
අපේ රට කාලයෙන් කාලයට මුහුණදෙන ප්‍රශ්න තිබේ. 2009 දක්වා අප මුහුණදුන් බරපතළ ගැටලුව වුණේ උතුරු - නැගෙනහිර පැවැති යුද්ධය යි. එය නිමා වීමත් සමඟ දැන් අප මුහුණදී සිටින ලොකුම ප්‍රශ්නය රිය අනතුරුය. අප එසේ පවසන්නේ යුද්ධය අවසාන වීමත් සමඟ, එනම් 2009 සිට 2018 වර්ෂය අවසාන වන විට මාර්ග අනතුරුවලින් පමණක් 27,132ක් මරණයට පත් වී ඇති නිසාය. අද රිය අනතුරුවලින් දවසකට 7,8 දෙනෙකු මිය යෑම සාමාන්‍ය සිද්ධියක් බවට පත් වී තිබේ.
දවසේ සෑම පැය 2 විනාඩි 50කට වරක් ලංකාවේ කොතැනක හෝ රිය අනතුරු නිසා එක් අයකු මිය යන බව අනාවරණය වී තිබේ. 2018 වර්ෂය තුළ පමණක් සිදු වූ මාර්ග අනතුරු සංඛ්‍යාව 35,000 ක් බව පොලිස් වාර්තාවල සඳහන් වී ඇත. එයින් 3,113 ක් මරණයට පත් වී තිබේ.
ආර්ථික හා සමාජීය වශයෙන් රටට බලපාන බරපතළ ප්‍රශ්නයක් වන මාර්ග අනතුරු අවම කිරීම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කිරීම පෙරදැරි කර ගනිමින් පසුගිය 23 වැනි දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්විණි. මෙය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර රොටරි සමාජය විසිනි.
මෙහිදී මාර්ග අනතුරු නිසා 40,000 ක් පමණ ආබාධිතයන් වී ඇති බවත් අද මාර්ග අනතුරු හේතුවෙන් වැඩි වශයෙන් මරණයට පත් වන්නේත් ආබාධිතයන් වන්නේත් රටේ ශ්‍රම බලකායට අයත් පිරිස බවත් පැවසිණි. පොලිස් වාර්තාවල සඳහන් ආකාරයට පසුගිය වසරේ සිදු වූ රිය අනතුරු 35,000ක් වුවද රක්ෂණ සමාගම්වල තොරතුරු සැලකිල්ලට ගැනීමේදී එය ලක්ෂ 5ක් ලෙස සඳහන් කළ හැකිය. ඊට හේතුව බහුතරයක් පොලිසියට නොගොස්, රක්ෂණ සමාගම් හරහා එය ගොඩින් බේරාගෙන යන පිරිස වීමයි. මාර්ග අනතුරු සිදුවන පළාත් පිළිබඳව සැලකිල්ලක් දැක්වීමේදී මාරක අනතුරු වැඩි වශයෙන් වාර්තා වී තිබෙන්නේ බස්නාහිර සහ වයඹ පළාත්වල වීම විශේෂයෙන් සඳහන් කළ යුතුය. මාර්ග අනතුරු නිසා වර්ෂයකට සිදු වූ ආර්ථික අලාභය රුපියල් බිලියන 50කි. එහෙත් එය වක්‍රකාරයෙන් බලන විට රුපියල් බිලියන 200ක් ලෙස සඳහන් කළ හැකිය. ඒ, රිය අනතුරුවලට ලක් වන අය සුවපත් කිරීම සඳහා රජය විසින් දරන පිරිවැය, මාර්ග තදබදය හේතුවෙන් මහ පාරට අපතේ යන වැඩ කරන මිනිස් ශ්‍රමය යනාදිය එකතු කිරීමෙනි.
“රිය අනතුරක් වුණත් නැතත් අද පාරේ ට්‍රැෆික් නිසා වෙලාවට වැඩට යන්න බැහැ. ගමනක් යන්න බැහැ. හැමෝම ලොකු පීඩනයකින් පාරේ යන්නේ. මෙය රටේ සංවර්ධනයට බාධාවක්. රටේ ශ්‍රම බලකාය රිය අනතුරුවලින් මිය යනවා. නැතිනම් ආබාධිත බවට පත් වෙනවා. තව පිරිසකගේ වැඩ කරන පැය ගණන මහපාරට දිය වෙනවා. මෙය රටක ආර්ථික සංවර්ධනයට ඍජුවම බලපානවා. රටේ ශ්‍රම බලකාය අහිමි වුණාම රටක් ගොඩ නඟන්නේ කොහොමද? ඒ වගේම තමයි පවුලේ ආදායම් උපයන තැනැත්තා මිය ගියාම ඒ පවුලේ ආර්ථිකය කඩා ගෙන වැටෙනවා. පවුලේ හරිහම්බ කරපු කෙනා වගේම පවුලක සාමාජිකයෙක් ආබාධිත වුණොත් ඔවුන් මොන තරම් අසරණ වෙනවාද? ඒ ආබාධිත තැනැත්තා රැක බලා ගන්න කෙනකු වෙන් වෙලා ඉන්න ඕනෑ. එතකොට හම්බ කරගන්න යන්න විදිහක් නැහැ. සමහරවිට මුළු පවුලම අන්ත අසරණ තත්ත්වයට පත් වෙනවා. එය ආර්ථික වගේම සමාජීය ප්‍රශ්නයක් වෙන්නේ ඒ විදිහටයි. අනික, රිය අනතුරු නිසා තුවාල ලැබූ අයගේ ශාල්‍යකර්ම වෙනුවෙන් ඖෂධ වෙනුවෙන් දැඩි සත්කාර ඒකක වෙනුවෙන් රජය කොයි තරම් වියදම් කරනවා ද?. රිය අනතුරු අවම කර ගන්න පුළුවන් වුෙණාත් රජය වියදම් කරන මුදල් රටේ සංවර්ධනයට යොදවන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ රිය අනතුරුවලින් 90% ක් වළක්වා ගන්න පුළුවනි. රිය අනතුරුවලට වැඩිපුරම හේතු වෙලා තිබෙන්නේ අධික වේගය, බීමත්ව රිය පැදවීම, නින්ද යෑම වැනි කරුණු. ඒවා වළක්වා ගත හැකි දේවල්. රිය අනතුරු ගැන කතා කරන විට රියදුරන්ගෙන් වගේම පදිකයන්ගෙන් ද වැරදි සිද්ධ වෙනවා. අපරික්ෂාකාරිව මාර්ගය හරහා මාරුවීම, මාර්ග සංඥාවලදී බස් මගීන් බසයෙන් බැස යෑම වැනි දේවල් පදිකයන් ඔවුන්ගේ අඩුපාඩු හදා ගන්නවා නම් අපිට මාර්ග අනතුරු අවම මට්ටමකට ගේන්න පුළුවන්.” යනුවෙන් මෙහිදී සඳහන් කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ රිය අනතුරු වැළැක්වීම සඳහා වූ විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය සමත් ඩී. ධර්මරත්න ය.
ඔහු තවදුරටත් සඳහන් කළේ මාර්ග අනතුරු වැළැක්වීම පොලිසියට හෝ මාර්ග ආරක්ෂාව පිළිබඳ කටයුතු කරන ස්වෙච්ඡා සංවිධානවලට හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ ප්‍රවාහන අමාත්‍යාංශයට තනිවම කළ නොහැකි බවය. ඒ සඳහා සියලුම අංශ එකමුතු වී අත්වැල් බැඳ ගැනීමේ අගය පැහැදිලි කළ ඔහු රිය අනතුරු වැළැක්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක අවශ්‍යතාව පැහැදිලි කළේය. ඒ සඳහා යෝජනා 7ක් මෙම වැඩමුළුවේදී ඉදිරිපත් විය. ඒවා මතු දැක්වේ.
*රිය අනතුරු වැළැක්වීම වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කිරීම.
*ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම.
* “ආරක්ෂාව පිළිබඳ සංකල්පය” විෂය නිර්දේශයට ඇතුළත් කිරීම.
*ජාතික මාර්ග ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන (මාර්ග නීති රීති පිළිපදින විනයගරුක රියදුරන්) අය අතරින් හොඳම අය තෝරා ජාතික සම්මාන පිරිනමමින් ඇගයීම.
*හදිසි අනතුරු අධීක්ෂණය කිරීම සඳහා ජාතික ආවේෂණ පද්ධතියක් ඇති කිරීම.
*වසර 2020 වන විට රිය අනතුරු හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව අඩු කිරීම උදෙසා සමාජය දැනුවත් කිරීම
*ආරක්ෂාව පිළිබඳ සංස්කෘතියක් ඇති කිරීම.
මහාචාර්ය සමත් ධර්මරත්න සඳහන් කරන්නේ මෙම ඉලක්ක කරුණු අතරින් ජනාධිපති කාර්යසාධක බලකායක් ඇති කිරීමට වැඩි ප්‍රමුඛත්වයක් දිය යුතු බවය. මන්ද ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කළහොත් සෙසු ඉලල්ක නිරායාසයෙන් සපුරා ගත හැකි නිසාය.
මේ අතරවාරයේදී ඔහු රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් ද අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය.
“ඉස්සර කාලේ රියදුරු බලපත්‍රය පොතක් හැටියට තිබුණේ. වැරදි කරපුවාම ඒ පොතේ සඳහන් වුණා. වැරදි ගොඩකට අසු වී තිබුණොත් රියදුරු බලපත්‍රය පරික්ෂා කරපු ගමන් පෙනෙනවා. ඒත්අද රියදුරු බලපත්‍රය කාඩ්පතක් හැටියට නිකුත් වෙන්නේ. අපි එයට වරදක් කියන්නේ නැහැ. ඒත් නවීන තාක්ෂණයත් එක්ක ඉදිරියට යන ලෝකයේ මේ රියදුරු බලපත්‍රයත් ඊට අනුගත විය යුතුයි. ඒ නිසා අපි යෝජනා කළා රියදුරු බලපත්‍රයට බාකෝඩ් එකක් දමන්න කියලා. පොලිස් නිලධාරීන් රියදුරන්ව අල්ලලා ඔවුන්ගේ උපකරණයකට රියදුරු බලපත්‍රය ඇල්ලූ විට රියදුරාගේ පෙර වැරදි සමඟ සියලුම තොර තුරු දිස් වන ආකාරයට සකස් කරන්න පුළුවන්. ඒත් ඒ දේ තවමත් ක්‍රියාත්මක වුණේ නැහැ. අපි මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරනවා. ඒ ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වනවා. පත්තරවල පිටු ගණන් ලියනවා. රූපවාහිනියේ සාකච්ඡා තියනවා. අපි අවුරුදු ගණන් මේ සියලු දේවල් කරනවා. ඒත් කිසිම ප්‍රතිඵලයක් නැහැ.
මෙහි කාලීන වැදගත්කම අවබෝධ කර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය,ප්‍රවාහන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රිය අනතුරු වැළැක්වීම සම්බන්ධයෙන් කටයුතු කරන ස්වෙච්ඡා සංවිධාන එකට එකතු වී කටයුතු කරන්නේ නම් වඩා ඵලදායි වන බව අපි විශ්වාස කරන්නේ එය ජාතික අවශ්‍යතාවක් නිසා ය.