
රට පුරා විසිරී සිටින තරුණ තරුණියෝ අටදහසක් පසුගිය විසිහත් වැනි දින වීරවලදී මෙවර යොවුන් පුරයට රොඳ බැඳ ගත්හ. ජාති ආගම්, පන්ති භේදයකින් තොරව එකට එක් වූ එම පිරිසට උතුරු නැගෙනහිර මෙන්ම විදෙස් රටවල් යෞවන යෞවනියන් ද එක්ව සිටීම විශේෂත්වයකි.
1984 දී ඇරැඹි යොවුන්පුරය සංකල්පය සඳහා මුල් වූයේ එවකට යෞවන කටයුතු හා රැකී රක්ෂා අමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතාය. රට පුරා යෞවන සමාජ පහළොස්දහසක් ආරම්භ කිරීම යෞවුන් පුරයේ මුල් පියවර විය. එම යෞවන සමාජවල සාමාජික සාමාජිකාවන්ට සාමුහිකව තම අදහස් හුවමාරු කරගනිමින් කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම යෞවුන්පුරය ඇරඹීමේ අරමුණ විය.
1984 දී පොලොන්නරුවේ පැවැත් වූ පළමු යොවුන්පුරයේ සිට පිළිවෙළින් කුලියාපිටිය, මාතලේ, අනුරාධපුර, මහියංගණය යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. 1989 න් පසු වසර 27 ක දිගු විරාමයක් ලද යොවුන්පුරය, නැවත 2016 වසරේදී ක්‍රියාත්මක කෙරිණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සීගිරිය කේන්ද්‍ර කරගනිමිනි. ඉන් අනතුරුව 2017 වර්ෂයේදී ත්‍රිකුණාමලයේදී ද, 2018 වර්ෂයේ නිකවැරටියේදී ද යොවුන් පුරය බළ මුළු ගැන්විනි. මෙවර එය හම්බන්තොට දිස්ත්‍රික්කය මුල් කර ගනිමින් වීරවිලදී අට දහසකට අධික තරුණ ප්රජාවකගේ සහභාගිත්වයෙන් ‘ජීවිතය ඇරඹුණා’ තේමාව වටා රොද බැඳ ගෙන ඇත.
දැඩි අව් රශ්මියක් පැවතුණද වීරවිලට එක් වූ යෞවන ජවය බිඳකින් හෝ අඩු කිරීමට එය අසමත් විය.
යොවුන්පුරය ආරම්භයේ සිට එය පරිපාලනය හා මෙහෙයවීම සුවිශේෂි යාන්ත්‍රණයත් මගින් සිදු වෙයි. යොවුන්පුරවාසි දිස්ත්‍රික් නායකයන් අතුරින් යොවුන් පුරපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සිදු කරයි. ඒ අනුව යොවුන්පුර භූමියේ සියලු කටයුතු පුරපතිවරයාගේ මෙහෙයවීම මත යොවුන්පුර නගර සභාව මගින් සිදු කරයි. මෙවර යොවුන්පුරයේ පුරපතිවරයා ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන සසංක බඳුගේ තේරී පත් විය.
යොවුන්පුර වාසීන් තම දිස්ත්‍රිකයේ අනන්‍යතාව පිළිඹිඹු වන අයුරින් අවම සම්පත් උපරිම අයුරින් භාවිත කර එකකට එකක් නොදෙවෙනි සේ නිර්මාණාත්මකව තම කඳවුරු භූමි නිර්මාණය කර තිබේ. අට දහසකට අධික තරුණ ප්‍රජාව කණ්ඩායම් 120කට බෙදා වෙන් කර තිබුණේ ඔවුන්ගේ මනාපය පරිදි ඒ ඒ ක්ෂේත්‍ර ඔස්සේ වැඩ සටහන් සඳහා යොමු වීමට අවස්ථාව ලබා දීමටය.
එක් පසෙකින් නර්තනය හඳාරන පිරිස වෙනුවෙන් තම කුසලතා ඔප් මට්ටම් කරගැනීමට ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ගුරුහරු කම් ලබා දීම තිබිණි. තවත් පසෙක වූ ජන ගායනා සඳහා යොමු වූ තරුණ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ වැඩ සටහන සමස්ත යොවුන් පුරවාසීන්ගේම රසවින්දනය ඉහළ දැමීමට සමත් වූ වැඩ සටහන් බවට පත් විය.
යොවුන් පුර ගුවන් විදුලියේ යොවුන්පුර වාසී නිවේදක නිවේදිකාවෝ ප්‍රවීණයන්ට නොදෙවෙනි ආකාරයෙන් වැඩසටහන් ඉදිරිපත් කළහ.
ගිනි අව්ව ගැන කිසිඳු තැකීමක් නොකළ යොවුන්පුරවාසීන් වොලිබෝල් තරගාවලිය සඳහා වැඩි අවධානයක් යොමු කර තිබිණි. ඒ සඳහා ගුවන් හමුදා සාමාජිකයන්ගේ සහයද ලැබිණි.
යොවුන්පුරයේ නිල මුද්‍රිත මාධ්‍ය මෙහෙවරේ යෙදෙන ලේක්හවුස් ආයතනය මාධ්‍යයට ළැදි තරුණ කණ්ඩායම් වෙනුවෙන් තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී මාධ්‍ය සාක්ෂරතාව හා රසවින්දනය පිළිබඳ වැඩමුළුවක් ක්‍රියාත්මක කළ අතර ඒ සඳහා රැස පුවත්පත මුල් විය.
යොවුන්පුර වාසීන්ගේ කඳවුරු භූමියට යාබඳව යොවුන්පුර ප්‍රදර්ශන භූමියද පිහිටුවා තිබූ අතර එය යොවුන්පුර වාසීන්ට මෙන්ම පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් විවෘතව පවතී. එහි රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන රාශියක් තම මෙහෙවර විදහා දැක්වෙන අයුරු ප්‍රදර්ශන කුටි ක්‍රියාත්මක කර තිබේ.
තරුණ පරපුරට නව ව්‍යවසායකයන් ලෙස අනාගතය ජය ගන්නට අවශ්‍ය දැනුම හා මඟ පෙන්වීම ලබාදීම වෙනුවෙන් ප්‍රදර්ශන භූමියේ වැඩි ඉඩක් වෙන්ව තිබීම සුවිශේෂි ලක්ෂණයකි. නවීන තාක්ෂණික දැනුම නව නිපැයුම්කරුවන් දිරි ගැන්වීම ද සිදු කෙරිණි. රැකියා අභිමුඛ වෘත්තීය පුහුණු පාඨමාලා පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම හා නිවැරදි වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමද කටයුතු යොදා ඇත.
සංගීත කණ්ඩායම් පිළිබඳ පුහුණු වැඩමුළුවට මෙන්ම නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩමුළුවට යොවුන්පුර වාසීන්ගේ ඉහළ ප්‍රතිචාරය හිමි විය. රාත්‍රි ගිනිමැල සංදර්ශන සංගීත ප්‍රසංග ඇතුළු වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක වීමේ සලකුණු ද යොවුන්පුර භූමියේදී අපට දැකගන්නට ලැබිණි.
අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මඟ පෙන්වීම මත ජාතික තරුණසේවා සභාවේ සභාපති අධ්යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලි අංග මහතාගේ මෙහෙයවීම මත මාස දෙකක් වැනි කෙටිකාලයක් තුළ යොවුන්පුරය පැවැත්වීමට කටයුතු සංවිධානය කෙරිණි.
අට දහසකට අධික දෙස් විදෙස් තරුණ තරුණියන් පිරිසක් එක් අරමුණක් වෙනුවෙන් කඳවුරු ගත කිරීම අභියෝගාත්මක කටයුත්තකි. ජාතික තරුණසේවා සභාව සහ යෞවන සමාජ සම්මේලනය එම අභියෝග සාර්ථකව ජය ගන්නට සමත්ව ඇත.
ඡායාරූප ශාන් රූපස්සර