ඇමරිකානු කාල නිර්ණ දත්ත තහවුරු කරන්නේ ක්‍රිස්තියානීන් සමූලඝාතනය කළ යාපනය පාලකයාගේ ඓතිහාසික අපරාධයද? | සිළුමිණ

ඇමරිකානු කාල නිර්ණ දත්ත තහවුරු කරන්නේ ක්‍රිස්තියානීන් සමූලඝාතනය කළ යාපනය පාලකයාගේ ඓතිහාසික අපරාධයද?

මන්නාරම් දූපත මුල් අවස්ථාවේම පෘතුගීසීන් සිය ආගමික ප්‍රචාරය ක්‍රියාත්මක කළ පෙදෙසකි. එහි සිදු වූ සමූහ මිනිස් ඝාතනය පිළිබඳ විස්තර ගෙන එන පැරණිතම ලියවිල්ලෙහි පරරාජසේකරම් නම් පාලකයා මන්නාරමේ ක්‍රිස්තියානි ආගම වැලඳගත් වැසියන් 600ක් කිසිදු තත්ත්වයක්, වයසක්, පිරිමි-ගැහැනු භේදයක් නොසලකා, දරුවන් බවවත් නොතකා කඩුවෙන් කපා ඝාතනය කළ බව සඳහන් වෙයි. මේ සමූහ ඝාතනය සිදු කළේ පතීන් නමැති ස්ථානයකදී බවත්, පසුව මේ සිද්ධිය ස්මරණය සඳහා එතැන දිවි පිදූවන්ගේ නිම්නය නම් වූ බවත් දක්වා ඇත.

මන්නාරමෙන් සොයාගත් සමූහ මිනීවළෙන් හමු වූ අස්ථි කොටස් ඇමරිකානු ෆ්ලොරිඩාවේ බීටා ඇනලිස්ටික් ආයතනයෙන් කාල නිර්ණය කිරීමෙන් පසු ඒවා ක්‍රිව 1499-1719 අතර කාලයට අයත් බව වාර්තා වී ඇත. මේ කාලසීමාවේදී මන්නාරමේ සිදු වූ මිනිස් ඝාතන පිළිබඳ මූලාශ්‍රය කීපයක සඳහන් වී තිබේ. එනම්: 1600 ගණන්වලට අයත් වන පෘතුගීසි ලේඛන හා 1739 ලියන ලද යාල්පාන වෛපවමාලෛ ග්‍රන්ථයද මුදලිඳු රාසනායගම්ගේ ඒන්ෂන්ට් ජැෆ්නා ග්‍රන්ථය මෙන්ම ජෝසෆ් විකී විසින් ලින ලද ජර්මන් ලේඛනයි. පෘතුගීසින් ලංකාවට පැමිණි පසු ෆ්රැන්සිස් ක්ෂේවියර් පියතුමා ඇතුළු පූජක පිරිස් 1543 සිට කෝට්ටේ රාජධානියේත් මන්නාරම් හා යාපන ප්‍රදේශයේත් දේශීයයන් කිතුදහමට හරවාගැනීම සිදු කළෝය.

යාපනයේ සිටි සමහර හින්දු පාලකයන් සිය යටත්වාසීන් කිතුදහම වැලඳගැනීමටත් කිතුදහම පැතිරවීමටත් විරුද්ධ වී, ඒ පල්ලි බිඳදැමීම, ක්‍රිස්තියානි පූජකයන් හා කිතු දහම වැලඳගත්තවුන් මරාදැමීම මේ පෘතුගීසි වාර්තාවල සඳහන්ය. එක් අතකින් එය පාතුගීසි ආගමික බලය තම ප්‍රදේශවල පැතිරීම තම බලයට හානියක් වීම නිසාය. එවැනි එක් වාර්තාවක් හලාවත බිෂොප්තුමා ව සිටි ආචාර්ය එඩ්මන්ඩ් පීරිස් පියතුමා හා බැංගලෝරයේ ක්‍රිස්තියානි කථිකාචාර්යවරයකු වූ අචිලස් මීර්ස්මාන් පියතුමා විසින් පෘතුගීසි භාෂාවෙන් ඉංග්‍රිසි බසට පරිවර්තනය කර ඇත. 1972 කොළඹ කතෝලික සභාවෙන් ප්‍රකාශයට පත් කළ මේම ග්‍රන්ථය අර්ලි ක්‍රිස්ටියැනිටි ඉන් සිලෝන් අ සෙවන්ටියත් සෙන්චරි නැරේටිව් නම් වේ.

මෙහි පෘතුගීසි ග්‍රන්ථය වී ඇත්තේ Conqesta Spiritual (පෙරදිග ආධ්‍යාත්මික ජයග්‍රහණය) යි. මේ පෘතුගීසි ග්‍රන්ථයේ කතුවරයා වන්නේ Paulo da Trinidade නම් වූ උසස් පදවියේ ක්‍රිස්තියානි උගත් පූජකවරයෙකි. පෙරදිග පෘතුගීසි මධ්‍යස්ථානය වූ ගෝවේ සිට සිය ආගමික කටයුතු සිදු කළ මේ පූජකතුමා මේ ග්‍රන්ථය ලියා අවසන් කළේ ක්‍රිස්තු වර්ෂ 1638දී බව එහි අන්තර්ගත කරුණු හා තවත් ලේඛන පිරික්සා එඩ්මන්ඩ් පීරිස් පියතුමා පෙන්වා දී ඇත. ආගමික අංශයෙන් එතුමාට තිබූ ඉහල බලය අනුව සමකාලීන පෘතුගීසි ලේඛන රාශියක් මේ ග්‍රන්ථය ලිවීම සඳහා පරිශීලනය කිරීමට හැකි වී ඇත. ඒ අනුව මන්නාරමේ සමූහ මිනිස් ඝාතනය පිළිබඳ විස්තර ගෙන එන පැරණිතම ලියවිල්ලක් ලෙස මේ ලේඛනය ගත හැකි ය.

මෙහි යාපනයේ හා මන්නාරමේ ක්‍රිස්තියානි ආගම පැතිරවීමේදී ඇති වූ මාරාන්තික තර්ජන මහා ඝාතන විස්තර වී ඇත. එහි 176-179 පිටුවල දැක්වෙන්නේ පරරාජසේකර ( PeraXagra Pandara) නම් යාපන පාලකයා මන්නාරමේ ක්‍රිස්තියානි ආගම වැළඳ ගත් වැසියන් 600ක් කිසිදු තත්වයක් වයසක් නොසලකා පිරිමි, ගැහැණු මෙන්ම ළමයින් කඩුවෙන් කපා ඝාතනය කළ බවකි.

පෘතුගීසීන් 1505දී ලංකාවට පැමිණියත් ෆ්රැන්සිස් ක්ෂේවියර් ප්‍රධාන පූජකවරුන් කිතුදහමට මෙරට වැසියන් හා කෝට්ටේ පාලකයන් හරවාගන්නේ 1543 සිටය. මන්නාරම් දූපත එසේ ඔවුන්ගේ ආගමික ප්‍රචාරයේදී ආරම්භක අවස්ථාවේදීම ක්‍රියාත්මක කළ පෙදෙසකි. මේ සමූහ ඝාතනය සිදු කළේ පතීන් නමැති ස්ථායක බවද පසුව මේ සිද්ධිය ස්මරණය සඳහා එතැන දිවි පිදූවන්ගේ නිම්නය නම් වූ බවද දක්වා ඇත.

මේ වාර්තාවේ විශේෂ වැදගත්කමක් වන්නේ මේ සිද්ධිය ගැන උරණ වූ ගෝවේ ප්‍රතිරාජයා වූ බ්‍රැගන්සා යාපන පාලකයාට දඬුවම් කිරීමට හමුදා යවන ලෙස ලිස්බනයෙන් ඉල්ලුවත් එය ඉටු නොවීම නිසා තමාම 1560 සැප්තැම්බර් 7 වන දින හමුදා සමග ගෝවෙන් යාපනය බලා පිටත් වූ බවට ඇති සඳහනය. මේ අනුව මේ සමූහ ඝාතනය 1560ට පෙර වර්ෂයක සිදු වී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වන එඩ්මන්ඩ් පීරිස් පියතුමා ජෝසෆ් විකී නමැත්තකුගේ ජර්මන් ග්‍රන්ථයක් උපුටා දක්වමින් 1544 වර්ෂයේදී මෙය සිදු වූ බව දක්වා ඇත. එහෙත් යාපන පාලකයාට දඬුවම් කිරීමට බ්‍රැගන්සා එන වර්ෂය වන 1560 හා සලකන විට මේ සිදුවීම වර්ෂ 1550 ගණන්වල සිදු වන්නට ඇතැයි සැලකිය හැකිය. මෙහි වෙනත් අවස්ථාවල ක්‍රිස්තියානි පූජකයන් ඝාතනය කිරීමේ පින්තූර තුනක් ද ඇත. ඒවායේ දැක්වෙන්නේ හිස ගසා-දැමීම්ය.

දෙවනුව මේ විස්තරයම 1670 දී පමණ පෘතුගීසි පූජකවරයකු වූ පර්නාඔ ඩි කේරෝස් විසින් ලියන ලද හා පසු එස්. ජී. පෙරේරා පියතුමා විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කළද ස්පිරිචුඅල් ඇන්ඩ් ටෙම්පොරල් කොන්ක්වෙස් ඉන් සිලෝන් ග්‍රන්ථයේද එලෙසම විස්තර වී ඇති අතර මින් පැරණිතම වාර්තාව වන්නේ මීට ඉහතින් සඳහන් කළ Paulo da Trinidade පියතුමාගේ වාර්තාවයි.

මෙම විස්තරය මේ ආකාරයෙන් ම 1739දී ලියන ලද යාපනයේ වංසකතාව වූ යාල්පානවෛපව මාලෛ ග්‍රන්ථයේද සඳහන්ය. එහි සඳහන් වන්නේ තමාගේ නියෝගයට පිටුපා ක්‍රිස්තියානි ආගම වැලඳගත් මන්නාරම් වැසියන් 600ක් පමණ ස්ත්‍රී පුරුෂ ළමා භේදයකින් තොරව හිසගසා මරා දමන ලද බවය. සංකිලි රජු විසින් මේ ඝාතනය කළ බවකි. පළමුවන සංකිලි රජ වන්නේ පරරාජසේකරම්ට පසුය. ඔහුගේ රාජ්‍ය කාලය අවසන් වන්නේ 1561 දී ය.

එසේ හෙයින් මේ ඝාතනය කළ පාලකයා පළමුවන සංකිලි විය හැකි ය. මන්ද ප්‍රැන්සිස් ක්ෂේවියර් පියතුමා 1540 ගණන්වල ක්‍රිස්තියානි ආගම පැතිරවීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙය සිදු වී ඇත. මේ ග්‍රන්ථය ලියන ලද්දේ මයිල්වාගන පුලවර් නමැත්තකු විසින් ලන්දේසීන්ගේ ඉල්ලීමක් අනුවය. එහි පැනෙන අයුරු ඒ සඳහා යාපනයේ එතෙක් පැවැති ඓතිහාසික ලේඛන කතුවරයා විසින් ප්‍රයෝජනයට ගෙන ඇත. යාපනයේ ඈත ඉතිහාසය දැක්වීමේදී කතුවරයාට නිසි අවබෝධයක් තිබී නැති බව පෙනෙතත් සියවසකට පමණ පෙර කාලයක සිදුවීමක් නිසා යාල්පාන වෛපව මාලෛයි කුවරයාට මේ ඝාතනය පිලිබඳ සත්‍ය තොරතුරු ලැබෙන්නට ඇත.

යාපනය ඉතිහාසය පිළිබඳ මුදලිදු රාසනායගම් විසින් රචනා කර ඇති ඒන්ෂන්ට් ජැෆ්නා ග්‍රන්ථයේද මේ සිදුවීම විස්තර වෙයි. මෙහෙයින් ඇමරිකාවෙන් මේ මිනී වළ පිලිබඳව දී ඇති කාලනිර්ණයන් හා මේ සිද්ධිය ගැළපේ දැයි ඉහත කී මූලාශ්‍රය තවදුරටත් විමසමින් සෙවිය යුත්තකි.

Comments