නවක වද ත්‍රස්තවාදය 15 වැනි බිල්ලත් ගනී | සිළුමිණ

නවක වද ත්‍රස්තවාදය 15 වැනි බිල්ලත් ගනී

  • කැම්පස් යන්නේ හෙටයි කියලා හිතෙන කොට මැරෙන්න හිතෙනවා
  • නංගියේ උඹ නම් කවදාවත් විශ්වවිද්‍යාලයකට යන්න හිතන්නවත් එපා
  • අනේ අම්මේ මට මුත්‍රා කරන්නවත් දෙන්නේ නැහැ

“ආදරණීය අම්මේ තාත්තේ.

මට සමාවෙන්න. මම මේ තීරණය ගත්තේ NDT එකේ තියෙන නවකවදය නිසා. දවසට පැය 8ක් 9ක් එක එකා කියන දේ අහගෙන ඉන්න ඕන. මම මාර පීඩනයකින් ඉන්නේ. ඉන්න දෙන්නෙම නෑ. මට එපා වෙලා. එපාම වෙලා. ආයේ කැම්පස් එකට යන්නේ හෙටයි කියලා හිතෙන කොට මැරෙන්නම හිතෙනවා. ඒකයි මම මේ තීරණය ගත්තේ. මට ආයේ ඒ මඟුලට යන්න බැහැ. සින්නෝ හොඳටම වද දෙනවා. එපාම එපා කරවනවා, හරියට උන් සල්ලි දීලා අපිව කැම්පස් යවනවා වගේ.

යාපනයේ ඉඳලා NDT ආවේ ඒකට තියෙන පට්ටම ආසාව නිසා. ඒත් ඒකේ ඉන්න... ඉන්නම දෙන්නේ නැහැ. ජීවිතේ එපා ම එපා කරවනවා. නිදාගන්නවත් දෙන්නේ නෑ . මට එපාම එපා වෙලා ඉන්නේ. මට විතරක් නෙමේ හැමෝටම. යාපනයේ කැම්පස් එකේ හිටියා නම් හොඳයි. ඒකේ මෙහෙම නැහැ. අනෙක තාත්තා කිව්ව විදියට ජපානේ ගියා නම් මේ මොකවත් නැහැ. හොඳට ඉන්න තිබුණා. කායිකව ඕන දෙයක් ඉවසන්න පුළුවන්. ඒත් මානසිකව බැහැ.

NDT එකේ ඉන්න එවුන් මනසට මාර වදයක් දෙන්නේ. මට නම් ඉවසන්නම බෑ. හැම කෙනාගේම දරාගැනීමේ ශක්තිය එක වගේ නැහැනේ. මගෙත් අඩුයි. මට ඒක දරා ගන්න බැහැ. මම හිතුවේ NDT එකේ ඉන්න එවුන් මොළේ තියෙන එවුන් කියලා. ඒත් ගියාම තමයි තේරුණේ . ඒ බැච් එකේ රැග් කරන්නේ 100කටත් අඩු පිරිසක්. උන් රැග් කරන කොට ජීවිතයම එපා කරවනවා. මට එපා වෙලා ඉන්නේ. ඒ හින්දයි මම මේ තීරණය ගත්තේ..“

සරසවි ම්ලේච්ඡ නවකවදය හේතුවෙන් තවත් එක් ජීවිතයක් තීරණාත්මක වන්නේ ඒ ආකාරයෙනි. මේ ලිපිය ලියූ ඒ දිරිය සිසුවා දැන් රටට අහිමිය. මවකට ආදරණීය පුතෙකු අහිමි වි ගොස්ය. සත් දිනක් ගෙවී ගියද ඒ පියාගේ දෙනෙත් තවමත් කදුළින් තෙත්ය.

තම එකම නැඟණිය සමඟ සොහොයුරා අවසන් වරට ඇයගේ කන කොනිත්තමින් කියා ඇත්තේ “නංගියේ උඹ නම් කවදාවත් විශ්වවිද්‍යාලයකට යන්න එහෙම සූදානම් වෙන්න එපා...“

නැගණිය රැකගැනීමට එසේ කී සොහොයුරා අවසන් වරට ලිපියක්ද ලියා තබමින් අලුත්වැඩියා කරමින් තිබු සිය නිවසේ වැඩට ගෙනා වයරයක් රැගෙන වත්ත පහළ කජු ගස ළඟට ගියේය.

ෂනිල්ක දිල්ශාන් විජේසිංහ නවකවද ත්‍රස්තවාදයේ 15 වැනි බිල්ල විය. ඒ මරණය සිදුවුයේ කෙසේද යන්න විමසමින් මවුපියන්ගේ හිතට වේදනාවක් කැන්දමින් ලිපිය දිග හැරීම අපේ අරමුණ නොවුණද, ෂනිල්කගේ අකල් මරණයෙන් සත් දිනක් ඉක්ම යන්නට ප්‍රථම අපි කුඹුක්ගැටේ වඩුවාවල පිහිටි ඔහුගේ නිවසට ගියේ ෂනිල්කගේ මරණයෙන් රටට පවසන්නට, බලධාරීන්ගේ වැසුණුු නෙත් ඇරවන්නට කරුණු කාරණා රැසක් ඇති නිසාය.

පසුගිය කාලය පුරා සිළුමිණ අපි මේ තුච්ඡ සරසවි නවකවදයට එරෙහිව පෙනී සිටියේ අපවාද අවලාද රැසකට මුහුණ දෙමිනි. ඒවා රටට හෙළිදරව් කිරීමේ දී පැමිණි බාධාද බොහෝය. මේ ගමනේදීත් පැමිණි බාධා සුළුපටු නොවේ. එහෙත් ඒ බාධාවන්ට මුහුණ දී අපගේ යුතුකම ඒ අයුරින් ඉටු කරන්නට කුඹුක්ගැටේ පොලිස් නිලධාරීන් අපට විශාල ශක්තියක් විය.

දරු දුකෙන් හඬා වැටෙන මවගේත් පියාගේත් එකම ඉල්ලීම වූයේ තමන්ගෙන් කිසිවක් නොවිමසන ලෙසය.

“සරසවි නවකවදය ගැන ඔයාලා මොනවා ලියූවත් මේක නැති වෙන්නේ නැහැ. මේ වගේ දේවල් මුලින්ම වෙද්දි බලධාරීන් කටයුතු කළා නම් අපේ පුතා අදටත් ජීවතුන් අතර. මේ වෙන කොට අපිට ෆේස් බුක්වලින් නැතිවෙන්න පහර දෙනවා. අපි අපේ දරුවා මරා ගත්තා කියලා හැම තැනම ප්‍රචාරය කරනවා.

මගේ දරුවා මේ නරුමයන්ගෙන් රැකගන්න දෛවය අපිට හරස් වුණා. අපි එදා මාධ්‍යට මේ දේවල් දුන්නේ තවත් දරුවෙකුට මේ වගේ දෙයක් වෙන්න ඉඩ නොදෙන්න. මාත් අම්මෙක්. මම අද දරු දුකින් පිස්සියක් වෙලා. ඒත් මට ආපස්සට හැරෙන්න බැහැ. තව දරුවෙක් වෙනුවෙන් මට ජීවත් වෙන්න වෙලා. ඒත් අද අපිට තේරෙනවා, මේ දේවල් කොච්චර කිව්වත් වැඩක් නැහැ කියලා. නවකවදය නැති වෙන්නෙත් නැහැ. මගේ දරුවට ආයිත් පණක් ලැබෙන්නෙත් නැහැ....“

ෂනිල්ක මුලින්ම යාපනය සරසවියට ඇතුළත් වන්නේය. එහිදීද ඔහු නවකවදයට මුහුණ දුන්නද මවුපියන් පවසන්නේ ඒ වද හිංසා ඉවසා ගන්නට සිය පුතුට හැකියාව තිබු බවය.

“මගේ පුතාට අවශ්‍ය වුණා සිවිල් ඉංජිනේරුවෙක් වෙලා ඉක්මනට රස්සාවක් කරන්න. ඒ නිසා එයාගේ උවමනාවටමයි එයා NDT( හෝමාගම ජාතික විද්‍යා තාක්ෂණ ආයතනය) එකට ඇතුළු වුණේ. යාපනයේ තියෙන්නේ උපාධිය විතරයි, ඒත් මම මේකට ගියහම ඉක්මනට රස්සාවක් හොයා ගත්න පුළුවන්. එතකොට අම්මට ගෙදර නවතින්න පුළුවන් කියලා හැම වෙලාවේම කිව්වා. පුතා මේ අවුරුද්දේ ජනවාරි 15 වැනිදා තමයි NDT එකට ගියේ. පෙබරවාරි 5 වැනිදා වෙනකම් ගියා. 14 වැනිදා NDT එක වැහුවා රැග් එක වැඩි නිසා. මේ වෙන කොට පුතා දැඩි මානසික පීඩනයට පත් වෙලා හිටියේ. හැමදාම සවස 6 ඉදලා රෑ 10 වන තුරු රැග් එක දෙනවා කිව්වා. ඒ වේලාවට අපිට කෝල් කරන්නත් එපා කියනවා. මේ අතර දවසක් පුතාගේ පර්ස් එකේ තිබිලා යාපනයේ අයිඩන්ටිය මේ අය දකිනවා. ඒක දැකපු දවසේ ඉඳලා පුතාට තව තවත් දැඩි මානසික වද දීලා තියෙනවා.

ඒ අය පුතාව තැනින් තැනට එක්ක ගෙන ගිහින් අහනවලු, උඹත් එක්ක තව ආපු උන් පෙන්නපන් කියලා. ඒත් අපේ දරුවා ඒ කවුරුත් පාවා දීලා නැහැ. තනියෙන්ම මේ වදය විඳවලා. දවසක් මගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන පුතා කිව්වා, ‘අනේ අම්මේ මට මුත්‍රා කරන්නවත් දුන්නේ නැහැ. ඒදා බඩ පැළෙන්න තරම් වේදනාවක් ආවා‘ කියලා. අපි දරුවා නිතරම මානසික වෛද්‍යවරුන්ට පෙන්වුවා. දිගින් දිගටම බේත් ගත්තා. සායනවලට සහභාගි වුණා. එහෙම දරුණු බවක් දැනගෙන හිටියේ නැති වුණත් අපි දිගින් දිගටම ඇහුව්වේ පුතේ ඔයා කැම්පස් යනවද නැද්ද කියලා. එයාට යන්න උවමනාව දැඩිව තිබුණත් ලොකු භයකුත් තිබුණා.....“

වාර්තා වන අන්දමට මේ.. සින්නෝ නමින් හඳුන්වන වධකයන් ෂනිල්කට නොසෑහෙන්නට මානසිකව වධයක් පමුණුවා ඇත. එහෙත් විශ්වවිද්‍යාල පාලනාධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කර ඇත. වර්තමානයේ මේ නවකවදය විශ්වවිද්‍යාල පාලනාධිකාරියෙන් තුරන් කිරීමේ මේ වගකිමට සෑම විශ්වවිද්‍යාලයකම පාලනාධිකාරිය බැඳි ඇතත් එය බහුතරයක් අතින් ඉටු නොවන්නේ සමස්ත නිදහස් අධ්‍යාපනයේ ඛේදවාචකයකටය. ෂනිල්කට සෘජුව පාලනාධිකාරියට දැන්වීමට අවස්ථාවක් නොලැබුණත් ඒ අධමයන්ගේ මනෝ විකාරයන්හි ස්වභාවය සිය වෛද්‍යවරයාට පවසා ඇති බව ඔහුගේ පියා පවසයි.

“ පුතා එයාව පෙන්වපු වෛද්‍යවරයාට කියලා තිබුණා, මට හරිම මානසික වදයක් දෙන්නේ. මම මැරෙනවා කියලා. මේ නිසා ගෙදර අය පුතා ගැන හොඳ අවධානයෙන් හිටියේ. ඒත් මේ අපරාධය කරගන්න මොහොත වෙනකම් පුතා ගෙදර හිටියේ සන්තෝසෙන්. ඒත් නවකවදය නිසා වහලා තිබුණු සරසවිය නැවත විවෘත කරන්න තීරණය කරලා තිබුණේ 4 වැනි දා. මම පුතාට කිව්වා ඔයාට යන්නම ඕන නම් යන්න මාත් එන්නම් යන්න කියලා. ආපසු 5 වැනිදා අවුරුද්දට නිවාඩු දෙන නිසා අපි 4 වැනිදට ගිහින් මෙඩිකල් එකක් දෙමුත් කිව්වා. එයාම කිව්වා ඒක හොඳයි තාත්තේ අපි එහෙම කරමු කියලා. මේ තිරිසනුන් මගේ දරුවා විනාශ කළා. ඒත් මගේ දරුවා මට නැති වුණා. ෂනිල්කගේ පියා හඬන්නට විය.

“අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම හිතාගෙන හිටියේ පවුල ගොඩදාන්න. ඒත් එකේ ඉන්න... මට ඉන්න දෙන්නේ නෑ.

බොහෝ දේ ගැන බලාපොරොත්තු වු ඔහුට ඒවයේ අවසානයක් නොදැක යන්නට තීරණයක් ගත්තද එහෙත් ඒ තීරණය පිළිබඳ ඔහු අවසාන මොහොතේ සිටම විඳවන්නට ඇත.

“මම මගේ දරුවට පණ වගේ ආදරෙයි. ඒ දරුවා එල්ලිලා ඉන්නවා මුලින්ම දැක්කේ මම. ඒ වෙනකොටත් දරුවගේ පපුවේ රස්නය තිබුණා . දැන් මට මගේ දරුවගේ රූපය හැම තැනම පේනවා වගේ. අවසාන ලිපියෙන්වත් එයා නම් ගම් වශයෙන් කිසිවකු පාවලා දුන්නේ නැහැ. දැන් මගේ පුතාගේ මරණය ගැන විවිධ ප්‍රචාර ගෙනියනවා. විවිධ සංවිධානාත්මක කණ්ඩායම් මේ සිද්ධි සාධාරණීකරණය කරන්නට සමහරුන් වෙහෙසෙන ආකාරය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතුය.

ෂනිල්කගේ මවුපියන් පවසන පරිදි තම පුතුගේ මරණයෙන් මේ ව්‍යසනය අවසන් වන්නේ නැත. තව දින කිහිපයකින් ෂනිල්කගේ මරණයේ උණුසුමද සමාජයෙන් මැකී යනු ඇත. බලධාරීන්ටද මෙහි බරපතලකම අමතක වි යනු ඇත. අප කොතෙක් බලධාරීන් අවදි කළද ඔවුහු නිහඩ පිළිවෙතක් රකින තාක් නවකවදයට විසඳුමක් නොලැබෙනු ඇත.

(තොරතුරු ලබා ගැනීමේදි සහය වු කුඹුක්ගැටේ පොලිස් නිලධාරීන්ට ස්තූතිය)

ඡායාරූප - කැලුම් ලියනගේ

 

Comments