ප්‍රමිතියට නැති පානීය ජල බෝතලය පිටුපස කතාව | Page 2 | සිළුමිණ

ප්‍රමිතියට නැති පානීය ජල බෝතලය පිටුපස කතාව

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය්‍යවරයකුගෙන් හෙළිදරව්වක්

වර්ථමානය වන විට දේශීය වශයෙන් බෝතල් කරණු ලැබූ ජලය පරිභෝජනය කිරීම සඳහා බොහෝ දෙනා දක්වන්නේ ඉතා උනන්දුවකි. විශේෂයෙන් අද වන විට මෙම නිෂ්පාදන කර්මාන්තය කෙරෙහි විවිධ වූ ප්‍රමිතිකරණයන් හඳුන්වා දීම තුළ පාරිභෝගිකයන් තුළ මෙම නිෂ්පාදන භාවිතය සම්බන්ධයෙන් ඉතා විශ්වසනීය තත්ත්වයක් ගොඩනැඟී ඇත. නමුත් මෙයට සමඟාමීව ක්‍රියාත්මක වන ජල පිරවුම්පොළවල් ආශ්‍රිතව ඉතා අඩු මිලට ජලය එසැණින් පුරවා පාරිභෝගිකයන්ට ලබා දීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක වන බව ඔබ සැම දන්නා කරුණකි. මෙය හඳුන්වනු ලබන්නේ අර්‍ණ ජල පවිත්‍රකාරක ක්‍රමවේදය යනුවෙනි. නමුත් මෙම ජල පවිත්‍රකාරක ක්‍රමවේදය සහ එම පිරවුම් ස්ථානයන්හි පවතින ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අද වන විට සමාජය තුළ විවිධාකාරයේ කතාබහක් නිර්මාණය වී ඇත. මේ සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු විමසීම සඳහා අප හමුවූයේ පේරාදෙණිය විශ්විද්‍යාලයේ භූගර්භ විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාය.

මහාචාර්ය්‍යතුමනි, ජලය පිරිසිදු කිරීමේ කාර්යය සඳහා යොදා ගන්නා ජල මූලාශ්‍ර සම්බන්ධයෙන් පැහැදිළි කළහොත් ?

‘‘මූලික වශයෙන් උල්පත් ජලය, නොගැඹුරු ළිං සහ ගැඹුරු ළිං යන ජල ප්‍රභේද ඔස්සේ පානීය අවශ්‍යතාව සඳහා ජලය ලබා ගැනීම තමයි සිදු වෙන්නේ. උල්පත් ජලය කියන්නේ පසට වැටෙන ජලය පස දිගේ පොළව තුළට ගමන් කර ගල හමුවූ විට ගල දිගේ බෑවුමට ගලාගෙන ගොස් එය බාහිර පරිසරයට විවෘත වුණු තැනින් පිටතට ගලා ඒමයි. මෙසේ ගමන් ගන්නා ජලය මතුවීමට පෙර ළිඳක් හාරා ගැනීම නොගැඹුරු භූගත ජලය විදිහට හඳුන්වනවා. ගැඹුරු භූගත ජලය විදියට හඳුන්වන්නේ පොළව තුළට ගමන් කරන ජලය ගල හමුවී ගල ඔස්සේ බෑවුමට ගලා යාමේදී ගලේ පැළුම් තුළින් ගල ඇතුළට ගලා යාම සිදු වෙනවා. මේ විදිහට ගල තුළින් මේ ජලය කිලෝමීටර ගණනක් දුරට ගලාගෙන යනවා. මේ ආකාරයෙන් ගලා යන ජලය නළ ළිං මාර්ගයෙන් ගැනීම හඳුන්වන්නෙ ගැඹුරු ළිං ජලය නැතිනම් ගැඹුරු භූගත ජලය විදිහටයි.’’

මෙම ජල ප්‍රභේදයන් පිරිසිදු කර ගැනීමට අනුගමනය කරන්නේ මොන වගේ ක්‍රියාවලියක් ද ?

‘‘ජලය පස තුළින් ගමන් ගන්නා දුර ප්‍රමාණය අනුව තමයි ඒ ජලය එකතු කර ගන්නා ලවන, බැක්ටීරියා හෝ වෙනත් සංඝඨකවල ප්‍රමාණය තීරණය වෙන්නෙ. මේ නිසා ජල පිරිසිදු කිරීම් ක්‍රියාවලියේදී එම ජලයේ අඩංගු වී තිබෙන මේ සංඝඨකවල ප්‍රමාණය ඉතාම වැදගත් වෙනවා. මේ ආකාරයෙන් ජලයේ අඩංගු ද්‍රව්‍යයන් බීමට සුදුසු ප්‍රමාණයෙන් අඩු කිරීම තමයි පිරිපහදු කිරීමකදී කරන්නෙ. එතෙන්දි අපි කිසිම විටෙක රසායනික ද්‍රව්‍ය‍ භාවිතා කිරීමට යොමුවෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට ජලයේ යකඩ අඩංගු වී ඇතිනම් හොඳ වාතාශ්‍රයක් ඒ ජලයට ලබා දුන් අවස්ථාවේදී යකඩ තැන්පත් වෙනවා. ඉන්පසුව අපිට ෆිල්ටර් කිරීමෙන් පිරිසිදු ජලය ලබා ගැනීමට හැකි වෙනවා. නමුත් කාබනික ද්‍රව්‍ය අඩංගු ජලය මේ ආකාරයෙන් පිරිසිදු කර ගැනීමට නොහැකි නිසා තමයි අර්‍ණ වගේ ජල පවිත්‍රකාරක ක්‍රමයන් තියෙන්නෙ.’’

එතකොට මේ අර්‍ණ ජල පවිත්‍රකාරක ක්‍රමය කියන්නේ කුමක් ද ?

‘‘අර්‍ණ ජල පවිත්‍රකාරක ක්‍රමය කියන්නේ දැනට ලෝකයේ පානය කිරීම සඳහා මෙන්ම අනෙකුත් කාර්යයන් සඳහා පවිත්‍ර ජලය සකසා ගැනීම සඳහා බොහෝ රටවල් යොදා ගනු ලබන තාක්ෂණික ක්‍රමයක්. මේ ක්‍රමයේදී කරන්නේ ජලය පෙරණයක් තුළින් යැවීමෙන් එහි අන්තර්ගත, ශරීරයට නුසුදුසු ලවනයන් ඉවත් කිරීමයි. සාමාන්‍යයෙන් ඉහළ අර්‍ණ ජල පවිත්‍රකාරක ක්‍රමවේදයක් තුළින් ඉතාම පිරිසිදු ජලය ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. මේ ජලය ආශ්‍රැත ජල මට්ටමේ පවතිනවා. මේ ජලයේ කිසිම ලවන වර්ගයක් අන්තර්ගත වී නෑ. නමුත් මේ ජලය ද අපට පානය කිරීමට සුදුසු මට්ටමේ නෑ. මොකද අපේ සිරුරට අවශ්‍ය වන ලවන වර්ග මෙහි අන්තර්ගතව නොමැති නිසා. මේ නිසා මෙම ජලයට අවශ්‍ය ප්‍රමාණයෙන් ලවන වර්ග එක්කර ගැනීම සඳහා පිරිසිදු ගල් සහිත ටැංකියකට ජලය යොමුකර තමයි පානය සඳහා සුදුසු ආකාරයෙන් ජලය සකසා ගන්නෙ.’’

ලංකාවේ ක්‍රියාත්මක වෙන ‘අර්‍ණ ක්‍රමවේදය ගැන ඔබගේ අදහස කුමක් ද ?

‘‘කණගාටුවෙන් වුණත් කියන්නට තියෙන දෙයක් තමයි ලංකාවේ බහුතරයක් තැන්වල ක්‍රියාත්මක වන්නේ වැරැදි ක්‍රමවේදය කියන එක. විශේෂයෙන්ම අර්‍ණ තාක්ෂණවේදය භාවිතා කිරීමේදී ජලයේ අඩංගු සංඝඨකයන්ට අනුව ගැලපෙන ක්‍රමවේදය භාවිතා කිරීමට යොමුවීම වැදගත්. ඒ සම්බන්ධයෙන් විශේෂඥ දැනුම ඇති විද්‍යාඥයකුගේ නිර්දේශ මත ඒ කාර්යය සිදුවීමත් වැදගත් වෙනවා. නමුත් අද වෙනකොට බොහෝ දෙනෙක් මේ ගැන අවබෝධයක් නැතිව නොගැලපෙන අර්‍ණ ක්‍රමවේද භාවිතා කිරීමට යොමු වෙනවා. මේකෙන් ජලයේ තිබිය යුතු අත්‍යවශ්‍ය සංඝඨක ඉවත් වෙන්නත් පුලූවන්, නැත්නම් අනවශ්‍ය දේවල් ජලයේ රුඳෙන්නත් පුලූවන්. මේ නිසා මෙවැනි ආකාරයෙන් නොගැලපෙන, නියම ප්‍රමිතියෙන් තොර අර්‍ණ ක්‍රමවේද භාවිතා කිරීමෙන් සහ ඒවා නිසියාකාරයෙන් නඩත්තු නොකිරීමෙන් එම ජලය පරිභෝජනය කරන්න පුද්ගලයන්ට විවිධ ලෙඩ රෝග සහ නොයෙකුත් ආබාධ තත්ත්වයන් පවා ඇතිවීමේ අවදානමක් පවතිනවා. උදාහරණයක් විදිහට බැක්ටීරියා, වෛරස් වැනි දේවල්වලින් උණ සන්නිපාතය සහ පාචනය වැනි රෝග ඇතිවෙන්න පුළුවන්, ඒ වගේම ඒ ජලයේ වැඩිපුර කැල්සියම් අඩංගුනම් වකුගඩුවල ගල් ඇති වෙනවා, ෆ්ලෝරයිඩ් අඩුවෙන් හෝ වැඩියෙන් තිබුණොත් දත් දිරායාම සිදු වෙනවා.’’

පානීය ජල බෝතල් නිෂ්පාදන කාර්යයේදී මෙයට වඩා උසස් ප්‍රමිතීන් භාවිතා කිරීමට යොමු වෙනවා නේ ද ?

‘‘ඔව්, පානීය බෝතල් නිෂ්පාදන කර්මාන්තයක් ආරම්භ කිරීමට අනිවාර්යයෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැති සහතිකය අවශ්‍යම වෙනවා. මීට අමතරව එහි ප්‍රමිතිය පවත්වා ගැනීම ඉඹ්ඉ, ධ්ඉර්‍ණ ප්‍රමිති නිර්මාණය වෙලා තියෙනවා. මේ ප්‍රමිති සහතික ලබා ගැනීමට අංශ ගණනක පරීක්ෂණ විශාල ප්‍රමාණයක් පැවැත්විය යුතුයි. සාමාන්‍යයෙන් බල පත්‍රයක් අලූත් කිරීමේ කාර්යට මාස 6ක පමණ කාලයක් ගත වෙනවා. ඒකෙදි මහජන සෞඛය පරීක්ෂක, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ආහාර සහ ඖෂධ පරීක්ෂක වැනි නිලධාරීන් ස්වාධීනව එම නිෂ්පාදන ආයතනය පරීක්ෂා කිරීම සිදු කරනවා. මීට අමතරව සේවකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා ලබා ගන්නවා. මීට අමතරව මේ පිරවුම් ස්ථාන ඉතාම උසස් තත්ත්වයෙන් මෙන්ම ආරක්ෂිත පරිසරයකින් ද සමන්විත විය යුතුයි. සියලූම සේවකයන් උදේ සිය කටයුතු ආරම්භ කිරීමට පෙර ඒ සඳහාම විශේෂිතව සැකසූ ස්ථානයකින් ස්නානය කර, පිරිසිදු වී ඒ කාර්යය සඳහා නිර්දේශිත නිල ඇඳුමින් සැරසී, මුඛ ආවරණ, හිස් ආවරණ, අත්වැසුම් පැළඳ මේ කාර්යයේ නිරතවීම අත්‍යවශ්‍යම කරුණක්. නමුත් අපිට අර්‍ණ ක්‍රවේදය යටතේ ජල පිරිසිදු කිරීම් කර අලෙවි කරන ආයතන තුළ මෙවැනි ප්‍රමිතියක් දකින්නට ලැබෙන්නෙ නෑ. ජල බෝතල් කිරීමේ කර්මාන්තයේදී ජල මූලාශ්‍රය සම්බන්ධයෙන් වගේම එහි සෑම ක්‍රියාවලියක් සම්බන්ධයෙන්ම වැඩි අවධානයක් යොමු කරනවා. විශේෂයෙන් ජල මූලාශ්‍රය අවට අඩි 100ක ප්‍රමාණයක කිස¼ිදු ඉදිකිරීම් කාර්යයක් සිදු කිරීම තහනම් වෙනවා. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් සෑම කාර්යයකදීම ඉහළ ප්‍රමිතියක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. තවත් වැදගත් කාරණයක් තමයි සෑම නිෂ්පාදන කර්මාන්ත ශාලාවකම කුඩා පරීක්ෂණාගාරයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යයම කාරණයක් වෙනවා.’’

අවසාන වශයෙන් මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා ඔබතුමන් සතු යෝජනා මොනවා ද ?

‘‘විශේෂයෙන්ම වගකිව යුතු රාජ්‍ය ආයතන විදිහට ජල සම්පත් මණ්ඩලය මෙම කර්මාන්තයේ ප්‍රමිතිකරණ කාර්යය සඳහා වැඩපිළිවෙළක් සැකසිය යුතු අතර, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මීට වඩා සක්‍රීය ආකාරයෙන් මේ කාර්යය සමඟ එක්විය යුතු වෙනවා. විශේෂයෙන් තම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මඟින් මේ කර්මාන්තයේ ජල මූලාශ්‍රය, අර්‍ණ ජල පිරිසිදු කිරීමේ තාක්ෂණික ක්‍රියාවලිය, ප්‍රවාහනය, ජලය පිරවීම යන සංවේදී ප්‍රධාන ස්ථාන හතර පරීක්ෂා කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කිරීමට පියවර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ වගේ ආයතනවලින් නානාප්‍රකාර බෝතල් සහ ගැලුම්වලට ද ජලය පිරවීම සිදු කරනවා. මේක ඇත්තටම නොකළ යුත්තක්, සෞඛය අමාත්‍යාංශය ඉදිරිපත් වී මේ ක්‍රියාව වහාම නැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මිලි ලීටර් 500 සහ 1000 ටැංකිවලින් ජලය ප්‍රවාහන කර ජල ලීටරය රුපියල් 2-3 වැනි මිලකට ජලය විකිණීම සිදු වෙනවා. මෙසේ ජලය විකිණීම සිදුවන්නේ වයඹ, උතුරුමැද සහ නැගෙනහිර වැනි පළාත්වලයි. විශේෂයෙන් දඹුල්ල ආශ්‍රිත ඇති සංචාරක හෝටල් සංකීර්ණවලට විශාල වශයෙන් මෙවන් ජලය ප්‍රවාහනය කර අලෙවි කිරීම සිදු වෙනවා. විදේශිකයන් මෙම ජලය පරිහරණය කෙරෙන බැවින් ප්‍රමිතියෙන් තොරව අර්‍ණ කරන මේ ජල අලෙවිය සෞඛ්‍ය අමාත්‍යංශයෙ මැදිහත්වීමෙන් වහා නැවැත්විය යුතු වෙනවා.’’

අනුෂා ගුරුසිංහ
දැන්වීම් අතිරේක අංශය
සම්බන්ධීකරණය - රන්ජිත් පතිරණ

Comments