
මහාචාර්ය එස්.ඩබ්ලිව්.ආර්. ද ඒ. සමරසිංහ සහ දුෂ්‍යන්ත මෙන්ඩිස්
වත්මන් රජයේ දුෂ්කරම රාජකාරිය පැවරී ඇත්තේ මුදල් ඇමැති මංගල සමරවීර මහතාටය. එනම්: රජයේ අය-වැය කළමනාකරණයයි. මෙහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය අය-වැය අවිධිමත් යැයි කීම සැබෑ තත්ත්වය වසන් කිරීමකි. ඇත්ත ඊටත් වඩා අයහපත්ය.
වාර්ෂික අය-වැය ආර්ථිකයේ වැදගත් මෙහෙවරක් ඉටු කරන බව සත්‍යයකි. එහෙත් එය භාණ්ඩ මිල අඩු කිරීම, ආදායම් වැඩි කිරීම, රැකියා උත්පාදනය වැනි දේ ප්‍රාතිහාර්යයෙන් කළ හැකි මෙවලමක් වන්නේ නැත. සැකෙවින් කිව හොත්: වාර්ෂික අය-වැය මඟින් ආර්ථිකයේ සියලු ප්‍රශ්න විසඳිය නොහැකිය.
අය-වැය හිඟය
2010 සහ 2014 අතර මහින්ද රාජපක්‍ෂ රජය රුපියල් බිලියන 7734ක් වියදම් කළේය. දළ දේශීය නිෂ්පාදිතයෙන් 18.2%ක් වූ අතර, ඒ කාලය තුළ එකතු කළ මුළු ආදායම සහ විදේශීය ප්‍රතිදාන රුපියල් බිලියන 5243කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 12.4%ක් විය. අය-වැය හිඟය රුපියල් බිලියන 2491ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.9%ක්) විය. මේ අය-වැය හිඟය පියවුණේ රුපියල් බිලියන 1086ක විදේශීය ණය සහ රුපියල් බිලියන 1405ක (56.5%) දේශීය ණයවලිනි.
යහපාලන රජය 2015 සහ 2017 අතර රුපියල් බිලියන 7197ක් වියදම් කළ අතර, එකතු කළ මුළු ආදායම සහ විදේශීය ප්‍රතිපාදාන රුපියල් බිලියන 4994කි. එනම්: 2015 සහ 2017 අතර වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 19.9%ක් වූ අතර වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 13.8%ක් විය. මේ කාලය තුළ රුපියල් බිලියන 2203ක අයවැය හිඟයක් නිර්මාණය වූ අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.1%කි. රුපියල් බිලියන 1038ක (47.8%) විදේශීය ණය සහ රුපියල් බිලියන 1135ක (52.2%) දේශීය ණයවලින් හිඟය පියවිණි.
වර්ෂ 2009 අවසානයේදී මධ්‍යම ආණ්ඩුවේ සම්පූර්ණ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 86.2%ක් විය. 2014 වන විට ඒ අනුපාතය 71.3%ක් වූ අතර, 2017දී 77.6%ක් විය. එහෙත් මේ අනුපාත රජයේ සැබෑ ණය බර අවතක්සේරු කරයි. රාජපක්‍ෂ රජය ගත් විදේශීය ණයවලින් සෑහෙන කොටසක් රජයේ මූල්‍ය ආයතන සහ මූල්‍ය නොවන රජය සතු ව්‍යාපාර මාර්ගයෙන් ගෙන තිබේ.
උදාහරණයක් වශයෙන්: 2012දී ලංකා බැංකුව ඩොලර් මිලියන 500ක ණයක් ගත්තේය. 2013දී ලංකා බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ සංවර්ධන මූල්‍ය ආයතනය ගත් ණයවල එකතුව ඩොලර් බිලියන 1.35ක් විය. මෙවැනි ණයවලට රජය වගකිව යුතු වේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ බලවත් ඉල්ලීම පරිදි රාජ්‍ය අය-වැය විධිමත් කිරීමේ අරමුණෙන් 2003 වසරේදී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීමේ) පනත පාර්ලිමේන්තුව සම්මත කළේය. එම නීති පනතට අනුව 2003 ජාතික ණය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් වශයෙන් තිබූ 102.3%ක වටිනාකම 2013 වන විට 60%ක් දක්වා අඩු විය යුතුව තිබිණි. එසේ වුවද ඒ අනුපාතය සැබෑවටම 70.8%ක් විය. 2013 ඒ නීති පනත සංශෝධනය කරන විට 2016ට 65%ක් සහ 2020ට 60%ක් ලෙස අලුත් ඉලක්ක ණය අනුපාත නියම විය. එහෙත් 2016දීත් මේ ඉලක්ක කරා යෑමට නොහැකි වූ අතර, ණය අනුපාතය 78.8%ක මට්ටමේ පැවතියේය. 2017දී එහි සුළු අඩු වීමක් (77.6%ක්) දක්නට හැකි විය. ඉහත අංක දෙස බලන කල ණය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ රට පාලනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර විශාල වෙනසක් නැති බව මැනවින් පෙනෙයි.
** අය-වැය හිඟය පියවීම
දේශීය ණය සහ විදේශීය ණය ගැනීමෙන් අය-වැය හිඟය පියවිය හැකිය. ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුව රජය අය-වැය හිඟයකින් සහ ණය ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකී සිටීම සංවර්ධන දෘෂ්ටිකෝණයකින් ප්‍රශස්ත උපාය මාර්ගයක් නොවේ. අධ්‍යාපනය, සෞඛ්‍යය, මහාමාර්ග, විදුලිය යනාදි අංශවල ආයෝජනය වත්මන් පරපුරට මෙන්ම අනාගත පරපුරුවලටද භුක්‌ති විඳිය හැකිය. මේ නිසා එවැනි ආයෝජන දිගුකාලීන ණයවලින් පියවීම සාධාරණ වේ.
එසේ වුවත් අය-වැය හිඟයට සහ ජාතික ණයට සීමා තිබිය යුතුය. අපට ඕනෑ තරමට වියදම් කිරීමට මෙන්ම ණය ගැනීමටද නොහැකිය.
අපට අය-වැය හිඟයේ සහ ජාතික ණයෙහි පවත්වාගත හැකි සීමා කවරේද යන්න පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. අපට ශ්‍රී ලංකාව විෂයයෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක පමණ වාර්ෂික අය-වැය හිඟයක් සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 50% සහ 70% අතර අනුපාතයක ජාතික ණයක් දිගුකාලීනව ඉසිලිය හැකි මට්ටම් වශයෙන් සැලකිය හැකිය.
එහෙත් පසුගිය දශක දෙකේ මේ මට්ටම් දිගින් දිගටම ඉක්මවා යෑම නිසා රාජ්‍ය මූල්‍ය අර්බුදයක් මතු වී තිබෙනවා පමණක් නොව, එය රටේ ආර්ථික උන්නතිය අඩාළ කිරීමටද බලපායි.
දේශීය ණය ගැනීම
රජය විශාල වශයෙන් දේශීය ණය ගත හොත් ණය පොලී අනුපාත ඉහළ යෑමට හොඳටම ඉඩ තිබේ. ඉන් පෞද්ගලික ව්‍යාපාරිකයෝ, නිවාස ගොඩනඟන්නෝ සහ වෙනත් අවශ්‍යතා සඳහා ණය ඉල්ලුම්කරුවෝ අපහසුතාවට පත් වෙති. ශ්‍රී ලංකා රජය මේ ගැටලුවට විසඳුමක් වශයෙන් වරින් වර ගොවීන්ට, සුළු ව්‍යාපාරිකයන්ට සහ වෙනත් තෝරාගත් කණ්ඩායම්වලට අඩු පොලියට ණය ක්‍රම ක්‍රියාත්මක කරයි. සමහර විට මේවායින් යහපත් ප්‍රතිඵල ලැබෙන්නට පුළුවන. තවත් සමහර විට එවැනි ණය ක්‍රම අසාර්ථක වේ; එපමණක් නොව, එවැනි ණය පහසුකම් නොලබන කණ්ඩායම්වලට අසාධාණයක් සිදු වේ.
රජයට කැමැති පමණින් සුරැකුම්පත් නිකුත් කර, ඒවා මහ බැංකුවට අලෙවි කිරීමෙන් ණය ගැනීමට නෛතික අවකාශයක් රජය සතුව පවතී. සරල බසින් කියනවා නම්: මෙය මුදල් අච්චු ගැසීමකි. එය ප්‍රමාණය ඉක්මවා සිදු වුව හොත් උද්ධමනය වැඩි වීම අනිවාර්ය වේ.
එවැනි මුදල් අච්චු ගැසීමක් අසීමිතව සිදු වුව හොත් අධි-උද්ධමනයක් ඇති විය හැකිය. ශ්‍රී ලංකාව එවැනි තත්ත්වයකට කිසි සේත් කිට්ටු වී නැත. එහෙත් මීට වර්ෂ 10කට පමණ පෙර සිම්බාබ්වේ රාජ්‍යය සහ වර්තමානයේ වෙනිසියුලාව එවැනි පියවර ගෙන රට අධි-උද්ධමනයකට තල්ලු කිරීම පිළිබඳ ආසන්නතම උදාහරණ වේ.
විදේශීය ණය ගැනීම
විදේශීය ණය ගන්නා විට ඒ ණය ගෙවීමට හැකි වීමට වගබලාගැනීම අනිවාර්ය විය යුතුය. එවැනි ණය ඩොලර්වලින් ගන්නා නිසා ආපසු ගෙවීමටද ඩොලර් අවශ්‍ය වේ. අද ශ්‍රී ලංකාව විදේශීය ණය ගෙවාගැනීමට ඉතා අසීරු තත්ත්වයකට මුහුණපා සිටින්නේ මේ මූලික අවශ්‍යතාව නොසලකා විදේශීය ණය ගැනීම නිසාය.
2019දී ඩොලර් බිලියන 5.9ක් ආපසු ගෙවීමට සිදු වී තිබේ. එනම්: 2017 මෙරට ඉපැයූ අපනයන ආදායමෙන් 52%කට සමාන මුදලකි; 2018 අවසානයෙදී රට සතුව තිබූ විදේශීය සංචිතයෙන් 86%කට සමාන මුදලකි. මේ වසරේ ජනවාරි සහ මාර්තු අතර ඩොලර් බිලියන 2.6ක් ගෙවිය යුතුය. ඒ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400ක් සහ චීනයෙන් ඩොලර් මිලියන 300ක් ලබාගැනීමට රජය උත්සාහ දරයි. පසුගිය ජනවාරි මස පළමු බිලියනය රට සතු ඩොලර් සංචිතයෙන් කොටසක් කැප කර ගෙවනු ලැබීය. මෙය ඉතා අසතුටුදායක තත්ත්වයකි. විදේශීය ණය නාස්ති කළ දේශපාලකයන් මෙයට වගකිව යුතුය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම රජයන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගෙන ඇත. 2009දී රාජපක්‍ෂ රජය ඩොලර් බිලියන 2.9ක් ගත් අතර, යහපාලන රජය 2016දී ඩොලර් බිලියන 1.6ක් ගත්තේය. මේ ණය ප්‍රමාණ එතරම් විශාල නැත. මූල්‍ය අරමුදලේ ණය වැදගත් වන්නේ එය රටේ ආර්ථිකය ස්ථායි තත්ත්වයක පවතින බවට විදේශීය ණය සපයන්නන්ට සහ ආයෝජකයන්ට ඇඟවීමක් කරන බැවිනි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල ණය දෙන්නේ කොන්දේසි සහිතවය. ඉන් ප්‍රධානතම කොන්දේසිය රාජ්‍ය අය-වැය හිඟය පවත්වාගත හැකි මට්ටමකට අඩු කිරීමයි. මේ අරමුණ ඉටු කරගැනීමට ආධාර වන ආර්ථික ප්‍රතිපත්ති සංශෝධනවලටද රජය එකඟ යුතු වේ. එවැනි කොන්දේසි අසාධාරණ බව සමහරු සිතති. අනෙක් අතට රටේ ආර්ථික ඉදිරිගමන සඳහා රාජ්‍ය අය-වැය විනයක් ඇතිව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය බව කෙනකුට තර්ක කළ හැකිය.
බදු ආදායම්
පසුගිය දශක දෙකේ ශ්‍රී ලංකාවේ බදු අය කිරීම ක්‍රමයෙන් දුර්වල වී තිබේ. 1978 සිට 1996 පමණ දක්වා රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% ඉක්මවා තිබුණද එය පසුව ක්‍රමයෙන් පහත වැටී, 2014දී 11.5% දක්වා අඩු වී තිබිණි. ඒ දශක දෙක තුළ ඩොලර්වලින් බලන කල දළ දේශීය නිෂ්පාදිතය 514%කින් වැඩි වූ අතර, ඒක පුද්ගල නිෂ්පාදිතය 437%කින් වැඩි විය. එවැනි පරිසරයක බදු ආදායම් අනුපාතය පහළ වැටීම බදු කළමනාකරණයේ දුර්වලතාව හෙළි කරයි.
ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේ ප්‍රධාන දුර්වලතා තුනක් තිබේ. අවිධිමත් බදු පැනවීම ඉන් එකකි. පසුගිය දශක කිහිපයේම අය-වැය මඟින් අවිධිමත් ලෙස නා-නා බදු පැනවීම පුරුද්දක් වී තිබේ. වඩා සුදුසු වන්නේ කාටත් සාධාරණ වඩා සරල සහ කාර්යක්ෂම බදු ක්‍රමයකි.
එමෙන්ම ශ්‍රී ලංකා රජයේ බදු ආදායමෙන් 80%ක් ලැබෙන්නේ වක්‍ර බදුවලිනි. මෙය අඩු ආදායම් කොටස්වලට අසාධාරණයකි. හේතුව වක්‍ර බදුවල බර ආදායම අඩු වීමත් සමඟ වැඩි වන බැවිනි.
ආදායම් බද්ද, ව්‍යාපාරික ලාභ බද්ද, ධන බද්ද, කොටස් අලෙවි ලාභ බද්ද, දේපළ උරුම වීමේ බද්ද ඍජු බදු ලෙස සැලකේ. සෘජු බදුවලින් රජයට ලැබෙන්නේ මුළු බදු ආදායමෙන් 20%ක් පමණි. ශ්‍රී ලංකාවේ ඉහළම ආදායම ලබන ගෘහස්ථ 20% රටේ මුළු ආදායමෙන් 50%ක් පමණ ලබාගනී. ඔවුන්ගේ බදු බර සාපේක්ෂ වශයෙන් සැහැල්ලුය.
ආදායම් බදු එකතු කිරීමේදී දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මුහුණ පාන බාධක ඍජු බදු පදනම දුර්වල වීමට එක් හේතුවකි. දේශපාලන බාධක තවත් හේතුවකි. මෙරට ඉහළ මට්ටමේ ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් විවිධ සූත්‍රවලින් ආදායම් බදු ගෙවීම පැහැරහැරීමට වැර දරන බව රහසක් නොවේ. දේශපාලකයන් එය වැළැක්වීමට එතරම් උද්‍යෝගයක් දක්වන්නේ නැති බවට සාක්ෂි තිබේ. 2017 දේශීය ආදායම් බදු පනතින් වෘත්තිකයන් ගෙවන ආදායම් බද්ද වෙනත් පුද්ගලයන් ගෙවන බද්දට සමාන කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්‍ෂ කණ්ඩායම විරුද්ධ වීම උදාහරණයකි.
පුනරාවර්තන වියදම්
රාජ්‍ය සේවක වැටුප්, ජාතික ණය වෙනුවෙන් ගෙවන පොලිය, සමෘද්ධි වැනි සහනාධාර වර්තන වියදම් ගණයට වැටේ. 2018 රජයේ වියදම්වලින් 75%ක් පුනරාවර්තන වියදම් විය. විශේෂයෙන් දේශපාලන හේතු නිසා මේ වියදම් අඩු කිරීම ඉතා දුෂ්කරය.
මහාමාර්ග, විදුලි බලාගාර, වාරිමාර්ග, රාජ්‍ය ගොඩනැඟිලි යනාදිය ප්‍රාග්ධන වියදම් ගණයට වැටේ. අය-වැය යෝජනා බොහෝ විට මෙවැනි වියදම් සංවර්ධන වියදම් ලෙස හුවා දක්වනු ලැබේ. එහෙත් ඉන් සමහර ව්‍යාපෘති එක්කෝ ක්‍රියාත්මක නොවේ; නැති නම් පොරොන්දු වූ වේගයෙන් සිදු නොවේ. ව්‍යාපෘති කළමනාකරණයට රාජ්‍ය අංශය මුහුණපාන සීමා ඊට එක් හේතුවකි. දෙවැන්න මුදල් නැතිකමයි.
සුනාමිය හෝ නියඟයක් වැනි හදිසි ආපදාවක් නිසා හෝ ලෝක වෙළෙඳපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑමක් හෝ අප රටේ අපනයන භාණ්ඩ මිල අඩු වීමක් හෝ වැනි බලාපොරොත්තු නොවූ සිදුවීමක් නිසා රජයේ අය-වැය සැලැස්මෙන් පිට පැනීම නොවැළැක්විය හැකි තත්ත්වයකි.
මේ අනුව බලන කල ශ්‍රී ලංකාවේ අය-වැය ප්‍රශ්නය අද ඊයේ ඇති වූවක් නොවන බවත්, බලයේ සිටි සහ සිටින සියලු පක්ෂ සහ ආණ්ඩු ඊට වගකිව යුතු බවත් පැහැදිලිය.