මේ දුක් ඔක්කෝම තණ්හාව හින්දායි! | Page 2 | සිළුමිණ

මේ දුක් ඔක්කෝම තණ්හාව හින්දායි!

අද ලිපියට මාතෘකා වන්නේ 'මහා තණ්හාසංඛ්‍ය' සූත්‍රයයි. බුදුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කළේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවාසය කරන කාලයේ, සාති නම් භික්ෂුවක අරමුණු කරගෙනයි. 
සාති නම් භික්ෂුව "මම බුදු රජාණන් වහන්සේගෙන් අසා දැන-ඉගෙනගත්තා විඥානය භවයෙන් භවයට යනවා කියලා. මේ භවයෙන් භවයට සසර සැරි සරන්නේ විඥානය මිස වෙන කුමක්වත් නොවෙයි කියලා උන් වහන්සේ දේශනා කළා," කියා‍ නොයෙක් තැන පවසන්න වුණා. එය ඇසූ අනෙක් භික්ෂූන් "ආයුස්මස් සාති, මෙසේ වදාරන්න එපා! බුදුරදුන් මරණින් මත්තේ භවයෙන් භවයට යන විඥානයක් ඇතැයි කියා දේශනා කර නැහැනේ" කියා පැවසුවා. සාති භික්ෂුව එය පිළිගත්තේ නැහැ. ඉන් අනතුරුව ඒ භික්ෂූන් මේ පිළිබඳව බුුදු හිමියන්ට පැවසුවා. බුදුරදුන් සාති භික්ෂුව කැඳවා: "සාති, ඇත්තද ඔබ කියනවා කියන්නේ ජීවිතයෙන් ජීවිතයට යන සසර සැරිසරණ හැසිරෙන විඥානයක් ති‍බෙනවා කියලා?" ඇසුවා. භික්ෂුව එය පිළිගත්තා. එවිට බුදු හිමි ප්‍රශ්න කරනවා: "ඔබට මතකද මම කොතනදී හෝ එසේ පවසනවා?" සාති භික්ෂුව බිම බලාගෙන හිටියා. ඉන් අනතුරුව බුදුන් වහන්සේ අනෙක් භික්ෂූන්ගෙන් ප්‍රශ්න කරනවා: "මහණෙනි, මේ භික්ෂුව කියනවා වගේ ජීවිතයෙන් ජීවිතයට යන විඥානයක් ගැන මම කාට හෝ දේශනා කර තිබෙනවාද?" අනෙක් භික්ෂූන් එසේ නැතැයි පැවසුවා. ඉන් අනතුරුව තථාගතයන් වහන්සේ මේ පිළිබඳ පැහැදිලි කිරීමක් කළා. අප අද දවසේ පැහැදිලි කරන්නේ ඒ පිළිබඳවයි. 
'පච්චයං පච්චති පටිච්ඡ සමුප්පන්නති විඥානං' විඥානය උපදින්නේ හේතුවක් ඇතිවයි. මෙහි 'විඥානය' කියන්නේ සිතයි. යම් හේතුවක් මුල් කරගෙන නම් උපදින්නේ ඒ හේතුවේ නමින්ම මේ විඥානය හඳුන්වනු ලබනවා. එනම්: ඇසත්, රූපයත් නිසා ඇසේ විඥානය හට ගන්නවා. මේ සඳහා ආලෝකය තිබෙන්න ඕනෑ; රූපයට අපේ සිතේ අවධානය ඇති වන්න ඕනෑ. එවිටයි විඥානය හටගන්නේ. අවධානය යොමු වීමට කියන්න‍ෙ 'මනසිකාර' කියලායි. ඇසත්, රූපයත් දෙක එකට එකතු කරන්නේ මනසිකාරයයි. ඉන් අනතුරුවයි විඥානය හටගන්නේ. ඇස මුල් වී විඥානයක් හට ගන්නේ නම් එය 'චක්ඛු විඥානය' යි. කනයි, ශබ්දයයි, අවධානයයි තිබෙනවා නම් 'සෝත විඥානය' හටගන්නවා. නාසයයි, ගඳ-සුවඳයි, මනසිකාරයයි ඇති අවස්ථාව 'ගන්ධ විඥානය' කියා හඳුන්වනු ලබනවා. දිවයි, රසයයි, මනසිකාරයයි එකතු වෙලා හටගන්නා විඥානයට කියනවා 'ජිව්හා විඥානය' කියලා. කයට පහසක් ලැබෙන විටම අප ඒ පහස මනසිකාරයෙන් හඳුනාගන්නවා. එය 'කාය විඥානය' යි. ඒ වගේම මනසින් අප අරමුණු දැනගැනීමත් සිදු වනවා. මේ සඳහා මනසයි, සිතිවිලියි ඇති වනවා. එය 'මනෝ විඥානය' යි.
බුදු රජාණන් වහන්සේ මෙය උපමාවකිනුත් පැහැදිලි කළා. යම් ගින්නක් ඇවිළෙන විට ඒ ගින්න ඇවිළෙන්න උපකාර වන දේ මුල් කරගෙන අප මේ ගින්දරට නම් තබනවා. දර නිසා හටගන්නවා නම් එය 'දරගින්න', පොඩි කෝටු මුල් වී හටගන්නා ගින්දර 'පතුරු ගින්න', තණකොළ මුල් වී හටගන්නා ගින්දර 'තණ ගින්න', ගොම නිසා හට ගන්නා ගින්දර 'ගොම ගින්න'. ඒ වගේ තමයි විඥානය හටගන්නා යමක් හේතු වනවා නම් ඒ කාරණාව මුල් කරගෙන විඥානයට නමක් තැබුවා කියලා මේ උදාහරණයෙන් පැහැදිලි කළා.
 
රූපය
 
මේ පැහැදිලි කිරීමෙන් පසු බුදු හිමියන් ප්‍රශ්නයක් අහනවා: එනම් "මහණෙනි, මේ පංචස්කන්ධය 'හටගත් දෙයක්' නිසා එයට භූත කියලා කියනවා. පංච උපාදානස්කන්ධය හටගත් දෙයක් කියා ඔබ පිළිගන්නවාද?" කියලා. උන්වහන්සේලා "එහෙමයි ස්වාමීනි" කියා පිළිතුරු දෙනවා. ඊළඟට, "මහණෙනි, පංච උපාදානස්කන්ධය ආහාරයෙන් හටගත්තා කියා ඔබ දකිනවාද?" යි විමසනවා. "එහෙමයි ස්වාමීනි" කියලා භික්ෂූන් පිළිතුරු දෙනවා. හේතුවක් නිසා මේ රූපය හටගත්තේ. ඊට මූලිකම හේතුවක් වුණේ මවුපියන්ගේ එකතුවීම. ඒ ධාතූන්ගෙන් හට ගත් දෙය මවගේ ශරීරයේ ඕජාවෙන් වැඩුණා. මෙය පුළුල් ආකාරයෙන් විස්තර කළොත්: පඨවි, ආපෝ, තේජෝ, වායේ ධාතු මුල් කරගෙනයි මේ රූපය හටගන්නේ.
 
වේදනාව
 
කයට, හිතට සොම්නස දැනවෙනවා නම් සැප වේදනාවක්. මේ කයට හිතට දුකක් දැනේ නම් එය දුක්ඛ වේදනාවක්. ඒ වගේම මේ කයට හිතට දුකක්, සැපක්, මිහිරක්, අමිහිරක් නැති වේදනාවට කියන්නේ උපේක්ෂාව කියලා. මෙයට කියන්නේ අදුක්ඛම සුඛවේදනාවක් කියලා. එසේ නම් මේ වේදනාව හටගන්නෙත් හේතුවක් නිසා. ඒ හේතුව තමයි ස්පර්ශය කියලා කියන්නේ. ස්පර්ශය කියන දේ තේරුම කයේ දෙයක් ගෑවෙනවා, හැපෙනවා, ගැටෙනවා කියන එකයි. මෙහිදී මේ ස්පශර්ය කියන්නේ කරුණු තුනක එකතු වීමටයි. එය සරලව මතක තබාගන්න පුළුවන්. ඇසත්, රූපයත්, විඥානයත් නිසා මේ ස්පර්ශය ඇති වනවා. එයයි ඇසේ ස්පර්ශය කියලා කියන්නේ. ශබ්දයත්, හඬයි, ස්පර්ශයයි එකතු වීම කනේ ස්පර්ශයයි. දිවත්, රසයත්, ස්පර්ශයත් එකතු වීමෙන් දිවේ ස්පර්ශයයි. කයත්, මනසත්, සම්බන්ධ වේදනාවත් කයේ වේදනාවයි. මේ ආකාරයෙන්ම මේ සියල්ලේ විඳීමෙන් අපට දුකක් හෝ සැපක් හෝ නොදැනෙනවා නම් එය උපේක්ෂාව කියා හඳුන්වනු ලබනවා.
 
සඤ්ඤාව
 
අනෙක් කාරණාව සඤ්ඤාවයි. රූප සඤ්ඤා ඇසිනුත්, ශබ්ද සඤ්ඤා කනිනුත්, ගන්ධ සඤ්ඤා නාසනුත්, රස සඤ්ඤා දිවෙනුත්, ඵොට්ටබ්බ සඤ්ඤා කයෙනුත්, සිතිවිලි හෙවත් ධම්ම සඤ්ඤා මනසිනුත් හඳුනාගන්නවා කියලා බුදු රජාණන් වහන්සේ පැහැදිලි කරනවා. මේ හඳුනාගැනීම් නිවැරදි හඳුනාගැනීමමක් නොවෙයි; අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියා හඳුනාගැනීම නොවෙයි.
අපට මේ දේවල් වැටහෙන්නේ ආත්ම වශයෙන් වුවත් මේ ශරීරය එකම අසූචි ගොඩක් වගේ. මේ ශරීරය අනෙක් පැත්ත හැරෙව්වොත් පොලු තියාගෙන බල්ලන් කපුටන් එළවිය යුතුයි කියලා ධර්මයේ සඳහන් වනවා. ඒ තරම් ජරා ගොඩක්! ඒත් බොහෝම ලස්සන හමකින් වසා තිබෙන නිසා අප මෙය බදාගන්නවා 'අපේ, මගේ' කියලා. මේ සඤ්ඤාව අපව කොයි තරම් මුළාවකද දාලා තියෙන්නේ. 'මරීති රූපමා සඤ්ඤා' මෙය මිරිඟුවක් වගේ. වැවක් පිරිලා තියෙනවා වගේ ලස්සනයි. ඒත් මේ මිරිඟුවෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්න බැහැ. මේ වැරදි හඳුනාගැනීම 'සඤ්ඤා විපල්ලාසය' කියලා කියනවා. එනම් වරදවා හඳුනාගැනීමයි. 
 
සංකාර
 
අනෙක් කාරණාව සංකාර. එහි තේරුම සිතිවිලි. මේවාත් හයක් තිබෙනවා: රූප සංචේතනා, ගන්ධ සංචේතනා, රසබ සංචේතනා, ඵොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා වශයෙන්. මේ සිතිවිලි හටගන්නේ ස්පර්ශය නිසා. ස්පර්ශය අනිත්‍ය නිසා සිතිවිලිත් අනිත්‍යයි. එබැවින් මේවාත් හේතූන්ගෙන් හටගන්නවා. "මේවා හේතූන්ගෙන් හටගන්නවා කියලා පිළිගන්නවාද?" කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ගෙන් විමසනවා. භික්ෂූන් එයට "එහෙමයි ස්වාමීනි" කියලා පිළිතුරු දෙනවා.
"මහණෙනි, හෙතූන්ගෙන් හටගත් මේ පංච උපාදානස්කන්ධය නිරුද්ධ වීමෙන් -එනම්: නැති වීමෙන්- නැති වනවා කියා ඔබ දන්නවාද?" කියා බුදුහිමි ප්‍රශ්න කරනවා. එවිට භික්ෂූන් "එහෙමයි ස්වාමීනි" කියා පිළිතුරු දෙනවා. හේතු නැති වන විට හේතූන්ගෙන් හටගන්නා පංච උපාදානස්කන්ධය නැති වනවා.
හේතු ඇති වීමට ප්‍රධාන හේතුවක් වන්නේ තණ්හාවයි. අපේ හිත දියුණු කරලා, මේ තණ්හාව නැති කළා නම් අප පංච උපානස්කන්ධය නමැති මේ දුකෙන් සදහටම නිදහස් වනවා. මේ පංච උපාදනස්කන්ධය පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විදර්ශනාව වැඩීමෙන් එය නැති කරගත හැකි වනවා. අප කළ යුතු වන්නේත් එයයි. 
 

Comments