
- පරණවිතාන, මාර්ටින් වික්‍රමසිංහ, ඔලිවර් ගුණතිලක, මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල් ගයුම් ගිය ඉස්කෝලේ
- 2016 වන විට ළමයි 17යි. ඉස්කෝලේ වහන්නත් හදලා
- බොනවිස්ටාව නැවත හැදුවේ මවුපියන්, ආදී සිසුන්
විදේශීය රාජ්‍ය නායකයන්, අප රටේ රාජ්‍ය නායකයන් මෙන්ම මහා ගත්කතුවරුන්, විද්වතුන් බිහි කළ මේ පුංචි තක්සලාව ගැන කියන්න බොහෝ දේ වෙතත් මේ පුවත ගෙතෙන්නේ එවන් අතීතයක් ගෙන හැර දක්වන්නට නොවේ. ඒ පුංචි තක්සලාව මහ විසල් තක්සලාවක් බවට පත්වූ අපූරු හැරැවුම ගැන කියන්නටය. රූමස්සල කඳු යාය පාමුලින් පිහිටා ඇති මේ අපූරු තක්සලාව බොනවිස්ටා විදුහලයි. අපූරු පරිසර සුන්දරත්වයක් ඉක්මවා යන අභිමානනීය අතීතයක් රූමස්සල කඳු යාය ආරම්භයේදීම හමු වන බොනවිස්ටා පාසලට උරුමය. 1814 දී නිල වශයෙන් ආරම්භ වූවායැයි සැලකෙන මේ පාසලේ අධ්‍යාපනය ලැබුවෝ එසේ මෙසේ පුද්ගලයෝ නොවෙති. මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් අබ්දුල් ගයුම්, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන, හිටපු අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර් ගුණතිලක, මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ, ඒ.ටී ආරියරත්න, එඩ්වින් ආරියදාස, ආතර් වී දියෙස්, අරීසෙන් අහුබුදු ඉන් කිහිප දෙනෙකි. එවැනි අභිමානනීය අතීතයක් උරුම වූ ඉංග්‍රිසි භාෂා මාධ්‍ය පාසලක් වූ බොනවිස්ටා පාසල කාලයාගේ ඇවෑමෙන් විවිධ විපර්යාසයන්ට බඳුන් වී අඳුරු යුගයක් උදා විය. මේ ඒ පාසලේ අතීත කතාවය.
බොනවිස්ටා පාසලේ වර්තමාන කතාව ආරම්භ වන්නේ මීට අවුරුදු දෙක තුනකට පෙර, දරුවන් 17 දෙනෙකුගෙන් සමන්විත මේ පාසල වැසී යෑමේ අමිහිරි කාලයත් සමඟය. මේ සුන්දර පාසල් භූමියේ සියලු ගොඩනැගිලි, ඩෙස් බංකු පුටු පවා ගන කැලයකින් වට වී
ජරාජීර්ණ වීමට පටන් ගත්තේ ඒ කාලයේය.
වැසී යෑමට ගිය මේ පාසල වසර දෙකක කෙටි කාලයක් තුළ නවීන තාක්ෂණයෙන් දියුණු සුහුරු (Smart) පන්ති කාමර පවත්නා පාසලක් බවට පත් වූයේ ය. කිසිදු ගොඩනැගිල්ලක් නොතිබූ, ඩෙස් පුටුවක් නොතිබු මේ පාසලේ දරුවෝ අද නවීන තාක්ෂණයෙන් යුතු සුහුරු පන්ති කාමරවල ඉගෙනීම් කරති. ආකල්පමය වෙනසක සිට ජාතික පාසල් අබිබවා යෑමට තරම් අද මේ පාසලේ දරුවෝ සමත්කම් දක්වති.
වර්තමානයේ සුහුරු පන්ති කාමර ගැන අධ්‍යාපන බලධාරීන් කතා කරන්නට පෙර මේ පාසලේ දරුවෝ සුහුරු පන්ති කාමර හැඳින ගත්හ. වැසුණු පාසලේ සිට සුහුරු පන්ති කාමර දක්වා වසර දෙකක මේ ගමනේදි දරුවන් ඒ සියල්ලම උපයා ගත්තේ තමන්ගේම දායකත්වයෙනි. තමන්ම සියලු දේ උපයා ගත්තා මිස නැති බැරිකම් මවා පාමින් දරුවන් හඬා වැටුණේ නැත. රජයෙන් සුහුරු පන්ති කාමර හෝ ටැබ් යන්ත්‍ර දුන්නේ නැත. පාසලක තිබිය යුතු කිසිදු පහසුකම් නැතිව සිටි මේ දරුවන් අද සමස්ත පාසල් දරුවන්ටම නවීන තාක්ෂණයේ වටිනාකම කියා දෙයි.
බොනවිස්ටාවේ මේ අපූරු වෑයම පිටුපස සිටින්නේ විදුහල්පති කරුණාරත්න ගණේවත්ත මහතාය. 2016 දී ඔහුට වැඩ භාර ගන්නට සිදු වූයේ පාසලක් යැයි පැවැසිය නොහැකි කැලෑවෙන් වටවූ බිමක් පමණි.
“2016 මම පාසල බාර ගන්නා විට හිටියේ ළමයින් 17 දෙනෙක් විතරයි. කිසිම ඩෙස් බංකුවක් පුටුවක් තිබුණේ නැහැ. පාසලේ සියලු ගොඩනැගිලි බිමට සමතලා වෙලා තිබුණේ. මුළු පාසලම කැලයෙන් වැහිලා. දරුවන්ට බොන්න වතුර ටිකක්වත් නැහැ. වැසිකිළි නැහැ. ඒත් මේ පාසලේ දරුවන්ගේ මවුපියන්ට දැඩි උවමනාවක් තිබුණා මේ පාසල වැහෙන්න නොදි රැකගන්න. ඒ සඳහා සුදුසුම ආකල්පය කුමක්ද කියා මම නිරන්තරයෙන්ම අන්තර්ජාලය පිරික්සුවා. අධ්‍යාපන බලධාරීන්, ආණ්ඩුකාරතුමන් සමඟ සාකච්ඡා කළා. එහෙම සොයන විට තමයි මට දැන ගන්න ලැබුණේ විදේශ රටවල ක්‍රියාත්මක වන සුහුරු පන්ති කාමර සංකල්පය. මම ස්මාර්ට් පන්ති කාමර සැලැස්මක් හදලා අධ්‍යාපන ඇමැතිතුමාටත්, පළාත් අධ්‍යාපන ප්‍රධානීන්ටත් පෙන්වුවා. එවකට සිටි ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතාගෙන් ද මේ කටයුත්තට විශාල සහායක් ලැබුණා.
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුත් වෛද්‍ය රංග වික්‍රමසිංහ, දුව රූපා සපරමාදු මෙන්ම රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් ශ්‍රියානි ගුණරත්න මෙන්ම අධ්‍යාපන බලධාරීන් මේ කටයුත්තේදි අපිව උනන්දු කළා. අපේ වියදමින් අත්පත්‍රිකා ගහලා මුළු ගාල්ල පළාතෙම බෙදන්න ගත්තා. මෙතැනදි අපේ ඉලක්කය වුණේ ශිෂ්‍යත්වය සමත් දරුවන්. පාසල්වල, පොළේ, බස්වල නැඟලා අපි අත්පත්‍රිකා බෙදුවා.“ විදුහල්පති පවසයි.
මේ වන විටත් පාසලේ 6 ශ්‍රේණියේ සිටියේ එක් දරුවෙකි. 7 ශ්‍රේණියේ ඉගෙන ගන්නට කිසිදු දරුවෙකු සිටියේ නැත. ඩෙස් බංකු පුටු පමණක් නොව නටබුන් ගොඩනැගිලිවල වහලද නොවීය. විදුහල්පතිගේ ඒ වෑයමෙන් පසුව ඒ වසරේම පාසලට ඉල්ලුම් පත්‍ර 900ක් ලැබුණේ පාසල අලුත් ක්‍රමයකට ගොඩ නඟන ආරංචියද සමඟය.
ගුරුවරු සහ විදුහල්පති දරුවන් ඇතුළත් කරගැනීමට පෙර අපූරු වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. ඒ නායකත්ව පුහුණුවකි. ඒ පුහුණුවේදි සුහුරු පන්ති කාමර සංකල්පය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. ඒ අනුව 2016 අග වන විට දරුවන් 475ක් ඇතුළත් වූයේ අලුත් ක්‍රමයට ඉගෙනගැනීමටය. ශ්‍රමදානයකින් පාසල සුද්ද කර පාසලට යන්නට පාරක් කැපුවේද ගුරු ආදි සිසුහු සහ මවුපියෝය. බිඳවැටුණු බිත්ති කෙළින් වූයේ මවුපියන්ගේ සහ ආදි සිසුන්ගේ වෙහෙසින් හා ධනපරිත්‍යාගයෙනි.
අලුත් සිසුන් බඳවාගැනිමේ සම්මුඛ පරීක්ෂණ වායු සමනය කළ පන්ති කාමරයක පවත්වන්නට විදුහල්පතිවරයා කෙසේ හෝ පන්ති කාමරයක් සකස් කර ගත්තේ දරුවන්ට අලුත් හැඟීමක් ඇති කිරීමටය. මේ අලුත් ක්‍රමයට ඉගෙන ගැනීමට පාසලට ඇතුළත්ත වීමට කැමැති වූ දරුවන්ට ඒ අවස්ථාව දෙන්නට සමහර විදුහල්පතිවරුන් කැමැති වූයේ නැත. අවසානයේ අස්වීම් සහතික නැතත් දරුවන්ට අලුත් පාසලේ දොරටු විවෘත විය. එහෙත් ඇතුළත් වු ඒ දරුවන්ට වාඩි වෙන්නට පුටුවක් මේසයක් තිබුණේ නැත. විදුහල්පතිවරයාගේ ‘අලුත් වීමේ‘ සංකල්ය දරුවන්ටත් මවුපියන්ටත් ආශිර්වාදයක් විය. දරුවෝ අලුත් වීමේ අදහසින් ගෙදරින් ගෙනා කාඩ් බෝඩ් කැබැල්ල බිම අතුරා බිම වාඩි වූහ. එහෙත් කිසිදු කෙනෙකු එහි දොසක් දුටුවේ නැත. ඒ වන විට සියලු මති මතාන්තර පසෙකලා බොනවිස්ටාව අලුත් වීමේ ගමනට මුල පුරා තිබිණි.
“බොනවිස්ටානු අභිමානය කියලා වැඩ සටහනක් කරලා අපි රුපියල් ලක්ෂ 14ක් පමණ සොයාගත්තා. වැඩි වියදමක් දැරුවේ අපේ ආදි සිසුන්. මම සුහුරු පන්ති කාමර ගැන දවසක්ම මවුපියන් දැනුවත් කළා. ඒ අය කැමැති කරවාගත්තා තම දරුවන්ට ටැබ් අරගෙන දෙන්න. කොතරම් නැතිබැරි වුණත් මගේ වචනය සලකලා මවුපියන් තම දරුවන්ට ටැබ් අරගෙන දුන්නා. 2017 ජනවාරි වන විට ඉන්ටරැක්ටිව් බෝඩ් එකකුත් ගන්න ලැබුණා. අද එවැනි බෝඩ් 4ක් අපේ පාසලේ තියෙනවා. දරුවන් 91 දෙනෙකුට ටැබ් තියෙනවා.
අවට පාසල්වලින් ඉවත් කරන කැඩුණු ලී බඩු ගෙනැවිත් ඩෙස් බංකු පුටු සකස් කළා. නගරයේ පාසල්වලින් ඉවත් කරන දොර ජනේල ලී ගෙනැල්ලා පන්ති කාමර සකස් කළා “විදුහල්පතිතුමා එසේ පවසන්නේ වසර දෙකක කාලයක් තුළ වැටුණු තැනින් ගොඩ ආ සැටිය.
වැඩි පිරිසක් සුහුරු පන්ති කාමර තාක්ෂණයෙන් ඉගැනුම ලබන පාසලේ අද සිසුන් 1136 දෙනෙකි. වසර දෙකකට පෙර 8 දෙනෙකු සිටි මේ පාසලේ අද ගුරුවරු 63 දෙනෙකි. වසර දෙකකට පෙර පන්ති කාමරවල සිසුන් නොසිටි මේ පාසලේ විද්‍යා, කලා හා වාණිජ මෙන්ම තාක්ෂණ විෂය ධාරාව ද අද ඉගෙනගැනීමට දරුවෝ සිටිති.
යම් යම් අවස්ථාවන්හිදි අධ්‍යාපන බලධාරීන් ශක්තියක් වුවද රජයේ කිසිදු අරමුදලකින් යැපෙන්නේ නැතිව ආ මේ ගමනේදි කිසිදු ඇගැයීමකට පත් නොවීම ඔවුහු වේදනාවෙන් යුතුව සිහිපත් කරති. පාසලේ ආදි සිසුවෙකු වන ව්‍යාපාරික එච්.එච් නලින් යසස් හේවගේ මහතා මේ පාසලට බහුකාර්ය ගොඩනැගිල්ලක් ලබා දුන්නේය. ඒ බහුකාර්ය ගොඩනැගිල්ල උදේට පන්ති කාමරයකි. දවල්ට ක්‍රීඩාගාරයකි. රාත්‍රියට නාට්‍ය ශාලාවකි.
“අපේ පාසල මේ තත්ත්වයට ආවේ විදුහල්පතිතුමා නිසා. පාසල මෙහෙම වෙනස් නොවුණා නම් එවැනි ඉතිහාසයක් තියෙන පාසලක් රටට නැතිව යනවා. අවුරුදු දෙකක් තුළ ජාතික ජයග්‍රහණ ලබාගැනීම දක්වා ගිහින් තියෙනවා. වසර දෙක ඇතුළත බෑන්ඩ් කණ්ඩායමත් සම්පූර්ණ කළා. අපේ දරුවන් මෙවර නිදහස් උත්සවය වෙනුවෙන් සහභාගි වුණා.
පාසල් නිල ඇඳුම් මෙන්ම ගුරුවරුන්ගේ නිල ඇදුම් පවා පාසලේ අලුත් ගමනට සුදුසු වන ආකාරයෙන් සකසා ගත්තා. අපි දවස් පහට අලුත් ඇඳුම් පහක් හදුන්වා දුන්නේ අලුත් වීමේ සංකල්පය දරුවන්ගේ හිතට දැනෙන්න. වසර දෙකක් තුළ අපේ දරුවන් ඔලිම්පියාඩ් තරගවලටත් ඉදිරිපත් වුණා. ශිෂ්‍ය සාධන මට්ටම්වලින් පාසල ඉහළ තැනකට ආවා“
පාසලට අද පැමිෙණන බහුතරය ගමේ දරුවෝ නොවෙති. යම් යම් හේතූ මත පාසල්වලට ඇතුළත් වීමට නොහැකි වූ සිසුන්ට පිහිට වූයේද මේ පාසලයි.
“අපේ දරුවන් ශිෂ්‍යත්වය සමත් වුණත් හොඳ පාසලකට ඇතුළත් කරන්න බැරි වුණා. අහම්බෙන් වගේ මේ පාසල ප්‍රතිනිර්මාණය වන බව අපිට අහන්න ලැබුණා. ඒ වන විට මේ පාසලේ හිටියේ ළමයි 20 යි. දරුවන්ට වාඩි වෙන්නවත් තැනක් තිබුණේ නැහැ. ඒත් විදුහල්පතිතුමාව විශ්වාස කරලා අපේ දරුවන්ව මේ පාසලට ඇතුළු කළා. අපේ පාසලින් තමයි ස්මාර්ට් පන්ති කාමර ගැන මුලින්ම කතා වුණෙත් පාසල්වල මුලින්ම ආරම්භ කළේත්. මවුපියන්ට නැතිබැරිකම් තිබුණත් ඒ අය විදුහල්පතිතුමාගේ විස්වාසය නිසා රුපියල් 60000කට වඩා වියදම් කර තමන්ගේ දරුවන්ට ටැබ් එකක් අරගෙන දුන්නා.“ එසේ පවසන්නේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ටී.යු සුදුසිංහ මහතාය.
බොනවිස්ටා පාසලින් රූමස්සල වන අරණට කිසිදු හානියක් වී නැත. කැලය තුළ ස්වාභාවික වෘක්ෂලතා ආරක්ෂා කරමින් ඉදි කර ඇති සිප් අරණ ස්වාභාවික සංගීත හා චිත්‍ර ආශ්‍රමය අධ්‍යාපනයෙන් විඩාවට පත් දරුවන්ගේ මනස කදිමට සකසා දෙයි.
පාසලේ ආදි සිසු ගරුත්වය ආරක්ෂා කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ඉගෙනගත් ගොඩනැගිල්ල හෙට දවසේ කෞතුකාගාරයක් බවට පත් වෙයි. වෘත්තීය විෂය ධාරා පාසලේ ආරම්භ කළේ ඒ සඳහා නිශ්චිත ගොඩනැගිල්ක්ද නැතිවය. ඒ අනුව අද මේ පාසලේ වෘත්තීය විෂය ධාරා 16ක්
ඉගැන්වෙයි.
මේ හැම කාර්යයකටම පළාත් සභාවෙන් හා ආණ්ඩුකාර කාර්යාලයෙන් මෙන්ම පළාත් අධ්‍යාපන කාර්යාලවලින් සහාය ලැබුණු බව විදුහල්පති ගණේවත්ත මහතා කියයි. පාසලේ ඉදි වන බුදුමැඳුරට විදුහල්පතිවරයාගේ මවගේ විශ්‍රාම වැටුප ද දායක කරගෙන තිබේ.
විදුහල්පතිතුමාගේ අපේක්ෂාව වන්නේ ඉදිරියේදි පාසල විභාග ශාලාවක් බවට පත් කළ හැකිද යන්නය. එසේ කළ හොත් මේ දරුවන්ට පාසලේ සිටම විභාගයට මුහුණ දිය හැකි වෙයි. තවමත් පන්ති කාමරවල අඩු පාඩුකම් එමටය. අලුතින් එන දරුවන්ට පාසලේ අධ්‍යාපනය ලබන්නට අවකාශය දෙන්නට විදුහල්පතිවරයා දෙවරක් නොසිතයි. ඒ නිසා සමහර දරුවෝ තාවකාලික මඩුවල ඉගෙන ගනිති. කන්දක් මත ඉඳිව ඇති පාසලේ අලුත් ඉදිකිරීම් කරන්නට බොහෝ බාධා මතුව තිබේ. එහිදී රජයේ අනුග්‍රහය හිමිවිය යුතුමය.
වසර තුනකට පෙර සිසුන් 17 දෙනෙකුගෙන් සමන්විතව වැසී යෑමට ගිය මේ පාසලේ නැඟීමේ පදනම සැපයුවේ සුහුරු පන්ති කාමර සංකල්පයය. ඊට ඇවැසි දේ සපයන්නට ඉදිරිපත් වූයේ පාසලට හිතැති පිරිසක් පමණි. එසේම බොනවිස්ටාවේ සිදු වූ මේ මහා වෙනස බලධාරීන් දුටුවේ ද අගය කළේ ද නැති තරම්ය. විදුහල්පතිවරයා, ගුරුවරුන් ආදි සිසුන් මවුපියන් නොසිටින්නට මහා ප්‍රාඥයන් බිහි කළ මේ උතුම් තක්සලාව අද වැළලිගොස් හමාරය.
සේයාරූ - කැලුම් ලියනගේ