මරණයට අභියෝග කර පවුලම බේරාගත් පුංචි වීරයා | සිළුමිණ

මරණයට අභියෝග කර පවුලම බේරාගත් පුංචි වීරයා

නංගිව ත්‍රීවිල් එකේ වහලෙ උඩතියන් පිහිනුවා  ත්‍රීවිල් එකට ගොඩවෙලා උදව් ඉල්ලලා කෑ ගැහුවා ගොඩට එනකොටම ත්‍රීවිල් එක ගිලුණා

“මාදුරුඔය ජලාශයේ සිට මහවැලි බී කලාපයේ කෙත් වතුවලට දියවර රැගෙන යන ඉසෙඩ් ඩී ඇළ පසුගිය කාලයේ මිනිස් ජීවිත විශාල ප්‍රමාණයක් බිලි ගත්තා.

ට්‍රැක්ටරයක් ඇළට පෙරළී එකවර නව දෙනකු මිය ගිය අවස්ථාවක් ද වෙනවා. වන අලි වගේම අනෙකුත් අහිංසක සතුන් සියගණන් ඇළට වැටී තිබෙන අවස්ථා අපමණයි. එසේ තිබියදී සියලු ලෝවැසියන්ට මෛත්‍රීය වඩා දවස ආරම්භ කරන මාත් දරු තුන් දෙනාත් බිලි නොගන්න තරම් මේ මහ ජල කඳ කාරුණික වුණා.”

වැලිකන්ද, අළුත්වැව පදිංචි ලක්ෂ්මන් ජයකොඩි ගුරුවරයෙකි. ඔහු මෙලෙස හැඟීම්බර වූයේ පසුගියදා මුහුණ දුන් බිහිසුණු අත්දැකීම ගැන සිහිපත් කරමිනි. තවමත් පෙළන කම්පනය යටපත් කරගෙන ඔහු අප හා ඒ අත්දැකීම සිහිපත් කළේ මෙසේය.

“මම දිඹුලාගල අධ්‍යාපන කලාපයේ වැලිකන්ද කොට්ඨාසයේ නෙළුම්වැව මහ විදුහලේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරනවා. බිරිය අරලගංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනියුක්කව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක ලෙස මාදුරුතැන්න වසමේ සේවය කරනවා. අපි පදිංචිවෙලා ඉන්නේ ගිරිපොකුණ ගම්මානයේ සෞඛ්‍ය නිල නිවාසවල. අපට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මේ අයගෙන් වැඩිමල් පුතා සසිදු මනීෂ ලක්ෂාන් නෙළුම්වැව විදුහලේ 6 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා.දෙවනියා තුමිදු ශ්‍රී සාමෝද් තවමත් ළදරු පාසල් යනවා. බාලම දියණිය නෙතුලි යෙහංසාට තවමත් වයස මාස පහයි.

අපි දෙන්න දවසේ සේවය අවසන් කරලා එනතුරු බිරියගේ මව පුංචි දරුවෝ දෙන්නා බලා ගන්නවා. පසුගිය 26 වැනිදාත් මම ඉස්කෝලේ අවසන් වෙලා මෝටර් බයික් එකෙන් අම්මාලගේ ගෙදරට ආවා. ඇවිත් දරුවෝ තුන්දෙනා ත්‍රීවීල් එකට දාගෙන නිල නිවාසෙට යන්න පිටත් වුණා. නෝනා එයාගේ බයික් එකෙන් අපට කලින් පිටත් වුණා. බයික් එකේ යනවාට වඩා ත්‍රීවීල් එක ආරක්ෂාකාරී නිසා දරුවෝ තුන්දෙනාම ත්‍රී වීල් එකේම අරං යනවා. අපි හැමදාම හවසට මේ විදිහට මහ ගෙදර ඉඳන් නිල නිවාසයට යනවා. අපේ ගමන් මාර්ගය තියෙන්නේ වැලිකන්දේ අළුත්වැව සිට මහවැලි ඉසෙඩ් ඩී ඇළ මාර්ගයෙන් මැදගමටයි.

එක තැනකදී වළක් මග හරින්න සූදානම් වෙනකොටම ත්‍රීවීල් එක දකුණු පැත්තට ඇදිලා යනවා මට දැනුණා. මං කොපමණ උත්සහ කළත් නැවතත් පාරට ගන්න බැරි වුණු ත්‍රී වීල් එක ඇළට වැටුණා. වතුරට වැටුණු විදිහ මට හිතාගන්න බැරි වුණා. ත්‍රීවීල් එක වතුරෙන් පිරුණා. මම පීනගෙන ගිහිං චූටි දුව ගත්තා. එයා අරං ඇවිත්

ත්‍රීවීල් එකේ වහලය උඩ තිබ්බා. ඒ ගමන් ලොකු පුතා පීනලා වහලයට ආවා. එයා ඇවිත් කිව්වා තාත්තේ මම නංගිව බලා ගන්නම් ඔයා මල්ලිව බේරා ගන්න කියලා. ලොකු පුතයි දුවයි දෙන්නා ඇළේ ගසාගෙන යන ත්‍රීවීල් එකේ වහලය උඩ තියලා මම තීවීල් එක ඇතුලට පීනගෙන යනකොට චූටි පුතා වීල් එක ඇතුළේ ඉන්නවා. එයා සම්පුර්ණයෙන් වතුරෙන් වැහිලා. මම එයාවත් අරං පීනගෙන උඩට ඇවිත් ත්‍රිවීල් එකේ වහලය උඩ තිබ්බා. ත්‍රී වීල් එක පාරේ යන විදිහටම ඇළේ ගසාගෙන යනවා. දරුවො තුන් දෙනා එක්ක මම ත්‍රීවීල් එකේ වහල උඩ. දරුවෝ තුන්දෙනාම නිරුපද්‍රිතයි කියලා දැනුණා. ලොකු පුතා නොහිටියානම් මට එක දරුවෙක් අහිමි වෙනවා. මම චූටි පුතා අරගෙන එනතුරු ලොකු පුතා දුව වහලය උඩ තියාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා. මම ඒ වෙලාවේ කථා කරන්නවත් බැරි තරමට කම්පනයට පත්වෙලා හිටියේ. යම් විදිහකින් ඒ වෙලාවේ එක දරුවෙක් හරි බේරා ගන්න බැරි වුණානම් මට ජීවත් වුණත් වැඩක් නැහැ.

මම දැඩි ආගමික ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන කෙනෙක්. මේ ඇළේ මැරෙන්න ගිය මිනිස් ජීවිත දෙකක් මම බේරාගෙන තිබෙනවා. ඇළට වැටුණු සතුන් සිය ගණනක් බේරලා තිබෙනවා. මට ඒ වෙලාවේ ඒ හැම දෙයක්ම මතක් වුුණා. ධර්මයෙහි හැසිරෙන පුද්ගලයා ධර්මය විසින්ම ආරක්ෂා කළා කියලා තමයි මම හිතන්නේ.”

තම නැඟණිය හා මලණුවන් බේරා ගැනිමට පියාට ශක්කියක් වූ දස හැවිරිදි සිසිදු මනීෂ ලක්ෂාන් ඉගෙනීමට, ක්‍රීඩාවට, කථිකත්වයට, ගායනයට මෙන්ම පිහිනීමටද දක්ෂයෙකු බව නෙළුම් වැව පාසලේ ගුරුවරු කියති.

“මහවැලි ඉසෙඩ් ඩී ඇළ අපට හොඳට හුරුයි. අපි දිනපතාම නාන්නේ මේ ඇළෙන්. ඇළ අඩි විසිපහකට වඩා ගැඹුරුයිලු. ඇළේ වතුර ගලායන්නේ හරිම වේගයෙන්. නමුත් මම ඇළ හරහා පීනනවා. මම 4 ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ යාළුවො එක්ක ඇළේ පීනන්න ගියා. මම ඒ වෙනකොට පොඩි ඇළවල්වල පීනන්න පුරුදු වෙලා හිටියා. නමුත් මහ ඇළේ පීනන්න බයෙන් හිටියේ. දවසක් යාළුවො මාව ඇළට තල්ලු කළා. එදා මම එගොඩට පීනුවා. එදා ඉඳන් මම ඇළට බය නැහැ.

කොච්චර වතුර තිබුණත් කිසි අපහසුවක් නැතුව එගොඩ මෙගොඩ පීනනවා.

නමුත් නොහිතපු වෙලාවක ත්‍රීවීල් එකත් එක්ක ඇළට වැටුණාම කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වුණා. චූටි නංගී හිටියේ මගේ ළඟ. ත්‍රීවීල් එක ඇළට වැටෙනකොට නංගී විසි වුණා. මම එළියට පීනගෙන එන විටම තාත්තා නංගිවත් අරගෙන වතුරෙන් උඩට ආවා. මම නංගිව ත්‍රී‍වීල් එකේ වහලය උඩ තියාගෙන තාත්තට කිව්වා ඉක්මනට මල්ලියා බේරාගන්න කියලා. මම දඟලන්නේ නැතුව ඉතා පරිසමින් ත්‍රීවීල් එකේ වහලය උඩ නංගිව තියාගෙන හිටියා. මම දැඟළුවොත් තාත්තාට මල්ලි ගන්න බැරි වෙනවා. ඒ වගේම නංගී බය වෙලා දැඟළුවොත් අපි අයෙත් වතුරට වැටෙනවා. මේ වෙලාවේ හොදම දේ කලබල නොවී සිටීම කියලා හිතලා මං නංගිත් තියාගෙන හිටියා. යම් විදිහකින් ත්‍රීවීල් එක ගිලුණොත් නංගිත් අරන් එගොඩට පීනනවා කියලා හිතගෙන මම නංගිත් තුරුලු කරගෙන හිටියා. තාත්තා ඒ එක්කම පීනලා ගිහිං චුටි මල්ලි උඩට අරං ආවා. අපි හතර දෙනාම දැන් ත්‍රීවීල් එකේ වහලය උඩ ඉන්නවා. ඒ අතරේ මම උදව් ඉල්ලා කෑ ගැසුවා. ඒ වෙලාවේ එත‍ෙනින් පවර් හවුස් එකේ කැබ් එකක් ගියා. ඒ අය මුලින් හිතලා තියෙන්නේ අපි විනෝදයට ටියුබ් පදිනවා කියලා. අපි උදව් ඉල්ලා කෑගැහුවට පස්සේ ඒ මාමාලා ඇවිත් ඉක්මනින් අපව බේරාගත්තා. අපිව ගොඩට ගත්තු ගමන් ත්‍රීවීල්එක ගිලිලා ගියා. මගේ පොත් පත් සේරම වතුරට ගියා. නමුත් අපි හැම දෙනාගේම ජීවිත බේරුණා. ඒ ගැන හිතනකොට හරිම සතුටුයි. පුංචි ලක්ෂාන් එක හුස්මට කියාගෙන ගියේය.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් වශයෙන් සමාජ මෙහෙවරක යෙදෙන නයනා පුෂ්ප කුමාරි මහත්මිය මාස හයක් වන නෙතුලි යෙහංසා දියණිය තුරුලු කරගෙන තවමත් ඒ භයානක අත්දැකීම සිහිකරන්නීය. මව්වරුන් සහ බිලින්දන් දහස් ගණනකට ජීවිතය දුන් ඇයගේ දරුවන් රැක දෙන්නට තරම් සොබා දහම ඇයට කාරුණික විය. ඇය තම පවුලේ සාමාජිකයින් ගතකරන කටුක ජීවිතය සංවේදීව සිහිපත් කළාය.

අපි හැම පෝයටම සිල් ගන්නවා. හැම පෝයකටම බලු කපුටු දානය දෙනවා. උදේ හවස බුදුන් වඳිනවා. මේ තරම් භයානක අනතුරකින් මහත්තයාත් දරුවෝ තුන් දෙනාත් සීරීමක්වත් නැතුව බේරුණේ හාස්කමකින් කියායි මට හිතෙන්නේ. මගේ ලොකු පුතා නොහිටියා නම් අපිට එක දරුවෙක් අහිමි වෙනවා. එයා නංගි රැකගෙන හිටිය නිසා තාත්තාට චූටි පුතා බේරාගන්න පුළුවන් වුණා. ඒ ගැන හිතන කොටත් ලොකු කම්පනයක් ඇති වෙනවා. මහත්තයාත් දරු තුන්දෙනාත් මට රැකලා දෙන්න සොබා දහම කාරුණික වුණා.”

“නයනා මිස් ජයකොඩි සර් දෙන්නා මුණ ගැහිලා හඳුනාගත්තේ මේ ඉසෙඩ් ඩී ඇළ පාරෙදි. මේ දෙන්නා එක වහලක් යටට ආවට පස්සෙත් මේ අයට දුකට සැපට පිහිට වුනේ මේ මහ ඇළ. එහෙම එකේ මේ අය වෙන් කරන්න තරම් ඉසෙඩ් ඩී ඇළ අකාරුණික වෙන්නෙ නැහැ.” පිරිස අතරේ සිටි ජයකොඩි ගුරුතුමාගේ මිතුරෙක් පැවසීය.

දිඹුලාගල සමූහ ප්‍රසන්න සිල්වා

Comments