පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන කතාව ගැන කියන කතා | Page 2 | සිළුමිණ

පහේ ශිෂ්‍යත්වය අහෝසි කරන කතාව ගැන කියන කතා

පස් වැනි ශ්‍රේණියේ දී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී නගරයේ මැදි විදුහලකට ගිය කුසුම් අපට හමු වන්නේ කරුණාසේන ජයලත්ගේ ‘ගැහැනු ළමයි’ නවකතාවේය. ඈ ඉගෙනීමට දස්කම් දැක්වුවද ඉන් උපරිම ඵල නෙළා ගත්තේ නැත. ඒ, ඈ නිමල් හතුරුසිංහ සමඟ පෙමින් වෙළී ප්‍රශ්න රැසකට මැදි වූ නිසා ය. එහෙත් ටී.බී. ඉලංගරත්නයන්ගේ “අඹ යහළුවෝ” යොවුන් නවකතාවේ හමු වන නිමල්ට නම් පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම, වෙස් වළාගත් ආශිර්වාදයක් විය. මේ ආකාරයට පස්වැනි ශ්‍රේණියේ දී පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී උසස් විදුහල්වලට ගොස් ජීවිත ජය ගත් අය මෙන් ම ජය නොලැබූ අය අපට හමු‍වන්නේ නවකතාවල පමණක් නොවේ. සැබෑ සමාජයේ ද ඕනෑ තරම් සිටිති.

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් දරුවන් අතරින් විශ්වවිද්‍යාලවලට පිවිසෙන්නේ 14%ක පමණ පිරිසක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේ එබැවිනි. පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යැයි ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන්නේ මේ වන විට එම විභාගය දරුවන්ට මහත් පීඩාවක් වී ඇති නිසාය.

ශිෂ්‍යත්ව විභාගයෙන් අසමත් වූ සමහර දරුවන්ව නිවසින් පන්නා දැමූ මවුපියන් ද තාඩක පීඩනයට ලක් කළ මවුපියන් ද මේ ධර්මද්වීපයේ සිටි බව තවමත් අපට අමතක නැත. ශිෂ්‍යත්ව විභාගය මේ ආකාරයට මවුපියන් විසින් දරුවන්ව පීඩාවට පත් කිරීමට තරම් වටිනා, ජීවිතයේ ඉරණම විස‍ඳෙන තීරණාත්මක විභාගයක් දැයි අපට සිතෙන්නේ මෙවැනි සිද්ධි ඇසෙන විටදීය.

අද බොහෝ දරුදැරියන් පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන්නේ තුන් වැනි වසරේ සිට ය. ඔවුන්ගේ ජීවිතය සීමා වන්නේ පාසලට සහ ටියුෂන් පන්තිවලට ය. සෙල්ලම් කිරීම, රූපවාහිනියේ කාටූන් බැලීමට තහංචි වැටෙන්නේ දරුවන් ළමා කාලය මවුපියන් විසින් ඔවුන්ගෙන් උදුරාගැනීමෙනි. මවුපියන්ගේ එකම මන්තරය “පේපර් කරන්න පේපර් කරන්න” යන්න ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බවට යෝජනා කළේ ඔහු දරුවන්ගේ දුක දැනෙන සංවේදි පියකු වන නිසා ය. පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාගය අද වන විට දරුවන්ගේ නොව මවුපියන්ගේ විභාගයක් බවට පත් වී ඇති නිසා ය.

“ශිෂ්‍යත්ව විභාගය ඉවත් කිරීම හොඳයි. ඒත් එය හදිසියේ කළ යුතු දෙයක් නොවෙයි. මෙය දීර්ඝ කාලීනව ගත හැකි පියවරක් විදිහටයි මා නම් දකින්නේ. අද අම්මලා තාත්තලා දරුවන්ව ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරන්නේ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරී‍මේ අරමුණ ඇතිව. විභාගය නැති කළොත් ඒ දරුවන්ට හොඳ පාසලකට යන්න තිබෙන අවස්ථාව නැති වෙලා යනවා. එහෙම නම් ගමේ තිබෙන පාසල්වල පහසුකම් වැඩි කළ යුතුයි. ළඟම පාසල හොඳම පාසල කියන සංකල්පය තවමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන දෙයක්. එය තවමත් සර්ව සම්පූර්ණ වෙලා නැහැ. එහෙම නම් ගමේ ළමයාට හොඳ පාසලක් කෝ? ඒ නිසයි මම කියන්නේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම දිගුකාලීන වශයෙන් ක්‍රියාත්මක කළ හැකි දෙයක් මිස අද හෙට කළ හැක්කක් නොවන බව.” යනුවෙන් සඳහන් කළේ ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ නිලධාරි, අශානි අබේසේකර ය. ඈ පස් වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ පර්යේෂණ කළ නිලධාරිනියකි.

“ගමේ පාසලේ ඉගෙනගත්තු මගේ දුව අද මහනුවර මහාමායා බාලිකාවේ ඉගෙන ගන්නවා. මහාමායාවට දුව ගියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා. ශිෂ්‍යත්වය සමත් නොවුණා නම් දුවට කවදාවත් නුවර මහාමායාවට එන්න ලැබෙන්නේ නැහැ. ශිෂ්‍යත්වය නැති කරනවා කියන්නේ අපේ වගේ පවුල්වල දරුවන්ට හොඳ පාසලකට යන්න තිබෙන අවස්ථාව නැති වීමයි.” යනුවෙන් පැවසුවේ පොළොන්නරුව ඕනෑගම පදිංචි ආර්.ඒ.ඩී. සුමින්ද කුමාර නම් පියෙකි.

යක්කල අනුර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරියක වන නාලනි ලියනගේ පැවසුවේ ද පස්වැනි වසරේ දරුවන්ට ශිෂ්‍යත්ව විභාගය තිබිය යුතු බව ය. ගමේ දුප්පත් දරුවකුට කොළඹ රාජකීය විදුහලට යෑමට ඇති අවස්ථාව ශිෂ්‍යත්වය අහෝසි කිරීමත් සමඟ නැති වන බව ඇගේ අදහස විය.

මේ අනුව අද වන විට පස් වැන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ඒකායන අරමුණ වී තිබෙන්නේ දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීම පමණි. එහෙත් ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය අනෙකකි. එහි පරමාර්ථය වූයේ මේ රටේ දුප්පත් පවුල්වල දක්ෂ දරුවන්ව පහසුකම් සහිත රජයේ පාසලකට ඇතුළත් කොට මාසික දීමනාවක් දී ඔවුන්ව ශක්තිමත් කිරීම යි. එදා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දරුවන් ඇතුළත් වූයේ රාජකීය, විසාකා, මහාමායා පාසල්වලට නොව මධ්‍ය මහා විද්‍යාලවලට ය. මීට දශක කීපයකට පෙර ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු විධායක ශ්‍රේණියේ රැකියා සඳහා මැදි විදුහල්වල සිසුන් පැමිණීමේ ප්‍රවණතාවක් ද දැකගත හැකි විය. එහෙත් පසුකාලීනව ශිෂ්‍යත්ව විභාගය ආදායම් අඩු, දක්ෂ දරුවන්ට පමණක් නොව සියලු ම දරුවන්ට අනිවාර්ය විභාගයක් බවට පත් විය. තරගය ආරම්භ වෙන්නේ එතැන් පටන් ය.

“ලංකාවේ පැවැත්වෙන අනෙක් විභාගවලට වඩා පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් මානසික ආතතියට ලක් වන බව පෙනෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට විවිධ හේතූන් නිසා මානසික ආතතිය ඇති වෙන්න පුළුවන්. ඒත් එය ඇති වී නැති වී යනවා. ආතතිය දීර්ඝ කාලීනව තිබෙන්න හොඳ නැහැ. පහේ පන්තියේ ළමයින්ට 2 වැනි පන්තියේ 3 වැනි පන්තියේ ඉඳලා තරගය පටන් ගන්නවා. ඒ නිසා මානසික ආතතිය දිගු කාලීනව ඇති වෙනවා. මෙම පුංචි දරුවන් රෝග ලක්ෂණ පෙන්වන්නේ බඩේ කැක්කුම, ඔළුව කැක්කුම වගේ දෙයකින්. වැඩිහිටියෝ දරුවන්ව කායික රෝග වෛද්‍යවරුන් ළඟට ගිහින් අවසානයේ තමයි අපි ළඟට එන්නේ. මේ දරුවන් වැඩි වශයෙන් අපි ළඟට එන්නේ ශිෂ්‍යත්ව විභාගය ළං වුණාම. එක්කෝ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිටවූ කාලයේ. ශිෂ්‍යත්ව විභාගය නිසා පුංචි දරුවන් මේ තත්ත්වයට පත් වීම යහපත් නැහැ. මම හිතනවා මේ තත්ත්වය නැති කිරීමට නම් ශිෂ්‍යත්වය සෑම ළමයකුට ම අනිවාර්ය නොකර, මවුපියන් සහ ගුරුවරුන් සාකච්ඡා කරලා ඒ අයගේ කැමැත්තෙන් දරුවන් විභාගයට වාඩි කරවීමේ ක්‍රමයක් ඇති කරනවා නම් හොඳයි.

එය ආදායම් මට්ටම අනුව තීරණය කළොත් දරුවන් අතර පරතරයක් ඇති වෙන නිසා දරුවන්ගේ දක්ෂතාව සහ මවුපියන්ගේ අවශ්‍යතාව මත තීරණය වෙනවා නම් හොඳයි.” යනුවෙන් විස්තර කළේ මනෝ වෛද්‍ය විශේෂඥ මාලිකා වීරසිංහ ය. ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ නිලධාරිනි අශානි අබේසේකර ද එම අදහස තහවුරු කළාය.

ජ්‍යෙෂ්ඨ ම‍නෝ උපදේශිකා ඉෂාමා කාරියකරවන පවසන්නේ, ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ ඉහළ බුද්ධි මට්ටමක් ඇති සුබග දරුවන් තෝරාගෙන ඔවුන්ගේ බුද්ධි මට්ටමට ගැළපෙන පරිදි අධ්‍යාපනයක් ලබා දී රටට වැඩදායි පුරවැසියන් බිහි කිරීම වුවත් අද වන විට එය අති ධාවනකාරී විභාගයක් ලෙස මුහුණුවර වෙනස් වී තිබෙන බවයි.

“දරුවන්ගේ මනසට ඔරොත්තු නොදෙන ආකාරයෙන් පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරනවා නම් සෑම පාසලක් ම ජනප්‍රිය පාසලක් බවට පත් කිරීම රජයේ වගකීමක්. සෑම පාසලකට ම ජනප්‍රිය පාසලක ඇති පහසුකම් ලබා දී ළඟම පාසල හොඳ ම පාසල බවට පත් කිරීම සක්‍රීය කළ යුතුයි. ඒ වගේම රටේ නීතියක් තිබිය යුතුයි. තමන් පදිංචි ප්‍රදේශයේ ම පාසලකට ඇතුළත් විය යුතුයි කියලා. වර්තමානයේ දරුවො ඉපදෙන්නේ එක් තැනක. ඉගෙනගන්නේ තවත් තැනක. රැකියාව කරන්නේ ඊට වෙනස් ම තැනක. මේ නිසා තමයි අපේ රටේ බුද්ධි ගලනය වැඩි වෙන්නේ.

නවක වදය වැඩි වෙන්නෙත් තමුන්ගේ කියන හැඟීම දරුවන්ට නැති නිසා. ශිෂ්‍යත්වය කියන්නේ කිසිදු දරුවකුට කිසිවෙකුටත් බැගෑපත් නොවී, බාල්දු නොවී, අල්ලස දූෂණයට යටත් නොවී හොඳ පාසලකට යෑමට ඇති අයිතියක්. ශිෂ්‍යත්වය අහෝසි කරනවා නම් හොඳ පාසල් ඇති කළ යුතුයි. එසේ නොකර ශිෂ්‍යත්වය අහෝසි කිරීම මීට විසඳුමක් නොවෙයි.” යනුවෙන් ඉමාෂා කාරියකරවන තවදුරටත් පැවසුවාය.

අශානි ‍අබේසේකර 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ පර්යේෂණ සිදු කරන විට මවුපියන්ගෙන් වැදගත් කාරණයක් අනාවරණය වූ බව ඈ සඳහන් කළා ය. එකී කරුණ වූයේ ශිෂ්‍යත්ව විභාගය 8 හෝ 9 වැනි වසරේ දී පැවැත්වීම දරුවන්ගේ මානසික තත්ත්වයට යහපත් බව ය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ශිෂ්‍යත්වය වෙනුවට 7 හෝ 8 වැනි වසරේ දී විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල මත දරුවන් එක් එක් විශේෂිත විෂයන් සඳහා වෙන් කිරීම පිළිබඳ සිය කතාවේදී ප්‍රකාශ කර තිබේ. ජනපති ප්‍රකාශ කර තිබෙන්නේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගෙන් 86% ක් පැස්වැන්නේ ශිෂ්‍යත්ව අසමත් වූ අය බව ය. එබැවින් ශිෂ්‍යත්ව විභාගය ඵල රහිත විභාගයක් බව ඔහුගේ අදහස විය.

ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් සියලු දෙනා ම උසස් අධ්‍යාපනයට යොමු නොවන බව සැබෑවකි. එහෙත් දරුවන් රැකියාවකට යෑම සඳහා සම්මුඛ පරීක්ෂණයකට ගිය විට ඉගෙනුම ලැබූ පාසලට හිමි වන තත්ත්වය සැලකිල්ලට ගෙන නොසිටිය හැකිද? එවැනි වාතාවරණයක් ඇති රටක දරුවන්ට 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම කොතෙක් දුරට සාධාරණදැයි විමසා බැලිය යුතුය.

70 - 80 දශකයේ ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ විභාග තිබුණු බව මගේ මතකයේ ඇත. එදා දවසේ මම ද එවැනි විභාගයකට වාඩි ව‍ුණෙමි. එසේ නම් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව ශිෂ්‍යත්ව විභාගයෙන් ඉවත් කර ඇතුළත් වීමේ විභාගයකට පැවරිය හැකි දැයි සොයා බැලීම වටී.

“ශිෂ්‍යත්ව විභාගය අද අම්මලාගේ විභාගයක් වෙලා. හැමෝම හැල්මෙ දුවනවා. අපේ පන්තිවල අපි දරුවන්ට දෙන ආදර්ශ ප්‍රශ්න පත්‍රවලින් ලකුණු 100ට අඩුවෙන් ගත්තු ළමයින්ගේ මවුපියන්ට එන්න කියලා අපි සාකච්ඡා කළා. ඒ මවුපියන් දරුවන්ව පන්ති යවන්නන් වාලේ යවනවා. ඒ පන්තිවල මොනවද උගන්වන්නේ කියලා හොයලා බලන්නේ නැහැ. දරුවන්ව ගෙදර තියාගන්න බැහැ දඟ කරනවා, රූපවාහිනිය බලනවා, ඒ නිසා පන්ති යවනවා කියලා කියන අයත් ඉන්නවා. ශිෂ්‍යත්වය ගැන මවුපියන් දැනුවත් කරලා මේ රැල්ල නවත්වනවා නම් හොඳයි.” යනුවෙන් පැවසුවේ 5 වැනි වසරට උගන්වන යක්කල අනුර ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේ නාලනි ලියනගේ ගුරු මහත්මියයි.

තවදුරටත් ඈ සඳහන් කරන්නේ පාසල්වල විෂය නිර්දේශය නිසි අන්දමින් ඉගැන්වීම ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීමට ප්‍රමාණවත් බව ය. එහෙත් අද 5 වැනි වසරේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් 3 වැනි වසරේ සිට පෞද්ගලික උපකාරක පන්ති ආරම්භ කර තිබෙන්නේ දරුවන්ගේ බුද්ධිය වර්ධනය කිරීමට ද වාණිජ අරමුණකින් දැයි සිතා බැලීම කාලෝචිත ය.

ජාතික ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂණ නිලධාරිනි අශානි අබේසේකර ද ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල අන්තර්ගතය වෙනස් කළ යුතු බව සඳහන් කළාය. එම විභාගය දක්ෂ දරුවන් හඳුනා ගැනීමට ඉඩ හසර විවර විය යුතු වුවත් අද බොහෝ දරුවන් කට පාඩමින් පිළිතුරු ලියන ස්වාභාවයක් ඇතැයි ඈ සිය පර්යේෂණයේදී හඳුනාගෙන තිබේ. මීට අමතරව ශිෂ්‍යත්වයෙන් ජාතික පාසල්වලට ඇතුළත් වීමට ඉ‍ඩ ලැබෙන්නේ 20%ක් වැනි සුළු ප්‍රතිශතයකට බැවින් ශිෂ්‍යත්ව තරගය අතිධාවනකාරි ස්වාභාවයක් ගෙන ඇති බව ඇගේ අදහස ය.

ඇත්ත වශයෙන් ම ජනප්‍රිය පාසල්වල ඇති ප්‍රාථමික අංශයේ පස්වැනි වසරේ ඉගෙනුම ලබන දරුදැරියන් ශිෂ්‍යත්ව විභාගයට වාඩි විය යුතුද? ඔවුන්ට ජනප්‍රිය පාසලක් අවශ්‍ය නැත. ඔවුන්ට ශිෂ්‍යාධාර අවශ්‍ය නැත. එසේ නම් ඔවුන් ශිෂ්‍යත්ව විභාගයට වාඩි වී මෙම විභාගයේ තරගකාරිත්වය තවතවත් තීව්‍ර කර‍න්නේ ඇයිදැයි සිතා බැලිය යුතුය.” ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා වන මෙම කාලවකවානුවේ, අධ්‍යාපන විශාරදයන් ඇතුළු විවිධ ප්‍රාමාණිකයන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත විකල්ප යෝජනා ගැන කතාබහ වන මොහොතේ මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම වටී.

 

Comments