
රශ්මිගේ නෙත්වල ඇත්තේ උතුරා යන සතුටය. ඒ සතුට කියමින් ඇත්තේ ඇගේ කැපවීමේ උත්සාහයේ හා ධෛර්යයේ පලයයි. රශ්මි නිමේෂා යන නම ඇසූ පමණින් අපට මතක් වන්නේ සමනල තටු චිත්‍රපටයේ රඟන සුරතල් දියණියයි. ඇයට උපතින්ම දෑත් අහිමිය. එහෙත් ඇය තුළ විශේෂත්වයක් තිබිණි. ඇය කිසිම මොහොතක ඒ අහිමි වීම ජීවිතයේ අඩුවක් බවට පත් කර නොගත්තාය. මේ දිරිය දියණිය ගැන මීට පෙර කිහිපවතාවක්ම අපි ලියා ඇත්තෙමු. අදත් අපි රශ්මි පිළිබඳ ලිවීමට ප්‍රස්තුත මතු වී තිබේ. ඒ ඇය ඇගේ ජීවිතයේ තවත් ජයග්‍රාහි කඩඉමක් පසු කළ නිසාය.
2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වූයේ පසුගිය සිකුරාදාය. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි රශ්මි දියණිය A සාමර්ථ්‍ය අටක් ලබා ගනිමින් ඉහළින් සමත් වී සිටියාය. ඒ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටිමිනි. ලංකාවේ ඉහළම ලකුණු ගත් දූ දරුවන් ගැන කතා කරන අභිමානයෙන්ම රශ්මි ගැනත් සමාජය කතා කළේය. ඒ ජීවිතය යනු කුමක්දැයි නැවත වරක් මේ මන්දෝත්සාහී ලෝකයට කියා දී තිබුණු හෙයිනි.
රශ්මි සිය ජයග්‍රහණය සම්බන්ධව අපට කියන්නේ පිරී යන සතුටිනි. “මට හරිම සතුටුයි අද. මගෙ අම්මා, අප්පච්චි, අක්කා මා වෙනුවෙන් හුඟක් කැප වුණා. ඔවුන් ආදරයෙන් මා ගැන බලනවා. ඒ වගේම තමයි මගේ ගුරුවරු . ඔවුන් මට බොහෝම උනන්දුවෙන් ඉගැන්නුවා. ඒ ඉගැන්වීමේ ප්‍රතිපල තමයි අද මම ලබාගෙන තිබෙන්නේ. මම කිසිම දවසක බැහැයි කියලා හිතුවේ නැහැ. ඉස්කෝලෙදි යාළුවෝ මට උදව් කරනවා. ඒ හැමෝටම බොහෝම පින්
ඇයට මනුෂ්‍යත්වය හඳුනන දරු දැරි පිරිසක් මිතුරු ඇසුරට ලැබී තිබිණි. එමෙන්ම ඇය සතු ආත්ම විශ්වාසය ඇය සාමාන්‍ය දරුවෙකුසේ සැලකීමට ඇගේ මිතුරු සමාජයට බල කර තිබිණි.
“මම හොඳින් පාඩම් කෙරුවා. විභාගයේදි මට වැඩිපුර වේලාවක් ලැබුණා. ඒ වේලාව ලැබෙන එක බොහෝම වටිනවා. ඒ මම කකුලෙන් ලියන නිසා. හැබැයි කකුලෙන් ලියනවා කියන එක මට හරිම සාමාන්‍ය දෙයක්. දැන් ඒක කිසිම විශේෂයක් නෑ. වේගය සම්බන්ධව පොඩි ගැටලුවක් තියනවා. එච්චරයි.” රශ්මි පවසන්නීය. අඳෝනා නොනඟා ජීවිතයට අභියෝග කරන්නට ශක්තියක් ඇති මිනිස්සුන්ට ඒ සඳහා විකල්ප ඕනෑ තරම්ය.
රශ්මි ඇහැලියගොඩ මධ්‍යමහා විද්‍යාලයට පැමිණෙන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙනි. ඇය ශිෂ්‍යත්වයට පෙනී සිටියේ දෙල්ඔළුව කනිෂ්ඨ විද්‍යාලයෙනි. එම පාසලේ ශිෂ්‍යත්වය සඳහා පෙනී සිටි දරුවන් දාහතර දෙනා අතරින් සමත් වූ එකම දරුවා රෂ්මිය. 2012 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඇය ලබාගත් ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 153කි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට සමත් වූ දරුවන් අතරින් රශ්මි විශේෂය. සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගත් දැරිය තරමටම රශ්මිගේ ජයග්‍රහණයත් විශේෂය. ඒ ඇය ජීවිතයට අභියෝග කර ජයග්‍රහණය සනිටුහන් කරගෙන ඇති නිසාය. තමන් ද අනෙක් අයට සම දැරියක බව අභිමානයෙන් ප්‍රකාශ කර ඇති නිසාය. ඒ ප්‍රකාශනය විශේෂ අවශ්‍යතා සහිත දරු ප්‍රජාව සම්බන්ධව අලුත් ප්‍රවේශයකින් දකින්නට සමාජයට බල කර ඇති නිසාය.
“ මම එක දෙයක් දන්නවා. මේ ලෝකේ කාටවත්ම හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. මම මාව අභියෝගයක් කරගත්තා. පොඩි කාලේ ඉඳලාම මම අකුරු ලියන්න හුරුවුණා. ජීවිතේ අභියෝගයක් වුණාට මම ඒ අභියෝග ජයගන්න කැප වීමෙන් වැඩ කළා. මගෙ අම්මා ධම්මිකා ගුණවර්ධන. තාත්තා සරත් ගුණවර්ධන. ඒ දෙදෙනාම ගුරු වෘත්තියේ නියැළෙනවා. මම විභාගය කියලා ඒ ගැනම හිත හිතා හිටියේ නැහැ. ටීවී බැලුවා. පාසලේ එදිනෙදා දෙන වැඩ කළා. මම බලාපොරොත්තු වෙන්නේ වාණිජ අංශයෙන් උසස්පෙළ සඳහා ඉගෙනුම ලබන්න. ”
රශ්මි දියණියගේ කතාව තිරය. බලාපොරොත්තු සහගතය. ජයග්‍රහණය පිළිබඳ නොසැලෙන විශ්වාසයක් දනවනසුලුය.
“පුතේ... අපි ඒලෙවල් ඉවර වුණාට පස්සෙත් මෙහෙම ලිපියක් ලියමු.” මම ඇයට කීවෙමි. ඇය සිනා වැස්සක් වැගිරුවාය. ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය හේමාලි රාජගුරු මහත්මිය ය. ඇය ආඩම්බරයෙන් පවසන්නේ මේ දියණිය පාසලට සම්පතක් බවය.
‘රශ්මි දුව උසස් පෙළ විභාගයෙනුත් ඉහළ ප්‍රතිඵල ගනිවී කියලා මම විශ්වාස කරනවා. ඇත්තෙනම ඇය දිරිය දියණියක්. ශාරිරික අඩුපාඩු තිබුණට ඇය ජීවිතයේ පසුගාමි අදහස් තියෙන දරුවෙක් නෙමෙයි. රශ්මි දුව ඉගෙනීමට වගේම ගායනයටත් දක්ෂයි. ඇය මේ වන විට සංගීත ප්‍රසංග කිහිපයක්ම පවත්වා තිබෙනවා. ඇගේ අලුත්ම ප්‍රසංගය තමයි රශ්මිධාරා . ඇය ධනාත්මක චින්තනය ගැනත් මෙහිදි කතා කරනවා. රශ්මි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. රශ්මි කියන්නේ කාටත් ආදර්ශයක් ගත හැකි දරුවෙක්. ඇය අපේ පාසලටත් රටටත් ආඩම්බරයක් කියලයි මම විශ්වාස කරන්නේ.” ඇයගේ හඬෙහි ඇත්තේ මවකගේ කරුණාවය.
රශ්මි ගැන පමණක් නොව රශ්මිගේ ආදරණිය මවුපියන් ගැන ද වචනයක් නොකියා බැරිය. දෑත් දෙපා හොඳින් තිබෙන දරුවන් මඟ අතහැර දමා යන යුගයක, දෑතට ගත් මලක් මෙන් රශ්මි දියණිය සුරකිමින් පෝෂණය කරමින් ඇගේ හෙට දවස පැහැබර කරන්නට වෙහෙසෙන මේ මවුපිය දෙදෙනා බෝසත් කුලයේ ඇත්තෝය. රශ්මී දැන් ප්‍රකට කරන්නේ ඔවුන් විසින් ඇය තුළ ඉපදවූ ආත්ම විශ්වාසයේ ප්‍රමාණය ය.
“මට දැනෙන්නේ මම සාමාන්‍යයි කියලයි. නික් ජේම්ස් (ලොව දිනූ ආබාධිත උපාධිධාරියා) වගේ අයගේ වැඩසටහන් බලලා මම ගොඩාක් දේවල් තේරුම් ගත්තා. මම හැමෝටම කියන්නේ කිසි දේකින් සැලෙන්න එපා. ඒවා අභියෝග ලෙස බාරගෙන ජීවිතේ ඉදිරියට යන්න.”
ඇය යළි යළිත් සනාථ කරමින් ඇත්තේ බැරිකම යනු හුදු මානසික ව්‍යාධියක් පමණක් බවය.
ඉසවි
(පසුබිම් තොරතුරු - තුෂාර හෙට්ටිආරච්චි)