පන්නලදී පැළ කළ මත්කුඩු පිළිකාව රට වසා පැතිරුණු හැටි! | Page 2 | සිළුමිණ

පන්නලදී පැළ කළ මත්කුඩු පිළිකාව රට වසා පැතිරුණු හැටි!

  • කුඩු සල්ලි සුුදු කරන්න චිත්‍රපටිත් හදලා
  • ඉලක්කය උසස්පෙළ අමතර-පන්ති සිසුවෝ
  • කුරුණෑගල ජනප්‍රිය පාසල් රැසක කුඩු බෝ වෙලා

මත්කුඩු ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිස් මෙහෙයුම් දැඩි වත්ම ජාවාරම්කරුවන් සිය ආරක්ෂක නවාතැන්පොළ බවට වයඹ පළාත පත් කරගනිමින් සිටින බව බුද්ධි අංශ මේ වන විටත් බලධාරීන් දැනුවත් කර හමාරය. ඒ අනුව දැන් වයඹටද පොලීසියේ දැඩි අවධානයක් යොමු වී ඇත්තේ වයඹ ජීවත් වන තරුණ පරපුර මත් රකුසාගෙන් බේරාගන්නය. කුලියාපිටියෙන් පසුගිය 27 වැනිදා හොරොයින් කිලෝග්රෑම් 10ක් සමඟ ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමත් වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මේ මත්කුඩු තොගය කුලියාපිටියෙන් අල්ලාගත් විශාලතම හෙරොයින් තොගයයි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ම ඒ සා විශාල මත්කුඩු තොගයක් මෙතෙක් කාලයකට අත්අඩංගුවට ගෙනද නැත.

මේ හොරොයින් තොගය අල්ලාගන්නට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශට මඟ පෑදෙන්නේ ඉකුත් 2018 වසරේ ජනවාරි 14 දා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කුරුණෑගලින් අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කරුවකු සම්බන්ධයෙන් කෙරුණු පසු විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙනි. සුරංග නමින් හැඳින්වෙන ඔහු කුරුණෑගලට මත්කුඩු බෙදාහරින ජාලයේ ප්‍රධාන පුරුකකි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සුරංගව අත්අඩංගුවට ගන්නේ හෙරොයින් කිලෝග්රෑමයක් සහ 'අයිස්' නමැති මත්ද්‍රව්‍ය ග්රෑම් 100ක් සමඟිනි. කුරුණෑගල ප්‍රදේශයේ තරුණ පරපුර ඉලක්ක කරගනිමින් මහා පරිමාණ මත්කුඩු බෙදාහැරීමක් මේ වන විට සිදු වෙමින් පවතින අතර, සුරංග එහි ප්‍රධාන පුරුකක් බැවින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දිගින් දිගටම සුරංග සහ ඔහු සම්බන්ධකම් පවත්වන්නන් වෙත ඇස ගසාගෙන සිටියේය.

බන්ධනාගාරගත වූවත් ජංගම දුරකතන ඔස්සේ සුරංග මත්කුඩු ජාවාරම ජයටම කරගෙන ගියේය. සුරංග දෙස ඇස ගසාගෙන සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්න් කල්-යල් බලා, ඉකුත් 27 දා මෙහෙයුමක් දියත් කරන්නේ කුරුණෑගලින් විශාලතම හෙරොයින් තොගය අල්ලාගනිමිනි. ඒ කුලියාපිටිය - හෙට්ටිපොළ මාර්ගයේ කඹුරාපොළ ප්‍රදේශයේදීය. එහිදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පරීක්ෂාවට ලක් වන්නේ ඔහු ගැන කල්තියාම තොරතුරු ලැබී තිබුණු බැවිනි. විසිහත් වියැති එම තරුණයා සුපුන් චාමරය. ඒ වන විට ඔහු සතුව හෙරොයින් කිලෝග්රෑමයක් තිබිණි. එම හෙරොයින් කිලෝව ගමන් මල්ලක දමාගෙන ඔහු ඒ රැගෙන යමින් තිබුණේ බන්ධනාගාරයේ සිට සුරංග දුරකතනයෙන් දුන් උපදෙසකට අනුව යම් පුද්ගලයකු අතට පත් කරන්නටය. එහෙත් එය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ උගුලක් බව සුපුන් මෙන්ම සුරංගද අත්අඩංගුවට පත් වන තෙක්ම දැන සිටියේ නැත.

ප්‍රශ්න කිරීම්වලදී තවත් හෙරොයින් කිලෝග්රෑම් 9ක් තමා සතුව ඇතැයි සුපුන් හෙළි කළේය. ඒ හෙරොයින් තොගය ඔහු සඟවා තිබුණේ කුලියාපිටිය, නාගොල්ලාගොඩ, අඹගහගෙදර පිහිටි සිය නිවෙසේය. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඒ හෙරොයින් තොගය සොයාගන්නේ ඔහුගේ දරුවාගේ රෙදි අල්මාරියේ සඟවා තිබියදීය.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ තොරතුරුවලට අනුව මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් මත්කුඩු සහ මත්ද්‍රව්‍ය භාවිතය ව්‍යාප්ත වන ප්‍රදේශයක් වන්නේ වයඹ පළාතය. ඒ අතුරින් කුරුණෑගල ප්‍රමුඛය. ඊට ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත්තේ කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගෙන බිහිව ඇති ජනප්‍රිය උපකාරක පන්ති සමූහයයි. සතිඅන්තයේ මුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේම පාහේ උසස්පෙළ සිසුසිසුවියන් එම උපකාරක පන්තිවලට සහභාගි වන්නට පැමිණ ගැවසෙන්නේ කුරුණෑගලය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට වැඩි වශයෙන් පත් වන්නේ මේ දරුවෝය. හෙරොයින් පමණක් නොව, තවත් විවිධ නම්වලින් මේ වන විට ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය සහ මත්පෙති වර්ගද කුරුණෑගල දරුවන් ගොදුරු කරගනිමින් තිබේ.

මෑතකදී පොලිස් වැටලීමකදී පොල්ගහවෙල පැත්තේ පාසලක උසස් පෙළ වාණිජ අංශයේ සිසුවකු අත්අඩංගුවට පත් වන්නේ හෙරොයින් පැකට් තුනක් සමඟිනි. තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහැ වී සිටි ඔහු හෙරොයින් පානය කර ඇත්තේ පාසල් වේලාව තුළ පාසලේ වැසිකිළියේදීය. කොළඹින් හෙරොයින් රැගෙන එන ඔහු එම හෙරොයින් පානය කර තිබුණේ පාසලේ තවත් සිසුන් තිදෙනකු සමඟිනි. ඒ සිසුන්ද අත්අඩංගුවට ගත් පොලීසිය අධිකරණය මඟින් ඔවුන් පුනරුත්ථාපනයට යොමු කරන්නේ අනාගතය අඳුරු වන්නට ඉඩ නොතබමිනි.

එය එතැනින් හමාර වන්නේ නැත. කුරුණෑගල ජනප්‍රිය පාසල් කිහිපයකින්ද පසුගිය කාලයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සිසුන් කිහිප දෙනකුම හසු වී තිබිණි. එක් පාසලක සිසුවකු පොලීසියට භාර දෙන්නේ එහි විදුහල්පතිවරයා විසින් වීම විශේෂත්වයකි.

ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන කාරණයක් වන්නේ මෙරට මත්කුඩු ජාවාරම ව්‍යාප්ත වෙමින් පැවැති මුල් වකවානුවේ මුළු රටටම මත්කුඩු බෙදා-හැරියේ හලාවත තොඩුවාව සහ කුරුණෑගල පන්නල කේන්ද්‍ර කරගනිමින් බවයි. එතෙක්-මෙතෙක් මෙරටින් අල්ලාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය පවා අල්ලාගන්නේ හලාවතිනි. ඒ හසීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 10,740කි. ආසියාවෙන් අත්අඩංගුවට පත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස අදටත් ඉතිහාසගත වී ඇති එම හසීස් තොගය අල්ලාගන්නේ 1996 වසරේ දෙසැම්බර් 22 දාය. ඒ කුඩා ප්‍රමාණයේ නෞකාවකින් හලාවත මුහුදු තීරය ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබියදීය. මේ වැටලීමට එදා පොලිස් අධිකාරිවරයකු ලෙස නායකත්වය දුන් නිලධාරියා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත්ය. අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ අංශයේ වත්මන් අධ්‍යක්ෂකවරයා වන්නේ ඔහුය.

වර්තමානයේ දකුණු මුහුදු තීරයෙන් බහුලව මත්කුඩු මෙරටට ගෙන ආවත් ඉතිහාසයේ වැඩි වශයෙන් මෙරටට මත්කුඩු ගෙන එන්නට වූයේ හලාවත මුහුදු තීරය ඔස්සේය. හලාවත තොඩුවාව යනු එකල මත්කුඩු ජාවාරම්කරුවන්ගේ තිප්පොළකි. ඇෆ්ගන් ජාවාරම්කරුවන්ගෙන් ඉන්දීය ජාවාරම්කරුවන් අතට එදා පත් වුණු මත්කුඩු කිලෝ මීටර් දහස් ගණනක් ට්‍රක්රථ සහ වෙනත් මාධ්‍ය මඟින් ඉන්දියාවේ තූත්තුකුඩියට රැගෙනවිත්, එහි සිට හලාවතට ගෙන එන්නට වූයේ බෝට්ටු මඟිනි. එක් වරකට ගෙන එන්නට වූයේ කිලෝ දහය-පහළොවේ ප්‍රමාණයන්ය. ඉඳ-හිට කිලෝ තිහ-හතළිහ ගෙන එන අවස්ථාද නැතුවා නොවේ. සියල්ල සිදු වූයේ ධීවර බෝට්ටු මඟිනි. ඊටම අනුගත වූ ධීවරයන් කිහිප දෙනෙක්ද එකල සිටියහ. බේබි සහ මැක්සි ඒ අතර ප්‍රමුඛය.

මත්කුඩු ජාවාරම පාකිස්තානුවන් සියතට ගැනීමත් සමඟ දැන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ඇතුළු වන්නේ දකුණු මුහුදු තීරය ආශ්‍රිතවය. එය එසේ වූවත් තවමත් හලාවත මුහුදු තීරය ඔස්සේ ඉන්දියාව සමඟ කෙරෙන මත්කුඩු ජාවාරමේද එතරම් වෙනසක් නැති තරම්ය. හලාවත මුහුදු තීරයෙන්ද දැන් ගොඩබාන්නේ හෙරොයින් කිලෝ සිය ගණනිනි. එසේ මෙරටට රැගෙන ආ හෙරොයින් කිලෝග්රෑම් 200ක් හලාවත පොලීසිය අත්අඩංගුවට ගන්නේ 2017 වසරේදීය. ඒ සුඛෝපභෝගි රථයකින් හලාවත සිට කොළඹට රැගෙන යමින් සිටියදීය. ඒ මත්කුඩු තොගය වයඹින් එතෙක්-මෙතෙක් අල්ලාගත් විශාලතම හෙරොයින් තොගය බවට මේ වන විට වාර්තා පොත් අතරට එක්ව හමාරය.

පොලිස් තොරතුරු විශ්ලේෂණයේදී පෙනී යන කරුණක් වන්නේ රටටම මත්කුඩු බෙදූ මත්කුඩු ජාවාරම්කරුවන් වැඩි දෙනකු වයඹ පළාතේ පන්නල ආශ්‍රිතව ජීවත් වූවන් බවයි. මෙරට මත්කුඩු ජාවාරමේ පාරාදීසයක් කරන්නට මුල් වූ ආරම්භක මත්කුඩු ජාවාරම්කරුවන් කිහිප දෙනාද ජීවත් වී ඇත්තේ පන්නලය. මේ ජාවාරම්කරුවන් අතර රියාල්, ෆවුමි, මකීම්, හෆීල්, සියාම්, යන නම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේද ලියවී ඇත්තේය. මකීම්, ෆවුමි දැන් රටේත් නැත. එකල වැඩිම මත්කුඩු තොග බෙදාහැර ඇතැයි පැවසෙන්නේ රියාල්ය. ඔහු ඉන්නා තැනක් පොලීසිය පවා දන්නේ නැත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර එකල ඉහළින්ම සිටි මකීම් සිය අඹුදරුවන් සමඟ දැන් සිටින්නේ යැයි පැවසෙන්නේ එංගලන්තයේය. ෆවුමිද සිය අඹු-දරුවන් සමඟ වෙසෙන්නේ යුරෝපීය රටකය. හෆීල් වරක් ඉන්දියාවේදී මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට පත්ව සිරදඬුවම් විඳ මෙරටට පැමිණ ඇති අතර, ඔහුට කුමක් සිදු වීදැයි තවමත් කිසිවකුත් දන්නේ නැත.

මේ අයට අමතරව පළාත් සභාව මෙන්ම පාර්ලිමේන්තුවද නියෝජනය කළ දේශපාලනඥයකුගේ නමක්ද මේ නම් ගොන්න අතර ඉහළින්ම ලියවී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉතිහාසගත තොරතුරුවල සඳහන් වන්නේ මේ දේශපාලනඥයා මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටි බවය. මේ වන විට එම දේශපාලනඥයාද ජීවතුන් අතර නැත. ඊට අමතතරව පන්නල පැත්තේ ඇඟලුම් කම්හල් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුද මහා පරිමාණයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මුල්වකවානුවේ සේවයේ නිරතව සිටි නිලධාරීහු පවසති. ඒ එක් ඇඟලුම් කම්හලක් එකල පිහිටා තිබුණේ පන්නල කාර්මික ජනපදයේය.

මේ සියලු මත්කුඩු ජාවාරම්කරුවන්ට වඩා රටේ වඩාත් කතා-බහට ලක් වුණු ජාවාරම්කරුවෙක් වන්නේ සියාම්ය. බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ 'වෝඩ් ප්ලේස් සියාම්' යැයි කී විටය. ඔහුද මත්කුඩු ජාවාරමට අතපොත් තබන්නේ පන්නලිනි. පන්නල ඇළබඩගම පදිංචිකරුවකු වන මොහොමඩ් සියාම්ගේ මවුපියෝ ඇළබඩගම විසූ වැදගත් පවුලකි. ලකුණකින් දෙකකින් විශ්වවිද්‍යාල වරම් අහිමි වීමෙන් පසු සියාම් ව්‍යාපාර ලෝකයට අත්පොත් තබන්නේ ඉන්දියාවට ගොස් රෙදිපිළි මෙරටට ගෙනැවිත් අලෙවි කරමිනි. ඊට අමතරව ඔහු බීඩි කොළද ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආවේය.

ඒ අතරතුර ඔහු රෙදිපිළි සහ බීඩි කොළ අස්සේ සඟවමින් රත්රන් මෙරටට ගෙන ඒමේ ජාවාරමක හවුල්කරුවකු බවටද පත් විය. හෙරොයින් ජාවාරමට ඔහු අත්පොත් තබන්නේ රත්රන් ජාවරමට වඩා වැඩි ලාබයක් හෙරොයින්වලින් ලැබෙන්න වූ බැවිනි. ජවාරම ජයට සිදු වන විට ඔහු පන්නලින් කොළඹ 07, වෝඩ් පෙදෙසට විතැන් වන්නේ ප්‍රකෝටිපති ව්‍යාපාරික චරිතයක් ආරූඪ කරගනිමිනි. මැති-ඇමතිවරුන් ඇතුළු විවිධාකාර දේශපාලනඥයන්ද ඔහු ළඟින් ඇසුරු කරන්නට ගත්තේය; මැතිවරණ වකවානුවලදී දේශපාලනඥයන්ගේ ඡන්ද ව්‍යාපාර සඳහාද අත-පය දිගහැර විය-පැහැදම්ද කළේය. ඔහුගේ අවසානය සටහන් වන්නේ 2003 වසරේදීය. ඒ, හොරොයින් තොගයක් අතැතිව, සිය බිරිය සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කොටු වීමත් සමඟිනි. වෝඩ් පෙදෙසේ සුවිසල් නිවෙසේ තැන තැන තිබී එදා කිලෝ ග්රෑම් 23කට වැඩි හෙරොයින් තොගයක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සොයා ගත්තේය. සියාම් සහ බිරිය දැන් සිටින්නේ මරණීය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ලෙසිනි. ජනාධිපතිවරයා මත්කුඩු ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයත් සමඟ දැන් සියාම් සහ බිරියද මරණීය දණ්ඩනයට එරෙහිව අභියාචනයක් ගොනු කර ඇත්තේ එමඟින් වත් සිය නිදහස උදා කරගන්නය.

දැන් ලංකාවටම මත්කුඩු බෙදාහරින මහා මොළය ලෙස පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හඳුනාගෙන සිටින්නේ සියාම්ගේ මස්සිනාය. මොහොමඩ් මුජහීඩ් නමැති ඔහු දැන් සිටින්නේ මෙරටින් පලාගොස් ඩුබායිහි සැඟවීගෙනය. ඔහු ප්‍රකෝටිපති ව්‍යාපාරික චරිතයක් රඟ දක්වමින්, පැවති ආණ්ඩුවේ මැති-ඇමතිවරුන් සමඟද කිට්ටු ඇසුරක් පවත්වමින්, ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කරමින් කළු සල්ලි සුදු කරන්නටද වගබලාගත්තේය. 'සෙල්වම්' සහ 'පරාවර්තන' යන චිත්‍රපට දෙකෙහි නිෂ්පාදකයා වූයේද ඔහුය. පොලීසියේ පවා ඉහළ නිලධාරීන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ ඔහුට මලයාසියාවේ පුරවැසිභාවයද හිමිව තිබුණු අතර, සිය බිරිය හා දරුවන් සමඟ ඔහු පදිංචිව සිටියේද මලයාසියාවේය. මලයාසියානු රාජ්‍ය නායකයා සමඟ ඉතා කිට්ටු ඇසුරක් පැවැත්වූ ඔහුට එරට රජ්‍ය නායකයා පිරිනමන ඉහළම බහුමන වන 'දතෝ' නම් වූ සම්මානයද හිමිව තිබිණි!

එලෙස සුදු පිරුවට හැඳි මේ මත්කුඩු ජාවාරම්කරු ගැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තොරතුරු අනාවරණය කරගන්නේ 2014 වසරේදීය. ඔහු ඒ වන විටත් සිටියේ මලයාසියාවේය. ඔහු ගැන මලයාසියාවට තොරතුරු දැනුම් දෙන අතරතුර අඹු-දරුවන් සමඟ ඔහු පැනගන්නේ ඩුබායි වෙතය. දැන් ඔහු රැඳී සිටින්නේයැයි කියන්නේ ඩුබායිහිය. පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණි, මත්ද්‍රව්‍ය ජාවාරමට මේ වන විට මරණීය දණ්ඩනය නියම වී සිටින වෙලේ සුදාගේත් සිද්දීක්ගේත් 'ලොක්කා' යැයි සැලකෙන්නේද මුජහීඩ්ය. මුජහීඩ් තවමත් ජාවාරම අත්හැර ඇති බවක් පෙනෙන්නට නැත. සෙමාරිල්ලාගේත්, මාකඳුරේ මධූෂ්ලාගේත් මත්කුඩු කිලෝ සිය ගණනින් පොලීසිය හසු වන විට කරළියට එන්නේ මුජහීඩ්ලාය. වයඹින් දැන් නැවත මතු වෙමින් ඇත්තේ ඔවුන්ගේ මත්කුඩුය.

Comments