
- දේශපාලන සමාජ ආර්ථිකයට බුදුදහමින් පිළිතුරක් සෙවීම වටිනා ක්‍රියාවක්
- සංස්කෘතික හා දේශපාලන දරිද්‍රතාව දුරලීමට නැවුම් අපේක්ෂා කුළු ගැන්වීමක්
- මෛත්‍රී ජනපතිගේ දේශපාලන දැක්ම සෘජු ව ම බුදු දහමේ එන පංච විධ ප්‍රතිපදාව මත පදනම් වූවක්
- අකාලික ධර්මය ලෝක උරුමයක් බවට පත් කළ ආසියාවේ ප්‍රථම රාජ්‍ය නායකයා
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරමින් ආරම්භ කරන ලද ජාතික සංස්කෘතික හා ආගමික මෙහෙවරෙහි කූට ප්‍රාප්තිය වූයේ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස සංරක්ෂණය කරන ලෙසට යුනෙස්කෝ සංවිධානයට යෝජනා කිරීම ය. ථෙරවාද බෞද්ධ රටවල් සාමූහික එකඟතාවෙන් ඉදිරිපත් වූ මේ යෝජනාව සමඟ ත්‍රිපිටකය ලෝක ප්‍රජාවගේම සාඩම්බර දායාදයක් ව පවතිනු නිසැක ය. මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ සද් මෙහෙවර වෙනුවෙන් ලැබී තිබෙන ප්‍රශංසාත්මක විවේචන, අප්‍රමාණ ඇගැයීම් සියල්ල අනුමත කරමින් ම ඒ සත් ව්‍යාපාරය පිළිබඳ ව සමාජ දේශපාලන කියැවීමක් සඳහා යොමුවීම අපගේ මේ ලිපියෙහි අරමුණ ය.
සමකාලීන දේශපාලන ක්ෂේත්‍රයෙහි ආගම් සම්බන්ධයෙන් බොහෝ විට අප දකින ප්‍රදර්ශනකාමි ව්‍යාජ නිරූපණ අභිබවා ගිය සද්භාවයක් හා අර්ථවත් ප්‍රතිචාරයක් ලෙස මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ මෙහෙවර අපි දකිමු. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සංස්කෘතියෙන් සුපෝෂිත රටක් වුව ද නූතන ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතැම් චරිත ඒ ස්ථාවරය පිළිගැනීමට මඳක් පැකිලෙන බව ද රහසක් නොවේ. ලංකාව සිංහල බෞද්ධ රටක් බව හදවතින් පිළිගන්නා සමහරු ද ඒ ස්ථාවරය එළිපිට පැවසීමට පසුබාති. එහෙත් නියම සිංහල බෞද්ධයා යනු වර්ගවාදී හිසේ රුදාවලින් මෙන්ම ආගම්වාදී උමතුවෙන්ද ගිලන් නොවූ පරමාදර්ශී පුද්ගලයෙකි. ලෝකය පිළිබඳව බුදුන් වහන්සේගේ සංකල්ප දෙකක් විය. ඒ බාහිර වාස්තවික ලෝකය හා පෞද්ගලික ලෝකය වශයෙනි. ඒ විග්‍රහය නූතන විද්‍යාව හා විශ්වය පිළිබඳ නවතම නිගමන සමග සැසඳෙන බව පිළිගනු ලැබේ. විශ්වය තුළ මිනිසාට හිමිවන ජීවිතය ගැන ද බුදුන් වහන්සේ විද්‍යාත්මකව කරුණු පෙන්වා දී තිබේ. මේ හැර පුද්ගල සමාජය හා බැඳුණු භෞතික ආර්ථික පැවැත්ම ගැන ද බුදුන් වහන්සේ නොයෙක් විග්‍රහ විවරණ ඉදිරිපත් කර තිබේ. සමාජ අසහනයට ප්‍රබල හේතුවක් ලෙස දුප්පත්කම එනම් ආර්ථික විසමතාව ප්‍රථම වරට දක්වන ලද්දේත් බුදුන් වහන්සේ විසිනි. රටක සියලු පුරවැසියන් ඔවුන්ගේ ජීවන වෘත්තීන් හා ආර්ථික පහසුකම් පිළිබඳ ව සෑහීමකට පත්වන තෙක් නැතහොත් සුරක්ෂිත වන තෙක් පාලකයාට (රජුට) සතුටු විය නොහැකි බව බුදුහු වදාළහ. සමාජයකට සුදුසු උසස් ම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදය බව ද බුදු දහම පිළිගනී. එහෙත් ඒ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන්නේ ලෝභ, දෝෂ, මෝහ යනාදියෙන් ඈත් වු ආධ්‍යාත්මික වශයෙන් උසස් හා බුද්ධිමත් සමාජ වාතාවරණයක බව ද උන්වහන්සේ අවධාරණය කර ඇත.
මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ “ත්‍රිපිටකාභිවන්දන” සද් මෙහෙවරෙහි අරමුණ කුමක්ද? එහි සමාජ දේශපාලන බලපෑම් කුමක් ද? යන්න අපගේ අවධානයට යොමු විය යුතුය. බුදුදහමේ හරය ලෙස විනය හා සදාචාරත්මක හැසිරීම පිළිගනු ලැබේ. ඒ සදාචාර මූලධර්මය දේශපාලනයට අර්ථ පූර්ණ ගාම්භීරත්වයක් ලබා දෙන බව බුදුසමය තහවුරු කරයි. යුරෝපීය වටිනාකම් මත පදනම් වූ දේශපාලන මුලධර්ම වලින් සිය දුබලතා වසා ගන්නා දේශපාලන අලංකාරාත්මක වාග් හරඹ වලින් යුතු ලංකාව වැනි රටක මේ දේශපාලන සමාජ ආර්ථිකයට බුදුදහමින් පිළිතුරක් සෙවීම ගැන උනන්දු නොවීම ද ස්වභාවික ය. එහෙත් මෛත්‍රී ජනාධිපතිවරයා ඒ මඟට වඩා වෙනස් රාජ්‍ය නායකයකු බව මෙයින් සනාථ කරයි.
ත්‍රිපිටකය හෙවත් බුද්ධභාෂිතය මානව වර්ගයාගේ අභිවර්ධනයට නියත වශයෙන් ම මඟ පෙන්වන ප්‍රබල ආලෝකයක් බව මුල්වරට පසක් කරගත් රාජ්‍ය නායකයා ඉන්දියාවේ පමණක් නොව ලෝක ඉතිහාසයේ ම සුවිශේෂ ගෞරවයට පාත්‍ර වූ ආශෝක අධිරාජයා ය. ශ්‍රී ලංකාවට බුදුදහම දායාදයක් ලෙස තිළිණ කරනු ලබන්නේ ද අශෝක අධිරාජයා විසිනි. අශෝක අධිරාජයාගේ ආධ්‍යාත්මික පරිවර්තනයට හේතු වූ බුදුදහම ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වටිනාකම් හැඩ ගැස්වූ ආකාරය ඉතිහාසය තහවුරු කර ඇත. අශෝක බුදුදහමට ආකර්ෂණය වූයේ එහි ගැබ් වූ සමාජ සාරධර්ම හා මනුෂ්‍යත්වයට හිමිවන උදාර වටිනාකම් පිළිබඳ පූර්ණ අවබෝධයකින් යුතු ව ය. ඔහුගේ රාජ්‍ය පාලනය හා සදාචාරය සමඟ බැඳුණු බුදුදහම මිහිදු මාහිමියන් මඟින් ශ්‍රී ලංකාවට තිළිණ කිරීම අලුත් සභ්‍යත්වයකට හා සංස්කෘතික මාවතකට දොර හැරදීමක් විය. ලංකාවේ සමාජ සාරධර්ම මෙන්ම සාහිත්‍ය කලා සංස්කෘතික වටිනාකම් සියල්ල වර්ධනය වූයේ ද බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය ඔස්සේ ය. සමාජ සාධාරණත්වය හා සමානත්වය පිළිබඳ ව මෙන්ම මානව බන්ධුත්වය පිළිබඳ වටිනාකම් වර්ධනය වූයේ ද බෞද්ධ සංස්කෘතික උරුමයේ ඵලයක් වශයෙනි.
ඉන්දීය ඉතිහාසඥයන් විසින් සඳහන් කරන ලද පරිදි එරට කෘෂි කර්මාන්තයට විශාල අනුග්‍රහයක් ලැබී ඇත්තේ ඉන්දියාවේ පහල වූ විශිෂ්ට ආගමික ශාස්තෘවරුන් දෙදෙනකු වූ මහාවීර හෙවත් නිගණ්ඨනාථ පුත්‍රගේ හා ගෞතම බුදුන් වහන්සේගේ ආගමික ප්‍රතිපත්තියක් වූ අවිහිංසා ව්‍යාපාරය නිසා ය. නගුල හා බැඳුණු කෘෂි ශිෂ්ටාචාරයේ පුරුක වූයේ ගවයා ය. එහෙත් බමුණන්ගේ යාග හෝම සඳහා දහස් ගණනින් ගවයන් බිලිවීම ගොවියා මුහුණ දුන් ප්‍රබල ගැටලුවක් විය. ජෛනාගම මෙන්ම බුදුදහම ද සතුන් මැරීමට අනුබල නොදෙයි. සත්ව හිංසාව දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස අශෝක රජු නියම කර තිබුණි. ‘කිසිදු සතකු ඝාතනය කර බිලි පූජා පැවැත්වීම’ නොකළ යුතු බව බුදුන් වහන්සේද පෙන්වා දී ඇත. යාතු කර්ම නිසරු දෙයක් බව බුද්ධ වචනයයි. සත්ව බිලි පූජා වලින් ජනතාව මුළා කළ බ්‍රාහ්මණයන් සමග ගැටුමක් නොවුව ද මෙබඳු කරුණු නිසා බමුණන් බුදුදහමට සතුරු වූහ.
මෛත්‍රී ජනාධිපතිවරයාද වාරි හා කෘෂි සංස්කෘතිය පිළිබඳ භක්තිමත් වූ පාලකයෙකි. නූතන කාර්මික සභ්‍යත්වය ඉඳුරා ප්‍රතික්ෂේප නොකරන ඔහු ග්‍රාමීය ජීවන රටාවේ න්‍යෂ්ටිය ගොවිතැන නැතහොත් කෘෂිකර්මය බව පිළිගනී. මොරගහකන්ද ජලාශ යෝජනා ක්‍රමයේ මෛත්‍රී ජනාධිපතිගේ වාරි චින්තනයේ අග්‍රඵලයකි. මෛත්‍රීගේ දේශපාලන දැක්ම සෘජු ව ම බුදු දහමේ එන පංච විධ ප්‍රතිපදාව මත පදනම් වූවකි. “අදත්තා දානය” හෙවත් “නුදුන් දේ ගැනීම” සොරකමයි. පරමාදර්ශී සමාජයක පදනම පන්සිල් ය. භික්ෂු විනය හා ගිහි විනයට අදාළ කරුණු බුදු සමයෙහි එයි. පන්සිල් ගිහියාගේ පදනම ය. සොරකම, දූෂණය, වංචාව ලෙස ව්‍යාප්ත වී තිබෙන දුසිරිත අදත්තා දානයයි. නුදුන් දෙය ගැනීම ය. ප්‍රමාදයට හේතු වන මත් වතුර මෙන්ම මත්කුඩු ජාවාරම් වලට එරෙහි ව ගෙන යන ප්‍රබල මෙහෙයුමක නියමුවා බවට ද මෛත්‍රී ජනාධිපතිවරයා පත්ව සිටියි. දූෂණයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පස් අවුරුදු සැලැස්ම ජනාධිපතිවරයාගේ අලුත්ම ක්‍රියාන්විතයයි.
බෞද්ධ සංස්කෘතිය හා සාරධර්ම මත පදනම් ව අනුරාධපුරයෙන් ආරම්භ වූ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය තුළ වෙනත් ආගමික හා සංස්කෘතික අනන්‍යතාවලින් යුතු ජනතාව ද සිටි බව ඉතිහාසය පෙන්වා දෙයි. එසේම එයට එල්ල වූ අභියෝග හා බාධක ද අප්‍රමාණ විය. පොලොන්නරු යුගයේදී මහ විජයබාහු හා මහ පරාක්‍රමබාහු වැනි විශිෂ්ට නරපතියන් විසින් බෞද්ධ පුනරුදයක් ඇති කිරීම සඳහා දරණ ලද ප්‍රයත්න පිළිබඳව ද තොරතුරු දැක්වේ. එහෙත් ක්‍රමයෙන් ලංකාව සතුරු ආක්‍රමණ වලින් හා ප්‍රහාර වලින් අස්ථාවර රටක් බවට පත් විය.
ලංකාවේ අවසන් රාජධානිය බිඳ වැටීමෙන් අනතුරුව ඇරඹුණු පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන වකවානුවලදී දේශීය සංස්කෘතික වටිනාකම් ක්‍රමයෙන් දියවී යෑම ආරම්භ විය. යුරෝපීය වටිනාකම් හා පරිපාලන ක්‍රම විසින් උඩු යටිකුරු වු ලාංකික සමාජය තුළ එක්තරා ප්‍රමාණයක වල්මත් බවක් ද විය. සිංහලයා ජාතික අනන්‍යතාවක් නැති තත්වයකට පත්ව සිටියේය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඇගැයීම් මෙන්ම නීතිය හා අධිකරණ පද්ධතියක් ද සමාජ වටිනාකම් සමූහයක් ද ලාංකික සමාජයට ආරෝපණය විය. ඉංග්‍රිසි පාලනය විසින් ඒ සමාජය පමණක් නොව මෙරට මධ්‍යම පන්තියේ මනස ද වෙනස් කර තිබුණි. සංස්කෘතික හර පද්ධතිය ද දැඩි කම්පනයකට ලක් විය. එමතු නොව ලාංකික මධ්‍යම පන්තිය බරපතල ආධ්‍යාත්මික සෝදා පාලුවකට ද ලක් විය.
1956 දී බණ්ඩාරනායක මහතා අගමැති වීමෙන් ඒ බමුණු කුලය බිඳ වැටුණු බව මාර්ටින් වික්‍රමසිංහ මහතා සඳහන් කළත් 1977 න් ඇරඹුණු ජයවර්ධන යුගය මෙරටේ දේශපාලනයට පමණක් නොව සමාජ වටිනාකම්වලට අභියෝගයක් විය. එය බෞද්ධ සාර ධර්ම මත පදනම් නොවු ව්‍යාජ ධර්මිෂ්ට සමාජයක ඇරඹුමක් පමණි. මේ පරිහානිය සමග ඇති වූ සංස්කෘතික හා දේශපාලන දාරිද්‍රතාව දුරලීම සඳහා ජනතාව තුළ වු නැවුම් අපේක්ෂාව කුළු ගැන්වූයේ මෛත්‍රීපාල මෙරටේ රාජ්‍ය නායකත්වයට පත්වීමෙනි.
මෛත්‍රී යුගය මෙරටේ සාධනීය දේශපාලන වෙනසකට හේතු වුව ද ඒ තුළින් ම පැනනැඟුණු ප්‍රතිවිරෝධතා විසින් ඇති කරන ලද අපේක්ෂා භංගත්වය පිළිබඳ රට ම දනී. ඒ දේශපාලන සංස්කෘතික මුඩුබිම තුළ මෛත්‍රී ජනාධිපතිවරයා හුදෙකලා සටන් කරුවකු බවට පත්ව සිටියි. හතරවටින් තමන් වෙත එල්ල වන දේශපාලන නොවූ මූග්ධ ප්‍රතිචාර වලින් නොසැලෙන මනසක් තමන් සතු බව ද ඔහු ජනතාවට තහවුරු කර තිබේ. දූෂණයට, වංචාවට, හොරකමට එරෙහි මත්කුඩු ජාවාරම් ඇතුළු විවිධාකාර දූෂිත මෙහෙයුම් වලට එරෙහිව නීතිමය පවුරක් ගොඩනැඟීමට ද ඔහු කැප වී සිටියි. එහෙත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් හා සාරධර්ම වෙනුවෙන් පෙනී සිටින විද්වතුන් හා ආගමික නායකයන් ඒ සඳහා දක්වන අනුග්‍රහය ප්‍රමාණවත් නොවන බව අපගේ අදහස ය. දේශපාලන කෞටිල්‍යවාදී මනසක් සහිත නායකයෝ ද මෙහිදී පූර්ණ අනුග්‍රහයක් නොදක්වති. කෞටිල්‍යගේ දර්ශනය වන්නේ යුද්ධය, නීතිය, දේශපාලනය යන සිල්ල ම රාජ්‍ය බලය සඳහා පැවතිය යුතු බව ය. පාලකයාට සදාචාරයක් අවශ්‍ය නැති බව ද කෞටිල්‍ය කියයි. එහෙත් බුදුදහම ඒ දුර්මත ඉඳුරා ප්‍රතික්ෂේප කරයි.
මෛත්‍රී ජනාධිපතිවරයාගේ ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ සංකල්පයෙහි ගැබ් වන්නේ මේ අභිනව සාරධර්ම සහිත සංස්කෘතික ආධ්‍යාත්මික සුපෝෂණය ලද මානව සමාජයක අපෙක්ෂාවයි. දේශීය වශයෙන් අපෙන් ගිලිහී ගිය සංස්කෘතික උරුමයන් නැවත තහවුරු කිරීම ඔහුට අවශ්‍ය ව තිබේ. රාජ්‍ය තන්ත්‍රය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇසෙන ව්‍යාජ ඝෝෂාව වෙනුවට ඒවා සාධනීය හා අභිනව ප්‍රතිසංස්කරණයකට යොමු විය යුතු බව ඔහුගේ දේශපාලනයෙන් ප්‍රකාශ වෙන සත්‍යය හා අරමුණ බව පෙනේ. ඒ සඳහා අපට එකඟ විය හැකි පොදු වටිනාකම් සමූහය බුද්ධ භාෂිතය හෙවත් ත්‍රිපිටකය තුළ ගැබ් වී තිබෙන බව අපගේ ද අදහස ය. බුද්ධ භාෂිතය හෙවත් ත්‍රිපිටකයෙන් අවධාරණය කෙරෙන ප්‍රධාන කරුණු දෙකක් ඇත. ඒ ප්‍රඥාව හා මහා කරුණාවයි. ප්‍රඥාව යනු බුද්ධිමය සංවර්ධනයයි. නවීන විද්‍යාව, තාක්ෂණය ඇතුළු නව දැනුම ප්‍රඥාව විසින් ලබා දෙන දායාද වේ. කරුණාව යනු මානව සබඳතා වර්ධනය කරන ආදරය, දයාව, අනුකම්පාව ආදී ගුණ සමුදායයි. ලෝක ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා ප්‍රඥාව මෙන් ම කරුණාව ද අත්‍යාවශ්‍ය වේ. මානව දයාව, මානව බන්ධුත්වය උපත ලබන්නේ ද කරුණාවෙන් ය.
මෛත්‍රි ජනාධිපතිවරයා ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කරන්නේත්, එය ලෝක උරුමයක් බවට පත් කිරීමට යෝජනා කරන්නේත් ශ්‍රී ලාංකේය සමාජය මෙන්ම ලෝක ප්‍රජාවට සනාතන සහජීවනයකට මං පෙත සකසා දීමට ය. අද අප අබියස ප්‍රාදුර්භූත වී තිබෙන්නේ කෙබඳු දුෂිත, ග්‍රාම්‍ය සමාජයක් ද? ඒ සමාජය මෙහෙයවනු ලබන දේශපාලන සංස්කෘතිය කෙබඳු ගර්හිත මෙහෙයුමක් බවට පත්ව තිබේ ද? ත්‍රිපිටකය යනු ඒ සියලු දුක් පීඩා නසන ඔසුවක් වැන්න. බුද්ධිය, කරුණාව, මානව දයාව, මෛත්‍රීය, සංවරය, විනය, සරල බව, සැහැල්ලු බව, චින්තන නිදහස යන සියල්ල ත්‍රිපිටකයේ ගැබ් වේ. එසේම නියම බෞද්ධයා ගතානුගතිකත්වය හා සම්ප්‍රදාය තුළ හිර වූ අයෙක් ද නොවේ. නිර්මාණශීලි බවින් හා විචාර බුද්ධියෙන් තොර වූ සමාජයට ලෝකයට ත්‍රිපිටකයෙන් ලබා ගත හැකි සාධනීය දෑ බොහෝ ය. බටහිර භෞතික වටිනාකම් වලට අන්ධ වූ හා ඒවාට වන්දනා කරන බොහෝ නූතනවාදීන්ට මේ ත්‍රිපිටකාභිවන්දනය නිසරු දෙයකැයි හැඟෙන්ට ද බැරි නැත. අනුකාරක බුද්ධිමතුන්ට ද එහි අමුතු විශේෂත්වයක් නොවිය හැකිය. එහෙත් නූතන ලෝකයට අවශ්‍ය ඥාන ගවේෂණය හා අපූර්ව ශාස්ත්‍රීය සම්ප්‍රදාය සඳහා ද ත්‍රිපිටකයෙන් ලද හැකි සාධනීය ඵල බොහෝ ය. මානව සංස්කෘතියේ අභිවර්ධනයට එයින් කෙරෙන බලපෑම කෙතරම් විචිත්‍ර හා අර්ථවත්දැයි තේරුම් ගැනීමේ වගකීම ද අප සතු ය. ශ්‍රී ලාංකික අපට පමණක් නොව සමස්ත මානව සංහතියට ම අතිශය වැදගත් වන්නා වූ ද ස්වාර්ථය දුරුකොට පරාර්ථය අරමුණු කරගත් සමාජ සාරධර්ම පද්ධතියක එකතුවක් වූ බුද්ධ ධර්මය දේශ දේශාන්තරව ප්‍රචලිත කළ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යා ඉතිහාසයට එක් වූවා සේ; ඒ අකාලික ධර්මය ලෝක උරුමයක් බවට පත් කළ ආසියාවේ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන නාමය ද ඉතිහාසයට එක් වනු නිසැක ය.