
දේශපාලනඥයකු වූ මානව හිතවාදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනයට ලක් වී ඊයේ (06) දිනට එකොළොස් වසරකි. ඒ නිමිත්තෙන් තැබෙන සටහනකි, මේ.
ජෙයරාජ් නම් සොඳුරු, මානව හිතවාදී හා නිර්මාණශීලී දේශපාලනඥයා ශ්‍රේෂ්ඨ නායකයකු වන්නේ ඔහු සමස්ත මානව සමාජයට කරනු ලැබූ සුවිසල් මෙහෙය නිසාය.
මුලදී වෘත්තියෙන් නීතිඥයකු වූ ජෙයරාජ් දුප්පත්, අහිංසක මිනිසුන් වෙනුවෙන් කිසිදු අය කිරීමකින් තොරව උසාවිවල පෙනී සිටියේ මානව සමාජයට සේවය කිරීමේ අරමුණෙනි. ඔහු හොරුන් වංචනිකයන් තක්කඩින් හා මංකොල්ලකාරයන් වෙනුවෙන් උසාවිවල පෙනී සිටියේ නැත.
ඔහු අහිංසක මිනිසුන් දහස් ගණනක් වෙනුවෙන් සිය සේවය නොමිලේ ලබා දී ඇත. අවම වශයෙන් දිනකට නඩු තිහ හතළිහකට එලෙස පෙනී සිට ඇත. ඒ නඩු සියල්ලම පාහේ ජයග්‍රහණය කර ඇත. ප්ලේටෝගේ න්‍යාය අනුව බුද්ධිමතා යනු ජනතාවගේ ගැටලු විසඳීමට සමත් අයෙකු විය යුතුය. උසාවි යන අහිංසකයන්ගේ ගැටලු නොමිලේ විසඳා දීම මානවවාදී වූ බුද්ධිමතකුගේ ක්‍රියාවකි.
ජෙයරාජ් අධ්‍යාපනය ලැබුවේ මීගමුවේ මාරිස්ටෙලා විදුහලෙනි. උසස්පෙළ පන්තිවලදී ප්‍රධාන ශිෂ්‍ය නායකයා වශයෙන් සිටියදීම පාසල් පාලනාධිකාරියෙන් සිදු වූ අසාධාරණයකට එරෙහිව වර්ජන අවිය අතට ගත්තෙකි. එම අසාධාරණය නම් නූගන්වන ලද විෂය කරුණු විභාග ප්‍රශ්න පත්‍රයක තිබීම පිළිබඳය. පන්තියේ සියලු දෙනාම සාමූහිකව වර්ජනයට සහභාගි වුවද දඬුවම් විඳ විදුහල හැරයාමට සිදු වූයේ ජෙයරාජ් ශිෂ්‍යයාට පමණි. අන් සිසුහු සියලු දෙනාම අසාධාරණය දැක සමාව අයැදීමට නිවට වුවද විදුහල් පාලනාධිකාරය කළ වරදට සමාව අයදීමට ජෙයරාජ් කොලු ගැටයා නිවට වූයේ නැත.
1974 දී, තරුණ ජෙයරාජ් නීති විද්‍යාලයට පිවිස 1977 දී ඉන් පිට වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙසිනි. 1975 දී නීති විද්‍යාලීය ශ්‍රී.ල.නි.ප. නීති සංගමයේ ලේකම් ධුරයට පත්වේ. පාසල් වියේ දී විද්‍යාලයීය ශිෂ්‍ය කණ්ඩායමේ නායකයා වූවා සේම නීති විද්‍යාලයේ විවාද කණ්ඩායම ද නියෝජනය කළේ ය. ඔහුගේ චතුර කථිකත්වයත් තර්ක කිරීමේ හැකියාවත් පුළුල් දැනුමත් නිසා සාර්ථක නීතිවේදියකු වූයේය.
සම්ප්‍රදායික දේශපාලනයෙන් පීඩා විඳිමින් සිටි කටානේ ජනතාවගේ බලවත් ආයාචනය පරිදි, සිරිමාවෝ මැතිනිය විසින් ජෙයරාජ් නම් තරුණ නීතිවේදියාව 1984 දී කටානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පත් කරනු ලැබීය.
ඒ අවධියේ (1977 - 88) ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමය විය. ශ්‍රී.ල.නි. පක්ෂයේ මන්ත්‍රීන්ගේ සංඛ්‍යාව අට දක්වා අඩු වී තිබිණි. එසේම ශ්‍රී.ල.නි. පක්ෂය දෙකට කැඩී භේද භින්න වී තිබිණි. පක්ෂ නායිකාව වන මැතිනියගේ ප්‍රජා අයිතිය ද අහිමි කර තිබිණි.
ජාතික (දේශපාලන) නායකයින් සතු ලක්ෂණ හයක් තිබිය යුතුයයි මහත්මා ගාන්ධිතුමා වරක් ප්‍රකාශ කර ඇත. එකී කරුණු නම්, ධෛර්යවන්ත බව, ඔරොත්තුදීමේ හැකියාව, නිර්භය බව, තම අරමුණ කෙරෙහි ඇති ආත්මීය බැදියාව නොහොත් කැපවීම, දක්ෂ කථිකත්වය හා මිනිසත්කම නොහොත් මානව දයාව වේ.
ඒ කරුණු හයෙන්ම පරිපූර්ණ වූ ජෙයරාජ් කටාන පමණක් නොව මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම බුද්ධිමත් ජනතාවගේ ආදරයට පාත්‍ර විය.
1988 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජෙයරාජ් ඡන්ද 51485ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට පත්වෙයි. ඔහු මැර බලය ජය ගත්තේ බුද්ධියෙනි. එනම්, මිනිසාට ආදරය කිරීම තුළින් මිනිසා ද කෙළෙහි ගුණ දැක්වීමෙනි. ජයග්‍රාහී වූ ඔහු කිසිවිටෙක තමාට ද්‍රෝහිකම් කළ අයට කරදරයක් කළ බවට වාර්තා වන්නේ නැත.
1994 න් පසු, ජෙයරාජ් ඉදිරිපත් වූ සෑම මැතිවරණයක දීම මුලින් ලැබූ ප්‍රමාණය දෙගුණ තෙගුණ කර ගත්තේය. ඔහු ඉදිරිපත් වූ තෙවැනි මැතිවරණයේදී ඡන්ද 138,385 ක් ලබා ගත්තේය. ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවෙනි වූයේ එකල ජනප්‍රියව සිටි චන්ද්‍රිකා මහත්මියට පමණි.
ජෙයරාජ් උපතින් කතෝලික බැතිමතෙකි. ඔහු කතෝලික පල්ලි අලුතෙන් ස්ථාපනය කොට ඇත. පිළිසකර කළ යුතු පල්ලි පිළිසකර කරවා ඇත. එසේම ඔහු බෞද්ධ වෙහෙර විහාර ගොඩ නංවා ඇත.
ඔහුගේ ජීවන චරිතය විමර්ශනය කිරීමේ දී ඔහු වැඩිපුරම ඇසුරු කර ඇත්තේ බෞද්ධ සංඝයා වහන්සේලාය. උදවු අවශ්‍ය සෑම විහාරස්ථානයකම අඩු පාඩු සපුරා දී ඇත. පන්සල් නැති භික්ෂූන් වහන්සේලාට පන්සල් තනා දී ඇත. බෝලවලාන ජන ජය ගම්මානයේ ජය සුමනාරාම තෙමහල් විහාරස්ථානය එබඳු පන්සලකි.
ලෝකයේ උසම ශෛලමය බුදු පිළිමය ලෙස සැලකෙන රම්බඩගල්ල විහාරස්ථානයේ ‘එම ශෛලමය පිළිමය ඉදිකරන ඉදිකිරීම් කමිටුවේ සභාපති වෙමින්’ එයට පූර්ණ දායකත්වය ලබා දීම තවත් නිදසුනකි. ඒ සඳහා අවශ්‍ය නිර්මාණ ශිල්පීන් ඉන්දියාවෙන් ගෙන්වා ගැනීමට තිබූ බාධක ඉවත් කොට රාජ්‍ය අනුග්‍රහය ලබා දී ඇත්තේ ජෙයරාජ්ය.
ජෙයරාජ් 2008 අප්‍රේල් 06 වැනි දින ඝාතනය වීමට පැය භාගයකට පමණ පෙර හේනේගම පන්සලකින් උදෑසන තේ පානය කළ බව වාර්තා වේ. ඒ පන්සල ද ඔහු විසින් ඉදිකරන ලද්දකි.
ජෙයරාජ් දේශපාලන ක්‍රියාකාරකම් වල ප්‍රගතිය විමසා බැලීමේ දී, මන්ත්‍රීවරයෙකු, නියෝජ්‍ය ඇමතිවරයෙකු, ඇමතිවරයෙකු, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු වශයෙන් ක්‍රියාකොට ඇත්තේ ය. 1994 දී චන්ද්‍රිකා පාලන සමයේ දී මුදල් ක්‍රමසම්පාදන ජනවාර්ගික හා ජාතික ඒකාබද්ධ නියෝජ්‍ය අමාත්‍යධුරය හා අවස්ථා කිහිපයක දී එම නියෝජ්‍ය අමාත්‍යධුර වලට අමතරව තවත් නියෝජ්‍ය අමාත්‍යධුර හිමි වීම ද 1997 දී සැලසුම් ක්‍රියාත්මක කිරීම හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ධුරයේ ද ක්‍රියා කළේය. 2000 මහ මැතිවරණයෙන් පසු ගුවන්සේවා හා ගුවන් තොටුපළ සංවර්ධන අමාත්‍ය ධුරයත්, පසුව එම අමාත්‍යාංශයට අමතරව ක්‍රිස්තියානි කටයුතු භාර ඇමතිධුරයත් දරා ඇත.
2004 මහ මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ලැබීම ඔහුගේ නිර්මාණශීලී කළමනාකාරීත්වයේත් සැලසුම් කිරීමේත්, දක්ෂතාවයේත් ප්‍රතිඵලයකි. එම අවදියේ ආණ්ඩු පක්ෂය තුළ ඔහුට වඩා පලපුරුදු ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් වූහ. ඒ සැම අබිබවා ඔහුව ඒ සඳහා තෝරා පත් කරන ලද්දේ අන් සැමට වඩා ඔහු සතුව තිබූ පරිණත දේශපාලන බුද්ධිය හා අත්දැකීම් සමුදාය නිසාය. ඔහු ඝාතනය වන තුරුම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය දැරීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ දී ඔහුගේ බලතල තව තවත් පුළුල් විය. 2007 දී මහා මාර්ග හා මාර්ග සංවර්ධන වැනි පළමු පෙළේ වැදගත් අමාත්‍යාංශයකින් පිදුම් ලැබුවේ එබැවිනි. 2007 ප්‍රථම භාගයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිධුරයටත්, 2007 ජූලි 05 වැනි දින සිට පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයටත් පත් කර ගන්නා ලද්දේ ඔහුගේ හැකියාවන්ගෙන් පක්ෂයට උපරිම ඵල නෙළා ගනු වස් විය යුතුය.
ජෙයරාජ් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරයට පත් වීමෙන් පසු පක්ෂයේ අරමුදල් නොසිතූ අයුරින් වර්ධනය විය. එසේම පක්ෂයට එතෙක් අඩු පාඩුවක් වූ ප්‍රචාරණ යාන්ත්‍රණය වැඩි දියුණු කරනු වස් ‘දිනකර’ පුවත්පත යළි ආරම්භ කිරීමේ නියමුවා විය.
මහාමාර්ග ඇමතිවරයා වශයෙන්, ඔහු එම තනතුරේ සිටි වසර දෙකහමාරකට අඩු කාලය තුළදී කරන ලද මාර්ග සංවර්ධන ක්‍රියාදාමය වෙනත් ඇමතිවරයෙකුට කිරීමට වසර දහයක්වත් ගතවේ.
ඒ ඔහුගේ නිර්මාණශීලී සැලසුම් නිසාය. කැලණිය ගුවන් පාලම තනා නිම කරන ලද්දේ දින 61 ක් තුළදීය. ඔහුගේ දක්ෂතාවය සනාථ කිරීමේ එක් නිදසුනක් වනුයේ මහින්ද චින්තන පාලම් ව්‍යාපෘතිය යටතේ ග්‍රාමීය පාලම් 222ක් ඉදි කිරීමට මුදල් වෙන් කරවාගෙන ඒවා ආරම්භ කිරීමය.
පාර්ලිමේන්තු සභා ගැබ තුළදී විරුද්ධ පාක්ෂිකයින් දමනය කිරීමට උපන් හපන් කමක් ඔහු සතුව තිබිණි. ඒ ඔහුගේ දැනුමත්, චතුර කථිකත්වයත්, ස්ථානෝචිත ප්‍රඥාවත් නිසාය. එසේම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ප්‍රගුණ කර තිබූ නිසාය. විරුද්ධ පාක්ෂිකයින්ගේ ප්‍රශ්නවලට වැල් වටාරම්වලින් තොරව, තර්කානුකූලව හා උපහාසාත්මකව පිළිතුරු සැපයීමේ කලාව ඔහු දැන සිටියේය.
ඒ, ඔහු ලබා ඇති සහජ දක්ෂතාවයකි. මේ හැකියාව නිසා පාර්ලිමේන්තුව තුළ දී ඇතැම් ප්‍රතිවාදීන් ඔහු සමඟ වාදයට හෝ තර්ක කිරීමට හෝ නොපෙළඹුණ අවස්ථා රැසක් පිළිබඳව පුවත්පත් වාර්තාවල සඳහන්වී තිබිණ.
කාර්ය බහුල දේශපාලනඥයකු වශයෙන් පසුවෙද්දිත් ජෙයරාජ් නීතිය පිළිබඳ එම්.බී.ඒ. උපාධිය හදාරමින් පසු විය.
හිටපු කථානායක වි.ජ.මු ලොකුබණ්ඩාර ශූරීන් ජෙයරාජ්ව හඳුන්වා ඇත්තේ ඥාණවන්තයකු පමණක් නොව ප්‍රඥාවන්තයකු බවත්, ඔහුට එය උදා වූයේ ‘දේව දීමනා’ වශයෙන් බවත්ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සටහන් කර ඇති ලිපියක (ජෙයරාජ් නම් කෘතියේ) වදන් කිහිපයක් සඳහන් කිරීම මැනවයි හැඟේ.
“සුළු ජාතීන්ගේ නියෝජිතයකු අගමැති තනතුරට තෝරන ඡන්දයක් පැවැත්වූවා නම්, ජනතාව තෝරන්නේ ජෙයරාජ්වයි.”
“මට විරුද්ධ පක්ෂයේ නායකකම ලැබුණේත්, අගමැතිකම ලැබුණේත්, ජනාධිපති ධුරාපේක්ෂකම ලැබුණේත් ජෙයරාජ් ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසයි.