
රජිත ජාගොඩ ආරච්චි සහ මනෙෂ්කා බෝරම් (මන්නාරමේ සිට)
ඒ, එක්දහස් නවසිය අනූවේ ඔක්තෝබර් 28 දා ය. දෙමළ ඊලාම් විමුක්ති කොටි හෙවත් එල්ටීටීඊ සංවිධානය උතුරේ හුන් මුස්ලිම් ජාතිකයන්ට පැය විසි හතරක් ඇතුළත තමන් ජීවත් වන ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝගයක් නිකුත් කර තිබිණි.
උතුරේ වැඩිපුර මුස්ලිම් ජාතිකයන් උන්නේ මන්නාරම් දිස්ත්‍රික්කය තුළය. එමෙන්ම සමස්ත උතුරු පළාතේ ම මුස්ලිම් බහුතරයකින් සමන්විත එකම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වූයේ මුසලි ය. එහි කෙළවරේ විල්පත්තුවට මායිම්ව පිහිටි මරිච්චුකඩ්ඩි ගමේ මොහොමඩ් තව්ෆීක් ද එදින තම පවුලේ සියලු දෙනා සමඟ විල්පත්තු කැලයට වදින විට ඔහුගේ වයස අවුරුදු විසි නවයකි. විල්පත්තු කැලය ඔස්සේ දුෂ්කර ගමනකින් පසු ඔහු, තම පවුලේ උදවිය මෙන්ම ගමේ හිතවතුන් සමඟ පුත්තලමට ළඟා වුණේය. තම මුල් බිම් අහිමි වුණු ඔහුට ඉන්පසුව අවුරුදු විස්සක් ජීවිතය ගෙවන්නට සිදු වූයේ උපන් බිමේ අනාථයෙකු ලෙසිනි.
වසර විස්සකට පසු යළි තම උපන් ගම වූ මරිච්චුකඩ්ඩි වෙත පැමිණි තවුෆීක්ට මෙන්ම ඔහුගේ ගමේ සියලු දෙනාටමත් තමන්ට පදිංචිව සිටි ඉඩම් නැවත ලැබිණි. එහෙත් විල්පත්තුවේ මායිම් ගම්මානයක් වූ මරිච්චුකඩ්ඩි ඔවුහු නැවත එද්දී විල්පත්තුවට ම ඇඳූණු රූස්ස කැලයක් බවට පත්ව තිබිණි. එහෙත් එවකට නැවතපදිංචි කිරීමේ ඇමැතිවරයා වූ රිෂාඩ් බදියුදීන් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ මෙහෙයවීම මත මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් නැවත පදිංචි කිරීමට අදාළ ඉඩම් එළිපෙහෙළි කරදීම සිදු විය.
අපට තවුෆීක් හමු වන විට ඔහු සිටියේ තම නිවස ඉදිරියේ තැනූ කුඩා මඩුවක ය. මාර්තු මාසයේ ලංකාවේ උෂ්ණත්වය වැඩිම තැනක සිටින තවුෆීක් සහ ඔහුගේ බිරිය දහවල දාහයෙන් මිදෙන්නට වියළි සුළඟ සැපක් කරගනිමින් මඩුවේ සෙවණට වී විවේක සුවයෙන් උන්හ.
“අස්සලාම් අලිකුක්ම්!” (ඔබට සාමය උදාවේවා) ඔහුගෙන් අපට ලැබුණේ සුහද පිළිගැනීමකි. “මේවා අවුරුදු සීයකටත් වඩා කාලයක් තිස්සේ අපේ පවුලට උරුම වෙලා තිබුණු ඉඩම්. මගේ ළඟ ඔප්පු තිරප්පු සේරම තියෙනවා. අවුරුදු සීයකට වඩා පරණ මුස්ලිම් පල්ලියකුත් අපේ ගමේ තියෙනවා” ඔහු කීය.
යුද්ධයේ නිමාවෙන් පසු ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ මෙහයවීමෙන් පලායිකුලි (අක්කර 100), මරිච්චුකඩ්ඩි (අක්කර 100), කරඩික්කුලි (අක්කර 80) යන මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන තුනක අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු ආරම්භ වී තිබිණි. ඒ 2011 වසරේ අගෝස්තු මාසයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උතුරේ තම රාජකාරි ආරම්භ කරන්නට වසර දෙකකට පමණ පෙරාතුව ය. එනම් යුද්ධය නිමවූ හැටියේදීම ය.
එම පාරම්පරික මුස්ලිම් ජනාවාස, යුද්ධය පැවති සමයේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරාගෙන තිබුණු බව ද 2015 වසරේදී එම දෙපාර්තමේන්තුව විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යවන ලද ලිපියක සඳහන් වේ.
තවද එම ලිපියේ දැක්වෙන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් යුත් නැවත පදිංචි කිරීම, සංවර්ධනය හා ආරක්ෂාව පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකාය විසින් 2012 වසරේ නොවැම්බර් මස 22 දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවැති එම ඉඩම් නැවත පදිංචිකිරීම් කටයුතු සඳහා ලබාදෙන ලෙස නිර්දේශයක් ද නිකුත් කොට තිබිණි.
එම නිර්දේශය ප්‍රකාරව 2013 ජනවාරි 2 වැනි දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මන්නාරම දිසා වන නිලධාරී වෙත ඊට අදාළව ඉඩම් නිදහස් කිරීමේ නියෝගය නිකුත් කොට තිබේ.
ඉන් අනතුරුව බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කාර්ය සාධක බළකාය විසින් මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉහත කී අක්කර 100ට අමතරව තවත් අක්කර 1635ක් මුදාහැරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි. ඊට ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුමැතිය දී තිබුණේ අදාළ ඉඩම් මාර්ග සංවර්ධන කටයුතු සඳහා එළිපෙහෙළි කර ඇති බැවින් තවදුරටත් වනාන්තර ලෙස කළමනාකරණය කළ නොහැකි බව දක්වමිනි.
ඒ අනුව ගත් කල මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ නිල වශයෙන් යළි එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් සිදු කරන ලද භූමි ප්‍රමාණය අක්කර 1735කි. එහිදී දළ වශයෙන් එක් පවුලකට නිවාස ඉදි කිරීම සඳහා අක්කර භාගයක් හා ගොවිතැන් කටයුතු සඳහා අක්කරයක් බැගින් බිම් කට්ටි ලබාදීමක් සිදු වූ බව ජනාධිපති කාර්ය සාධක බළකාය 2012 නොවැම්බර් 23 පරිසර අමාත්‍යංශ ලේකම්වරයා වෙත යැවූ ලිපියක දැක්වේ. මෙහිදී සැලකිය යුතු විශේෂ කරුණ වන්නේ එසේ එළිපෙහෙළි කරන ලද්දේ 1990ට පෙර ජනාවාසව පැවැති සහ යුද්ධය නිසා වල්වැදී ගිය භූමියක් යන්න ය.
එසේ පසුව තවත් ඉඩම් හෙළිපෙහෙළි කිරීමට හේතු වී තිබුණේ වසර විස්සක කාලය තුළ එහි හුන් ජනතාවගේ දෙවැනි පරම්පරාව ද එහි පදිංචියට පැමිණීම ය. මුසලි ප්‍රාදේශීය සභාවේ එජාප නියෝජිතයෙකු මෙන්ම මරිච්චුකඩ්ඩි ගම්වාසියෙකු වන කේ.එම්. ඉක්බාල් පවසන ආකාරයට 1990 උපන්බිමෙන් පලායද්දි ගමට තිබුණේ පවුල් 120කි. වසර විස්සකට පසුව නැවත පැමිණෙද්දි ආවාහ විවාහ සිදු වී පවුල් සංඛ්‍යාව 622 දක්වා වැඩි වී තිබිණි.
“අපිට කැලෑ ඉඩම් ඕන නැහැ. අපි ලබාගත්තේ අපේ පාරම්පරික ඉඩම් පමණයි. අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ ජනාධිපතිතුමාව මුණගැහෙන්න බලාගෙන ඉන්නවා. කාදර් මස්තාන් මන්ත්‍රීතුමාටත් අපි ඒ ගැන දැනුම් දුන්නා. නමුත් තවම ජනාධිපති කාර්යාලෙන් අවස්ථාවක් ලැබුණෙ නැහැ “තවුෆීක් පැවසීය.
තවුෆීක්ගේ නිවසට ඔබ්බෙන් විල්පත්තුව දෙසට තවත් නිවාස දෙක තුනක් තිබුණු අතර එම නිවාසවලින් පසු විල්පත්තු මායිමට තවත් කිලෝමීටර තුනක පමණ දුරක් තිබිණි. විල්පත්තු මායිමේ ඇත්තේ නාවික හමුදාවේ කුඩා මුරපොළකි. මුරපොළට ඉදිරියේ මෑතක තැනූ බුදු පිළිමයකි.
මුසලි කොට්ඨාසය ගැන කතා කිරීමේදී අමතක කළ නොහැකි විශේෂිතම කරුණ වන්නේ, ඊට විල්පත්තුවේ කිසිදු භූමියක් අඩංගු නොවීම ය. විල්පත්තු වන විනාශයක් ගැන පරිසරවේදීන් මෙන්ම ෆේස්බුක් වීරයන් කෑගැසුව ද මුසලි කොට්ඨාසය තුළ විල්පත්තුවට අයත් එකදු ගසක් හෝ නැත. මන්ද පුත්තලම දිස්ත්‍රික්කයත්, මන්නාරම දිස්ත්‍රික්කයත් වෙන් කරන මෝදරගම් ආරුව විල්පත්තුවේ ද මායිම වන බැවිනි.
උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර නායක හිමියන් පවසන ආකාරයට විල්පත්තුව විනාශ වීමක් පිළිබඳ සිදු වන කතාබහ පිටුපස ඇත්තේ ජාතිවාදය අවුළුවාලීමේ පටු උත්සාහයකි.
“අපි අවුරුදු ගාණක් තිස්සේ සහජීවනය ගැන කතා කළා. අපි විශ්වාස කරන බුදුදහම තුළ අන්තර්ගත පණිවුඩයත් එයම යි. බුදුදහමෙන් කිසිදු මිනිසෙක් වර්ග කරන්නේ නැහැ. ඒ ධර්මය නිසා තමයි එල්ටීටීඊ ඉද්දි වුණත් අපි කරදරයක් නැතිව වවුනියාවේ හිටියේ”
වවුනියාව නගර මධ්‍යයේ ඇති ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේ උන්වහන්සේ වැඩ සිටි විහාරයට අප එහි යන විට උතුරු පළාත් බොදු සමුළුව වෙනුවෙන් ලහියේ කටයුතු සූදානම් කරමින් තිබිණි. නායක හාමුදුරුවන් ඉන්නා ඉසව්ව අසා දැනගත්තේ බෞද්ධ කොඩියක් එල්ලමින් සිටි දමිළ තරුණයෙකුගෙනි.
“මම විවෘතව අදහස් දක්වද්දි සමහරු දැන් ෆේස්බුක් එකට වෙලා මට අපහාස කරනවාත් මම දැක්කා. මම බදියුදීන්ගේ සල්ලිවලට කතා කරනවාලු. එහෙම කියන අයට මම කියන්න ඕනේ, ඔය සිංහල බෞද්ධයෝ කාටත් වඩා බදියුදීන් වවුනියාවේ පන්සල්වලට උදව් කරලා තියෙනවා. දැනට සක්‍රීය මට්ටමේ තියෙන වවුනියාවේ පන්සල් 14ට උදව් උපකාර කරපු එකම දේශපාලකයා තමා බදියුදීන්. ඒ මිනිහා ගාව ඔය කියන විදිහේ ජාතිවාදයක් මම නම් දැකලා නැහැ”
විමලසාර හිමියන් පවසන ආකාරයට යුද්ධයෙන් පසු වවුනියාවේ සිංහල ජනාවාස ඇති කරන ලද්දේ ද කැලෑ එළිකරමිනි. “අපිත් ඩෝසර් අරන් ගිහින් තමයි ඔය රන්කෙත්ගම එහෙම සුද්ද කළේ. මරිච්චුකඩ්ඩිවල නැවත පදිංචි කිරීම් වුණත් ඒ විදිහට නීත්‍යනුකූලව සිද්ධ වුණු බව තමයි මන්නාරම හිටපු දිසාපති දේශප්‍රිය මහත්තයා මා එක්ක කීවේ”.
“සිංහල ජනපද තියෙන පැතිවලත් වනාන්තර එළි වෙනවා. නමුත් විල්පත්තුව ගැන විතරක් කතා කරන්නේ ඇයි කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ. කවුරු මොනවා කිව්වත් මම විශ්වාස කරන දේ වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මොන අපවාදෙ ආවත් මට මාව නැති කරගන්න බැහැ” විමලසාර හිමියෝ කීහ.
අපි විල්පත්තුව එළි කරනවා කියලා කතා කරන අයට මම කරුණාවෙන් කියන්නේ මෙහෙට එන්න කියලයි. කවුරුවත් කියන දෙයක් අහගෙන ඒවා විශ්වාස කරන්නෙ නැතිව මෙහෙට ඇවිල්ලා ඇස් දෙකෙන්ම අපේ ගම්මානෙ දැකබලාගන්න කියලයි“ සමුගන්නා මොහොතේදී තවුෆීක් පත්තර පිටු මත තබන්නට දුන් පණිවුඩය එයයි.
සේයාරූ - රුක්මාල් ගමගේ
2013න් පසු කිසිදු වනාන්තර එළිපෙහෙළි කිරීමක් සිදු වෙලා නෑ
වන සංරක්ෂක මහින්ද සෙනෙවිරත්න
විල්පත්තුව කියන්නේ අලුත් ප්‍රශ්නයක් නෙමෙයි. කොහොම වුණත් මාධ්‍ය නිසා මේ මාතෘකාව නැවතත් උඩට ඇවිත් තියෙනවා. ඔය චෝදනා කරන ආකාරයට මෑතකදී කිසිදු වනාන්තර එළිපෙහෙළි කිරීමක් මේ ආශ්‍රිතව සිදු වෙලා නැති බව මම කිව යුතුයි. යුද්ධය අවසන් වූ විගස උතුරු පළාතේ සිවිල් පරිපාලනය පිහිටුවලා තිබුණේ නැහැ. ඒ නිසා නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා ඉඩම් නිදහස් කිරීම දුෂ්කර කාර්යයක් වුණා. ඒ නිසා එවකට රජය විසින් ඉඩම් මුදාහැරීම වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා නීත්‍යනුකූලව කටයුතු සිදු කෙරුණා.
එම කාර්ය සාධක බළකායට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ (සභාපති), හිටපු සිවිල් නිලධාරී එස්.බී. දිවාරත්න (ලේකම්), තවත් අමාත්‍යංශ 10ක ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, දිස්ත්‍රික් ලේකම් සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක් අන්තර්ගත වුණා.
නැවත පදිංචි කිරීම් සියලුම කටයුතු සිදු වුණේ මේ කාර්ය සාධක බළකායේ මෙහෙයවීමෙනුයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2012 වසරේ දී උතුරු පළාතේ වැඩකටයුතු ආරම්භ කළාට පසුව වනාන්තර හෙළිපෙහෙළි කිරීම ගැන විශේෂ අවධානයකින් පසු වුණා. 2012 ජූලි මාසයේදී අදාළ ජනාධිපති කාර්ය සාධක බළකාය අපව රැස්වීමකට කැඳවමින් නැවත පදිංචිකිරීම් කටයුතු සඳහා අපගේ සහායත් ඉල්ලා සිටියා.
ඒ වන විට මන්නාරමේ මුසලිහි ස්ථාන 10ක් කමිටුවක් මඟින් පරීක්ෂා කෙරුණා. එහිදී තීරණය කෙරුණේ මුසලිහි අක්කර 1,080ක ප්‍රමාණයක් නැවත පදිංචි කිරීම් සඳහා සුදුසු බවයි. කොහොම නමුත් කාර්ය සාධක බළකාය අප දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේ එම ඉඩම් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බවයි.
එහිදී ඔවුන් ඉල්ලා සිටි අතිරේක ඉඩම් ප්‍රමාණය ඒ වන විටත් ඝන වනාන්තර කලාපයක්. ඔවුන්ගේ ඉල්ලීම වූයේ වැඩිපුර අක්කර 2007ක්. සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව ස්ථාන දෙකකින් අක්කර 770ක් සහ අක්කර 650ක් ලබාදෙන්න අපි එකඟ වුණා.
ඒ අනුව විල්පත්තුවට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර 1700ක් අවස්ථා දෙකකදී මුදාහරින්න අපි පියවර ගත්තා. ඒ 2013 ජනවාරි පළමු වැනිදා අක්කර 1080ක් සහ 2013 මැයි 8 වැනි දා ඉතිරි අක්කර ප්‍රමාණය වශයෙනුයි.
ඉන් අනතුරුව කිසිදු බිම් ප්‍රමාණයක් මිනිස් ජනාවාස සඳහා හෙළි කිරීමට අපි අවසර දී නැහැ. 2015දීත් මේ ආකාරයෙන්ම විල්පත්තුව එළි කරන බවට මාධ්‍ය රාවයක් පැතිර ගියා. ඒ අනුව ජනාධිපතිවරයා විශේෂ චක්‍රලේඛයක් මගින් වනාන්තර ඉඩම් මුදාහැරීම අත්හිටවූවා. නමුත් 2013 වසරෙන් පසුව කිසිදු ඉඩම් මුදාහැරීමක් සිදු කර නැහැ.
උතුරේ වනාන්තර පද්ධතිය ආරක්ෂා කරගැනීමට අපි හැකි උපරිමය සිදුකරනවා.
යුද්ධයෙන් අවතැන් නොවූ අයත් ඉඩම් හෙළිපෙහෙළි කරලා
සුරකිමු ශ්‍රී ලංකා සභාපති පාහිංයගල ආනන්ද සාගර හිමි
මන්නාරමේ වන සංහාරය ගැන අපි අවුරුදු ගණනාවක් තිස්සේ හඬ නඟලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ජනාධිපතිවරයා මාවිලු, කල්ආරු සහ ඒ ආශ්‍රිත අක්කර ලක්ෂයක භූමියක් ගැසට් නිවේදනයක් මඟින් වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ දැනටමත් එළි කළ බිම් කොටසට අමතරවයි. ඊට මරිච්චුකඩ්ඩි, මාවිලු, පෙරියමරිච්චි සහ තවත් රක්ෂිත දෙකක් ඇතුළත්. ඊට එරෙහිව විශාල ප්‍රතිවිරෝධතාවක් මතු වුණත් එය පරිසරවේදීන් ලෙස අපේ ජයග්‍රහණයක්. කොහොම නමුත් විගණන වාර්තාවේ දැක්වෙන විදිහට නැවත පදිංචි කිරීම් සඳහා ලබාදුන් ඉඩම් යැයි පවසමින් පිරිසක් එම ප්‍රදේශවලට ඇතුළු වෙලා තිබෙනවා.
විගණන වාර්තාවට අනුව එසේ වනාන්තරය හෙළි කර තිබෙන්නේ නැවත පදිංචි කළ පිරිසගේ දෙවැනි සහ තෙවැනි පරම්පරායි. එ් අනුව නැවත ඉඩම් හෙළිපෙහෙළි කළ පිරිස යුද්ධයෙන් අවතැන් වූවන් නොවෙයි. කොහොම වුණත් වනාන්තරය දරුණු විදිහට විනාශ වී ඇති බව පැහැදිලියි.
වැලිඔය සහ මුසලි ප්‍රදේශවල කර්මාන්තපුරයක් ආරම්භ කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කෙරෙන්නේ 2014 වසරේදීයි. එය 2016 වසරේදී නැවත පදිංචිකිරීමේ කමිටුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. 2016 මැයි 26 පළමු පියවර ලෙස යෝජිත අක්කර 75න් අක්කර 25ක් ඒ සඳහා මුදාහැර තිබෙනවා.
අපි මේකට විරුද්ධයි. එසේ අක්කර 75ක් හෙළි කිරීමට ඉඩ තැබූවහොත් තවත් වනාන්තරය විනාශ වනු ඇතැයි අපට සැකයක් පවතිනවා. අනෙක් අතට ජෛව සංවේදී කලාපයක කර්මාන්ත කලාපයක් ඇති කරන්නේ ඇයි කියන එකත් ගැටලුවක්.
විල්පත්තුවට අමතරව කන්නෙලිය වගේ වෙනත් වටිනා වනාන්තරත් විනාශ වීමේ තර්ජනයට ලක් වෙලා.
සමහරුන් අපිට ජාතිවාදීන් යැයි හංවඩු ගැහුවත් අපි මේ දේවල් කරන්නේ අපේ රට සහ පරිසරයට තියෙන ආදරය නිසායි. අපි කිසිදු කටයුත්තකදී ජාතිවාදීව කටයුතු කරලා නැහැ.
අරුවක්කාලු සහ එහි අහිතකර ප්‍රතිඵල පිළිබඳ මුලින්ම කතා කළේත් අපියි. ඔවුන් අපව ජාතිවාදීන් විදිහට ලේබල් ගැසුවත් අපි මේ කටයුතු නවත්වන්න සූදානම් නැහැ.
2015න් පස්සෙ කිසිදු වන භූමියක් හෙළි කරලා නැහැ කියනවා නම් එහෙම කියන අයට මාව මුණගැහෙන්න කියලා මම කියනවා. 2016 වසරේදී විලයට්ටි කුලම් නමින් හෙළි වූ ප්‍රදේශය ගැන තොරතුරු දෙන්න මම සූදානම්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවා ඒ ගැන දැනුවත්ව හිටියේ නැහැ. මේ හෙළි කිරීම් සිදු වී තිබෙන්නේ ජනාධිපතිවරයා වන සංරක්ෂණ කලාපය ලෙස නම් කළ ප්‍රදේශයේයි.
මරිච්චුකඩ්ඩිවල තියෙන්නේ අවාසනාවන්ත තත්ත්වයක්. කල්ආරු ගඟ වසරකට කිහිප වතාවක් පිටාර ගලන නිසා ගස් සහ ලඳු කැලෑ වැවිලා තිබුණා. ඒ නිසා මිනිස්සු බොහෝමයක් මේ ප්‍රදේශය අත්හැරලා ගියා. අපි ඉල්ලන්නේ මේ ගම්මානය සිලාවතුර ප්‍රදේශයට ගෙනයන ලෙසයි. මුස්ලිම් ගම්මානයක් ඉදි කිරීමට අපි විරුද්ධ නැහැ. අපේ ප්‍රශ්නය තියෙන්නේ අදාළ ගම්මානය ඉදි කරලා තියෙන තැන සම්බන්ධයෙනුයි.