කැලණියේදී දිය කළ පුත්තලමේදී වාෂ්ප කළ කොකේන් තොගයේ කතාව | Page 4 | සිළුමිණ

කැලණියේදී දිය කළ පුත්තලමේදී වාෂ්ප කළ කොකේන් තොගයේ කතාව

  • විනාශ කළේ නඩු කටයුතුවලින් නිදහස් කළ කොකේන් කිලෝ 769ක්...
  • වටිනාකම රුපියල් කෝටි දාහකට වැඩියි...
  • මත්ද්‍රව්‍ය විනාශයෙන් පසු නිලධාරීන් ඇඳ සිටි ඇඳුමත් ගිනි තියලා...

දිවා රෑ නොබලා මත්ද්‍රව්‍ය වැටලීම්හි නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොගවලට සිදුවන්නෙ කුමක් ද යන්න රටේ බොහෝ දෙනෙකුට ප්‍රහේළිකාවක් වී තිබිණි. ඇතැමෙක් එම මත්ද්‍රව්‍ය තොග නැවතත් වක්‍රාකාරයෙන් ජාවාරම්කරුවන් අතරට පත්වන බවටද මැසිවිලි නැගූහ.

එහෙත් අත්අඩංගුවට ගෙන නඩු කටයුතුවලින් නිදහස් කෙරෙන මත්ද්‍රව්‍යවලට සිදුවන්නෙ කුමක්ද යන්න පසුගිය පළමු වැනිදා සැමට පෙන්වූයේ සජීවී මාධ්‍ය අවකාශයේ ඉඩහසරද වෙන්කර ගනිමිනි.

ඒ අනුව එදින රටේ ජනපතිවරයාගේද නිරීක්ෂණයෙන් යුතුව නඩු කටයුතුවලින් නිදහස් කෙරුණු ලෝකයේ අධික මිලෙන් යුත් මත්ද්‍රව්‍යයක් වන කොකේන් කිලෝග්‍රෑම් 769ක් ප්‍රසිද්ධියේ විනාශ කෙරුණේ අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලවය.

2016 ජූලි 21 වැනිදා ඔරුගොඩවත්ත ෆ්‍රැන්කි බහාලුම් අංගණයේ කන්ටේනර් දෙකක තිබී සොයාගත් කිලෝග්‍රෑම් 301ක ප්‍රමාණයත්, එම වර්ෂයේදීම නොවැම්බර් 09 කැලණිය පෙතියාගොඩදී අත්අඩංගුවට ගන්නා ලද කොකේන් කිලෝග්‍රෑම් 31ක් සහ එම මස 24 වැනිදා ඔරුගොඩවත්ත රේගු ආදායම් අධ්‍යක්ෂණ අංගණයේදී කන්ටේනරයක තිබී සොයා ගැනුණු කිලෝග්‍රෑම් 219 සමඟ රත්මලාන ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් භාරයට ගැනුණු කොකේන් කිලෝග්‍රෑම් 216 යන අවස්ථා හතරකට ආරක්ෂක අංශ බාරයට ගෙන නඩු කටයුතුවලින් නිදහස් කෙරුණු මත්ද්‍රව්‍ය තොග මෙදින විනාශ කෙරිණි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය සහ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් යන අයගේ පූර්ණ අධීක්ෂණය යටතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකායේ මැදිහත්වීමෙන් මත්ද්‍රව්‍ය විනාශ කිරීමට සුවිශාල දායකත්වයක් සැපයූවේ ඉන්සි එකෝසයිකල් ආයතනයයි.

කැලණිය, ගෝනවල පිහිටි ඩී.එන්.එස්. ගබඩා සංකීර්ණ පරිශ්‍රයේදී විනාශ කෙරුණු එම කොකේන් තොගයේ වටිනාකම කෝටි දහසකට අධික බවටද වාර්තා වේ.

රස පරීක්ෂක නිලධාරින්ගේ භාරයේ තිබූ කොකේන් තොගය පෝර උරවල බහා දැඩි රැකවල් මැද ගබඩා සංකීර්ණයට ගෙන ඒමෙන් අනතුරුව මුලින්ම මහේස්ත්‍රාත් අධීක්ෂණයට ලක් විය. ඉන්පසුව මත්ද්‍රව්‍ය තොගය මහේස්ත්‍රාත්වරු ඉදිරියේ නැවතත් කිරා බැලීම සිදු කළේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ විද්‍යාත්මක නිලධාරි කණ්ඩායමක් විසිනි.

එහිදී සෑම කොකේන් පාර්සලයකින්ම සාම්පලයක් ගෙන එම ස්ථානයේදීම නැවත වරක් රසායනික පරීක්ෂාවකට ලක් කෙරුණේ රජයේ රස පරීක්ෂක නිලධාරින් මඟිනි.

අනතුරුව එම ස්ථානයේ තිබූ විශාල ප්‍රමාණයේ බහාලුම් හතරකට කොකේන් කුට්ටි එකින් එක දමන ලදී. රසායනික ද්‍රව්‍ය මිශ්‍රිත එම බහාලුම් සපයා තිබුණේ ඉන්සි ආයතනයෙනි. අනතුරුව එම කොකේන් තොගය යන්ත්‍රානුසාරයෙන් දිය කිරීම කෙරුණේ මහේස්ත්‍රාත් අධීක්ෂණය යටතේ ය. එහිදී අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත ඇඳුමක් ඇඳ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීහු මත්ද්‍රව්‍ය දියකිරීම සිදු කළහ. .

පැය ගණනාවක් ගතකොට දිය කෙරුණු කොකේන් මිශ්‍රිත දියර බහාලුම් හතර අවසානයේ ආරක්ෂක රැකවල් මධ්‍යයේ එදිනම රැගෙන ගියේ පුත්තලමේ පිහිටි ඉන්සි සිමෙන්ති කම්හල වෙතටය. එම ස්ථානයද මහේස්ත්‍රාත් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව දියර බහාලුම් හතර පිළිස්සීම ආරම්භ කෙරිණි.

සිමෙන්ති කම්හලේ වූ සෙල්සියස් අංශක 1800ත් - 2000ත් අතර උෂ්ණත්වයකින් යුත් උඳුනක් තුළට බහාලු මලු හතර තත්පර හතරක්, පහක් ඇතුළත දැවි අළුවී ගියේය. මත්ද්‍රව්‍ය විනාශ කිරීමට මෙරට වගකිවයුත්තන් කෙතරම් සුපරීක්ෂාකාරී වී ඇත්ද යන්න ඉන් ගම්‍ය වේ. එසේම තවත් විශේෂත්වයක්නම් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් ඇඳ සිටි විශේෂිත ආරක්ෂිත ඇඳුම්ද එම උඳුනටම දමා අළු කිරීමයි. ඒ මත්ද්‍රව්‍ය විනාශ කිරීම හේතුවෙන් පරිසරයට සහ සත්ත්ව කොට්ඨාසවලට හානියක් නොවීමට වග බලා ගත් හෙයිනි.

එහෙත් පිටරටවල බොහෝ අවස්ථාවල මත්ද්‍රව්‍ය විනාශ කරන්නෙ මිනිස් වාසයෙන් තොර කලාපවලට රැගෙන ගොස් ගිනි තැබීමෙන් බව මත්ද්‍රව්‍ය විනාශ කිරීමට එක්වූ නිලධාරියෙක් අපට කීවේය.

රජයේ මැති ඇමැතිවරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් පමණක් නොව මාධ්‍යය මෙන්ම සාමාන්‍ය ජනයාට ද සියැසින් දැකගැනීමේ අවස්ථාව උදාකරමින් මෙලෙස කොකේන් තොගයක් මෙරටදී විනාශ කෙරුණේ දෙවන වතාවටය.

මීට පෙර පසුගිය වසරේ ජනවාරි 15 වැනිදා ද නඩු කටයුතුවලින් නිදහස් කෙරුණු කොකේන් කිලෝග්‍රෑම් 928ක් විනාශ කෙරිණි. ඒ අනුව මතින් නිදහස් රටක් බිහි කිරීමේ සංකල්පය මත රට මත් උවදුරෙන් ගලවා ගැනීමේ රජයේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව මෙලෙස ප්‍රසිද්ධියේ මත්ද්‍රව්‍ය විනාශ කිරීම සිදු කෙරිණි.

මෙදින විනාශ කෙරුණු කොකේන් දකුණු ඇමෙරිකානු කලාපයේ බ්‍රසීලය ප්‍රමුඛ රටවල් කිහිපයක වගා කෙරෙන ශාකමය ස්වාභාවික මත්ද්‍රව්‍යයක් සේ සැලැකෙන අතර ලොව තිබෙන අධික මිලෙන් යුත් මත්ද්‍රව්‍යයක් ලෙසටද ගැනේ.

ග්‍රෑම් එකක වීදි මිල රුපියල් තිස්, හතළිස් දහසක් පමණ වන කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටදී ප්‍රථම වරට අත්අඩංගුවට ගැනුණේ 2016 මැයි 14 දිනයි. ඒ පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි නිලධාරියෙකුට ලැබුණ තොරතුරක් අනුව කළ වැටලීමකිනි. එහිදී බුද්ධි නිලධාරියාට හෝඩුවාව ලැබී තිබුණේ ඔරුගොඩවත්ත රේගු අංගණයට බාහිරින් පිහිටි රේගුවටම අයත්ව ඒෂියන් යාඩ්හි තිබෙන සීනි කන්ටේනරයක කොකේන් තොගයක් තිබෙන බවටය. එම සීනි කන්ටේනරය ගෙනැවිත් තිබුණේ මෙරටට සීනි ගෙන්වන පැරැණිම සමාගමක් විසිනි. වැටලීම සිදුකිරීමට නිලධාරින් යන විටත් කන්ටේනරය නිදහස් කරගැනීමට අදාළ සමාගමේ නිලධාරින් පැමිණ තිබිණි.

එහෙත් පසුව කන්ටේනරය ස්කෑන් පරීක්ෂාවකට ලක්කළත් කොකේන් තොගය සොයා ගැනීමට නොහැකි විණි. අනතුරුව කන්ටේනරය විවෘතකොට සීනි ගෝනි කිහිපයක් ගොඩබෑමෙන් අනතුරුව දක්නට ලැබුණු කළු පැහැති මලු හතරක තිබී එදින කොකේන් කිලෝග්‍රෑම් 85ක් සොයා ගැනිණි. එදින එම කෝකේන් තොගය සියැසින් දැකගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාද කන්ටේනර් අංගණයට පැමිණියේය.

අනතුරුව මෙරටට ගෙන්වන සියලුම සීනි කන්ටේනර් දැඩි සුපරීක්ෂාවකට ලක්කිරීමට ආරක්ෂක අංශ වග බලා ගැනීමත් සමඟ කොකේන් කිලෝ සිය ගණනින් සොයාගත්තෙ දින කිහිපයක් ඇතුළතදීය.

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ එසේ මෙරටට ගෙන්වූ කොකේන් තොගවලින් බොහොමයක් ප්‍රතිඅපනයනයට ගෙනැවිත් ඇති බවය.

එසේම ඇතැම් කොකේන් තොග බ්‍රසීලයේ සිට පැමිණෙන සීනි කන්ටේනර්වල බහා යුරෝපයට යැවීම ජාවාරම්කරුවන්ගේ මූලික අරමුණ වී ඇති බවටද අනාවරණය වේ. ඒ ලෝකයේ කොකේන් පානය වැඩිපුරම සිදුවන්නෙ සුපිරි පන්තියේ අයවලුන් නිසාවෙනි. ජාවාරම්කරුවන් විසින් බ්‍රසීලයේ සිට යුරෝපය හරහා ආසියාවට යන නෞකාවලට හොර රහසේ කොකේන් පටවන බවකි. ඒ යුරෝපා රටවල සිටින ජාවාරම්කරුවන් වෙනුවෙනි. එහෙත් සිදුවන අතපසුවීම් සහ ආරක්ෂක හේතු නිසාවෙන් එම යුරෝපීය ජාවාරම්කරුවන්ට අදාල කොකේන් තොග ගොඩබාගත නොහැකි වුවහොත් සිදුවන්නේ එම නෞකා කොකේන් තොග සමඟම ආසියානු රටවලට පැමිණීමය. එසේ යුරෝපයේදී ගොඩබාගත නොහැකි වූ බොහෝ කොකේන් තොගද පසුගිය දිනවලදී මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනිණි.

එසේ අත්අඩංගුවට ගෙන නඩු කටයුතුවලින් නිදහස් කෙරුණු මත්ද්‍රව්‍ය තොග අන්තර්ජාතික ප්‍රමිතියට අනුකූලව විනාශ කිරීමට රජයේ අවධානය මුලින්ම යොමු වූයේ ගිය වර්ෂයේදීය. ඒ අනුව පසුගිය වර්ෂයේ ජනවාරි 15 වැනිදා මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ විනාශ කිරීම සිදු විණි. එදින විනාශ කෙරුණේ 2016 දෙසැම්බර් 09 වැනිදා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ ජැටියේ තිබී ඉක්වදෝරයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කළ එම්.එස්.සී. පැබියොලා නමැති නෞකාවේ තේක්ක දැව තොගයක් පටවා තිබූ කන්ටේනර අතර වූ Medu 1021886 අංක දරන කන්ටේනරයේ තිබී සොයාගත් කොකේන් කිලෝග්‍රෑම් 928ක ප්‍රමාණයකි.

ඒ අනුව මෙරට ජනයාට නඩු කටයුතුවලින් නිදහස් වීමෙන් අනතුරුව මත්ද්‍රව්‍යවලට සිදුවන්නෙ කුමක්ද යන්න නිශ්චිත නිගමනයකට ඒමට හැකියාවක් ලැබි තිබේ.

 

ඡායාරූප - වාසිත පටබැඳිගේ

Comments