
ඒ වර්ෂ 1975 වසරේ ජූලි මාසයේ 27 වැනිදාය. යාපනයේ සිටි අතිශය ජනහිතකාමී දේශපාලකයෙකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා යාපනයේදී ඝාතනය කර තිබිණි.
ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා 1960 සිට 1965 දක්වා යාපනය නගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් වූයේය. 1972 දී යාපනය නගර සභාවේ නගරාධිපති වූයේය. ජාතිවාදයේ අශිෂ්ටත්වය යාපනය තුළ මතු වී නොතිබුණු වකවානුවක ඔහු යාපනය නගරාධිපතිවරයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමිනි. එවකට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය දොරේඅප්පා අනුර බණ්ඩාරනායකයන්ගේ සමීප මිතුරෙක් ද වූයේය.
එහෙත් යාපනය මුල් කරගෙන නිර්මාණය වෙමින් තිබූ ජාතිවාදයේ ගිනි පුළිඟු විටින් විට දැල්වී නිවී ගියේය. දොරේඅප්පා නගරාධිපතිවරයා වූ අලුතම, එනම් වර්ෂ 1972 දෙසැම්බර් මාසයේ දී ඔහු මරා දැමීමේ අභිලාෂය සහිතව ඔහුගේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. දොරේඅප්පා ඝාතනය වන්නේ ඉන් වසර තුනකට පසුවය.
දොරේඅප්පා ඝාතනය වන්නේ දෙවියන් අභියසය. සෑම ඉරිදාවකම යාපනය, පොන්නාලෙයි කෝවිලට ගොස් දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීම ඔහුගේ ජීවිත චර්යාවේ කොටසක් වී තිබිණි. ඔහු ඒ ගමන යන්නේ සිය මෝටර් රථයෙනි. 1975 ජූලි මස 27 දා දෙවියන් වැඳීමට ගිය දොරේඅප්පාට කෝවිල ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එම වෙඩි ප්‍රහාරයෙන් ඔහු එතැනම මැරී වැටුණේය. නගරාධිපතිවරයා එන තුරු අසල තේ කඩයකට වී තේ බොමින් සිටි ඝාතකයා ඇතුළු කණ්ඩායම මිනීමරුමෙන් අනතුරුව නගරාධිපතිවරයාගේ වාහනය පැහැරගෙන පලාගොස් තිබුණ බව වාර්තා විය.
එම ඝාතනයේ මීනිමරුවන් සෙවීමට විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් යෙදවිණි. ඔවුහු මිනීමැරුම සිදුවූ පොන්නාලෙයි කෝවිලට අසල ස්ථානීය පරීක්ෂණ ආරම්භ කළහ. විශේෂ විමර්ශන සඳහා පොලිස් කණ්ඩායම් යෙදවිණි. ඊට අමතරව පොලිස් සුනඛයෙක් ද යොදවන ලදී. ඒ පොලිස් සුනඛයා රාජකාරියේ යෙදවූයේ එවකට යාපනය පොලිසීයේ සේවය කළ සාජන් කේ. කේ. ටී. විජයානන්දය.
එදා එම පරීක්ෂණට සම්බන්ධ වූ විශ්‍රාමික පොලිස් සැරයන් විජයානන්ද මහතා දැන් අප ඉදිරිපිටය. ඒ දොරේ අප්පා ඝාතකයා සම්බන්ධව ඔහු අත්දුටු ඔහුගේ අත්දැකීම අප සමඟ බෙදා ගන්නටය.
එක්දහස් නවසිය හතලිස් හතේ උපන් විජයානන්දගේ ගම දකුණු පළාතේ වැලිගමය. ඔහුගේ පියා ද පොලිස් නිලධාරියෙකි. විජයානන්දට මෙන්ම ඔහුගේ පියාටද කතාවක් ඇත.
“ මගේ තාත්තා සේවය කළේ පොලිසියේ සාජන් කෙනෙක් ලෙස. ඔහු කේ. කේ. චාල්ස් අප්පුහාමි. අපි හිටියේ ගාල්ල චීන කොටුවේ පොලිස් බැරක්කයේ. අපි පොඩි කාලේ තමයි ශ්‍රී කෝලාහලය තිබුණේ. ඒ කෝලාහලය නිසා තාත්තාට යන්න වුණා මඩකලපුව කෝච්චියේ ආරක්ෂාවට. ඒ ගිය ගමනෙදි කෝච්චිය පීලි පන්නලා තිබුණා. කෝච්චිය මඟදි පෙරළුණා. යකඩ උලක් ඇනිලා තාත්තා මැරුණා. එතකොට තාත්තාගෙ වයස අවුරුදු හතලිස් ගණනක්. තාත්තා නැති වුණේ 1958 මැයි 23 දා.
අපේ පවුලේ ඔක්කෝම හත්දෙනයි. මම පවුලේ පස්වැනියා. මගේ බාලම මල්ලි කැකුලාවල. ඔහු 1990 මාන්කුලම් ප්‍රහාරයේදි මියගියා. ඔහු හොඳ වොලිබෝල් ක්‍රීඩකයෙක්. මම පොලිසියට බැඳෙන කොට අවුරුදු විසි එකයි. තාත්තා මිය ගියාට පස්සේ අම්මගේ පැත්තේ තාත්තාගේ පැත්තේ වැඩිහිටියෝ තමයි අපිව බලා ගත්තේ. මගේ මුත්තා ගම්මුලැදෑනි කෙනෙක්. මාමත් ගම්මුලැදෑනි කෙනෙක්.”
විජයානන්ද කතාව ආරම්භ කළේය.
කොස්තාපල්වරයකු ලෙස පොලිසීයට බැඳෙන විජයානන්ද පොලිස් ස්ථාන කිහිපයකම රාජකාරිය කෙළේය.
“මගේ පළමු පත්වීම බොරැල්ල පොලීසියට. එතැනින් කුරුඳුවත්තට. ඉන් පස්සේ තමයි නිල සුනඛ අංශයට යන්නේ. ඒ කාලේ පොලිස් නිල සුනඛ එකේ ප්‍රධානියා එල්. එස්. බර්ටස් මහත්තයා. මගේ සුනඛයාගේ නම බුලට්. ඌ ඇල්ෂේෂන් බල්ලෙක්. පැටියා කාලේ බුලට්ව මම ඇඳේ පැත්තක නිදිකරවා ගන්නවා. මුලින්ම බුලට් හිටියේ මට වඩා සීනියර් කෙනෙක් වුණ තෙන්නකෝන් ගාව. බුලට් මගේ භාරයට එනකොට වයස මාස පහක් විතර ඇති. කොහොම හරි මට යාපනේ අලුතෙන් පටන් ගන්න නිල සුනඛ අංශයට යන්න වුණා. කවුරුවත් කැමති වුණේ නෑ යාපයේ යන්න. මායි මගේ සහායක විජේසිංහයි යාපනේ රාජකාරියට ගියා. විජේසිංහ ගාව හිටියේ බ්‍රයිට්. ඌව පුහුණු කරලා හිටියේ මත්ද්‍රව්‍ය අල්ලන්න.”
අපි යාපනේ පොලිසියේ රාජකාරියට ගියේ 1975 අවුරුද්දේ. යාපනේ යන කොට මට දෙමළ බැහැ. නමුත් විජේසිංහට වතු දෙමළ පුළුවන්. ඒ කාලේ ලංකාවටම DIG මහත්තුරු හිටියේ හතර දෙනයි. මිත්‍ර ආරියසිංහ මහත්තයා තමයි එතකොට එස්.පී මහත්තයා.
ජුලි 27දා නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මරලා කියලා ආරංචියක් ආවා. මරලා තිබුණෙ පොන්නාලෙයි කෝවිල ඉස්සරහදි. මට නියෝගයක් ලැබුණා ඉක්මනින් අපරාධ ස්ථානයට වාර්තා කරන්න කියලා. මිනීමරුවා සොයන්න මම බුලට්වත් අරගෙන යන්න වුණා. ඒ වෙන කොට සී.අයි.ඩී. එක ඇවිත් පරීක්ෂණ පටන් අරන් නෑ. ඒ වෙන කොට මුළු යාපනේම තිගැස්සිලා. මිනිස්සු තූෂ්ණිම්භූත වෙලා බලාගෙන ඉන්නවා පාර දෙපැත්තෙ. මොකද දොරේඅප්පා මහත්තයාට මිනිස්සු හරිම කැමැත්තෙන් හිටියෙ. මම බුලට්ට කානස් එක දාලා ලෑස්ති කළා. කානස් එක ඇඟට දැම්ම ගමන් එයා දන්නවා මේ යන්නේ රාජකාරියකට කියලා.
මිනීමැරුම සිද්ධ වෙච්චි තැනට ගියා. බුලට්ට ඉව කරන්න දෙන්න දෙයක් තිබුණෙ නැහැ. වාහනෙත් එතැන නෑ. ඝාතකයො වාහනේ පැහැරගෙන ගිහින්. අපි දැන් කීරමලේ පාරේ යනවා. ටිකක් දුර යනකොට තල් අතු හෙවිල්ලපු ටකරන් මඩුවක් තිබුණා. ආච්චි කෙනෙක් එතැන හිටියා. ඒ කන්මනි ආච්චි කිව්වා කට්ටියක් මෙතැන හිටියා. ඒ අයට අමතක වෙලා ගිය පන් මල්ලක් තියනවා කියලා. පන්මල්ල පරීක්ෂා කළා. ඒ බුලට්ට ඉවකරන්න දෙන්න දෙයක් හොයන්න. පන් මල්ලේ පුංචි අත්බෝම්බ දෙකක් තිබුණා.
ඒ වේලාවෙ මාත් එක්ක හිටියා චන්කානි පොලිසීයේ ලොකු මහත්තයා. චන්කානි කියලා පොලිසියක් දැන් නම් නැහැ. ලොකු මහත්තයා කිව්වා විජයා මොකක් හරි කරමු කියලා. ඒ වෙලාවේ තමයි මිත්‍ර ආරියසිංහ මහත්තයා ජීප් එකේ ආවේ. ඔහු මට කිව්වා අන්න නගරාධිපතිගේ කාර් එක තල්කැලේ තැනක දාලා ගිහින් තියෙනවා කියලා.
මම දැන ගත්තා මොකක් හරි හෝඩුවාවක් හොයා ගන්න පුළුවන් කියලා. මම එතැනට ගිහින් සෝදිසි කිරීමේදී මට පිහියක කොපුවක් ලැබුණා. මම “බුලට්ට” එක් ඉව කරන්න දුන්නා. දැන් “බුලට්” වතු මැද්දෙන් වෙල් නියර මැද්දෙන් යනවා. මේ යන ගමනෙදි එක්නෙක් කිව්වා තුන් දෙනෙක් මෙතැනින් යනවා දැක්කා කියලා. තව එක්කෙනෙක් කිව්වා මෙතැනින් කිරුබාකරන් යනවා දැක්කා කියලා. ඒ කාලේ කවුරුත් ප්‍රභාකරන්ට කිව්වේ කිරුබාකරන් කියලා. පස්සේ තමයි ප්‍රභාකරන් වුණේ. මම හිතන විදිහට ඒ වෙන කොට කිරුබාකරන්ගේ වයස අවුරුදු දහ අටක් දහනවයක් විතර ඇති.
එතැනින් ගිය අය ගැන ඇහුවාම මිනිස්සු එක එක දේ කියනවා . බාස්කරන් කියලා කෙනෙක් හිටියා කියනවා. කලාපති කියලා කෙනෙක් හිටියා කියනවා. බුලට් නතර වෙන්නෙත් නෑ යනවා. අවසානයට චන්කානිවල ඉඳලා රාත්තල්අඩි හන්දියටම ආවා. එතැනින් එහාට බුලට් ගියේ නැහැ. එයා එතැන නැවතුණා. හෝඩුවාවක් නෑ. හරියට අතරමං වුණා වගේ. පිහි කොපුවත් අරගෙන මම “බුලට්” එක්ක වාහනයෙන් ආපහු ආවා. පස්සෙ තමයි හෙළි වුණේ මේ වෙඩි උණ්ඩ ප්‍රභාකරන් විසින්ම හදපු ඒවා කියලා ”
සිද්ධිය වී දවසක් දෙකක් ගෙවී ගියේය. මිනීමරුවා ගැන හෝඩුවාවක් නැත. එහෙත් පොලිසිය නගරාධිපති දොරේඅප්පාගේ ඝාතකයන් සෙවීම අතහැරියේ නැත. හෝඩුවාවක් නැති වීම විජයාන්නදගේ හිතට වදයක් වී තිබිණි. ඔහු පුළුවන් උපරිම අවධානයක් සහිතව සෝදිසියෙන් සිටියේය. එහි ඉතාම යහපත් ප්‍රතිඵල ලැබිණි.
“ආනකෝට්ටේ ප්‍රසිද්ධවෙලා තිබුණෙ තල් හකුරු, රාවලට. මමයි විජේසිංහයි ගියා එහෙ හිටපු මගෙ යාළුවෙක් හමුවෙන්න. මගේ යාළුවා පද්මනාදන්. අපි කතා කර කර හිටියා. ඒ අතරේ පද්මනාදන් කියනවා දොරේඅප්පට වෙඩි තියපු රිවෝල්වරය කිරුබාකරන් ඔහුගේ අක්කගේ පුතාට දීලා තියෙනවා කියලා. අපිට වැඩි විස්තර අහගන්න ලැබුණේ නැහැ ඒ වෙලාවේ CID එකෙන් ආව නිසා. අපි අඹ ගන්න අවේ කියලා CID එකට කිව්වා. පස්සේ මමයි විජේසිංහයි පා පැදිවලින් පොලිසියට ආවා.
ගොඩ්‍රි ගුණසේකර මහත්තයා තමයි මුලස්ථාන පොලිස් පරීක්ෂක හිටියේ. ඔහු මගෙන් ඇහුවා විජයානන්ද මොකද හතිදාගෙන කියලා. මම පද්මනාදන් කියපු රිවෝල්වරේ විස්තරේ ඔහුට කිව්වා. පස්සේ පද්මනාදන්වයි ඔහුගේ අක්කාගේ පුතාවයි, රිවෝල්වරයයි පොලිසියට ගෙනාවා. සටහන් පොතේ පැමිණිල්ල ලිව්වා.
දින වකවානු සහිතව විජයානන්ද පවසන්නේ ප්‍රභාකරන්නේ පළමු ඝාතන සිද්ධිය පිළිබඳය. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද ඒ වන විට නගරාධිපති දොරේඅප්පා ඝාතනයේ මිනීමරුවන් සොයා පරීක්ෂණ අරඹා තිබිණි. එම කණ්ඩායම බාරව සිටියේ පොලිස් පරීක්ෂක ඇන්තනී පිල්ලේ ය. පොලිස් පරික්ෂණවලදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
ප්‍රධාන සැකකරු කිරුබාහරන්ය. එනම් පසු කලෙක ලෝකයම ත්‍රස්ත කල ත්‍රස්තවාදියා වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්ය. නඩුව ඇසුවේ අලුත්කඩේ ඉහළ උසාවියේය. යාපනය කොටුව තුළ විශේෂ මැදිරියක ඔහු ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගෙන රඳවා තබා තිබිණි.
“කිරුබාහරන්ව (ප්‍රභාකරන්) මුලින්ම හඳුනා ගත්තෙ පොන්නාලෙයි කෝවිල ඉදිරිපිට ටකරන් මඩුවේ සිටි කන්මනි ආච්චි. එයා අසලින් පන් මල්ලක් දැමූ අත්බෝම්බ දමා ගොස් තිබුණු පුද්ගලයා ඇය නිසැකවම හඳුනා ගත්තා. ඒත් පෙරෙට්ටුවේදි සියල්ල කණපිට හැරුණා. ඒ වන විට එම පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පොලිස් නිලධාරියා ඝාතනය වුණා. එම නිසා සාක්ෂිකාරිය මරණ බියෙන් තැතිගෙන තිබුණා. ඇය කිව්වා උසාවියෙදි ඇයට බලපෑම් එල්ල වුණා කියලා. මේ නිසා නගරාධිපති ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කිරුබාකරන්ටයි, කණ්ඩායමටයි නිදහස ලැබුණා.
මට මතක විදිහට මේ ඝාතනය සම්බන්ධව යාපනයේ තරුණයො සීයක් විතර අත්අඩංගුවට අරන් ප්‍රශ්න කළා. කොළඹ මහාධිකරණයෙ අහපු නඩුවෙන් පස්සේ සියලු දෙනාම නිදහස් වුණා. ප්‍රභාකරන් වෙඩි කාලා මැරුණත් දොරේඅප්පා ඝාතකයා හසු වුණේ නෑ. ”
“උසාවියෙන් නිදහස් වුණාට පස්සේ කිරුබාහිරන් ගැන ආරංචියක් ලැබුණෙ නෑ. ටික කාලයක් ඉන්දියාවෙ හැංගිලා හිටපු වග රහස් පොලිසිය හෙළි කරගත්තා. නැවත ඔහු ගැන ආයෙ වාර්තා වෙන්නෙ වැල්වැටිතුරේදී. ඒ මිනීපෙට්ටි සාප්පුවකින් මිනීපෙට්ටියක් ඕඩර් කළා කියන ඔත්තුවකට. ඔහු ගැන තියන වාර්තා අනුව සැක කළා ඔහු තවත් ඝාතනයක් කරන්න හදනවා කියලා. ඒත් පස්සේ තහවුරු වුණා ඒ මිනීපෙට්ටිය ඕඩර් කරලා තියෙන්නෙ මළගෙදරකට කියලා.
“ඒ කාලේ ඔහු උස කෙට්ටු කොල්ලෙක්. පහුකාලෙක ඔහු අපේ රටට මේ තරම් ව්‍යසනයක් කරාවි කියලා කවුද හිතුවේ. ප්‍රභාකරන් එක්ක දොරේඅප්පා මරන්න ගිය කණ්ඩායමට මහේන්ද්‍රන් හෙවත් මහත්තයා, සතාසිවම් හෙවත් සෙල්ලක්කලි, ශිවකුමාරන් හා චාල්ස් ඇන්තනි හෙවත් සීලන් හා ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්ටු යන අය ද ගොස් තිබෙන බව පසුව රහස් පොලිසිය කරන ලද පරික්ෂණවලින් හෙළි වුණා.”
“මම හැත්තෑ පහේ ඉඳලා හැත්තෑ අට වන තුරු හිටියේ යාපනයේ. ඒ දෙමළ මිනිස්සු ඉතා හොඳයි. මම විවාහ වෙලා බිරිය සමඟ එහෙ හිටියේ. ඒ මිනිස්සුන්ට ජාතිවාදය ගැන හැඟීමක් තිබ්බේ නෑ. ඉතාම සාමකාමීව ජීවත් වුණා. දොරේඅප්පා ඝාතනය වේලාවෙ මිනිස්සු පොලිසියට ඔත්තු දුන්නෙ තරගෙට වාගෙ. ඒ මිනිස්සු එක්ක ජීවිතේ හරිම පහසු වුණා ” විජයානන්ද පවසන්නේ කල්පනාවක් සහිතවය.
“කවුද දන්නේ දවසක පත්තරෙන් මාව හොයාගෙන ඒවි කියලා. දන්නවා නම් අර පිහි කොපුව පරිස්සම් කරනවා. ඒකාලේ අපි රාජකාරිය අකුරට කෙරුවා. විජයානන්ද පවසන්නේ මහ හඬින් හිනැහෙමිනි. ඔහු අපූරු පෙනුමැති අයෙකි. ඒ පෙනුම මතු කර දක්වන්නේ ඔහුගේ උඩු රැවුලයි.
“මේක මගෙ පරම්පරාවෙන් එන එකක්.” වසර හතලිහකට ආසන්න කාලයක් පොලිස් සේවයේ නිරතව සිටි විජයානන්ද මහතා විශ්‍රාම යන්නේද සැරයන්වරයකු ලෙසිනි. අද වන විට විශ්‍රාම සුවයෙන් පසු වන ඔහු යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතන සිද්ධියේ සැකකරු වු කිරබාකරන් හෙවත් ප්‍රභාකරන් පිළිබඳ ඔහු දන්නා තොරතුරු පුවත්පකට කී පළමු අවස්ථාව මෙය වෙයි.
(විශේෂ ස්තූතිය- මේජර් සුජිත් ප්‍රසන්න විජේසිංහ මහතාට.)
ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු