
තුෂාරි නේරංජා වික්‍රමසිංහ
විදුලියබල අර්බුදයට පිළියමක් ලෙස සූර්ය ශක්තිය හා සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති යොදා නොගන්නේ මන්ද යන ගැටලුව බොහෝ දෙනාගේ කතාබහට ලක් වී ඇත. ස්වාභාවිකව ලැබෙන එම ශක්ති සම්පත් භාවිත කරමින් විදුලිය නිපදවාගැනීම පරිසර හිතකාමීය. සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ සූර්ය තාපයෙන් විදුලි උත්පාදනය හා සුලං බලයෙන් විදුලිය උත්පාදනය ශ්‍රී ලංකාව වැනි රටකට වඩා යෝග්‍ය බවයි.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් එහි ලේකම් ලක්මාල් ප්‍රනාන්දු පවසන්නේ,
“ලංකාව සමකය ආසන්නයේ පිහිටි රටක් බැවින් වියළි කාලගුණයක් ඇති ලංකාව වැනි රටකට සූර්ය තාපයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්. විදුලි අර්බුදයට ප්‍රධාන හේතුව නියමිත කාලය තුළ නිසි ලෙස විදුලි බලාගාර ඉදි නොවීමයි. සෑම වසරකදීම මෙගාවොට් දෙසීයේ සිට තුන්සීය දක්වා ප්‍රමාණයකින් විදුලි ඉල්ලුම වැඩි වෙනවා. එය සපුරාගැනිමට අපි යෝජනා කරන්නේ පුනර්ජනනීය බල හා තාප විදුලිබල සංකලනයක්. අපට ඇති ප්‍රධානම පුනර්ජනනීය ප්‍රභවයන් වන්නේ සූර්ය සහ සුළං බලයයි. විදුලිය වැඩිපුරම අවශ්‍ය රාත්‍රී හයේ සිට දහය දක්වායි. දහවල් කාලයේදී සූර්ය බලය වැඩි වශයෙන් භාවිතා කර ජල විදුලියෙන් වන ඌනපූර්ණය මඟ හරවාගත හැකියි.
අද අප අසීමිතව විදුලි ප්‍රභවයන් තුනක් වන ගල් අඟුරු, ජලවිදුලි සහ ඩීසල් මත යැපෙනවා. මේ තත්ත්වය දීර්ඝ කාලයක සිට සිදු වන දෙයක්. අවාසනාවකට එයින් ප්‍රභවයන් එකක් හෝ අක්‍රීය වුව හොත් රට අඳුරට ගමන් කරන එක වළක්වන්න බැහැ. උදාහරණයක් විදිහට නොරොච්චෝලේ එක් යන්ත්‍රයක් බිඳ වැටුණොත් මුළු රටම සම්පූර්ණයෙන් අඳුරු වෙනවා.
තවත් හේතුවක් තමයි විදුලි බල ජාලයේ ඒක කේන්ද්‍රීය හෙවත් Centarlized විදුලි ජනන හා ප්‍රේරණ සැලසුම. එක් විදුලි බලාගාරයක විදුලි රැහැනක නඩත්තුවක් හෝ බිඳවැටීමක් මුළු ලංකාවේම විදුලි බල සැපයුම අඩාළ වීමට හේතු වෙන්නට පුළුවන්. එයින්ම ලංකාවේ ජාතික විදුලි පද්ධතිය කොතරම් දුර්වල දැයි පේනවා. සූර්ය බලය ඔස්සේ එම ගැටලු තුනටම උත්තර සෙවීමට අපිට පුළුවන්.“
“දහවල් කාලයේ බහුලව තිබෙන සූර්යබලය විදුලි ජනනයට යොදාගෙන ජලාශවල වතුර ටික රෑ දුවන්න ඉතිරි කරගන්න පුළුවන්. මේ තත්ත්වය සාමාන්‍ය ජනතාවටත් තේරෙන දෙයක්“ සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය පවසයි.
ශ්‍රී ලංකා ජෛව බලශක්ති සංගමයේ හිටපු සභාපති වරලත් ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ අදහස් දක්වමින් පවසන්නේ, සූර්ය බලය ඔස්සේ නිපදවන විදුලිය අඩු මුදලකට ලබාගන්නට පුළුවන් බවයි.
“භූගෝලීය වශයෙන් අපේ රටේ පිහිටීම ඉතාම වැදගත්. අපි ඉන්නේ හැමදාම ඉර ගමන් කරන සමකය ආසන්නයේ කර්කටක හා මකර නිවර්තනය අතර. මේකට කියන්නේ සූර්ය කලාපය හෙවත් Sun Belt කියලයි. ලංකාවේ හැම වර්ග මීටරයකටම ශක්ති ඒකක 1700 සිට 2000 දක්වා ප්‍රමාණයක් සූර්ය බලයෙන් වාර්ෂිකව ලැබෙනවා. පසුගිය කාලයේ සූර්ය බලය මිල දී ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ 'කුඩා විදුලිබල මිල දී ගැනීමේ ක්‍රමවේදය' තිබුණත් එය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ නවතා දමා තිබෙනවා.
සූර්යබල ආයෝජකයන් 300කට අධික ප්‍රමාණයක් මෙගාවොට් 2 සහ 5 වශයෙන් වූ කුඩා සූර්ය විදුලි බලාගාර ඉල්ලුම්පත් හයසීයක් පමණ 2016 වසරේ සිට අවුරුදු තුනකට වඩා කාලයක් කිසිම ප්‍රගතියක් නැතිව එකම තැන පල් වී තිබෙනවා. මෙම ඉල්ලුම්පත් හයසියෙහි එකතුව පහසුවෙන්ම මෙගාවොට් එක්දහස් පන්සියයකට වැඩියි.
එම අයැදුම්පත්වලට සාධාරණව කළ හැකි මිලක් නියම කර අනුමැතිය දුන්නා නම් අවුරුද්දක් ඇතුළත අපිට අඩුම ගානේ මෙගාවොට් පන්සීයක්වත් ජාලයට එක්කාසු කරන්නට පුළුවන්“ ඔහු චෝදනා කරයි.
'මෙගාවොට් 2 සහ මෙගා වොට් 5 හි තවත් වැදගත් කමක් වන්නේ ඒ සඳහා කිසිම විදුලි රැහැන් හෝ විදුලි සම්ප්‍රේෂණ ට්‍රාන්ස්ෆෝමර්වලට යටිතල ප්‍රවර්ධනයක් අවශ්‍ය නොවීමයි. ලංකාවේ විදුලි ඇණහිටීම නිසා සිදු වන කර්මාන්ත සහ සේවාවන්හි බිඳවැටීම්වල ආර්ථික බලපෑමේ අගය, සූර්ය බලයේ වියදම නොම සපයන ලද විදුලි ශක්තිය එක්ක ගත් විට බොහෝ අඩුයි. අනෙකුත් සෑම තාප ශක්ති ප්‍රභවයක් ගත්තාමත් අඩුයි. ඒ වගේ ම ඩොලර් එකත් එක්ක වෙනස් වෙන්නෙත් නැහැ.
තවත් බොහෝ ආර්ථික සහ පාරිසරික ප්‍රතිලාභ බොහොමයක් තියෙනවා. සූර්ය බලය මඟින් කෙටි කාලීන සහ දිගු කාලීන ශක්ති සුරක්ෂිතතාව සඳහා තීරණාත්මක කර්තව්‍යයක් කළ හැකියි. ඒ හේතුව නිසාම මුළු ලෝකයම ඉතා ශීඝ්‍රයෙන් සූර්ය බල විප්ලවය වැලඳ ගනිමින් ඉන්නවා. අපේ පමාව අපේ මතු පරපුරට විඳින්න සිදුවේවි.
වත්මන් විදුලි අර්බුදයට කඩිනම් විසඳුම වන්නේ දැනට ප්‍රමාද වී ඇති සූර්ය විදුලි බලාගාර කඩිනමින් ඉදි කිරීමයි. 2016 දී එවැනි බලාගාර ඉදිකිරීම සඳහා ඉල්ලුම් කළ ආයෝජකයන්ට බලාගාර ඉදි කිරීම සඳහා කඩිනමින් අනුමැතිය ලබාදෙන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එසේම වහල මත සවි කරන සූර්ය බල පද්ධති සවි කිරීමේදී පාරිභෝගිකයින්ට මුහුණපෑමට සිදුවන බාධා හා ප්‍රමාද වැළැක්වීමට ද පියවර ගත යුතුයි.
ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ හිටපු සභාපති ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න සිළුමිණට පැවසූයේ අපේ ආර්ථික ගැටලු විසඳන්න පුනර්ජනනීය බලයෙන් හැකි බවය.
“ පුනර්ජනනීය බලශක්තිය රටපුරා ව්‍යාප්ත කිරීමට හා එය ජනප්‍රිය කිරීමට ඇතැම් විදුලි ඉංජිනේරුවරුන් බාධා කිරීම නිසා ඒ වැඩපිළිවෙළ අකර්මණ්‍ය වික්‍රමරත්න මහතා පවසයි.
“පුනර්ජනනීය බලය කියන්නේ අලුතින් නැවත නැවත වියදමක් නැතිවම උපදවාගත හැකි ස්වාභාවික සම්පත්වලින් ජනනය කරන බලශක්තියට. අපේ රටේ පුනර්ජනනීය බලශක්තිය අතුරින් සූර්ය බලයට ප්‍රධාන තැනක් ලැබෙනවා.
ඒ අනුව අපි සූර්යබල සංග්‍රාමය ක්‍රියාවට නැංවූවා. ඊට බාධා හුඟක් එල්ල වුණා. සූර්ය බල සංග්‍රාමය යටතේ අපේ රටේ වහලවල්වල ඉදි කළ බලාගාර මඟින් මෙගා වොට් 200ක් ලබාදෙන්න පුළුවන් වෙලා තිබෙනවා. ඊට අමතරව පොළොවේ ගහපු සුළං බලාගාරවලින් මෙගා වොට් 50ක් ලැබෙනවා. වාර්ෂිකව ගණනය කළ විට රුපියල් මිලියන 10000 ක මුදලක් ඉතුරු කරගන්න පුළුවන් වුණා.
අද ලෝකයේ කාලගුණය වෙනස් වෙලා ඒ අනුව අපේ ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවලට ලැබෙන වැසි රටාව වෙනස් වෙලා. ඒ නිසා අපිට සූර්ය බලය, සුළං බලය වැනි වෙනත් බලශක්තිවලට යන්න වෙලා තියෙනවා.
පුනර්ජනනීය බල ශක්තිය දියුණු කළොත් ඩොලරය ඉහළ යෑම හා ආර්ථික ගැටලුවලට හොඳ විසඳුමක් ලැබෙනවා. ඒ සමඟම පරිසර හිතකාමි රටක් අපට ලැබෙනවා. ඒ නිසා පුනර්ජනනීය බලය සෑදීමට හැම දෙනාම උදව් කළ යුතුයි. අකුල් නොහෙළිය යුතුයි. විදුලි බල මණ්ඩලයේ හා වෙනත් විද්‍යාත්මක ආයතනවල සමහර අය මේ කරන වැඩට බාධා කරනවා.
අපේ ලොකුම සම්පත තමයි සූර්ය බලය. සුළං බලය රළ බලය හා දැව ඉන්ධන මඟින් විදුලිය නිපදවීමයි. නමුත් ඒකට ආයතනවල බලධාරින් හා නිලධාරින් බාධා කරනවා. මන්නාරමේ සුළං බල ව්‍යාපෘති අනුමත කරලා දැන් අවුරුදු 5කට වැඩියි. ලෝන් එකකුත් දුන්නා. නමුත් විදුලි බල මන්ඩලයේ එක තාම ඒක ඉදි කරලා නැහැ. ඒ සමඟම උතුරු මැද ප්‍රදේශයේ හා විශාල මහවැලි ජලාශවල සූර්ය බල පැනල් සවි කිරීමට අපි සූදානම් වුණා. නමුත් ඒ ව්‍යාපෘතිවලට අදාළ නිලධාරින් දෙන සහයෝගය ඉතා අඩුයි. මේවා රටට කරන කෙනෙහිලි. පුනර්ජනනීය බලශක්තිය තවදුරටත් සියලු දෙනාගේ උදවු ඇතිව ව්‍යාප්ත කළහොත් ජනප්‍රිය කළහොත් අපේ රට තව අවුරුදු 5ක් ඇතුළත ගොඩගන්න පුළුවන්.'
බලශක්ති සංසදයේ විධායක අධ්‍යක්‍ෂ අශෝක අබේගුණවර්ධන පවසන්නේ, සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය අපට ඇති විකල්පයක් බවත් සුර්ය බලයෙන් මුළු රටේම විදුලි අවශ්‍යතාව සපුරාලීමට හෙක්ටයාර් දහදාහක භූමි ප්‍රමාණයක් සෑහෙන බවත්ය. එය ලංකාවේ මුල් ඉඩම් ප්‍රමාණයෙන් සියයට 2ක ප්‍රමාණයකි. පුනර්ජනනීය බල ශක්තිය නිෂ්පාදනය සඳහා වැඩි මුලික වියදමක් දරන්නට සිදු වුවත් දිගුකාලීනව එය ලාභදායි වෙයි. ෆොසිල ඉන්ධන භාවිතයේදී බලාගාරවල ආයු කාලය පුරාම ඉන්ධන වියදම දැරිය යුතු වුවත් පුනර්ජනනීය බලශක්තියේදී සුළං සහ හිරු එළිය සඳහා වියදමක් දරන්නට සිදුනොවේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් පවසන්නේ මේ වන විට සූර්ය බලාගාරවලින් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා ගත්තත් මේ වන විට ක්‍රියාත්මක විදුලිය කැපීම නිසා සූර්ය බලාගාරවලින් ජනනය කෙරෙන විදුලිය මෙගාවොට් දෙසීයකට ආසන්න ප්‍රමාණයක් දිනපතා ජාතික විදුලි පද්ධතියට අහිමි වන බවයි.
සූර්ය බලාගාරවලින් විදුලිය ජනනය වීමට නම් අඛණ්ඩ ව විදුලිය සැපයුමක් තිබිය යුතු අතර විදුලිය විසන්ධි වීමේ දී සූර්ය තාපයෙන් ජනනය වන විදුලිය පද්ධතියට එකතු නොවී විනාශ වන බවද ඔවුහු පවසති. ඒ අනුව රට පුරා කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන, නිවාස, හා වෙනත් ගොඩනැගිලි මත වහලයේ සවි කර ඇති සූර්ය තාප බලාගාරවලින් දිනපතා ජාතික විදුලිපද්ධතියට මෙගාවොට් 165ක් එකතු වුවත් එම ප්‍රමාණය දින ගණනක් පුරා ජාතික විදුලි පද්ධතියට අහිමිව තිබේ.
විදුලිය අර්බුදයට විසඳුම් ලෙස සූර්ය බලය උපයෝගී කරගැනීම යෝග්‍ය බව විදුලි පාරිභෝගිකයන්ගේත් අදහසය. මිල අධික නිසා සූර්ය පැනල මිලදී ගැනීම බෝහෝ පාරිභෝගිකයන්ට ගැටලුවක් වී තිබේ. එමෙන්ම බොහෝ දෙනා ඒ පිළිබඳ දැනුවත් වී ඇති බව පෙනෙන්නට නැත.