
- සම්බන්ධ වෙලා ඉන්නෙ ගනේමුල්ලේ සංජීවගේ කල්ලියට
- සුමන්තිරන් ඝාතනයටත් සැලසුමක්
- කල්ලියේ දෙවැන්නා පොහොට්ටුවේ පූසාරි
යුද්ධය නිමා වීමෙන් පසු සීසීකඩ විසිරී ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් දැන් කලඑළි බසින්නේ විවිධ වෙස් ගෙනය. ඒ අය අතර පාතාල වෙස්ගත් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් ගැනත් වාර්තා වෙයි. එවන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන් පිරිසක් කොටු කර ගන්නට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව සිටී. ඒ රාජ්‍ය බුද්ධි සේවය සමඟ එක් වී කරන ලද රහස් මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසනි.
එම කල්ලියට සම්බන්ධ දොලොස් දෙනෙකුම මේ වන විට සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවේය. හඳුනාගෙන ඇති ආකාරයට අනුව ඒ අයගෙන් හත් දෙනෙක් ඩකලපුව, නැදුන්කර්නි, කිලිනොච්චිය, මුලතිව්, කයිට්ස් ආදී පැතිවල පදිංචිකරුවෝය. ඒ අයට නායකත්වය දෙන්නේ එල්.ටී.ටී.ඊ. යේ හිටපු ප්‍රබල සාමාජිකයෙකු වන වේන්දන්ය. ඔහු 2007 වසරේ ඔක්තෝම්බර් 22 වැනි දා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රහාරයට පැමිණ ජීවිතය ගලවාගත් ත්‍රස්තවාදීන් දෙතුන් දෙනාගෙන් අයෙකි. යුද්ධය නිම වීමෙන් පසු හමුදාවට භාර නොවී කට්ටි පනිමින් නම් කිහිපයකින්ම ඔහු පෙනී සිට ඇති බව සඳහන්ය. වේන්දන් යැයි ඔහුව හඳුන්වන්නේ පොලිසියයි. යුද හමුදාව ඔහුව දන්නේ අප්පම් යැයි කියාය. එහෙත් නාවික හමුදාව ඔහුව හඳුනන්නේ නෙරන්ජන් යැයි කී විටය. මේ පුද්ගලයා දරුණු ගණයේ ත්‍රස්තවාදියෙකු බව නම් මේ තුන්ගොල්ලම දැන සිටියහ.
එසේ තිබියදීත් ඔහු නාවික හමුදාවේ දූෂිතයන් කිහිප දෙනෙකු සමඟ එක්ව ඕස්ට්‍රෙලියාවට අනවසර සංක්‍රමණිකයන් පැටවීමේ ජාවාරමක්ද මෙහෙයවා තිබිණි. අනාවරණය වන ආකාරය අනුව ඔහුගේ මෙහෙයැවීමෙන් ඕස්ට්‍රෙලියාවට යවා ඇති බෝට්ටු ගණන 15කට වැඩිය.
මේ ජවාරමේ තවත් ප්‍රධාන හවුල් කරුවෙකු වන්නේ ගණපති කදිරවේලු හෙවත් සාමිය. කයිට්ස් හි පදිංචිකරුවෙකු වන ඔහු පූසාරියෙකි. ඊ.පී.ඩී.පී. සංවිධානය සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් පැවැති ඔහු පසුගිය පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකත්වයද ලබා සිටියේය. මේ කල්ලියේ දෙවැනියා ලෙස සැලකෙන්නේ සාමිය.
කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවේ පසු වන සෙසු පස්දෙනා දකුණේ පාතාල අපරාධකරුවෝය. ඒ අය රාජගිරිය, නිට්ඹුව සහ ගම්පහ පැත්තේය. ඔවුන් ගනේමුල්ලේ සංජීව සහ කඩුවෙල ගොත අසංකගේ කල්ලියේ සාමාජිකයෝය. නාවික හමුදාවේ හිටපු සෙබළකු ද ඔවුන් අතර සිටින බව සඳහන්ය. එම පාතාල කල්ලියට සම්බන්ධ තවත් හය හත්දෙනෙක්ම තවමත් සිටින්නේ නිදැල්ලේය. හෙට අනිද්දා ඔවුන්ද කොළඹ අපරාධ කොට්ඨාසයට කොටු වනු ඇත. ඒ දැනටමත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට දැල එළා ඇති බැවිනි.
දකුණේ පාතාලයට සම්බන්ධ වීම
වේදන් සහ සාමිට දකුණේ පාතාලය සමග සම්බන්ධකම් ගොඩනැඟී ඇත්තේ මිනිස් ජාවාරමට සහ මුදල් වංචා කිරීම්වලට පොලිසියට කොටු වී බන්ධනාගාරයේ රඳවා සිටියදීය. අධික ලෙස අයිස් නැමැති මත්ද්‍රව්‍ය භාවිතයටද ඇබ්බැහි වී සිටින ඔවුන් සම්බන්ධ වන්නේ ගනේමුල්ලේ සංජීව සමඟය. ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මාකදුරේ මධුෂ්ගේ තැන ගනිමින් පාතාලයේ ගෝඩ් ෆාදර් වීමේ සිහිනයෙන් පෙළෙන සංජීව මේ වන විට සිටින්නේ මැගසින් බන්ධනාගාරයේය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වූ වේන්දන් සහ සාමිව ඔහු බන්ධනාගාරයේදී තමා වෙත කිට්ටු කරගන්නේ පාතාලයේ ගෝඩ්ෆාදර් වීමේ සිහිනය ඉක්මනින්ම ඉටු කරගන්නටය.
විමර්ශනවලින් මේ වන විට හෙළි වී ඇති ආකාරය අනුව වේන්දන් සහ සාමි උතුරේ වළ දමා ඇති ගිනි අවි සහ බෝම්බ ගොඩ ගෙන ගනේමුල්ලේ සංජීව මඟික් පාතාලයට අලෙවි කිරීමේ ජාවාරමක්ද නිරතව සිට ඇත. වව්නියාව පුලියන්කුලමේ පූතූර් කෝවිල අසලදී පොලිස් පරීක්ෂාවකදී පසුගිය ජනවාරි 01 වැනිදා අලුයම අත්බෝම්බ 04ක් සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහිත ගමන් මල්ලක් අතහැර පලාගිය හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාද එම කල්ලියට සම්බන්ධ අයෙකි. ආනන්ද රාසා නමැති ඔහු එම ආයුධ මල්ල රැගෙන විත් ඇතැයි කියැවෙන්නේ එම කල්ලියට ලබාදෙන්නටය.
එම ගමන් මල්ලෙහි තිබුණු ජංගම දුරකතන දෙකක් ඔස්සේ පුලියන්කුලම පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වමින් ඊට සම්බන්ධ අට දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්තේය. අවසන් සටනේද සිටි බව කියන ආනන්ද රාසා යුද්ධය නිමා වීමෙන් පසු ඉන්දියාවට පලාගොස් එහි සැඟව සිට නැවත බෝට්ටුවකින් මෙරටට පැමිණි අයෙකි. ආයුධ මල්ල අතහැර පලා ගොස් තැන තැන සැඟවී සිටි ඔහු නැවතත් පැන ගන්නේ ඉන්දියාවටය. ඒ තලෙයිමන්නාරමෙන් බෝට්ටුවක නැඟීය.
ඔහුව තලෙයිමන්නාරමට රැගෙන යන්නේ ඔහුගේ මස්සිනාය. මෝහන් නමැති ඔහුද දැන් සිටින්නේ වේදන් සමඟ අත්අඩංගුවට ගත් අය අතරය. බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට අනුව ඔහු දැන් සිටින්නේ දකුණු ඉන්දියාවේ දේශපාලනඥයෙකු සමීපයේය. එම දේශපාලනඥයා එල්.ටී.ටී.ඊ.යට පක්ෂව උද්ඝෝෂණ පවා කර අවස්ථා කිහිපයකදීම සිය ආධාරකරුවන් සිය ගණනක් සමඟ එරට පොලිස් අත්අඩංගුවටද පත්ව ඇති අයෙකි.
එසේ ඉන්දියාවට වී සිටින ආනන්ද රාසාට කොළඹට රැගෙන යන්නට එදා එම ආයුධ පාර්සලය දී ඇතැයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ වේදන් සහ ඔහුගේ සගයෙකු වන කාර්තී ය. කාර්තී යනු එල්.ටී.ටී.ඊ යේ ප්‍රබල සාමාජිකයෙකි. 1991 වසරේදී එල්.ටී.ටී.ඊ.ට එක්ව ඇති ඔහු 1996 වසරේදී කොළඹදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්වන්නේ ආර්ථික මර්මස්ථානයන්ට පහරදීමට ඔත්තු බලන්නට පැමිණ සිටියදීය.
වසර 10කට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිටි ඔහු 2006 වසරේ ඇප මත නිදහස ලැබීමෙන් පසු නැවතත් එල්.ටී.ටී.ඊ.යට එක්වන්නේ අවසන් සටනටද දායකත්වය ලබාදෙමිනි. ඔහු අවසන් වකවානුවේ සිට ඇත්තේ වවුනියාවේය.
ආයුධ ගොඩගැනීම
වේදන් සහ කාර්ති විසින් ආනන්දරාසා අතට පත් කළ ආයුධ ඔවුන් ගොඩගෙන ඇත්තේ මඩු වනාන්තරයේ එකල පැවැති කුට්ටි බේස් නමැති එල්.ටී.ටී.ඊයේ කඳවුරු භූමියක වළදමා තිබියදීය. එම කඳවුරු භුමියෙන් අවි ආයුධ රැසක් ගොඩගෙන ඇති අතර ඒවා සියල්ලක්ම පාහේ ඔවුන් පත් කර ඇත්තේ පාතාලය අතටය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහායෙන් වවුනියාව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් කාර්තීවද පසුගිය දිනවල අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත ක්ලේමෝ බෝම්බ තුනක්ද ටී 81 වර්ගයේ මෝටාර් බෝම්බ තුනක්ද සොයාගෙන තිබිණි. එම බෝම්බ මඩු කැලෑවේ පිහිටි කුට්ටි කඳවුරෙන් ගොඩගත් ඒවාය.
විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ප්‍රංසයේ සහ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවෙන් ආනන්ද රාසා මෙහෙයවන බවය. ස්විට්සර්ලන්තයේ සිට ඒ අය මෙහෙයවන්නේ හිටපු විදේශ කටයුතු ඇමති ලක්ෂමන් කදිර්ගාමර් මහතා ඝාතනයේ සැලසුම්කරු බවට සැකයක්ද හමුදා බුද්ධි අංශ වෙත පවතී.
වේදන් සහ සාමිව මෙහෙයවන්නේද ප්‍රංසයේ සහ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින්නෝය. ප්‍රංසයේ සිට මෙහෙයවන එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයා කවුරුන්දැයි පැහැදිලිවම මේ වන විටත් රාජ්‍ය බුද්ධි සේවය හෙළි කරගෙන හමාරය. ඔහු එකල සිටි ක්‍රියාකාරී එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකි. වේදන් සහ සාමි මෙහෙයවන්නේද ඔවුන් දෙදෙනාය. දකුණේ පාතාලය සමඟ වේදන්ට සහ සාමිට ගනුදෙනු කරන්නැයි කියා ඇතැයි පැවසෙන්නේද ඔවුන් දෙදෙනාය. ඒ කුමන අරමුණක් වෙනුවෙන්දැයි පැහැදිලි නැතත් දෙමළ ජාතික සංධානයේ නීතීඥ එම්.ඒ. සුමන්තිරන් සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිටින ලෙස නම් ඔවුන්ට දැනුම් දී ඇති බව පෙනී ගොස් තිබේ. එබැවින් ඔවුන් සුමන්තිරන් යන එන තැන් ගැන අවස්ථා කිහිපයකදීම ඇස ගසාගෙන සිටි බවද මේ වන විට හෙළි වී හමාරය.
එම කල්ලිය මත්කුඩු ජාවාරමේද නිරතව සිටින බවද හෙළි වී තිබේ. උතුරට මත්කුඩු බෙදන්නේ ඔවුන්ය. ඒ සඳහා මත්කුඩු උතුරට රැගෙන යන්නේ කොළඹ සිටය. මත්කුඩු ඔවුන්ට සපයන්නේ ගනේමුල්ලේ සංජීවය.
පාතාලය හා සම්බන්ධ චීවරධාරියෙක්
ඊට අමතරව එම කල්ලිය උතුරු නැගෙනහිර පළාත්වල ඇති නිදන් ගොඩ ගන්නටද උත්සාහයක නිරතව සිට ඇත. ඔවුන්ට ඒ සඳහා භික්ෂුවකගේ සහාය ලැබී ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. හෙට අනිද්දා වන විට එම භික්ෂුවද අත්අඩංගුවට පත්වනු ඇත. මහත් ආන්දෝලනයට තුඩුදුන් මඩකලපුවේ පොලිස් මුරපොළක සේවයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනයේ සැකයද මේ වන විට එල්ල වී ඇත්තේ එම කල්ලියටමය.
එහෙත් ජංගම දුරකතන විශ්ලේෂණයන් අනුව එදා ද්විත්ව ඝාතනය වන විට වේදන් ඇතුළු පිරිස සිට ඇත්තේ වෙනත් ප්‍රදේශයක බවය. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් වැදගත් යමක් අනාවරණය කරගැනීමට හැකි වනු ඇතැයි බුද්ධි අංශ විශ්වාස කරයි.
මෙතෙක් කර ඇති විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව වේදන්ගේ කල්ලිය මේ වන විට පිස්තෝල 10ක් සහ ටී 56 ගිනි අවි 10ක් ගනේමුල්ලේ සංජීවගේ කල්ලිය අතට පත් කර තිබේ. එසේම අත්බෝම්බද ඒ හා සමාන ප්‍රමාණයක් සංජීවගේ ගෝලබාලයන් අතට පත් කර හමාරය. ඒ සියලු ආයුධ එල්.ටී.ටී.ඊ.ය උතුරේ තැන තැන වළදමා තිබූ ඒවාය. එම ආයුධ ඇති තැන් වේදන් සහ සාමිට පවසන්නේ ප්‍රංසයේ සහ ස්විට්සර්ලන්තයේ සිට ඔවුන් මෙහෙයවන දෙදෙනාය. ඒ අයගේ උපදෙස්වලට අනුව කිලෝ 10ක් බරැති ක්ලේමෝ බෝම්බයක්ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගොඩගෙන තිබේ.
ඒ එම බෝම්බය ක්‍රියාත්මක කරන දුරස්ථ පාලකයද සමඟිනි. එම බෝම්බය ඇතුළු ගිනි අවි රැසක්ම මේ වන විටත් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේය. බෝම්බය ගොඩගත්තේ කුමන කරුණක් සඳහාදැයි පැහැදිලි අදහසක් වේදන්ට නැත. ඒ ගැන දන්නේ ප්‍රංසයේ සහ ස්විට්සර්ලන්තයේ රැඳී සිටින දෙදෙනාය.
ගනේමුල්ලේ සංජීවගේ ප්‍රබල සතුරෙකු බවට පත්ව සිටින්නේ ගම්පහ පැත්තේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඔස්මන්ය. සිය ගෝලයන් යොදා ඔස්මන් ඝාතනය කිරීමට කිහිප වරක් උත්සාහ කළමුත් සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ නිසා සංජීවගේ ඊළඟ සැලසුම වී ඇත්තේ වේදන්ගේ කණ්ඩායම යොදා ගම්පහදී ඔස්මන් ඝාතනය කරවන්නටය. එයද සාර්ථක නොවන්නේ ඔස්මන් මේ වන විට ජපානයට ගොස් සිටින බැවිනි.
මෙයට මාස තුන හතරකට පෙර රැයක නවගමුවේ හේවාගම පැත්තේ පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ නිවසකට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරය එල්ල කර ඇත්තේද වේදන්ගේ කණ්ඩායම බව මේ වන විට හෙළි වී හමාරය.
ඉන්දියාවට පලා ගොස් සිටින අංගොඩ ලොක්කා නැමැති පාතාලයේ ප්‍රබලයාගේ සමීපතම ගෝලයෙකු වන රත්තරන් නැමැත්තෙකු 2017 වසරේ ජනවාරි 05 වැනි දා ඝාතනය වන්නේ අංගොඩ කැලණිමුල්ලේදීය. ඒ වෙඩි තැබීම සිදු කර ඇත්තේ වේදන්ය. ගනේමුල්ලේ සංජීවගේ සහ ගොත අසංකගේ පාතාල කොන්ත්‍රාත් රැසක්ම ඉටු කර ඇතැයි පැවසෙන්නේ වේදන් ඇතුළු කණ්ඩායමය.
මාකදුරේ මධුෂ්ගෙන් සහ කොස්ගොඩ සුජීගෙන් පසු එල්.ටී.ටී.ඊයේ හිටපු සාමාජිකයන්ගෙන් පාතාලයේ වැඩ ගන්නා එකම කල්ලි නායකයා බවට පත්ව ඇත්තේ ගනේමුල්ලේ සංජීවය. අද කාලකණ්ණි පාතාලයෙකු වුවත් ගනේමුල්ලේ සංජීව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළද සමත් විශ්වවිද්‍යාල වරම් ලබන්නට පවා සුදුසුකම් ලැබූවෙකි. මාකඳුරේ මධුෂ් සහ කොස්ගොඩ සුජී වැඩ ගත්තේ එල්.ටී.ටී.ඊ යේ කෙනඩි නම් වූ එක් සාමාජිකයෙකුගෙන් පමණි. ඔහු කොළඹ පදිංචිකරුවෙකි. බුම්මා ලෙස පාතාලයේ නිරන්තරයෙන් නම කියැවෙන්නේ ඔහුගේය. එහෙත් ගනේමුල්ල සංජීව විසින් මෙහෙයවන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් හත් දෙනෙකු සහිත කණ්ඩායමක් වේ.
ගනේමුල්ලේ සංජීව පාතාල ප්‍රභලයෙකු ලෙස ගොඩනැඟෙන්නේ වර්ෂ 2009 දී ඒ වන විට සිදු වූ ලංකාවේ ලොකුම බැංකු කොල්ලය සමඟය. මේ වන විට සංජීව ඉන්නේ බන්ධනාගාරගතවය. ඒ දෙමටගොඩ චමින්ද අලුත්කඩේ අධිකරණයට රැගෙන ගොස් නැවත බන්ධනාගාරයට රැගෙනයමින් තිබියදී බස් රථයට දෙමටගොඩ ඉන්ගම් හන්දියේදි වෙඩි තබා චමින්දව ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සැලසුම්කරුවෙකුලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමෙනි.
දැන් ගනේමුල්ලේ සංජීවට අධිකරණයෙන් ඇප නියම වී ඇත. එහෙත් ඔහු ඇප කොන්දේසි ඉටු කරමින් බන්ධනාගාරයෙන් නිදහස් වන්නට තවමත් සූදානම් නැත. ඔහුට ආරක්ෂිතම නවාතැන් පොළ බන්ධනාගාරය ය. දැන් පෙනෙන ආකාරයට පාතාලය සංවිධානය වී ඇත්තේ ජාති කුල මල ආගම් භේද නැතිවය. පාතාලයට උදව් කරන චීවරධාරීහු වෙති. පූසාරීහු පාතාල සාමාජිකයන් වී සිටිති. මේ සංවිධානාත්මක අපරාධ යටින් දිවෙන දේශපාලන න්‍යායක් තිබේදැයි විමසීමට තරම් සබුද්ධික විය යුතු මොහොතක් අපි දැන් පසු කරමින් සිටිමු.