තරහෙන් ආවත් ආදරෙන් ආවත්ප්‍රේත ආත්මයක්සිරුරට අහිතකරයි | Page 3 | සිළුමිණ

තරහෙන් ආවත් ආදරෙන් ආවත්ප්‍රේත ආත්මයක්සිරුරට අහිතකරයි

ලෝකයේ මිනිසුන්ට තම දරුවන් ඇ‍ඟේ දැවටීම, ස්පර්ශ වීම තරම් වෙනත් සැපයක් සුවදායකත්වයක් නැතැයි ලෝකෝපකාරයේ කියැවේ. මවුපියෝ දරුවන්ගේ යහපත දියුණුව සඳහා විදේශ රටවලට යවා වියදම් කොට උගන්වති. ඒ දරුවෝ ඒ රටවලම රැකියා ලැබ එහිම වාසය කරති. මවුපියෝ වයස් ගත වන විට කලින් තිබූ කැමැත්ත (ඉච්ඡ) අකැමැත්තට (අනිච්ච) විපරිනාමය වේ. අනිච්ච දුක්ඛ බවට පත් වේ. එහෙත් මවුපි‍යන් වශයෙන් යටි හිතේ දුක සඟවා ගෙන ඥාති මිත්‍රාදීන් සමඟ මගේ පුතා, ම‍ෙග් දුව, අසවල් රටේ වෛද්‍ය වෘත්තියේ ඉංජිනේරු වෘත්තියේ යෙදෙතියි උදම් අනති. ආඩම්බර වෙති. ඒ දරු‍වෝ ද මවුපියන්ගේ උපන් දිනයට කැමති ඇඳුමක්, ආහාරයක් රස මසවුලක් පිරිනමනවා වෙනුවට දුරකතනයෙන් “බායි” කියති. මවුපියෝ කුලියට ගත් සේවක සේවිකාවන් සමඟ ආදරය කරුණාව මුදලට ගත නොහැකිව හූල්ලති. මරණ මොහොතේ කටට වතුර පොදක් දමන්නේ සේවිකාවකි.

තවත් කෙනෙක් ලංකාවේ දී ඉගෙනගත් දරුවන් ඉහළ වැටුපක් ලබන්නට විදේශ ගත වන්නට ඉඩ දී තනිව ජීවත් වෙති. දැන් දුන් දුරකතනය ට්‍රීං ට්‍රීං ට්‍රීං හඬ නගනු ඇතැයි බලා සිටිති. සිරි සද්ධර්මය දන්නා අය නම් අනිච්ච, දුක්ඛ, අනන්ත වටහාගෙන උපේක්ඛාවෙන් කල් ගෙවති. එසේ දැනීමක් අවබෝධයක් නැති අය අවිජ්ජා පච්චයා ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස යෙදෙන බව නොදැන දුක් විඳිති.

කිරුළපන දර්ශන 39 හැවිරිදි ගණකාධිකාරිවරයෙකි. ඔහුගේ බිරිය භාරතී පුද්ගලික ආයතනයක රැකියාවේ යෙදෙති. ඔවුහු සිවු හැවිරිදි දියණියකගේ මවුපියෝය. කැනඩාවේ කලක් රැකියාවේ යෙදී යමක්කමක් උපයාගෙන ලංකාවට පැමිණ කිරුළපන තට්ටු ගොඩනැඟිල්ලක 12 වැනි මහලේ ගෙයක් කෝටි තුන හමාරකට මිලට ගෙන ඔවුහු ජීවත් වෙති.

එහි පදිංචිව මාස හයක් පමණ ගත වන විට ඔවුන්ගේ පියවි ඇසට නො‍පෙනෙන යමෙක් නිවසේ සැරිසරන බව දැනෙන්නට විය. ඇවිදින අඩි සද්ද පවා ඇසෙන්නට විය. රාත්‍රියට ආච්චි කෙනෙකු දැක දියණිය බයට පත්ව අඬන්නට විය. මේ අතර භාරතී ද අසනීප වූවාය. ඇගේ ශරීරයේ දැවිල්ලක් ද දෙකකුල් අප්‍රාණිකව ද ඇත. දිනක් රාත්‍රි හිස කෙස් පැසුණු මහලු කාන්තාවක් සිනාවෙමින් සිටින අයුරු දුටු දර්ශන‍ගේ ද හිත ගැස්සී ඇත. තවත් දවසක පාන්දර භාරතී කුස්සියේ උයන විට මුහුද පැත්තේ වීදුරු ජනේලයට ආච්චි අම්මා කෙනෙකු තට්ටු කරනු දැක ඇය ද බියට පත්වූවාය. මේ අය දැන් වෙනත් නිවසක් කුලියට ගෙන ජීවත් වෙති. දෙදෙනාම ආතතියට වෛද්‍ය ප්‍රතිකාර ගනිති.

ඔවුහු සහනයක් පතා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියහ. ආධ්‍යාත්මික උපදේශකවරයා මුණ ගැසී ප්‍රතිකාර ඉල්ලා සිටියහ. තමන් පත්ව සිටින තත්ත්වය පැහැදිලි කළහ.

එදින රෝග පරීක්ෂාවේදී භාරතීගේ ශරීරයෙන් භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඬන්නට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.

“කවුද මේ අඬන්නේ?” යි ඇසීය.

“මම ඇග්නස්” යැයි භූතාත්මය උත්තර දුන්නාය.

“කවුද ඇග්නස් කියන්නේ?”

“මම මාත‍ලේ වලව්වක ළමා තැනී කෙනෙක්. අවසාන කාලයේ කිරුළපන මේ භාරතීලා ඉන්න ගෙදර පදිංචිව සිටියේ.”

“ඇයි අඬන්නේ?”

“මහත්මයා මාව පන්නා දාන්න නේද හදන්නේ. මේ දර්ශනයි භාරතීයි හරිම හොඳයි. මම මේ අයට ආදරෙයි. මම කැමතියි. අනේ මහත්මයා මාව මේ ගෙදරින් පන්නන්න එපා.”

“කොයි කාලෙද මැරුණේ?”

“අවුරුදු තුනකට විතර කලින්. මගේ මහත්තයා මීට අවුරුදු විස්සකට විතර කලින් මැරුණා. මට හොඳට සල්ලි තිබුණා. ඉතින් මම කිරුළපන මේ ගේ අරගෙන පදිංචියට ආවා.”

“ළමයි නැද්ද?”

“ඉන්නවා. ඉන්නවා. දුවයි පුතාලා දෙන්නයි. දැන් ළමයින්ටත් ළමයි ඉන්නවා. ඒත් මම තනියම පාළුවේ ජීවත් වුණා. සේවිකාවක් තනියට හිටියා.”

“ඔබතුමිය මැරුණේ මොනවා වෙලාද?”

“හෘදයාබාධයකින්. අනේ මහත්තයා මම මැරෙන වෙලාවෙ මගේ ළමයි තුන් දෙනාගෙන් එක්කෙනෙක්වත් මා ළඟ හිටියේ නෑ.”

“ඉතින් මරණයේ කටයුතු කළේ කවුද?”

“පුතාලා දෙන්නා පිටරට ඉඳලා ඇවිත් මල් ශාලාවකට මිනිය ගෙනිහින් එතැනින් කනත්තට අරගෙන ගිහින් වළ දැම්මා. පුතාලා හත් දවසෙ බණ කියවලා මේ ගෙයත් විකුණලා යන්න ගියා. දුව නම් මගේ මිනිය බලන්නවත් ආවෙ නෑ. මගේ තුන් මාසයේ දානයවත් දුන්නෙ නෑ” යි ප්‍රේතිය අඬන්නට වූවාය.

මේ පිළිබඳ පුතා සමඟ කතා කළ යුතු බැවින් පුතාගේ දුරකථනයට දර්ශන ලවා එංගලන්තයට කතා කොට සාකච්ඡා කළේය. “ඔබේ මවගේ ආත්මය පින් බලාපොරොත්තු වෙනවා.” ගවේෂකවරයා කීවේය.

“මම කේටරින් සර්විස් එකකට මුදල් ගෙවා අනාථ නිවාසයකට දානයක් යැව්වා. ගමේ පන්සලේ අලුතින් හදන ගොඩනැඟිල්ලට රුපියල් ලක්ෂ දෙකක් දුන්නා අම්මගේ කිරුළපන ගේ විකුණපු සල්ලිවලින්. එංගලන්තයේදිත් යාචකයන්ට දානයක් දුන්නා” යැයි පුතා කීවේය.

මෙය අසා සිටි ප්‍රේතිය අඬ අඬා දුක කීවේය.

“මහත්තයා අපි ගම්බද හැදුණු සිංහල බෞද්ධයෝ. හාමුදුරුවන්ට දානය පිරිනමා පැන්වඩා පින් අනුමෝදන් කරන්න ඕනැ නේද? මූ හිඟන්නන්ට කන්න දුන්නට පින් අනු‍මෝදන් කළේ නෑ” යි අඬන්නට වූවාය.

“ඔව් දානයක් පිරි නමා පළමුවෙන් සංසාර‍ගත මවුපිය ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න ඕනැ. ඒ පින් දීමත් මහා පින්කමක්. ඊළඟට මේ ජාතියේ මවුපිය දෙදෙනා සිහිපත් කර පින් අනුමෝදන් කරන්න ඕනැ. මේ කාරණයේ දී මිය ගිය අම්මා ඇග්නස් මාතාව සිහිපත් කර පැන් වඩා නම කියා පින් අනුමෝදන් කරන්න ඕනෑ. බටහිර සිරිතට විරිතට ඉගෙන ‍ගත්ත එංගලන්තයේ ජීවත් වෙන අය ‍ඕවා දන්නේ නෑ. ඒ නිසා දර්ශන මහත්මයා ඔය ගෙදරට හාමුදුරුවරු දහ නමක් වඩමවා මේ ඇග්නස් මාතාව සිහිපත් කොට පින් අනුමෝදන් කොට නැවත එන්නැ” යි කීවේය.

මෙය ද සංසාර ගත ණය ගනුදෙනුවක් විය හැකි යැයි සාකච්ඡා කළ දර්ශනත් භාරතීත් කිරුලපන නිවසට ස්වාමීන් වහන්සේ වඩමවා සාංඝීක දානයක් පිරිනමා ඇග්නස් මාතාවට පින් අනුමෝදන් කොට නැවත පැමිණියහ.

එදින ද භාරතීගේ ශරීරයට ඇග්නස්ගේ ප්‍රාණකාර භූතාත්මය දිෂ්ටි ගන්වා ගවේෂකවරයා කතා කළේය.

“කොහොමද පින් අනුමෝදන් වුණාද?” යි ඇසීය.

“ඔව් මහත්මයා. මේ ළමයි දෙන්නා බොහෝම හොඳට දානය දීලා මට පින් දුන්නා. දැන් මට සතුටුයි. මේ දෙන්නා හොඳ නිසා තමයි මම ආදරේ.” යි ප්‍රේතිය කීවාය.

“අමනුෂ්‍යයෝ තරහෙන් ආවත්, ආදරෙන් ආවත් ඒක මිනිස් ශරීරවලට අහිතකරයි. රෝග කාරකයි. දැන් ඔබට පින් ලැබුණානේ. දැන් ඔබ ඇග්නස් නොවෙයි ප්‍රේතියක්. වලව්කාර ළමා තැනී කෙනෙකුට ලැජ්ජා නැද්ද ප්‍රේතියක් වෙලා ඉන්න. ඒ නිසා මීට වඩා ඉහළ තලයකට යන්න සිද්ධස්ථානයකට ගිහින් පිනට දහමට හිත යොමු කරන්නැ” යි ගවේෂකවරයා ප්‍රේතිය දැනුවත් කළේය.

“හොඳයි මහත්තයා, මේ ගෙය දැන් මට අයිති නැති බව මට තේ‍රෙනවා. මේ ළමයි කෝටි ගණනක් මගේ පුතාලට දීලා අරගත්ත ගෙදර මට ඉන්න අයිතියක් නැති බව මට තේරෙනවා. අපි නම්බුකාර අය. මම මේ අයට කරදර නොකර හොඳ තැනකට යන්න කැමතියි.”

දර්ශන ලවා සුදුමල් වට්ටියක් ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට කැලණිය පූජා භූමියට ඔවුන් අත ම යැවීය.

මවුපියන් හා දූ දරුවන් අතර ද ඇත්තේ සංසාරික ණය ගනුදෙනුවකි.

Comments