
ගයාන් කුමාර වීරසිංහ
කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක රථ ගාලක පෙබරවාරි 23 වැනි දා කළ විශේෂ මෙහෙයුමකින් මෙරට ඉතිහාසයේ විශාලතම මත්කුඩු තොගය වන හෙරොයින් කිලෝ 294ක් අල්ලාගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ ඊළඟ ඉලක්කය වූයේ ඊටත් වැඩි මත්කුඩු තොගයක් අල්ලා මත්කුඩු ජාලය බිඳ දමන්නටය.
ඊට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2018 වසරේ දෙසැම්බර් 31 වැනි දා ගල්කිස්සේ කළ වැටලීමකින් බංගලාදේශ ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 278ය. එම වැටලීමද පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි මෙහෙයුමකි. ඊට පෙර දෙසැම්බර් 06 වැනි දා දකුණු මුහුදේදි හෙරොයින් කිලෝ 231 ක් අල්ලාගන්නේ මේ කණ්ඩායම විසින්මය. ඊට සති දෙකකට පසුවද එම බුද්ධි අංශය කොල්ලුපිටියේ තට්ටු නිවාස සංකීර්ණයක කරනු ලබන විශේෂ මෙහෙයුමකදී ඇමරිකානුවන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙක් හෙරොයින් කිලෝ 97ක් සමඟ අල්ලාගනී.
එවැනි දැවැන්ත වැටලීම් රැසකින් මත්කුඩු ජාලය බිඳ දමමින් සිටි විශේෂ කාර්ය බලකායට මහත් පිටිවහලක් වන්නේ මාකඳුරේ මධුෂ් සහ කිරුලපන මොරිල් අතර හටගත් අභ්‍යන්තර ආරවුලයි. ආරවුලට මුල් වූයේ මොරිල් පාකිස්තානයෙන් ඇණවුම් කර දෙවුන්දරින් ගොඩබාන ලද මත්කුඩු කිලෝ 128ක් මාකඳුරේ මධුෂ් සිය ගෝලයන් යොදවා කොල්ල කෑමයි. එසේ කොල්ල කෑ හොරොයින් තොගය දෙවුන්දර සිට කොළඹට රැගෙන එන්නේ කෝටි 700 දියමන්ති කොල්ලයට පොලිසියට හසුවුණු කැළුම් ඉන්දික හෙවත් කැවුමාය.
මාකඳුරේ මධුෂ් සිය දියණියගේ උපන්දින සාදය පවත්වමින් සිටියදී ගෝලබාලයන් සමඟ ඩුබායි පොලිසියට හසුවන්නේ එදා මොරිල්ගේ මත්කුඩු තොගය කොල්ලකෑමට එල්ලවුණු ප්‍රතිප්‍රහාරයක් ලෙසිනි. ඒ වන විටත් මාකඳුරේ මධුෂ් පාකිස්තානයේ සිටින ප්‍රධාන ජාවාරම්කරුවන්ගෙන් හෙරොයින් කිලෝ 300ක් ඇනවුම් කර තිබී ඇත්තේ මුළු රටේම මත්කුඩු බෙදා හැරීමේ ජාලයද සියතට ගැනීමේ සැලසුමක් ඇතිවය. පාකිස්තානයේ පේෂාවර් හී සිටින ජාවාරම්කරුවන්ට මධුෂ් එම ඇණවුම බාර දෙන්නේ ඩුබායි සිට ජංගම දුරකතන ඔස්සේය. ඩුබායි පොලිසියට හසුවීමට දින දෙක තුනකට පෙර මධුෂ් වීඩියෝ ඇමතුමක් ඔස්සේ එම මත්කුඩු තොගයේ ප්‍රමිතිය පවා පරීක්ෂා කර තිබීම විශේෂිතය.
හෙරොයින් නිෂ්පාදනයට යොදාගන්නා පොපි මල් බහුල ලෙස වගා කරන්නේත් හෙරොයින් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා බොහොමයක් ඇත්තේත් ඇෆ්ගනිස්ථානයේය. එකී කර්මාන්ත ශාලා වැඩි ප්‍රමාණයක හිමිකාරිත්වය ඇත්තේ පාකිස්තාන ජාවාරම්කරුවන්ටය. මධුෂ් සිය ඇණවුම බාර දෙන්නේ ඇෆ්ගනිස්තානයේ කර්මාන්ත ශාලාවක් හිමි අලී නැමැත්තෙකුටය. මධුෂ් ඔහු සමඟ එම සම්බන්ධය ගොඩනඟාගෙන ඇත්තේ මෙරට බන්ධනාගාරගව සිටින සිද්ධික් නැමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මඟිනි.
පාකිස්තානයේ පේෂාවර් හී මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නැගණියක සමඟ විවාහ වී සිටි සිද්ධික් පාකිස්තානයේදී එරට ආරක්ෂක අංශයටද කොටු විය. එසේ පාකිස්තාන ආරක්ෂක අංශයට ඔහු කොටු වන්නේ වෙලේ සුදා සමඟ මත්කුඩු ඇණවුමක් ලබාදෙන්නට ඩුබායි සිට පකිස්තානයට ගොස් සිටියදීය.
මධුෂ් අලී නැමති සැපයුම්කරුට වීඩියෝ ඇමතුමක් දී කියන්නේ මත්කුඩු තොගයේ වර්ණය ගැන සෑහීමකට පත් නොවන බවය. ඒ එම මත්කුඩු කහපැහැ ගෙන තිබුණු බැවිනි. අලී එහිදී ඔහුට පොරොන්දු වන්නේ ඉතා ඉක්මනින්ම එය සුදු පැහැ ගන්වා නැවත ඇමතුමක් ගන්නා බවය. ඒ අනුව මත්කුඩු තොගය රසායනික ද්‍රව්‍ය මඟින් සුදු පැහැ ගන්වන විට මධුෂ් සිටින්නේ ඩුබායි පොලිස් අත්අඩංගුවේය.
ඒ සමඟම මධුෂ්ගේ මත්කුඩු ජාලය සියතට ගන්නේ මොරිල්ය. ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වන්නට පෙර මධුෂ් ඇණවුම් කර තිබුණු මත්කුඩු කිලෝ 300ට මොරිල් ඇස ගසාගෙන සිටියේය. ඒ අතර මධුෂ්ගේ ඩුබායි බිරිය දිලිණි උත්සාහයක නිරත වන්නේ එම මත්කුඩු තොගය මොරිල් අතට යන්නට නොදී සියතට ගන්නටය. ඒ සඳහා ඇය පිහිට පතන්නේ බන්ධනාගාරගතව සිටින සිද්ධික්ගෙනි. ඇය සිද්ධික්ට පණිවිඩය ගෙන යන්නේ මධුෂ් සමඟ ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූ කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරියක මඟිනි. දිලිණිගේ ඒ උත්සාහය අසාර්ථක වන්නේ සිද්ධික් ඒ වන විටත් පාකිස්තාන ජාවාරම්කරුවන්ගේ විශ්වාසය බිඳගෙන සිටි බැවිනි. අවසානයේ එම මත්කුඩු තොගයේ ඇණවුම හිමි වන්නේ මොරිල්ටය.
ඇණවුම් කරනු ලබන මත්කුඩු ප්‍රවාහනයේ වගකීමද දරන්නේ පකිස්තාන ජාවාරම්කරුයෝය. පාකිස්තානයට යාබද ඉරාන දේශසීමාවේ සිටින ධීවර කාර්මිකයන් ඒ සඳහා ඔවුන් කුලියට ගන්නේ එක් ගමන් වාරයක් සඳහා ඉරාන් මුදල් මිලියන 03කටය. මෙවරද පාකිස්තාන ජාවාරම්කරුවන් ඉරාන් ධීවරයන් කුලියට ගන්නේ එකී මුදලට කුඩා නෞකාවක්ද සමඟිනි. එම නෞකාව ඉරානයේ ලියාපදිංචි කළ එකකි. ඉරානයේ konarak ධීවර වරායේ නැම්ගුරම්ලා තිබුණු එම කුඩා නෞකාව ඉරාන පාකිස්තාන දේශසීමාවට යාබද මුහුදු තීරයට එන්නේ සති දෙකකට පමණ පෙරය.
එම කුඩා නෞකාවට පටවන්නට ඇෆ්ගනිස්තානයේ සිට පකිස්තානයට මත්කුඩු තොගය ගෙන එන්නේ ගෑස් සිලින්ඩර් තුළ සඟවාය. මත්කුඩු ඇසුරූ මලු නෞකාවට පටවන මොහොතේ සිටම පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයද දැන සිටියේය. එම මත්කුඩු තොගයෙන් කොටසක් මාලදිවයිනටද තවත් කොටසක් සීසෙල්ස් දිවයිනටද ගොඩබාන බවට ඔත්තුකරුගෙන් තොරතුරු ලැබී තිබිණි.
ඉරාන ජාතිකයන් 09 දෙනෙකු සමඟ එම නෞකාව පාකිස්තානයෙන් ගමන් ආරම්භ කළ මොහොතේ සිටම ඒ ගැන විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය ඇස ගසාගෙන සිටියේය. ඒ සමඟම සිය ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා දැනුවත් කරන්නේ මෙරට ඉතිහාසයේ විශාලතම මත්කුඩු තොගය වැටලීමට ඔහු සමඟින් පිඹුරුපත් සකස් කරමිනි. බුද්ධි අංශයේ නිලධාරීන් සැලසුම් කරන්නේ ගොඩබිමට මත්කුඩු තොගය රැගෙන ඒමෙන් පසු මත්කුඩු සමඟ ඊට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගන්නටය. එහෙත් ලතීෆ් මහතා දරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහසකි. එනම් මහා මුහුදට ගොස් අන්තර්ජාතික ජාලයට පහරදෙන්නටය.
එතැන් සිට එම මත්කුඩු නෞකාව කොටු කරගැනීමේ සැලසුම එම්.ආර්. ලතීෆ් මහතාගේය. ඔහු යටතේ ඇති පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ද ඔහු ඊට සම්බන්ධ කර ගත්තේය. මහා මුහුදේ කෙරෙන මෙහෙයුමක් වන බැවින් නාවික හමුදාවේ සහායද ඒ සදහා ඉල්ලා සිටීමට සිදු විය.
ඒ ආකාරයේම මෙහෙයුමක් ඊට පෙර කර තිබුණේ 2016 වසරේ අප්‍රේල් 01 වැනිදාය. ඒ නවගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුලද සිල්වා මහතාට ලද තොරතුරකට අනුවය. එම වැටලීමේදී දෙවුන්දර සිට අන්තර්ජාතික මුහුදු සීමාවට කිට්ටු ප්‍රදේශයේදී කොටු කරගන්නේ කුඩා ප්‍රමාණයේ ඉරාන් නෞකාවකි. එහි සිටි ඉරාන ජාතිකයන් 11 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගන්නා හෙරොයින් ප්‍රමාණය කිලෝ 110කි. ගොඩබිමේ සිට ඔවුන් සමඟ චන්ද්‍රිකා දුරකතන ඔස්සේ සම්බන්ධ වී සිටි හය දෙනෙක්ද ඒත් එක්කම මීගමුවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එදා ගොඩබිමේ සිට ඉරාන නෞකාවේ සිටි අය සමඟ පණිවිඩ හුවමාරුවේ නිරතව සිටියද මෙවර ඒ කටයුත්ත සිදු වන්නේ ජාවාරම්කරුවන් සේ වෙස්වළාගත් පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් අතිනි. ඒ නිසාම මත්කුඩු ප්‍රවාහනය කරන ඉරාන නෞකාවේ ගමන් මඟ ගැන ඔවුන්ට හොඳ හැටි අවබෝධයක් තිබිණි.
අන්තර්ජාතික මුහුදු සීමාව තුළ ක්‍රියාත්මක වන්නේ වෙනම නීති මාලාවකි. අන්තර්ජාතික මුහුදු මාර්ගයේ ගමන් ගන්නා නෞකාවලට අත තියන්නට ඒ කිට්ටුව පාත රටවලට නෛතිකව කිසිදු බලයක් නැත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය රැකවරණය උදෙසා යොදාගන්නේ ද එම නීතිමය තත්ත්වයයි. එකී නීතියෙන් මිදී ඉරාන නෞකාව කොටු කරගන්නට නාවික හමුදාව සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයත් පොලිස් විශේෂ කාර්ය බළකායත් ඒ වනවිටත් හොඳ සූදානමකිනි.
සති කිහිපයක් තිස්සේ ඇස ගසාගෙන සිටි ඉරාන නෞකාව ශ්‍රී ලංකාවට කිට්ටු අන්තර්ජාතික මුහුදු සීමාවේ යාත්‍රා කරන්නට ගන්නේ ඉකුත් 23 වැනි දා සෙනසුරාදාය. සැලසුමට අනුව වෙස් වළාගත් පොලිස් විශේෂ කාර්ය බළකායේත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් නිලධාරීහු එදින රාත්‍රියේ ධීවර බෝට්ටුවක නැඟී ඈත මුහුදට පිටත් වෙති. නාවික හමුදාවේ සයුර සහ සුරනිමල ප්‍රහාරක නෞකාද ඒ කිට්ටුව ස්ථානගත කර තිබෙන්නේ සංඥාවක් ලද සැණින් ඉරාන නෞකාව වැටලීමට සූදානම්වය.
එහෙත් යම් අතපසු වීමකින් සියල්ල වැරදී ගියේය. නෞකාවේ සිටි ඉරාන ජාතිකයන් මත්කුඩු මලු කපමින් මහ මුහුටද හලන්නට විය. නෞකාව ද වේගයෙන් අන්තර්ජාතික මුහුදු මාර්ගය ඔස්සේ යාත්‍රාකරන්නට විය.
පෙනෙන නොපෙනෙන මානයේ තිබූ සයුර සහ සුරනිමල ප්‍රහාරක නෞකා ඉරාන නෞකාව හඹා එන්නට වූයේ ධීවර බෝට්ටුවේ සිටි විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ගේ දැනුම් දීමට අනුවය.
නාවික හමුදාව ඉරාන නැව වට කරන විටත් ඔවුන් මත්කුඩු මලු විශාල ප්‍රමාණයක් මුහුදට හලා හමාරය. අවසානයේදී ඉරාන් නැවේ තිබී සොයාගන්නට හැකිවන්නේ හෙරොයින් කිලෝ 107ක් පමණි.
මෙවන් ප්‍රහාර ඉදිරියේදීත් එල්ල කරන්නට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශය සිටින්නේ ඔත්තුකරුවන්ගෙන් සන්නද්ධවය. ජීවිත අවදානමක් ගෙන අන්තර්ජාතික මත්කුඩු ජාලයට ප්‍රහාර එල්ල කරන මේ නිලධාරීන්ට පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් කිසිදු වරදානයක් ලැබී ඇති බවක් නම් පෙනෙන්නට නැත. ඉකුත් වසරේ දෙසැම්බර් 06 වෙනිදා සිට මේ දක්වා ගෙවී ගිය මාස තුනහාමාරක කාලය තුළදී පමණක් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ගේ මෙහෙයැවීමෙන් අල්ලාගෙන ඇති හොරොයින් ප්‍රමාණය කිලෝ 1000කට වැඩිය.
ඒ සියල්ල පිටුපස සිටින්නේ විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකි. බ්‍රසීලයේ සිට ආනයනය කරන සීනි කන්ටේනර් තුළ සඟවා කොකේන් රැගෙන එන බව මුලින්ම හෙළි කරන්නේද ඒ නිලධාරියායි.
එහෙත් ඒ නිලධාරියා තවමත් උප පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු සමඟ එක් වී මෙහෙයුම් සංවිධානය කරන බුද්ධි අංශයේ ස්ථානාධිපතිවරයා තවමත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි. මේ කණ්ඩායමේ කිසිදු නිලධාරියෙකුට මෙතෙක් උසස් වීමක් තබා උසස්වීමකට නිර්දේශයක්වත් නැත.
සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ එම නිලධාරීන්ට මුදල් ත්‍යග ලබාදෙන්නට පියවර ගන්නා බවය. එම නිලධාරීන්ට මුදල්වලට වඩා තෘප්තියක් හිමි වන්නේ උසස් වීමක් වැනි දිරි ගැන්වීමකින් මිස සොච්චම් මුදලකින් නොවන බව බලධාරීන් සිහියේ තබාගත යුතුය.