කොට්ටාව - මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය | සිළුමිණ

කොට්ටාව - මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය

මනා ප්‍රවාහන සැලැස්මක් රටකට අත්‍යවශ්‍ය වේ. අධික වියදම් දරා පරිසරයට හානි කරමින් අධිවේගී මාර්ග පද්ධති ඉදිකිරීම, කුඩා මෝටර් රථ වැඩිපුර මාර්ගයට එක්කිරීම වැනි විසඳුම් ප්‍රායෝගිකව ශ්‍රී ලංකාවේ සාර්ථක වී නොමැති බව පෙනේ. ඒ අනුව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක බස්නාහිර පළාත් මහා නගර සංවර්ධන සැලැස්මට අනුව එක් ප්‍රධාන අංශයක් වනුයේ සුහුරු නාගරික පද්ධතියට ගැලපෙන ලෙස තිරසර ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීමයි. ප්‍රවාහන ක්ෂේත්‍රය දියුණු රටවල් එම මට්ටමට ළඟාවී ඇත්තේ රටට ගැලපෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරමින්, දිනෙන් දින වැඩිවන ජනගහණයට සාපේක්ෂව නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්ය

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා වැඩසටහන් රාශියක් මේ වන විට ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇත. ඒ අනුව බස් ප්‍රමුඛතා මංතීරුව, සහසර ව්‍යාපෘතිය ආදිය ක්‍රියාත්මක කර සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන ව්‍යාපෘති වන්නේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඇතිකිරීමයි. මේ වන විට පිටකොටුව, මහනුවර, බත්තරමුල්ල නගරයන් කේන්ද්‍ර කරගනිමින් ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කොට ඇති අතර, එහි මූලික අදියරයේදී ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස කොට්ටාව - මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය අද ( 31 ) දින ජනතා අයිතියට පත් කෙරේ. මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය නංවාලීම සඳහා නවීන ක්‍රමවේදයන් භාවිත කරමින් ඉදි වූ මෙම ප්‍රවාහන මධ්‍යස්ථානය ශ්‍රී ලාකේය සුහුරු ප්‍රවාහනයේ නව යුගය ආරම්භ කෙරෙණු ඇත. මහනගර ඇමති චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙම බහුමාදිලි ප්‍ර වාහන මධ්‍යස්ථානය නිර්මාණය වී ඇත.

මහානගර සංවර්ධන අමාතංශය යටතේ ක්‍්‍රියාත්මක මහකොළඹ ප්‍රවාහන ජාල වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ජාත්‍යන්තර ප්‍රමිතියට ඉදි වූ ප්‍රථම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය වේ. බස්රිය, දුම්රිය ප්‍රවාහන පහසුකම් හා වාහන නැවතීමේ පහසුකම් ආදී අනෙකුත් ප්‍රවාහන සේවා එකම ස්ථානයකින් ලබාගත හැකිවීම, දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ඇදෙන වාහන මෙම මධ්‍යස්ථානයේ නවතා දුම්රිය හෝ බස්රිය භාවිත කරමින් තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට හැකිවීම. මෙන්ම නව දුම්රිය හා බස්රථ පර්යන්ත දෙකකින් හා රථවාහන ගාල් කිරීමේ පහසුකම් ද මෙහි පවතී

එමෙන්ම විධිමත් නඩත්තු හා කළමනාකරණ ක්‍රමවේදයක් ද මෙහි ස්ථාපිත කර ඇත. මෙහි සූර්ය බලශක්තිය මගින් සියලු බල ශක්ති වුවමනාවන් සපයා ගැනීම ද විශේෂත්වයකි. මෙම ගොඩනැගිල්ලේ වහලය මත ස්ථාපිත සූර්ය කෝෂ මගින් කිලෝවොට් 180 ක් විදුලිය උත්පාදනය කිරීමටද නියමිතය.

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ මූල්‍ය දායකත්වය සහ ලංකා රජයේ ආයෝජන යටතේ රුපියල් බිලියන 2000 ක ආයෝජනයකින් මෙය ඉදිවිය. ඩිජිටල් පුවරු මතින් නිරන්තරයෙන් ප්‍රවාහන සේවා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මගින් මගීන්ට අවශ්‍ය දුම්රිය හෝ බස්රිය එම මොහොතේ ඇති ස්ථානය දැනගැනීමට, අන්තර්ජාලය මගින් ටිකට්පත් වෙන් කිරීම, දුම්රිය සහ බස්රියට එකම ප්‍රවේශ පතකින් ගමන් කළ හැකිවීම. ස්වයං ප්‍රවේශපත්‍ර. ලබාගැනීමේ පහසුව, විධිමත් ලෙස ගමන් මලු ප්‍රවාහනය කිරීමේ පහසුකම්, විවේකාගාර, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම බැංකු පහසුකම්, ආපන ශාලා, ජනතාවට අවශ්‍ය බිල්පත් ගෙවීමේ මධ්‍යස්ථාන, ආදී පහසුකම් රැසක් ලබා ගත හැක. අතිශය කාර්ය බහුල ජනතාවට මහ මගට ගතවන කාලය, කලට වෙලාවට තම ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම වැනි අනෙකුත් පහසුකම් නවීන තාක්ෂණය මේ තුළින් සපුරා ගැනීමට හැකිවීම මින් ඉටුවන ජනතා ප්‍රතිලාභයන්ය. ඉදිරියේදී සැහැල්ලු දුම්රිය පද්ධතියක ආරම්භය ද මෙම ස්ථානයෙන් සනිටුහන් වේ.

අද දින අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත්වන කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිරියේදී රටපුරා ඉදි කිරීමට යෝජිත ප්‍රධාන බහුවිධ මධ්‍යස්ථානවලට ද ශක්තිමත් ආදර්ශයක් වනු නොඅනුමානය. රටකට විධිමත් නාගරික පද්ධතියක් සේම ප්‍රවාහන ක්ෂේත්‍රය ද රටේ ඉදිරි ගමන කෙරෙහි බලපාන තීරණාත්මක සාධකයක් වේ.

ජායාරූප - සුදත් නිශාන්ත

Comments