුඩු බෙදා හැර තිබුණේ කිලෝ පනහ සහ සියයයේ ප්‍රමාණවලිනි. වැඩිම ප්‍රමාණයක් ඔහු රැගෙන යන්නේ ගිය 23 වැනිදාය. එම මත්කුඩු තොගය වෑන් රථ දෙකට පටවා ඇතැයි කියැවෙන්නේ මට්ටක්කුලියේ ගබඩාවකිනි. ඊට පෙර මත්කුඩු බොහොමයක් වාහනවල පටවා ඇත්තේ බෙන්තො, අලුත්ගම සහ බේරුවල ආශ්‍රිත ප්‍රදේශ ආශ්‍රිතවය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කරන්නේ පකිස්තානයේ සිට බෝට්ටු මඟින් ගෙන එන හෙරොයින් තොග ගොඩබාන තිප්පොළ බවට දැන් පත්ව ඇත්තේ එකී මුහුදු තීරය බවය.
රිස්කි මේ කාලය මත්කුඩු සමඟ වාහන රැසක්ම අතහැර ගොස් ඇත්තේ සුපිරි වෙෙළඳසල් රථගාල්වලය. ඒ සෑම අවස්ථාවකදීම සිය සිවු හැවිරිදි දරුවාද රැගෙන යන්නට ඔහු අමතක කර නැත. ඒ පොලිස් පරීක්ෂාවලින් බේරීමේ උපක්‍රමයක් ලෙසිනි. එදා 23 වැනිදාද ඔහු සූදානමින් සිට ඇත්තේ මත්කුඩු තොගය සහිත වෑන් රථ දෙක රථ ගාලේ නතර කරමින් රියැදුරා සහ දරුවා සමඟ පැයක් හමාරක් සාප්පු සංකීර්ණයේ සැරිසරන්නටය.
විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයට ලැබී ඇති තොරතුරුවලට අනුව මේසා විශාල මත්කුඩු තොග මෙරටට එන්නේ මුහුදු මාර්ග ඔස්සේ ධිවර බෝට්ටුවලින්ම පමණක් නොව, පාකිස්ථානයේ සිට මෙරටට භාණ්ඩ රැගෙන එන කන්ටේනර්වලද සඟවා විශාල වශයෙන් මත්කුඩු මෙරටට ගෙන එනු ලබයි.
එසේ ගෙන එනු ලබන හෙරොයින් කිලෝ තුන් හාරසියයකුත් වැඩි කල් යන්නට මත්තෙන් හසුවනු ඇත. ඒ හෙරොයින් අත්අඩංගුවට ගැනීමේ වාර්තා පොත් තවදුරටත් අලුත් කරමිනි.