
ශ්‍රී ලංකාවේ පුරාණ කර්මාන්ත අතර රෙදිපිළි කර්මාන්තය හිමි කර ගන්නේ අද්විතීය ස්ථානයකි. එය කර්මාන්තයක් වුවත් කලාව සමඟද අවියෝජනීය සබඳතාවක් පවත්නා බැවින් කාර්මික කලාවක් ලෙසද හැඳින්වුවහොත් නිවැරැදිය. රෙදි විවීම පමණක් නොව, සායම් යෙදීම, මෝස්තර යෙදීම, ඇම්බ්‍රොයිඩිං ආදියෙන් රෙදිපිළි කර්මාන්ත සමන්විතය.
ශ්‍රී ලංකාවේ රෙදි පිළි කර්මාන්තය පිළිබඳ පැරණිම ඓතිහාසික මූලාශ්‍රය වන්නේ විජය රජු ශ්‍රී ලංකාවට පැමිණෙන විට, කුවේණිය කපු කැටීමෙහි නිරත වූ බව සඳහන් මහාවංසයේ පුවතයි (මව 7: 11), දෙවන පෑතිස් රජු දවස ජය ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩම වීමත් සමඟ පැමිණි අටලොස් කුලයක පිරිස අතර පේෂකාර්මිකයන් ද වූ බව සඳහන් වේ. (මව 19:4).
ජය ශ්‍රී මහා බෝධියට පැන් වැඩීමේ දී පැන් පෙරීමට ගන්නා පෙරහන්කඩ සැපයීම ඔවුන් වෙත පැවරුණු කාර්යය විය. රෙදි වියන්නන් විසින් කොඩි, තිර ආදිය සැපයු බවට බෝධිවංසයෙහි එන සඳහන ද තවත් වැදගත් සාක්ෂියකි. ඇඳුම් හා කොඩි, තිර ආදිය හැරුණු විට, ගොඩනැගිලි සැලසුම් ඇඳීම සඳහාද පුරාණයෙහි රෙදි භාවිතයට ගත් බව, ලෝවාමහා ප්‍රාසාදයෙහි සැලැස්ම භික්‍ෂුන් වහන්සේ නමක් විසින් දෙව්ලොවට වැඩම කොට ප්‍රාසාදයක් නරඹා එය වස්ත්‍රයක දෑ හිගුලෙන් ඇඳ රැගෙන ආ බව සඳහන් මහාවංස පුවත ඊට සාධකයකි (එම 27: 18 - 19).
ශ්‍රී ලංකාවේ පැරණි ශිලාලේඛන කීපයකින්ද රෙදි පිළි කර්මාන්තය පිළිබඳ සාධක හඳුනාගත හැකිය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කන්දේගම ලෙන් විහාරයේ ශිලාලේඛනයක සඳහන් පෙහෙකාර ග්‍රාමය (පේෂ කර්මාන්ත ගම්මානය) පිළිබඳ තොරතුර ඒ අතරින් වැදගත් සාධකයකි. ඒ අනුව අනුරාධපුර යුගයේ මුල්කාලීනව පේෂකර්මාන්තයේ නියතුවූවන්ට වෙන් කළ ගම්මාන පවා පැවති බව එමඟින් සනාථ වේ.
එම ලිපියට අනුව ලෙන් පුජාවට දායක වූවකු ලෙස දක්වා ඇත්තේ පේෂකර්මාන්ත ග්‍රාමයෙහි සුමන නැමැත්තෙකි (IC vol .i : No 1145) . එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයෙහිම හිත්තරගමහින් ලෙන් ලිපියකද හකුලවිය නමැති ගමෙහි මත්ත (හකුලවිය පෙහෙකර මත) නමැත්තෙකුගේ ලෙන් පූජාවක් පිළිබඳ තොරතුරු ද සඳහන්ය. (IC vol .i : No 1160).
ක්‍රි.ව 9 - 10 සියවස්වලට අයත් සීගිරි කුරුටු කීපයක්ද බිතුසිතුවම්වල නිරූපිත ලඳුන් පිළිබඳ කරනු ලබන වර්ණනයන්හිදි, ඔවුන්ගේ රෙදිපිළි පිළිබඳ ද තොරතුරු සඳහන් වේ. ඒ අනුව 399 වන කුරුටුගීයෙහි “සිනපට” (චීන සේද) පිළිබඳ ත්, 219, 221, හා 230 යන කුරුටු ගීව, “පට් වරැල්ල” (සේද රෙදි) පිළිබඳත් සඳහන් වේ. එම තොරතුරු ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය පිළිබඳව සාධක නොවූවත්, සමකාලීනව සේද මාර්ගය ඔස්සේ වර්ධනය වූ විදේශීය වෙළඳ සබඳතා මත පදනම් වූ රෙදිපිළි භාවිතය පිළිබඳ වැදගත් සාධක ලෙස දැක්විය හැකිය.
ශ්‍රී ලංකාවේ රෙදි පිළිබඳ ඉතාම වැදගත් පුරාවිද්‍යාත්මක සාධකය වන්නේ රඹුක්කන දැලිවල කොටවෙහෙරින් හමු වූ ධාතු කරඬුව ඔතා තිබූ රෙදි කැබැල්ලයි. කාබන් 14 කාලනිර්ණය අනුව එය ක්‍රි. පු 2 වන සියවසට දින නියම කර තිබේ. එහෙත් එය ද චීන සේද රෙදි කඩක් බව අනාවරණය කරගෙන තිබේ.
ඒ හැරුණු විට අනුරාධපුර යුගයෙහි සිට මහනුවර යුගය දක්වාම කාලපරිච්ජේදයට අයත් බිතුසිතුවම්, කැටයම් හා මූර්ති ද රෙදි පිළි කර්මාන්තය පිළිබඳ මොනවට සාධක සපයයි. ඒ අතරින් සීගිරි බිතුසිතුවම් ඒ පිළිබඳව පැරණිම සාධක ලෙස පෙන්වා දිය හැකිය. එම ස්ථානයන්හි නිරූපිත රෙදිපිළි රටා එකල පැවති සමාජ දේශපාලනික, ආර්ථික හා සංස්කෘතික වටපිටාව මැනවින් ප්‍රතිනිර්මාණය කරන මූලාශ්‍රයෝ වෙති.
ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තය සඳහා යොදා ගන්නා ලද්දේ කපු බව සඳහන් කරන ආනන්ද කුමාරස්වාමි, කපු දෙවර්ගයක් ගෙනහැර දක්වයි. එනම්, අවුරුදු කීපයක් පවත්නා විශාල වර්ගය හා කුඩා වාර්ෂික කපු වර්ගය (බාල කපු) වශයෙනි. රෙදි පිළි කර්මාන්තය සඳහා කපු භාවිතය සම්බන්ධයෙන් මානව සභ්‍යත්වය තුළ ඉතා දිගු ඉතිහාසයක් පවතින බව හඳුනාගත හැකිය. ද්‍රවිඩ ග්‍රන්ථයක් උපුටා දක්වා මාර්ටින් වික්‍රමසිංහ, කපු කැටීමෙන් රෙදි වියන ආකාරය දැනගන්නට පෙර පුරාණ ද්‍රවිඩ ස්ත්‍රීන් කොළ හා මානෙල් මල් එල්ලා සාදාගත් ඉණහැඳයන් ඉඟටිය වටා බැඳගත් පුවතක්ද සඳහන් කරයි.
කෙසේ වෙතත් මෑතකදි නව අදහසක් ඉදිරිපත් කරන ආචාර්ය වසන්ත වැලිඅංග පවසන්නේ රෙදිපිළි නිෂ්පාදනය කිරීම සඳහා කංසා කෙඳි ද භාවිතයට ගෙන ඇති බවකි.
රෙදිපිළි තාක්ෂණය
රෙදිපිළි හා බැඳුණු තාක්ෂණය රෙදි විවීම සඳහා නූල් සාදාගැනීමේ සිට නූල් යන්ත්‍රයක් උපයෝගී කරගෙන රෙද්දක් වියාගැනීම දක්වා පියවර ගණනාවකින් සමන්විතය. එම ක්‍රියාවලියේ මූලික කාර්යය වන නූල් සාදාගැනීම සඳහා උපකරණ කිහිපයක්ම භාවිතයට ගෙන ඇති අතර එම කාර්යෙහිද පහත පරිදි පියවර කිහිපයකි.
1. කපුගෙඩි වේළාගැනීම හා කෙඳි වෙන් කරගැනීම
කපු ගෙඩි අව්වේ වේළාගෙන රොඩු ඉවත් කර ඇට වෙන් කරගැනීම පළමු කාර්යයි. ඒ සඳහා “පෙලන දුන්න (Carding Bow) නම් උපකරණයක් භාවිතයට ගන්නා අතර එය උපයෝගි කරගෙන කැටියක් ලෙස ඇති කපු පුළුන් කෙඳි ලෙස වෙන් කරගනු ලැබේ. උණ ලී පතුරු හෝ මා වේවැල්වලින් දුන්න තනා ගන්නා අතර ඒ සෑම දුන්නකටම තදින් යොතක් බඳිනු ලබයි. මනා ලෙස වේළාගත් කපු ඝන කඩදාසියක් මත අතුරා වමතින් දුන්නේ මැද අල්ලාගෙන යොත පුළුන් ගොඩ මත තබා දකුණතින් යොත ගස්සා හරිනු ලබයි. යොතේ සෙලවීම නිසා කෙඳි වෙන් වී පුළුන් විසිර යෑම සිදු වෙයි.
කපු පුළුන් කෙදි අතින් වෙන් කරගැනීම (පෙළීම) සඳහා පෙළන බුරුසුව ( Carding brush) නමින් තවත් උපකරණයක් භාවිතයට ගනී.
එය ශක්තිමත් ලෑලිවලින් සදා තිබේ. අත් දෙකට භාවිත කරන ලෑලි දෙකම එකම හැඩයෙන් යුක්ත වන අතර ලෑලි දෙකළවර අතින් අල්ලාගැනීම සඳහා දිගු ලී මිටක් සවි කර තිබේ. ලෑලිවල ඇතුළු පැත්තෙහි රළු රෙදි කඩක් හෝ සමක් සවි කර තිබේ. එහි මතුපිට සිහින් වානේ කම්බි කැබිලි කෙටි පරතරයක් ඇතිව සවි කර තිබේ.
එම කම්බිවල කෙළවර ලෑල්ලේ මිට ඇති පැත්තට නමා තිබේ. බිම වාඩි වී එක් ලෑල්ලක් අතින් ගෙන එහි කම්බි කොකු මත පුළුන් ස්වල්පයක් තබා කම්බි කොකු සහිත අනෙක් ලෑල්ලෙන් එය තද කොට කීපවරක් මැදිය යුතුය. අනතුරුව ලෑලි දෙක එකිනෙක සෙමෙන් පිරිමදිමින් පෙළි ඇති පුළුන් එක් කෙළවරකට එකතු කර ගත යුතු වේ.
එම කාර්යය සඳහා “කපු කපන යන්ත්‍රය” (Cottongin) නම් උපකරණයක්ද භාවිතයට ගෙන ඇති අතර එය ඉහළට හැරවුණු රෝලර් දෙකකකින් සමන්විත වේ.
ඒවා හැඬලය හැරුණු විට ප්‍රතිවිරුද්ධ දෙසට හැරවන ආකාරයට තනා තිබේ. මහනුවර ජාතික කෞතුකාගාරයේ එවෙනි කපු කපන යන්ත්‍රයක් දැකිය හැකිය. සමකාලීනව මහ බ්‍රිතාන්‍ය ප්‍රමුඛ යුරෝපා රටවල ද කාර්මිකරණයේ ප්‍රතිඵල ලෙස නිෂ්පාදනය කරන ලද කපු කැපීමේ යන්ත්‍ර ද භාවිතයට ගෙන තිබේ.
එවැනි කපු කපන යන්ත්‍රවල සුන්බුන් ඌව වෙල්ලස්ස, උඩුදුම්බර ප්‍රදේශවල තමන්ට දැකගත හැකි වූ බව ආනන්ද කුමාරස්වාමිද සඳහන් කරයි. ඔහු සඳහන් කර ආකාරයට එම යන්ත්‍රවලින් කපු කැපීම කාන්තාවන්ගේ කාර්යයක් වී තිබේ.
2. වේළාගන්නා ලද පුළුන්වලින්
වැටි සාදාගැනීම
ඒ සඳහා “වැටි බංකුව” (Silver Bench) නම් උපකරණයක් භාවිතයට ගනී. මනාව ඔපමට්ටම් කරන ලද ලෑල්ලක් ඒ සඳහා උපයෝගි කර ගනී. පෙළන ලද පුළුන් සමාන ගනකමකට ලෑල්ල මත අතුරා එම පුළුන් තට්ටුව මත දිග කොටුවක් තබා සෙමින් රෝල් කරගත යුතු වේ. පසුව කොටු කැබැල්ල ඉවත් කර පුළුන් වැටිය අතින් තද කොට තළාගත යුතු වේ.
3. පුළුන් වැටිවලින් නූල් අඹරාගැනීම
ඒ සඳහා “තක්ලිය” (Drop Spindle) නම් උපකරණයක් භාවිතයට ගැනේ. තක්ලිය භාවිතයට ගෙන පුළුන් වැටියෙහි ඇති කෙඳි අඹරා ගැනීමෙන් එක හා සමාන ප්‍රමාණයට නූල් අඹරා ගැනේ.
තක්ලිය ලීයෙන් සාදා තිබේ. එහි පහත කෙළවර 3 ½”ක පමණ වටප්‍රමාණයක් ඇති වටකුරු තුනී ලෑල්ලකි. එහි මැදින් සවි වන “ඉද්ද” (Spindle) නමින් හැදින්වෙන දිග කූර අඟල් 13ක් පමණ උසැතිය. ලෝහයෙන් නිර්මිත පහත කෙළවර කම්බි කූර වටකුරු ලෝහ කැබැල්ලකින් වසා තිබේ. කපු කැටීමට දැව තක්ලිය වඩාත් සුදුසු වන අතර ලොම්, හන ආදිය කැටීම සඳහා ලෝහ තක්ලී භාවිතයට ගැනේ. එකම ආකෘතියකට අනුගත වූවත් විවිධ රටවල විවිධ ස්වරූපවලින් යුතු තක්ලී භාවිතයේ පවතී.
නූල් කැටීමේ කාර්යයේ දී තක්ලිය වඩා දියුණු අවස්ථාවක් ලෙස චරකය හැඳින්විය හැකිය. චරකයේ ප්‍රධාන කොටස් දෙකකි. එනම් රෝදය (Wheel) හා ඉද්ද යි. කරකවන රෝදයට යකඩ අලවංගුවක් (Metal axle) හා ලී මිටක් සවි කර තිබේ. චරකයේ ඉද්ද සිහින් වානේ කූරකි. චරකයේ කුඩා රෝදයේ ලී රෝදයක් සම්බන්ධ වන්නේ ඇඹරූ නූල් යොතෙනි. රියනක පමණ නූල් කැබැල්ලක් ඉද්දේ මුල ඔතා එහි දෙකළවර පුළුන්වැටියට සම්බන්ධ කර රෝදය කැරකැවිය යුතු වේ.
එසේ කටින ලද නූල් දඟහැර උණ පතුරුවලින් සෑදු රෝදයකට (හුලු දැව) එතීම සිදු කෙරේ. එමඟින් උණපතුරු හා නූලින් කළ “මාඩාව” නමින් හැඳින්වෙන ලොකු රෝදයකටද එයින් දිග් නූල් කූරකට(හරස්සලයට) එතෙයි. නූල්, දිග් නූග් කූරුවලට ඔතන්නේ එතුම් රෝදයේ (හරස්සල් අඹරන යන්ත්‍රය) ආධාරයෙනි. මෙය රෝදයකින් හා දිග් නූල් කූර දරන කුඩා කොටුව රෝදයට සම්බන්ධ කරන නූලකින් සමන්විතය. රෝදය කැරකෙන විට දිග් නූල් කූර වේගයෙන් කරකැවෙයි. එවිට නූල් රෝදය ඊට පැමිණේ.
4. රෙදි විවීම
මුල් කාලීනව රෙදි වියන ලද්දේ කර දෙකක පොල්ලක් දමා එහි සිට පහළට නූල් එල්ලා එකින් එක දික් නූල් මාරු කර ඒ අතරින් හරස් නූල් දමා ඉහළ සිට පහළට ගෙන කොටුවකින් තද කිරිමෙනි. එසේ විවීමේ දී නූල් නිසියාකාරව සෘජු නොසිටී. පසුව දික් නූල්වල පහළ කෙළවරවල මැටි හෝ ගල් එල්ලන ලදී.
එවෙනි ක්‍රම මෑතක් වන තුරුම පේරු දූපත්වල දක්නට ලැබිණි. මිසරයේ එම ක්‍රමය මීට වඩා වෙනස් ලෙස භාවිත කර තිබේ. ඔවුහු ඉහළ හරස් පොල්ලක සිට පහළ හරස් පොල්ලකට දික් නුල් ඇද ඉහළ සිට පහළට හරස් නූල් තදකරමින් බුමුතුරුණු වියන්නාක් මෙන් වියූ බව පැරණි සිතුවම්වලින් පැහැදිලි වේ.
ඓතිහාසික අවධියේ දී ශ්‍රී ලංකාවේ විවිධ රෙදි විවිමේ ක්‍රම භාවිතයට ගැනුණු බවට සාධක නැත. එසේ වූවත්, එකම සාම්ප්‍රදායික රෙදි විවීම් ක්‍රමය ලෙස හඳුනාගත හැකි වන්නේ තවමත් දුම්බර වියන්නන් විසින් පරිහරණය කරනු ලබන අලුව හෙවත් වල සහිත යන්ත්‍රයයි (pit loom). මීට සමාන ක්‍රම දකුණු හා අග්නිදිග ආසියාතික රටවලත්, අප්‍රිකාවේත් භාවිතයට ගැනේ. ඊට අමතරව “පාගන යන්ත්‍රය” (treadle loom) නමින් හැඳින්වෙන යන්ත්‍රයද රෙදි විවීමේ කටයුතු සඳහා භාවිතයට ගැනේ. අලුව හැරුණු විට ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත රෙදි විවීමේ අත් යන්ත්‍රය පාගන යන්ත්‍රයයි.
රෙදි විවිමේ දී වඩාත් සුලභව භාවිතයට ගැනෙන රටා හයකි. එනම්
1. චාම් වියමන (මෙය තවදුරටත් උපරටා තුනකට බෙදේ. එනම් පැදුරු වියමන, දිග් නාරටි වියමන හා හරස් නාරටි වියමනයි).
2. හිරි වියමන. (මෙයද දිග් හිරි වියමන, හරස් හිරි වියමන, දිග් මුහුණ සහිත හිරි වියමන, හා හරස් මුහුණ සහිත හිරි වියමන වශයෙන් උපකොටස් වලට බෙදේ.
3. හාක්ක වියමන
4. මීවද වියමන
5. සැටින් වියමන
6. බොරු ඇහි වියමන
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රෙදිපිළි කර්මාන්තයේ දී දුම්බර වියමන් රටාවලට ප්‍රමුඛතාවක් හිමි වේ. එම රටා අතර දැකිය හැකි කතුර මලල පලා පෙත්ත, මහමල් පෙත්ත, දියරැල්ල, කින්නර දඟය, ලියවැල, අවුල් හැරේ, තුන්පොට ලණුව, දෙපොට ලණුව, බෝපත කැපී පෙනේ. එම වියමන් සඳහා නිල්, සුදුහා රතු වර්ණත්, කළු හා කොළ වර්ණත් භාවිතයට ගැනෙන අතර ඉතා කලාතුරකින් පමණක් රෝස පැහැය භාවිතයට ගැනේ.
එම වියමන්වලදී අලංකාර ගන බෝඩර් යෙදීමක්ද සිදු කෙරේ. එවැනි බෝඩර් වර්ග 7ක් පිළිබඳ ඩී. එල්. කේ.ජයවික්‍රම සඳහන් කරයි. එනම් ජැකාඩ්, ලැටිස් (චේන්) ඩොබි, බැරල්, ජුන්ගු මදිරි, දෙපොට බෝඩර්, තිනි නූල් හා බරණැස බෝඩර් වශයෙනි.
රෙදිපිළි මුද්‍රණය හා එමඅබ්‍රොයිඩර් කලාව
රෙදිපිළි මුද්‍රණය හා ඊට අදාළ ක්‍රම වේද විදේශීය භාවිතයක් වන අතර පසු කාලීනව ශ්‍රී ලාංකීය රෙදිපිළි කර්මාන්තය සඳහා ද එය භාවිතයට ගෙන තිබේ. පළමු වන පරාක්‍රමබාහු රජු විසින් කරන ලද ලතා මණ්ඩපය පිළිබඳ විස්තරයේ දී චීනයෙන් ගෙන්වන ලද මුද්‍රිත සේද රෙදි පිළිබඳ සඳහන් වේ. එසේ වූවත් එම රෙදි මුද්‍රණය කිරීමට යොදාගන්නා ලද මාධ්‍යයක් පිළිබඳ තොරතුරු අනාවරණය නොවේ.
එම්බ්‍රොයිඩර් කලාවද ශ්‍රී ලංකාවේ රෙදිපිළි කර්මාන්තයට සම්බන්ධ දේශීය ශිල්පීන් විසින් භාවිතයට ගන්නා ලද්දකි. එම කලාව මහනුවර යුගයේ දී ලේන්සු, හිස් පලඳනා, හැට්ට, බුලත් මුළු, කොට්ටඋර, පලස්, කොඩි, බඳපටි ආදිය සඳහා භාවිතයට ගෙන තිබේ.