
අටදහස් අටසිය විස්සක් පමණ වන මෙරට පළාත් පාලන නියෝජිතයන් අතරෙන් දෙදෙනෙකු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම පසුගිය සතියේ සිදු විණි.
එසේ ඉවත් කෙරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් පාලන සභිකයෙකු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේම තවත් පළාත් පාලන සභිකයෙකු වූ කුරුණෑගල නගර සභාවේ මන්ත්‍රී ක්‍රිෂ්ණපාලන් ත්‍යාග රාජාය.
ඇඹිලිපිටියේ සභාපතිවරයා ඉවත් කිරීමට හේතු වී තිබුණේ ඔහු 2013 මැයි මස 26 වැනි දින රාත්‍රියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියකට අදාළව පැවැති නඩුවකින් සභාපතිවරයාට දඬුවම් ලැබීම නිසාය.
මිද්දෙණිය ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදුණු පනාමුර පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරුන් වූ නන්දසිරි සහ චන්ද්‍රසිරි යන දෙදෙනාට පහරදීම නිසා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවක තීන්දුව අනුව එම්. කේ. අමිල හිටපු සභාපතිවරයාට මාස තුනක සිර දඬුවමක්ද නියම වී තිබිණි.
ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමේ 262 අධිකාරි පනතේ 9(1) වගන්තිය ප්‍රකාරව එම්. කේ. අමිල සභාපතිවරයා සිය ධුරයෙන් ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළේ පසුගිය සතියේයි. එම්. කේ. අමිල යනු හිටපු පළාත් සභා ඇමැතිවරයකු වූ 2003 මැයි 25 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ යමින් සිටියදී ඒ අසලදීම ඝාතනය වූ එම්. කේ. රංජිත් හෙවත් චණ්ඩි මල්ලිගේ පුත්‍රයායි.
ක්‍රිෂ්ණපාලන් සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීමට මූලික ලෙස හේතු වී ඇත්තේ ඔහු මැතිවරණයට ඉදිරිපත් වීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමයි. ඒ නිසා මන්ත්‍රීවරයාට එරෙහිය සිය සභාවේම සභිකයෙකුගෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලක් අනුව කොමිෂන් සභාව එම පැමිණිල්ල නීතිපතිට ඉදිරිපත් කෙළේය. අනතුරුව නීතිපති උපදෙස් දී තිබුණේ පළාත් පාලන පනත අනුව කටයුතු කරන ලෙස යැයි මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා අපට කීවේය.
එසේ නම් මෙරට සිටින පළාත් පාලන මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් නෙරපා හරින්නෙ කුමන පදනමකින්ද යන්න අප සමන් රත්නායක මහතාගෙන් වැඩිදුරටත් විමසුවේය.
පළාත් පාලන මැතිවරණයට අදාළ 262 අධිකාරි පනතේ නවය සහ දහය වගන්ති අනුව පළාත් පාලන මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන ආකාරය සඳහන් වන බවත්, ඒ අනුව තනිකරම නීති ප්‍රකාරව ඉවත් කරන එවැනි මන්ත්‍රීවරුන්ට ඕනෑම අවස්ථාවක අධිකරණයට ගොස් සිය නිර්දෝෂි භාවය ඔප්පු කිරීමටද හැකියාවක් තිබෙන බවත් හෙතෙම කීවේය.
මීට පෙර 2011 නත්තල් දින තංගල්ල හෝටලයකදී වූ සිදුවීමක් මත එංගලන්ත ජාතික කුරාම් ෂයික් නමැත්තා ඝාතනය කිරීමේ වරදකරු වූ එවකට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව සිටි සම්පත් විදානපතිරණ වැරැදිකරු වූ හෙයින් සිය මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරින ලදි. එයද අධිකරණ තීන්දුවක් මත පළාත් පාලන පනත ප්‍රකාරව වූ සිදුවීමකි.
පළාත් පාලන මන්ත්‍රීවරුන්ට එරෙහිව මහජනයාට ඍජුවම පැමිණිලි කළ හැක්කේ කෙසේද යන්නද අපි අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමක් කළෙමු.
මන්ත්‍රීවරුන් සභිකයෙකු ලෙස කරන කාර්යභාරය හෝ ක්‍රියාකලාපය ගැන පැමිණිලි කරන්න පුළුවන් අධිකරණයටයි. සභික ධුරය සම්බන්ධයෙන් තිබෙන අක්‍රමිකතා ගැන පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිලි කළ හැකියි. ඒ කියන්නෙ අදාළ දිස්ත්‍රික්කයේ සහකාර කොමසාරිස්වරයාට හෝ පළාත් කොමසාරිස්වරයාට. අපිට නැති නම් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන්න වෙන්නෙ මන්ත්‍රීවරුන්ගේ පත් කිරීම් ගැන පමණයි. ඒ කියන්නෙ මැතිවරණය සම්බන්ධයෙන් පමණයි. වැඩිදුරටත් කියනවා නම් අපිට තියෙන්නෙ මන්ත්‍රීවරුන් ඡන්දයක් පවත්වා ඡන්දයෙන් නිවැරැදිව පත් කිරීම සහ ඉවත් කිරීම යන කාරණා පමණයි.
අපට මන්ත්‍රීවරුන් පිළිබඳ බොහෝ පෙත්සම්, පැමිණිලි එනවා, නමුත් කරුණු සොයා බැලු විට ඇතැම් පෙත්සම් පැමිණිලි අසත්‍යයි. ඇතැම් කරුණු මැතිවරණ නීති කඩකිරීම්වලට අදාළ නෑ. ඔවුන්ගේ පෞද්ගලික කොන්තර.
එසේම කරුණු වසන් කොට මැතිවරණයට ඉදිරිපත් වී ඇති මන්ත්‍රීවරුන්ට එරෙහිව සාමාන්‍ය ජනයා පැමිණිලි කළ යුත්තෙ කෙසේද යන්නද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය.
“මැතිවරණ කොමිෂන් සභාවට ඕනෑම කෙනෙකුට පැමිණිලි කළ හැකියි. ඒ වගේම පළාත් පාලන කොමසාරිස්වරයාටත් පැමිණිලි කළ හැකියි. මේ මන්ත්‍රීවරුන් මැතිවරණයෙන් පත් කළාට පසුව සියලුම වගකීම බාරව තිබෙන්නෙ පළාත් පාලන කොමසාරිස්වරයාටයි.
අපිට සාමාන්‍යයෙන් පළාත් පාලන ආයතන ඡන්දයේදී නාම යෝජනා බාරගැනීමේදී සියලුම අපේක්ෂකයන්ගේ තොරතුරු නිවැරැදිව තහවුරු කරගැනීම තරමක් ප්‍රායෝගිකව අපහසුයි.
ඔවුන් පිළිබඳ වැඩිදුරටත් කරුණු සොයාබලා නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමක් කරන්න අපිට ප්‍රායෝගිකව බැහැ. මොකද සීමිත දින ගණනකදීයි මේ දේවල් සියල්ල සිදු වන්නෙ. නමුත් එලෙස කරුණු වසන් කොට ඉදිරිපත් වන පුද්ගලයෙකු පිළිබඳ තුන් වන පාර්ශ්වයකින් ලැබෙන පැමිණිල්ලක් අනුව අපිට පුළුවන් ඊට ක්‍රියාත්මක වෙන්න. ඒ අනුවයි පසුගිය කාලයේ මන්ත්‍රී ධුරවලින් ඉවත් කෙරුණු සියලු දෙනා ඉවත් කළේ.“
ඒ අනුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඉවත් කිරීම තනිකරම අධිකරණ කටයුත්තක් මත සිදු වී ඇත.
“ඔහුට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබාදී තිබුණා. එම අධිකරණ තීන්දුව නීතිපතිට ඉදිරිපත් කළ පසු, නීතිපතිතුමා උපදෙස් දුන්නා ඔහු ධුරයෙන් ඉවත් කිරීමට. මොකද ඔහු පළාත් පාලන මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සෙක් නිසයි. කුරුණෑගල මන්ත්‍රීවරයා පිළිබඳ සභිකයෙකුගෙන්ම අපිට පැමිණිල්ලක් ලැබුණා. ඔහු වැරැදි තොරතුරු ඉදිරිපත් කොට මැතිවරණයට ඉදිරිපත් වූ බවට. ඒ සියලු කරුණු පිළිබඳව අප නීතිපතිට ඉදිරිපත් කළා. ඒ අනුව නීතිපතිගෙන් උපදෙස් ලැබුණා පළාත් පාලන පනත අනුව කටයුතු කරන්නයි කියා.
එලෙස පළාත් පාලන සභිකයන් දෙදෙනෙකු ගෙවී ගිය සතියේ සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරද්දී පාර්ලිමේන්තු ඉතිහාසයේද මන්ත්‍රීවරුන් රැසක්ම ඉවත් කර තිබූ බවට වාර්තා වේ.
එහි ආසන්නතම සිදුවීම හිටපු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ ඉවත් කිරීමයි. ඇය මැතිවරණයට ඉදිරිපත් වන මොහොතේ ද්විත්ව පුරවැසිභාවයක් හිමි තැනැත්තියක වීම ඊට හේතුවයි. ඇය මැතිවරණයට ඉදිරිපත් වන මොහොතේ මැතිවරණ පනත උල්ලංඝනය කර තිබූ හෙයින් අවසානයේ අධිකරණ තීන්දුවකින් ඇය මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරනු ලැබුවාය.ඒ පිළිබඳව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා අවධාරණය කරන්නෙ,“ මැතිවරණයට ඉදිරිපත් වන මොහොතේ අපට අපේක්ෂකයන්ගේ සියලුම තොරතුරු සොයා බලන්න අමාරුයි. අපි බලන්නෙ නාමයෝජනා පත්‍රයේ කරුණුවල වටිනාකම විතරයි. උදාහරණයක් ලේකම් අස්සන් කරලද, ජේපී සහතික කරලද, අපේක්ෂක කැමැත්ත ප්‍රකාශ කොට අස්සන් කරලාද වගේම රට බෙදන්නෙ නැති බවට දිවුරුම් ප්‍රකාශ දීලාද වැනි සරල කාරණා කිහිපයක් පමණයි.
අතීතයේ ටී. බී. ඉලංගරත්න, ජෝර්ජ් ද සිල්වා වැනි බොහොමයක් මැති ඇමැතිවරුන්ද මැතිවරණ පනත් උල්ලංඝනය කිරීම නිසා මන්ත්‍රී ධුරවලින් ඉවත් කර තිබේ.