ETI ගනුදෙනුවේ ඇත්ත - නැත්ත | සිළුමිණ

ETI ගනුදෙනුවේ ඇත්ත - නැත්ත

මේ වන විට දේශපාලන, ආර්ථික, සමාජීය ක්ෂේත්‍ර ත්‍රිත්වය තුළම එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ්) ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනු පිළිබඳ දැඩි කතාබහට ලක් වී ඇත. ඉකුත් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ජාතික ආර්ථික සභාවේ 26 වැනි රැස්වීමේදී පවා මේ පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබේ.

ඊටී‍අයි ආයතනය, එහි මුදල් තැන්පත්කරුවන්ට අත්වන ඉරණම, ජනතා මුදල් අවභාවිත කොට ඇත් නම්, ඊට වගකිවයුතු ඊටීඅයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු වනවාද? යන ප්‍රශ්න අප සමාජය ඉදිරියේ පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙවන් මූල්‍ය ආයතන අධීක්ෂණය කොට නිසි ලෙස පවත්වාගෙන යෑමට ගත් ක්‍රියාමාර්ග මොනවාද? නව ආයෝජකයෙකු සොයාගන්නා උත්සාහයේදී ඊට කළු සල්ලි ආයෝජන ලෙස පැමිණ තිබේද? දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවී ඇත්ද? සහ ජනමාධ්‍ය ආයතනයක් මේ හා අනුබද්ධිතව පැවැතීම මත මෙහි දෝෂ සහිත ගනුදෙනු යට යාවිද? යන ප්‍රශ්න ද ජනතාවගේ සිත්වල හටගෙන තිබේ.

මේ සියල්ල පිළිබඳ කරුණු කාරණා සහිතව බුද්ධිමත් පාඨක ජනතාව දැනුම්වත් කිරීම අරමුණින් අපි, ඊටීඅයි ආයතනයේ සැබෑ කථාව දිගහැරුමට කල්පනා කළෙමු.

ඊටීඅයි ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වන බලපත්‍රලාභී මූල්‍ය සමාගමකි. ප්‍රකට ව්‍යාපාරිකාවක වූ සෝමා එදිරිසිංහ මහත්මියගේ මූලිකත්වයෙන් ‘ස්වර්ණමහල්’ නාමය ප්‍රධානව ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉදිරියෙන් ම සිටි ආයතනයක් ලෙස ද මෙය කලක් නම් කොට තිබිණි.

මේ මූල්‍ය සමාගම විසින් ජනතාවගේ තැන්පතු භාර ගනිමින් දිනෙන් දින ව්‍යාපාරික ක්ෂේත්‍රය දිනා ගැනීමට සමත් වුව ද පැවැති දු‍ර්වල මූල්‍ය කළමනාකාරිත්වය හමුවේ එහි තැන්පත්කරුවන්ගේ ඉතුරුම් ආපසු ගැනීම්, ලබා ගැනීම්, පොලී ගෙවීම් ප්‍රශ්නකාරී වන්නට පටන් ගැනිණි. ඒ බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට වසර 10කට පෙර (එනම් 2008 වසරේදීම) හඳුනාගෙන තිබිණි. මේ ආයතනයේ ගනුදෙනු පිළිබඳව 2008-2012 කාලයේ පටන් ප්‍රශ්න පැන නැඟී තිබුණු අතර, එහි උත්සන්න වීමක් වසර 2011දී දක්නට ලැබිණි. මේ ආයතනය වසර 2011 සිට අඛණ්ඩව මූල්‍ය වශයෙන් ද්‍රවශීලතා ගැටලුවකට මුහුණදුන් අතර, මේ තත්ත්වය සමනය කිරීමට නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ඊටීඅයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නොකඩවා නියෝග නිකුත් කරනු ලැබීය.

ඊටීඅයි ආයතනය විසින් තැන්පතු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස කටයුතු කරන අතර, මෙහි උප සමාගම් කිහිපයක් ද ජනතාවගෙන් තැන්පතු භාර ගැනීමට කටයුතු කොට තිබේ. එය ගැටලුවට මූලිකවූ කරුණකි.

ජනතාවගේ තැන්පතු ආපසු ගෙවීමට සමත් වන සේ එම මුදල් ලාබදායි ආයෝජන ලෙස පවත්වාගෙන යෑමට මෙහි බලධාරීන් කටයුතු කොට නැතිවා පමණක් නොව, මේ තැන්පතුවලට සමාන වත්කම් ගොඩනඟාගත් ආකාරය ශ්‍රී ලංකා මහ බැංකුවට පවා ලබාදීමට ඔවුන් අසමත්ව හා අපොහොසත්ව සිටි බව මහ බැංකුව පවසයි.

දිනෙන් දින ඊටීඅයි‍ තැන්පත්කරුවන්ට ගෙවිය යුතු පොලී මුදල් නොගෙවීම, මුළු තැන්පත් මුදලම ඉල්ලා සිටින අයෙකුට ඒවා ලබා ගැනීමට නොහැකිවීම සහ බරපතළ තත්ත්වයකට මේ ආයතනය බිඳ වැටුණු පසු ඉන් ගනුදෙනුකාර ජනතාව බේරා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට මැදිහත් වන්නට සිදුවිය. ජනතාව මහ බැංකුව වෙත දිව ආවේ පිහිට පතා ය‍. එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊටීඅයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට විවිධ වැඩ පවරනු ලැබීය. ඒ යටතේ 2017 දෙසැම්බර් මස තැන්පත්කරුවන්ට ගෙවීම සඳහා ආයෝජන සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබිණි. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව මූල්‍ය ව්‍යාපාර පනත යටතේ නියාමන ක්‍රියාමාර්ග ද ගනු ලැබීය. මේ වන විට අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට විදේශගත වීම අවහිර කොට විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවා තිබේ.

ඊටීඅයි ආයතනයේ කටයුතු සමීපව අධීක්ෂණය කිරීම හා කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් තිදෙනකුගෙන් සමන්විත මණ්ඩලයක් ද පත් කොට ඇත.

ඊටීඅයි මූල්‍ය ආයතනයේ තැන්පතු පියවීමේ අදහස ඇතිව මේ ආයතනය සතු පරිපාලිත සමාගම් සහ ආයෝජන දේපොළ බාහිර ආයෝජකයකුට අලෙවි කිරීම සඳහා ආයතනයෙන් යෝජනාවක් ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 2016 මැයි මාසයේදී ගෙන එන්නේ මේ අත‍රතුරේදීය.

මේ යෝජනාවට අනුව ඊ.ටී.අයි ආයතනය යටතේ පවතින සමාගම් සහ දේපොළ ඇමෙරිකානු ඩොලර් මිලියන 75කට. සිංගප්පූරුවේ ලියාපදිංචි බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් නම් ආයතනය වෙත විකිණීමේ යෝජනාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2018.2.23 දින අනුමත කොට ඇත.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවත්, මුදල් මණ්ඩලයත් මේ මුදලට වත්කම් පැවැරීමේ ගනුදෙනුවට අනුමැතිය දීමේ තීරණය ගෙන තිබෙනුයේ ස්වාධීන ආයතන දෙකක් මඟින් සිදු කළ වත්කම් ඇගැයීමේ වාර්තා පරීක්ෂා කර බැලීමෙන් පසුවයි. ඊටීඅයි ආයතනයේ වත්කම්වලින් 77% ක සමාන මුදලක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක මුදල සැලැකේ. මේ මුදල ශ්‍රී ලංකාවට ගෙන එන බවට මුලින් එකඟතාව පළ කොට ඇති බ්ලූ සමිට් සමාගම හා එහි දේශීය පාර්ශ්වකරුවා වන බෙන් හෝල්ඩින්ස් ආයතනය මේ වන විට ඩොලර් මිලියන 54ක මුදලක් ගෙනවිත් ඇත. ඉහත ඩොලර් මිලියන 21ක මුදලින් ඩොලර් මිලියන 16ක් ගෙන එන බවත්, ඩොලර් මිලියන 5ක් මුල් එකඟත්වයෙන් අඩු කොට, ස්වර්ණමහල් ෆයිනෑන්සිස් සර්විසස් ආයතනය එකඟතා ආයතන ලේඛනයෙන් ඉවත් කරගන්නා බවත් ආයෝජකයෝ දැනුම් දී ඇත.

දැනට සමාජයේ දැඩි කතාබහට ලක් වනුයේ මේ මූල්‍ය ආයතනයේ වත්කම් මිලට ගැනීමට එකඟවූ මූල්‍ය ආයතනය මුදල් විශුද්ධිකරණය යටතේ ආයෝජනය ගෙන එන බවයි. කළු සල්ලි සුදු කිරීමක් මින් සිදුවන බවයි. ත්‍රස්තවාදීන් එක් රැස් කළ මුදල් මීට ඇතුළත් වන බවය.

කෙනෙකු නඟන මේ චෝදනා පිළිබඳව මහ බැංකුව දැඩිව විමසිල්ලෙන් පසු විය. ඒ අනුව මේ ආයෝජන මුදල් විදේශ බැංකු හරහා දේශීය බැංකුව වෙත ඉතා නිවැරැදි නීත්‍යානුකූල පිළිවෙත් ඔස්සේ පැමිණ ඇති බව අනාවරණය කොට ගෙන ඇත. එපමණක් නොව, ඊ.ටී‍. අයි ආයතනයට‍ තමන් කැමැති ආයෝජකයකු තෝරා ගැනීමේ කටයුතුවලට මහ බැංකුව කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නැත.

මහ බැංකුවේ වගකීම උපරිමයෙන් ගනුදෙනුකාර තැන්පත්කරුවන්ට තම මුදල් හා පොලී මුදල් ලබා ගැනීමට උදව් කිරීම වී තිබේ. ඒ අනුව මහ බැංකුව විසින් ගත් ක්‍රියාමාර්ග නිසා මෙම ඇඑජ ඩොලර් මිලියන 54ක මුදලින් මේ වන විට ඊ.ටී.අයි ආයතනය තැන්පතුවලින් 20%ක ප්‍රමාණයක් ආපසු ගෙවා ඇත. ඉතිරි ඩොලර් මිලියන 16ක් ලැබුණු පසු තවත් 10%ක් ආයතනය විසින් ගෙවනු ඇත.

මේ ආකාරයට තැන්පත්කරුවන්ට මුදල් ගෙවා දමන අතර තවත් රුපියල් බිලියන 26ක මුදල් ගෙවීමට ඉතිරි වනු ඇත. ඒ මුදල ද තැන්පතු ආරක්ෂණ අරමුදල යොදාගෙන උපරිමය රුපියල් ලක්ෂ 6ක් දක්වා එක් අයකුට වන බැගින් හෝ ගෙවා දැමීමට හැකියාව පවතියි.

එහෙත් මේ මොහොතේ ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනුයේ, බිඳවැටුණු ඊටීඅයි ආයතනයට නව ආයෝජකයෙකු කැඳවා, සාර්ථක ව්‍යාපාරයක් ලෙස මේ ආයතනය ගොඩ ගැනීම වේ.

වර්තමානයේ ඊටීඅයි ආයතනයේ තත්ත්වය පිළිබඳව ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණය ද ඉතා වැදගත් ය. එය මෙසේ ය.

2011 වස‍රේ පමණ සිට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදී සිටන ඊටීඅයි ආයතනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණවලට එළඹීමට 2017 දක්වා වසර 6ක පමණ කාලයක් ගතවී ඇති බව නිරීක්ෂණය වේ.

ශ්‍රී ක්‍රිෂ්ණා ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සහ ලාෆ්ස් හෝල්ඩිංස් ලිමිටඩ් යන ශ්‍රී ලාංකික සමාගම් දෙක සිංගප්පූරුවේ ලියාපදිංචි බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් සමාගමට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුදැනුම ඇතිව ඊටීඅයි ආයතනය හා ආශ්‍රිත සමාගම්වල වත්කම් මිල දී ගැනීම සඳහා වරින් වර උනන්දුවක් දක්වා ඇත. 2018 මාර්තු මස දී බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට වත්කම් විකිණීමට තීරණය කළ ද මේ පිළිබඳ උනන්දුවක් දැක්වූ දේශීය ආයතන සඳහා ඊටී‍අයි ආයතනයේ වත්කම් මිල දී ගැනීම සඳහා පාරදෘශ්‍ය සහ සමාන අවස්ථාවක් ලැබුණේද යන්න පැහැදිලි කිරීම අවශ්‍ය වේ.

මුලදී මිල දී ගැනීමට එකඟ වූ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් සමාගම මිල දී නොගැනීමට තීරණය වූ පසුබිමත්, ඒ වෙනුවෙන් ඇ‍එජ ඩොලර් මිලියන 5ක ප්‍රමාණයක් අඩු කිරීමට පදනම් වූ වත්කම් තක්සේරුවත් තහවුරු කර ගැනීමට තරම් ප්‍රමාණවත් තොරතුරු නැත.

ඊටීඅයි ආයතනයේ වත්කම් විකිණීමේ ගනුදෙනුව පිළිබඳවත්, ඊට සම්බන්ධ වූ ආයෝජක සමාගම්වල අයිතිකාරත්වය සහ ගනුදෙනුව සඳහා ලැබුණු මුදල්වල ප්‍රභවයන් පිළිබඳවත් සවිස්තරාත්මක වාර්තාවක් අවශ්‍ය බව ජාතික ආර්ථික සභාව අවධාරණය කරයි.

Comments