මැයි මුල වන තුරු මේ රස්නය මෙහෙමමයි | Page 2 | සිළුමිණ

මැයි මුල වන තුරු මේ රස්නය මෙහෙමමයි

ටිරෝනි වෑවලගේ

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් සෑම දෙනාම පසුවන්නේ අපහසුතාවෙනි. උදෑසන මඳක් සෞම්‍යව ආරම්භ වුවද දිනය ක්‍රමයෙන් ගෙවීයත්ම පතිත වන අධික සූර්යතාපය රෑ මැදියම දක්වාම ගතින් දහදිය ගලා යෑමට සලස්වයි. මේ අධික උණුසුම අවදානම් සහගතද? මේ දාහය තව කොතරම් කලක් දරා සිටීමට සිදු වේද? ඒ සම්බන්ධව අදහස් දක්වමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගෝ මහතා පවසා සිටියේ අන්තර් මෝසම් කාලවලදී මෙවැනි දාහයක් ඇති වීම අප රටේ කාලගුණයේ සාමාන්‍ය සිදු වීමක් බවයි.

“අප රටට වැසි ලැබෙන ප්‍රධාන මෝසම් කාල දෙකක් තිබෙනවා. මේ කාලවලදී දිවයින හරහා සුළං හමා යනවා. මෝසම් කියන්නේ සුළං කියන එක. මේ සුළං හේතුවෙන් උෂ්ණත්වය, අධික සූර්ය තාපය අඩු වෙනවා. එමෙන්ම වර්ෂාව ලැබෙනවා. ඒ කියන්නේ පරිසරය සිසිල් වෙනවා කියන එකයි. ඒත් අන්තර් මෝසම් කාලවලදී දිවයින හරහා හමා යන සුළඟේ වේගය අඩුයි. එවිට සිදු වන්නේ ආර්ද්‍රතාව වැඩි වී ලැබෙන සූර්යතාපය අධිකව දැනීමයි. සුළං පවතිනවා නම් සූර්ය තාපය ප්‍රබලව දැනෙන්නේ නැහැ.

මේ දිනවල දිවයිනට ඉහළින් වලාකුළුවල අඩුවක් දක්නට ලැබෙනවා. ඒ වර්ෂාපතනය අඩු නිසා. ඒයත් සූර්ය තාපය අධිකව දැනීමට හේතුවක් වනවා. මෙය අන්තර් මෝසම් කාලවලදී දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක්. මාර්තු අග සිට අප්‍රේල් සහ මැයි මස මුල වන තෙක් අන්තර් මෝසම් කාලය සේ සලකනවා. ඒ අනුව මේ අධික රස්නය මැයි මස දක්වා පැවතිය හැකියි.

ඒ වගේම අපේ රටට හරියටම ඉහළින් සූර්යයා පිහිටන දින කිහිපයක් තිබෙනවා. මේ දින කිහිපය අප්‍රේල් 5 වැනිදා සිට දවස් දහයක පමණ කාලයක් පවතිනවා. මේ අධික රස්නය ඇති වීමට මෙයත් එක් හේතුවක් වනවා.

දැනට පහුගිය දින කිහිපයේදී වාර්තා වී ඇති උපරිම උෂ්ණත්වය වාර්තා වී ඇත්තේ කුරුණෑගලින්. ඒ සෙල්සියස් අංශක 37.9ක්. පසුගිය 25 වැනිදා ඒ උෂ්ණත්වය වාර්තා වූවා. ඒ ආසන්න උෂ්ණත්වයන් තවත් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වෙලා තිබෙනවා. එහෙත් මේ දැනට අපේ රටේ වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය නොවෙයි. අපේ රටේ කිසිම අවස්ථාවක සෙල්සියස් අංශක 40ට වැඩි උෂ්ණත්වයක් වාර්තා වෙලා නැහැ. එයට හේතුව අපේ රට මහා ජලස්කන්ධයකින් වටවී ඇති කුඩා දිවයිනක් වීමයි. ඒ හේතුවෙන් උෂ්ණත්වයේ ප්‍රචණ්ඩත්වයට අප මුහුණ දෙන්නේ ඉතා අඩුවෙන්. එහෙත් කිසියම් ප්‍රමාණයකට උෂ්ණත්වය වර්ධනය වීමේදී මහජනතාව ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි අප විශ්වාස කරන්නේ.

ඇතැම් පළාත්වල ජනතාවට අධික උෂ්ණත්වයෙන් යම් යම් හානි සිදු විය හැකියි. ඒ හේතුවෙන් අප ජනතාවට දැනුම් දෙන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන නිවේදන කෙරෙහි සංවේදී වන ලෙසයි.

සාමාන්‍යයෙන් මැයි මාසයේදී මෝසම් කාලය ආරම්භ වීමත් සමඟ මේ අධික රස්නය නැති වී යා හැකියි. එහෙත් ඊට පෙර අප්‍රේල් මස මුල් සතියේ සිට සංවහන වැසිද බලාපොරොත්තු විය හැකියි. නිසි පරිදි සංවහන වැසි ලැබෙන්නේ නම් ඉක්මනින්ම මේ අධික උෂ්ණත්වය හේතුවෙන් මතු වී ඇති ගැටලු අවසන් විය හැකියි.

කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගෝ මහතා පවතින අධික උෂ්ණත්වය සහ ඒ හා සම්බන්ධ කාලගුණ විද්‍යාත්මක තොරතුරු එසේ පැහැදිලි කර සිටියේය.

අධික සූර්යතාපය හේතුවෙන් ඇති විය හැකි සෞඛ්‍ය සංකූලතා මඟහරවා ගැනීමට ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග මොනවාද? මේ සම්බන්ධව දැනුවත් වීමට විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අපට උපදෙස් ලබා දුන්නේය.

“ සාමාන්‍යයෙන් බැලුවොත් ලංකාවේ මාර්තු අප්‍රේල් කාලයේදී උණුසුම ඉහළ යනවා. වැඩිපුර දහදිය දමනවා. මේ හේතුවෙන් රෝග ලක්ෂණ කිහිපයක්ම ඇති වීමට ඉඩ තිබෙනවා. පොදුවේ හිසරදය, වමනය, ඇගපත රුදාව සහ මන්සිය දැනෙනවා නම් ඒ අධික උණුසුම හේතුවෙන් වීමට හැකියි. මේ දිනවල උෂ්ණත්වය අධික වනවා සේම බාහිර පරිසරයේ ජනතාවගේ ගැවසීමත් වැඩි වන ක්‍රියා සිදුවනවා. උදාහරණයක් විදිහට පාසල් ක්‍රීඩා උත්සව සහ අවුරුදු උත්සව දැක්විය හැකියි. ඒවා සියල්ල පැවැත්වෙන්නේ ක්‍රීඩා පිට්ටනි වැනි විවෘත ස්ථානවල. ඒ හේතුවෙන් ජනතාවට සූර්ය තාපයට නිරාවරණය වෙමින් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනවා. එහි අතුරු ප්‍රතිඵලය වන්නේ අධික උෂ්ණත්වය හේතුවෙන් තාප කම්පන තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවීමයි. (Heat Stroke)

මේ තාප කම්පන තත්ත්වයන් හේතුවෙන් හෘදය වස්තුවට, මොළයට හානි වීමට පුළුවන්. එබැවින් මේ දිනවල විවෘත පරිසරයේ ගැවසීම අවම කළ යුතු වනවා. අමතරව වැඩිපුර වතුර බීමත් කළ යුතුයි. තැඹිලි වතුර වැනි ස්වභාවික දියර ආහාර වැඩිපුර ගැනීමත් සුදුසුයි. බෝතල් කර ඇති පැණි බීම පානය කිරීම වඩාත් අහිතරකයි. වෙනදාට ඔබ වතුර බෝතලයක් පානය කරනවා නම් මේ දිනවල බෝතල් දෙකක් පානය කළ යුතු වනවා. එමෙන්ම දහදිය දැමීමේ අපහසුතාවන්ට හොඳම පිළිතුර වන්නේද ජලය පානය කිරීමයි.

මේ දිනවල සරල කපු ඇඳුම්වලින් සැරසීම පරිසරයට ගැළපෙන, සෞඛ්‍ය සම්පන්න විලාසිතාව ලෙසින් දැක්විය හැකියි. ශරීරයට තද ඇඳුම් සහ අධික ලෙස සිරුර ආවරණය වූ ඇඳුම් මේ දිනවල ඇඳීම නොකළ යුතුයි.

අධික උෂ්ණත්වය සහ වැඩිපුර දහදිය දැමීම හේතුවෙන් හමේ රෝගද ඇති වීමට වැඩි ඉඩක් තිබෙනවා. දහදිය බිබිලි සහ දද, කුෂ්ඨ ආදිය උදාහරණ ලෙස දැක්විය හැකියි. මේ අපහසුතාවන්ගෙන් වැළකීමට වැඩි වේලාවක් ජලයේ ගත කළ යුතු වනවා. වරකට විනාඩි විස්සක් පමණ දිනකට දෙවරක් ජලයේ ගත කිරීමෙන් වඩාත් නිරෝගීව මේ උණුසුම් දින කිහිපය ගත කිරීමට ඔබට හැකියාව ලැබෙනු ඇති.

Comments