මවුපියන්ට-ගුණවතුන්ට ගැරහුවොත් ගැලවිල්ලක් නම් නෑ! | Page 2 | සිළුමිණ

මවුපියන්ට-ගුණවතුන්ට ගැරහුවොත් ගැලවිල්ලක් නම් නෑ!

අද අප පැහැදිලි කරන්නේ අනුනට නින්දා-අපහාස කරන අයට ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳවයි. මේ සම්බන්ධයෙන් ඛුද්දක නිකායේ ධම්මපදයට අයත් ඉතා වටිනා ගාථාවකත් සඳහන් වෙනවා.

අද ඉන්න සමහර අය තමන් ඇති-දැඩි කළ මවුපියන්ට, ඒ වගේම තමන්ගේ ගුරුවරුන්ට, ගුණවතුන්ට, ස්වාමීන් වහන්සේලාට නින්දා-අපහාස කරනවා. අප දස මසක් කුසේ තබාගෙන මෙලොවට බිහි කරන මවුන්, ඩහදිය-මහන්සියෙන් ඇති-දැඩි කරන පියාණන්, ඒ වගේම අපේ ඇස පාදන යහමඟ කියා දෙන සිප් නුවණ බෙදා දෙන ගුරුවරුන්, සිල්වත් යතිවරුන් කියන්නේ ‍අ‍පේ ජීවිතයේදී හමු වන ශ්‍රේෂ්ඨතම පිරිසයි‍. ඒත් මේ පුද්ගලයන් මාර්ග-ඵලවලට පත් වුණ අය නොවෙයි. ඔවුනුත් කෙලෙස් සහිත, පෘථග්ජන පිරිසක්. ඒ නිසා මේ අයගෙන් වුණත් පුංචි හෝ වැරැද්දක් සිදු වන්න පුළුවන්. එහෙමම නොවෙයි; සමහර අවස්ථාවල සමහරුන් පුංචි වැරැද්දක් වත් නැතුවත් මේ අයට නින්දා-අපහාස කරනවා; චරිතය ඝාතනය කරනවා; නොයෙක් ආකාරයේ මානසික කායික පීඩා ඇති කරනවා.

මෙහෙම අපව ‍මේ ලෝකෙට බිහි කරලා ලොකු-මහත් කළ මවට, පියාට, ඒ වගේම අප වෙනුවෙන් යමක් කළ යම්කිසි කෙනකුට, ගුණවතුන්ට, සිල්වතුන්ට නිරපරාදේ නින්දා-අපහාස කිරීම අනිවාර්ය විපාක දෙන අකුසල කර්මයක්. යමකුට නිරපරාදේ අපහාස කරන්නන්ට මෙලොවදීම අත්විඳින්න සිදු වන විපාක දහයක් තිබෙනවා.

මෙලොවදීම දරුණු වේදනා!

මේ අතුරින් පළමු වැනි කරුණ වන්නේ 'වේදනං පරුසං'. ඒ කියන්නේ ඉතා දරුණු වේදනාවක් හටගන්නවා. ඒ අකුසලකර්ම බ‍ලයෙන් සමහර විට සුවපත් කරන්න බැරි හිසේ අමාරුවක් ඇති වන්නත් පුළුවන්. එවැනි අකුසලකර්මයක් කරන අයට මේ වගේ වේදනා හට ගන්න පුළුවන්.‍ අවුරුදු ගානක් යනකොට නෙමෙයි මේ දේ වෙන්න. අකුසලය මෝරන්න ‍ඕනෑ ප්‍රතිවිපාකය ලැබෙන්න සුදුසු මට්ටමට. එසේ අකුසලය මේරුවාට පස්සේ ඒ අයගේ ජීවිතයේ හටගන්න පුළුවන් දරුණු වේදනාවක්. එවැනි වේදනාවක් හටගත්තොත් එය සුව කළ නොහැකි තරමටම විපාක දෙනවා නම් අනිවාර්යයෙන්ම හට ගන්නේ අකුසලකර්මයකින්. මොනම විදිහකටවත් බෙහෙත් ගත්තත් ‍ඒ වේදනාව සමනය වෙන්නේ නැහැ. ඒ වේදනාව හිසේ, උරහිසේ, පාවල, තුනටියේ, කොඳු ඇට පෙළේ වේදනාවක් වන්න පුළුවන්. අකුසලය ගෙවී යන තුරු ‍සුව වන්නේ නම් නැහැ.

දේපොළ වැනසේවි

දෙවැනි විපාකය 'ජානිං 'කියලා හඳුන්වනවා. තමන්ට අයිති බාහිර දේ නැති වනවා; තමන්ගේ ගෙදර ගින්නකට අසු වෙලා පිච්චිලා යනවා. සමහර විට වතුරක් ඇවිල්ලා නැත් නම් සතුරන් නිසා තමා මුළු ජීවිත කාලයේම වෙහෙසී උපයාගත් දේපොළ විනාශ වෙලා යන්න පුළුවන්. එසේත් නැති නම් ධන හානි වෙන්න පුළුවන‍්. විනාශ වන්න පුළුවන්. වතු-පිටි විනාශ වන්න පුළුවන්.

තුන්වැනි විපාකය වන්නේ: 'සරීරස්සච භේදනං'. එනම්: ශරීරය බි‍ඳෙන්න පුළුවන්. සමහර විට තමාගේ අත්-පා‍, කොන්ද, උකුළ, හිස්කබල කැඩෙන්න බි‍ඳෙන්න පුළුවන්; සතුරන් හානි කරන්න පුළුවන්; රිය අනතුරු වන්න පුළුවන්.

සිව්වන කාරණාව: 'ගරුකං භාධි ආබාධා' කියලා කියන්නේ ගරුක අාබාධයක් කියන්නේ අතීසාරය, සුදු කබර, පොතු කබර, කුෂ්ට රෝග, භගන්දරා (දරුණු ආබාධයක්, මල මාර්ගයක් සිදුරු හැදෙනවා), මාංස උද්ධී (අධික මස් වැඩීමට පටන්ගන්නවා), ක්ෂය ‍රෝගය, සිරුරේ මස් දිය වීමේ රෝගය, අත්-පා වාරු නැති වීම, පිළිකා, උමතුභාවය, අංශභාගය වැ‍නි රෝග හට ගන්න පුළුවන්. මේ රෝග හැදුණු හැම කෙනාම මවුපියන්ට දෙගුරුන්ට භික්ෂූන්ට ගුණවතුන්ට අපහාස කරලා නොවෙයි. ඔබ වෙන ආත්ම භව‍යකදී කළ අකුසලකර්මයකින් වුවත් මෙවැනි දරුණු රෝගයක් හට ගන්නට පුළුවන්. සංසාරයේදී අප කර ඇති අකුසලකර්ම ගැන අප දන්නේ නැහැ. අපට අවබෝධ වන්නේ නැති වුණාට අප කර තිබෙන කුසල් අකුසල් කොයි තරම්ද කියන්න බැහැ.

පිස්සු වැටෙන්න වුණත් පුළුවන්!

පස්වැනි කාරණාව වන්නේ 'චිත්තකේ පංචුපාදානේ'. හිත උමතු වෙන්න පුළුවන්. අප පිස්සු හැදෙනවා කියලා කියන්නේ... එය වෙන්න පුළුවන් කාරණා තුනක් තිබෙනවා. එකක්: පිත කිපීමෙන්. එයට ප්‍රතිකාර කරලා හොඳ කරන්න පුළුවන්. අනෙක් උමතුවට යක්ඛ උමතුව කියලා කියනවා.‍ එයත් නිවැරදි ප්‍රතිකර්ම කිරීමෙන් හොඳ කරන්න පුළුවන්. ඒ වගේම තමයි කර්ම විපාකයක් ලෙසත් උමතු වෙන්න පුළුවන්. මවුපියන්ට, ගුරුවරුන්ට, ස්වාමීන් වහන්සේලාට කරන අපහාස නිසා තරුණ අවධියේදීම උමතු වන්න පුළුවන්.

සවැනිව: 'රාජතෝවා උපස්සග්ගං' - රජවරුන්ගෙන් අනතුරක් වෙන්න පුළුවන්. අකුසලකර්මයක් බල පෑවොත් දරන තනතුරු නැති වෙලා යන්න පුළුවන්. ප්‍රධානත්වය දරන අයගේ ඒ බලතල නැති වෙලා යන්න පුළුවන්. රාජ්‍ය බලය තිබෙන තුරු කවුරුවත් හිතන්නේ නැහැ තමන්ගේ තනතුර නැති වෙන්න පුළුවන් කියලා. ඒ අවස්ථාවලදී තමන්ගේ ‍මවුපියන්ට, ගුරුවරුන්ට, සිල්වතුන්ට අපහාස කරන්න හොඳ නැහැ කියලා බලය තිබෙන කාලයේ හිතන්නේ නැහැ. අකුසලකර්ම එන කොට තමන්ට සැම දේම නැති වන්න පුළුවන්. රජවරුන් තමන්ට අයිති ඉඩම පවා රජයට පවරාගන්නට පුළුවන්.

සත්වනුව: 'අබ්භක්ඛාරුංච දාරුණං' දරුණු අපහාස ඇති වන්න පුළු වන්. හොරකම් නොකර හොරකම්වලට හසු වන්න පුළුවන්. මංකොල්ල කන්නේ නැතිව මංකොල්ල‍කාරයා කියලා අහගන්න සිදු වන්න පුළුවන්. දුරාචාරයේ යෙදෙන්නේ නැතිව ගණිකාවක් කියලා අහගන්න සිදු වන්න පුළුවන්; වැරැදි චර්යා ඇති කෙනෙක් කියලා පිරිමින්ටද අපහාස විඳින්න වනවා.

අභූත චෝදනා - අපහාස - අවලාද!

බෝසතාණන් වහන්සේ පෙරුම් පුරන කාලයේ එක් භවයක මත්වතුර පානය කරන මිතුරකු හිටියා සුරඹි කියලා. ඔහුත් සමඟ එකතු වෙලා පසේබුදු කෙනකුට අපහාස කළා. ඒ අකුසලකර්මය නිසා ආත්ම ගනණනාවක් නිරයේ දුක් විඳින්න වුණා. බුද්ධත්වයට පත් වුණාට පසුවත් අන්‍ය තීර්ථකයන් උන් වහන්සේට පුදුම විදිහට නින්දා අපහාස කළා. සුන්දරී නම් කාන්තාවකට මුදල් දීලා පන්සල ඇතුළට යන්න පිටත් කළා. මිනිස්සු අහනවා ඇයගෙන් "කොහෙද යන්නේ?" කියලා. "ශ්‍රමණ ගෞතමයන් සමඟ රාත්‍රිය ගත කරන්න යනවා" කියලා කියන්න කියලා ඇයට උගන්වා තිබුණා. ඇය ඒ ආකාරයටම කිව්වා. මේ විදිහට දවස් ගානක් ගියා. මිනිසුන් ගණන් ගත්තේ නැහැ. පසුව පරබ්‍රාජකයන් මේ කාන්තාව මැරුවා. මරලා ජේතවනාරාමයේ පර මල් ගොඩක හැංගුවා. ඉන් පසුව මේ පිරිස රජතුමාට ගිහින් කිව්වා මේ කාන්තාව දකින්න නැහැ කියලා. හැමතැනම හෙව්වා. ඉන් පස්සේ ශ්‍රමණ භවත් ගෞතමයන් හම්බ වෙන්න යනවා කියලා පන්සලට ගියා කියලා රජතුමාට කිව්වා. රාජපුරුෂ‍යන් ඇවිත් හොයද්දි පන්සලේ තිබිලා මේ කාන්තාවගේ මළ සිරුර හම්බ වුණා‍. බුදු රජාණන් වහන්සේ පුදුමාකාර නින්දාවකට අපහාසයකට පත් වුණා. මේ විධියට බුදු රජාණන් වහන්සේ පෙර භවයේ අර පසේබුදුන්ට කළ නින්දා-අපහාසයේ විපාක අවුරුදු ගණනාවක් වින්දා.

අටවැනි කාරණාව: 'පරික්ඛයංච නාචිනං'. ඥාතීන් නැති වෙලා යන්න පුළුවන්. තමන්ගේ දරුවන් නැති වෙලා යන්න පුළුවන්. තමන්ගේ ‍හොඳම යාළුවා නැති වෙලා යන්න පුළුවන්. එය මෙලොවදීම කරපු මෙවැනි පාපයක සාපයක් වෙන්න පුළුවන්.

නවවැනි කාරණාව: 'භෝගානංච පභංගුරං' කියලා කියන්නේ භෝග විනාශ වන්න පුළුවන්. තමන් සතු මුදල්, නැති වෙලා යන්න පුළුවන්. ලොකු අකුසල් බලපෑවාම මුතු ඇට කපු ඇට වන්න පුළුවන්; රත්රන් අඟුරු බවට පත් වන්නත් පුළුවන්.

මරණින් මතුත් නිරෑ දුක්!

දසවැනි කාරණාව තමයි 'අචචස්ස අගාරානි අග්ගිධාති පාවකෝ'. එනම්: තමන්ගේ දේපළ ගිනි ගන්න පුළුවන්. ගේ ගිනි ගන්න පුළුවන්. ව්‍යාපාරික ස්ථානය කාර්යාලය ගිනි ගන්න පුළුවන්. ගුණවතුන්ට කරන නින්දා-අපහාසවල විපාක හැ‍ටියට මේ වාගේ විපාක මෙලොවදීම ලැබෙන්න පුළුවන් කියලා බුදු රජාණන් වහන්සේ දේශනා කළා.

ඒ විතරක් නොවෙයි; ‍"කායස්ස භේදා දුප්පඤ්ඤෝ නිරයං සෝ උපපජ්ජතී - මේ අසත්පුරුෂයා, ප්‍රඥාව නැති මෝඩයා මරණින් මතු නිරයේ උපදිනවා" කියලාත් දේශනා කර තිබෙනවා. මවුපියන්ට, ගුරුවරුන්ට, සිල්වත්, ගුණවත් හිමිවරුන්ට නින්දා-අපහාස කරනවා නම්, ඒ අයට වෙනම නිරයක් තිබෙනවා. ඔවුන් මරණින් පසු මේ මිහිපිටින් යොදුන් පහළොස් දහසක් යටින් පිහිටා ඇති නිරයගාමි වෙනවා. ඒ නිරය හරි හතරැස් යොදුන් සියයක් දිගයි. මේ මනඃකල්පිත කතාවක් නොවෙයි. බුදු රජාණන් වහන්සේයි මේ දේවල් දේශනා කළේ. උන් වහන්සේ මේවා දේශනා කළේ බය කරන්නත් නොවෙයි. බය වෙලා අකුසලින් මිදිලා වැඩක් නැහැ. අවබෝධයෙන්ම කුසලයේ යෙදිය යුතුයි.

Comments