පොලිසියේ ප්‍රශ්න විසඳන පොලිස් කොමිසමේ සභාපති ප්‍රශ්නය | සිළුමිණ

පොලිසියේ ප්‍රශ්න විසඳන පොලිස් කොමිසමේ සභාපති ප්‍රශ්නය

ජාතික පොලිස් කොමිසමේ සභාපතිධුරය සම්බන්ධයෙන් හටගත් අර්බුදයට ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට යම් විසඳුමක් ලැබී ඇත්තේ එය තවදුරටත් ඔඩුදුවන්නට ඉඩ නොතබමිනි. එසේ නොවිණි නම් එහි බලපෑම පොලීසියේ සමස්ත පරිපාලනය බිඳවැටීම දක්වා ව්‍යාප්ත වන්නට තිබුණු ඉඩකඩ බොහෝය.

මෙකී අර්බුදයට මුල පිරෙන්නේ ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශ කර ජනාධිපතිවරයා විසින් ජාතික පොලිස් කොමිෂන් සභාවට නව සභාපතිවරයකු පත් කර තිබියදී හිටපු සභාපතිවරයා 2020 දක්වා තමා සභාපති බව ප්‍රකාශ කරමින් තවදුරටත් පොලිස් කොමිසමේ සභාපති ලෙස කටයුතු කිරීමේ උත්සාහයක නිරත වීමය. අඩුම තරමින් අලුතින් පත් කළ පොලිස් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් හත් දෙනා අතර පවා නොසිටින හිටපු සභාපතිවරයා තමා සභාපතිවරයා බව පැවසීමත් සමඟ මෙය නිරාකරණය කරගැනීමට කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතාට සිදු වන්නේ ජනාධිපති ලේකම්වරයාගෙන් සහ ව්‍යවස්ථා සභාවෙන් ඊට විසඳුම් ඉල්ලා සිටින්නටය. එතෙක් ඔහු සති තුනක් පුරා කොමිසම රැස් නොකර සිටින්නට වගබලාගන්නේ සභාපතිධුරයේ ගැටලුව විසඳීමකින් තොරව කොමිසම රැස් කිරීමෙන් පවතින තත්ත්වය තවදුරටත් වර්ධන වනු ඇති බව වටහාගෙනය.

පත් වීම් ලිපියේ 'තාක්ෂණ දෝෂය' !

පොලිස් කොමිෂන් සභා ඉතිහාසයේ කවර අවස්ථාවකදීවත් සිදු නොවූ මෙවන් අර්බුදයක් හටගන්නේ හිටපු සභාපති පී.එච්. මනතුංග මහතා පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස පත් කරමින් නිකුත් කළ ලිපියක සදහන් යම් දෝෂ තත්ත්වයක් මුල් කරගනිමිනි. නීතිඥවරයකු වූ මනතුංග මහතාගේ තර්කය වූයේ එම පත්වීම් ලිපියට අනුව 2020 දක්වා තමා කොමිසමේ සභාපති ධුරය දරන බවයි.

මෙවන් අර්බුදයකට ලක් වන වත්මන් ජාතික පොලිස් කොමිසම ස්ථාපිත කෙරෙන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනි. අපේ රටට අලුත්ම අත්දැකීමක් වූ ජාතික පොලිස් කොමිෂන් සභා ක්‍රමය මෙරට පළමුවතාවට ස්ථාපිත වන්නේ 2001 වසරේ සිදු වුණු පොදු පෙරමුණු ආණ්ඩු පෙරළියත් සමඟිනි. ඡන්ද පොරොන්දුවක් ඉටු කරමින් එවකට අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවූ ස්වාධීන කොමිසන් සභා අතර ප්‍රමුඛතම කොමිසමක් වූයේ ජාතික පොලිස් කොමිසමය. 19න් බිහි වුණු වත්මන් පොලිස් කොමිසම තරම් බලතලවලින් එම කොමිසම ශක්තිමත් නැතත්, 2002 නොවැම්බරයේදී 17 වන සංශෝධනයෙන් බිහි කළ පළමු ජාතික පොලිස් කොමිසම, පොලීසිය යම් තරමකින් ස්වාධීන ආයතනයක් බවට පත් කරමින් දේශපාලන ග්‍රහණයෙන් එය මුදාගන්නට සමත් වූ බව නම් අදටත් පොලීසියේ බහුතරයකගේ මතය වී තිබේ.

මුල්ම ජාතික පොලිස් කොමිසම

එදා ඒ මුල්ම ජාතික පොලිස් කොමිසමේ සභාපති ධුරය දරන්නේ ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතාය. පොලිස් කොමිසම මඟින් ඔහු පොලීසිය දේශපාලනීකරණයෙන් මුදාගන්නට එකල දැවැන්ත කාර්යභාරයක් ඉටු කළේය. දේශපාලනඥයාගේ තුණ්ඩු කෑල්ලට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම් මෙන්ම පොලිස් නිලධාරීන් මාරු කිරීමේ ක්‍රමවේදයට නැවතීමේ තිත තැබෙන්නේ එතැන් සිටය. කොමිසම පිහිටුවීමෙන් පසුව පැවැති පළමු පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත්සභා අපේක්ෂකයන් ඇතුළු සියයකට වැඩි දේශපාලනඥයන් පිරිසක් අත්අඩංගුවට ගන්නට පවා පොලීසියට හැකියාව ලැබෙන්නේ එබැවිනි.

දෙවැනි පොලිස් කොමිසම

පළමු පොලිස් කොමිසමේ වසර තුනක සේවා කාලය 2005 වසරේ නොවැම්බරයේදී අවසන් වූ විට දෙවැනි කොමිසමට සභාපතිවරයකු ඇතුළු සාමාජිකයන් හත් දෙනකු පත් කරමින් ස්ථාපිත කරන්නේ 2006 වසරේ අප්‍රේල් 09 වැනිදාය. ඒ වන විට 17 වැනි සංශෝධනයෙන් ස්ථාපිත කරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු සම්බන්ධයෙන් හටගත් අර්බුදයක් හේතුවෙන් ඒ වන විට ව්‍යවස්ථා දායක සභාව පවතින්නේ අක්‍රිය තත්ත්වයෙනි. සුළු ජාතික පක්ෂ නියෝජනයක් මුල් කරගනිමින් සාමාජිකයකු පත් කිරීමේ ‍ඒ අර්බුදය විසඳා ගැටලුව නිරාකරණය කිරීම වෙනුවට එදා සිදු වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ බලතල කැබිනට්ටුව පවරාගැනීමය. ඒ අනුව දෙවැනි පොලිස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් පත් කරනුයේ එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අභිමතය පරිදිය. පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස එවර පත් වන්නේ නෙවිල් පියදිගම මහතාය. 2009 වසරේ අප්‍රේල් 9 දා දෙවැනි පොලිස් කොමිසමේ වසර තුනක සේවා කාලය අවසන් වනවාත් සමඟ එය 'නාමික කොමිසමක්' බවට පත් වේ. එතැන් සිට බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වූ ජාතික පොලිස් කොමිසමේ බලතල සියල්ල පාහේ විතැන් වන්නේ රාජ්‍ය සේවා කොමිසමටය. ඒ නැවතත් පොලීසියේ කොඳුනාරටිය බිඳදමමින් දේශපාලන තුණ්ඩු කෑල්ලට ස්ථානාධිපතිවරුන් පත් කරන යුගයක් අරඹමිනි.

කොමිසමට යළි පණ දුන් 18 සංශෝධනය

වසර 3කට පසු ජාතික පොලිස් කොමිසමට නැවතත් පණ දෙන්නේ 18 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනි. එහෙත් එය හුදෙක් ව්‍යාජ පණදීමකි. 17 සංශෝධනයෙන් පැවති බලතල සියල්ල පාහේ රාජ්‍ය සේවා කොමිසමට පවරමින් පොලිස් ‍කොමිසමට ඉතිරි කෙරෙන්නේ මහජන පැමිණිලි විමර්ශනය කිරීමේ බලතල පමණි. පොලීසියට එරෙහි මහජන පැමිණිලි විමර්ශනය කිරීම පමණක් මුල් කරගත් තෙවැනි පොලිස් කොමිසම ජනපති නීතිඥ සේනක වල්ගම්පාය මහතාගේ සභාපතිත්වයෙන් බිහි වන්නේ 2012 පෙබරවාරි 15 දාය. මේ කොමිසමේ සේවා කාලය 2015 අප්‍රේල් 29 දා අවසන් වන විට පොලිස් නිලධාරීන්ගේ දුග්ගැනවිලි සහ ඉල්ලීම් ඇතුළත් නොවිසඳුණු ලිපිගොනු රාජ්‍ය සේවා කොසමිසමේ ගොඩගැසී තිබෙන්නේ කාමරයක් පිරෙන්නටය. අත වත් තබා නොතිබුණු ඒ ගොනු නැවත ජාතික පොලිස් කොමිසමට යොමු කෙරෙන්නේ 19 වැනි සංශෝධනයෙන් වත්මන් ආණ්ඩුව විසිනි. එතෙක් පැවැති කොමිසන් සභාවලට නොතිබුණු තරමේ බලතල සහිත සිව්වැනි පොලිස් කොමිසම ස්ථාපිත කෙරෙන්නේ 2015 ඔක්තෝබර් 14 දා සභාපතිවරයා ලෙස මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා පත් කරමිනි.

සිව්වැනි පොලිස් කොමිසම

සැම අතින්ම යහපත් පොලිස් සේවයක් බිහි කිරීම අරමුණු කරගත් සිව්වැනි පොලිස් කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස පත් කෙරෙන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පරීක්ෂණ අංශයේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි නීතිඥ පී.එච්. මනතුංග, ශ්‍රී ලංකා විමන් ඉන් නීඩ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකාවක වන නීතිඥ සාවිත්‍රි ඩී. විජේසේකර, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වනබී. ඇන්ටන් ජෙගනාදන්, විශ්‍රාමික විදෙස් සේවා නිලධරයකු වන වයි.එල්.එම්. සවාහීර්, විශ්‍රාමික රාජ්‍ය පරිපාලන නිලධරයකු වන ඩී.ටී.බී. කොල්ලුරේ සහ විශ්‍රාමික පොලිස්පතිවරයකු වන ආචාර්ය ෆ්රෑන්ක් ද සිල්වා යන මහත්ම-මහත්මීහුය.

මේ කණ්ඩායම පොලිස් සේවාවේ ගුණාත්මක වෙනසක් වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ විශාල වැඩ කොටසක් ඉටු කළහ. පොලීසියට ආචාරධර්ම පද්ධතියක් සකස්ඉ කිරීම ඒ අතර කැපීපෙනෙන කටයුත්තකි. පොලිස් ස්ථාන මාරුවීම්, උසස් කිරීම් සහ බඳවාගැනීම් සඳහා ප්‍රතිපත්තියක් පවා හඳුන්වා දෙනු ලැබිණි. ඒ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් පොලීසිය ගලවාගන්නට හැකි සැම පියවරක්ම ගනිමිනි. මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා කොමිසමේ සභාපතිත්වයෙන් ඉවත් වන්නේ ඒ අතරතුරදීය. පෞද්ගලික හේතුවක් මත ඔහු සභාපති ධුරයට 2017 ජනවාරි 8 දා සමු දෙන්නේ තවදුරටත් කොමිසමේ සාමාජිකයකු ලෙස සේවයේ නිරත වන බව සඳහන් කරමිනි. ඒ අනුව හිස් වන සභාපති ධුරයට පත් කෙරෙන්නේ පී.එච්. මනතුංග මහතාවය. ඒ 2017 ජනවාරි 18 දාය.

19 වැනි සංශෝධනයෙන් ස්ථාපිත පොලිස් කොමිසමේද සභාපති ඇතුළු සාමාජිකයන්ගේ සේවා කාලය සීමා වන්නේ වසර තුනකට පමණි. ඒ අනුව සිව්වැනි පොලිස් කොමිසමේ සාමාජිකයන්ගේ කාලය අවසන් වූයේ 2018 ඔක්තෝබර් 13 දාය. මෙයට පෙර පැවැති සැම කොමිසමක්ම සාමාජිකයන්ගේ සේවා කාලය අවසන් වීමෙන් පසු නව සාමාජිකයන් පත් කරන තුරු බොහෝ කාලයකට අක්‍රිය විය.

19 වැනි සංශෝධනයට අනුව කොමිෂන් සභාවලටද සාමාජිකයන් තෝරාගැනෙන්නේ ව්‍යවස්ථා සභාවෙනි. ඒ සාමාජිකයන්ට පත්වීම ලබාදෙන්නේ ජනාධිපතිවරයා විසිනි. ඒ අනුව ව්‍යවස්ථා සභාව රැස් වී පස්වැනි ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් තෝරාගැනීමක් කෙරෙන්නේ ඉකුත් පෙබරවාරියේදීය. එහිදී ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයකට ලක් වන්නේ වයස අවුරුදු 80 ඉක්මවූ සාමාජිකයන් කොමිසමට පත් නොකිරීමටය. ඒ අනුව පස් වැනි ජාතික පොලිස් කොමිසන් සභාවේ සභාපති ලෙස ව්‍යවස්ථා සභාවේ නිර්දේශය වන්නේ සිව්වැනි කොමිසමේ සාමාජිකයකු ලෙස සේවයේ නිරතව සිටි ඩී.ටී.බී. කොල්ලුරේ මහතාය. සිව්වැනි කොමිසමේ සාමාජිකත්වය දැරූ මහාචාර්ය සිරී හෙට්ටිගේ, නීතිඥ සාවිත්‍රි ඩී. විජේසේකර, වයි.එල්.එම්. සවාහීර් යන මහත්වරුන්ද පස්වැනි කොමිසමේ සාමාජිකත්වයට පත් කරන්නට ව්‍යවස්ථා සභාවේ නිර්දේශය විය. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක, මැතිවරණ අංශයභාරව සේවයේ නිරතව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණි නවරත්න යන මහත්වරුන්ද කොමිසමට පත් කිරීමට නිර්දේශ විය.

හත් වැන්නා ලෙස පත් කරන්නට තීරණය වන්නේ ජී. ජෙයකුමාර් මහතාවය. ව්‍යවස්ථා සභාවේ එකී නිර්දේශයන්ට ජනාධිපතිවරයාගේ අනුමැතියද හිමිව තිබිණි.

පස්වැනි පොලිස් කොමිසමේ සභාපති ධුරය සම්බන්ධයෙන් අර්බුදයක් ගොඩනැ‍ඟෙන්නේ මේත් සමඟමය. ඒ මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතා සභාපති ධුරයෙන් ඉවත් වූ පසු 2017 ජනවාරි 18 දා සිට මනතුංග මහතා සභාපති ධුරයට පත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නිකුත් කර ඇති ලිපියේ වසර තුනකට ඔහු සභාපතිධුරයට පත් කර ඇති බවට වූ සඳහනකි. අනාවරණය වන ආකාරයට එය තාක්ෂණික දෝෂයකි. එම දෝෂය එළියට එන්නේද මනතුංග මහතා නව කොමිසමේ සභාපති ධුරයට තබා එහි සාමාජිකයකු ලෙස වත් පත් නොකිරීමත් සමඟිනි.

පොලිස් කොමිසමේ සභාපති තමන් යැයි මනතුංග මහතා සදහන් කළද පස්වැනි කොමිසමේ සභාපති ධුරයට ව්‍යවස්ථා සභාව විසින් නිර්දේශ වී ඇත්තේ ඩී.ටී.පී. කොල්ලුරේ මහතාය. මනතුංග මහතාගේ සභාපති ධුරයේ පත් වීම වලංගු වන්නේ සිරී හෙට්ටිගේ මහතා ඉවත් වූ දිනයේ සිට සිව්වැනි කොමිසමේ වසර තුනක සේවා කාලය අවසන් වන දිනය දක්වා බව කොමිසමේ බහුතරයකගේ මතය වී තිබේ. නීතිඥයකු වන මනතුංග මහතා නම් එය එසේයැයි කියා සභාපති ධුරය අත්හරින්නට කිසි සේත් සූදානම් වූයේ නැත. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොමිෂන් සභා ගොඩනැඟිල්ලෙහි ඇති සභාපතිවරයාගේ කාර්යාලය පවා ඔහු ඉකුත් සති අන්තය දක්වාම පරිහරණය කළේය.

** පස්වැනි කොමිසමේ සභාපති අර්බුදය

සභාපති ධුරය සම්බන්ධයෙන් හටගත් මේ අර්බුදය හමුවේ පස්වැනි කොමිසමේ සභාපති ධුරයට පත් කරනු ලැබූ ඩී.ටී.පී. කොල්ලුරේ මහතා තීරණය කරන්නේ සභාපති ධුරය අත්හරින්නටය. සභාපති ධුරය තමාට භාර ගන්නට නොහැකි බවත්, සාමාජිකයකු ලෙස ඉදිරියේදී කටයුතු කරන බවත් සඳහන් කරමින් බලධාරීන්ට ඔහු ලිපියක් යොමු කරන්නේ ඒ අනුවය. එහෙත් ඒ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලය හෝ ව්‍යවස්ථා සභාව හෝ පිළිගෙන ඇති බවක් ඔහුට හෝ කොමිසමේ ලේකම්වරයාට හෝ ඉකුත් සති අන්තය වන තුරුම දැනුම් දීමක් කර තිබුණේ නැත. ඒ නිසාම සති තුනක් තිස්සේ පොලිස් කොමිසම පවා රැස් නොකිරීමට ලේකම්වරයා වග බලාගත්තේය. එමඟින් සිදු වූයේ පොලීසියේ ස්ථාන මාරුවීම්, උසස්වීම් ඇතුළු පරිපාලන කටයුතු රැසක් ඇනහිටීමය. බලධාරීන්ගෙන් ඊට පිළියම් වශයෙන් ලේකම්වරයාට ලැබෙන විසඳුම වන්නේ මේ වන විට කොමිෂන් සභාවට පත් කර ඇති සාමාජිකයන් සත් දෙනා කැඳවා, ඒ අය අතුරින් වැඩ බලන සභාපතිවරයකු පත් කරගන්නා ලෙසය. ඒ සාමාජිකයන් සත් දෙනා අතර හිටපු සභාපති පී.එච්. මනතුංග මහතාගේ නම සඳහන් වන්නේ නැත.

ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා පස්වැනි ජාතික පොලිස් කොමිසමේ මංගල සැසිය පැවැත්වෙන්නේ කොමිෂන් සභා පරිශ්‍රයේදීය. එහිදී ඒකමතිකව සාමාජිකයන් විසින් ස්ථීර සභාපතිවරයකු පත් කරන තුරු වැඩ බලන සභාපති ධුරයට පත් කරගනු ලබන්නේ සිව්වැනි කොමිසමේ ප්‍රථම සභාපති ධුරයට පත් කරනු ලැබූ මහාචාර්ය සිරී හෙට්ටිගේ මහතාය. මාසයකට ආසන්න කාලයක් තිස්සේ ගොඩගැසී තිබුණු පොලීසියේ උසස්වීම් ස්ථාන මාරුවීම් රැසකට මෙහිදී විසඳුම් දෙන්නට හැකි වීම විශේෂත්වයකි.

Comments