
- නවත්වන්න මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය වැරදියි විදුලි බලඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු
- ගල්අඟුරු ආවාම ජලවිදුලි කොමලිය වලාකුළුවල සැඟවෙනවා බලශක්ති උපදේශක කේ.සී. සෝමරත්න
- විදුලිබල ඉල්ලුම අනුව බලාගාර ඉදිව නැති බව 2016 සිටම අපි කිව්වා මහජන උපයෝගිතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත්
- විදුලිය කපන්න වුණේ පද්ධතියේ හදිසි බිඳවැටීම් නිසයි විදුලිබල අමාත්‍යාංශයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන
විදුලිය අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින රටේ ජනතාව එයින් මුදාගැන්මට කටයුතු කරනවා වෙනුවට අදාළ බලධාරීන් එකිනෙකා වෙත වරද පටවමින් කඹ ඇදිල්ලක නිරත වන අන්දම දැන් රටට රහසක් නොවේ. රට පුරා පවතින විදුලිය අර්බුදය කොතරම් දුරට ඔඩුදුවා ඇත්දැයි පසක් වන්නේ පසුගියදා ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව මහජන උපයෝගිතා කොමිෂන් සභාව නඩු මඟට බැසීමත් සමඟය. පවත්නා මේ අර්බුදය හා මෙහි ඉදිරිය පිළිබඳ වගකිව යුතු අංශ වෙතින් විමසා බැලීමට අපි කටයුතු කළෙමු.
පවත්නා විදුලිය ගැටලුව පිළිබඳ අදහස් දක්වමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් පවසන්නේ, විදුලිබල මණ්ඩලය පවසන අන්දමට බලාගාර සැලසුම් කඹ ඇදිල්ල යථාර්ථය වසාදමන්ට දැමූ කඩතුරාවක් බවයි.
"අද අප මේ විදිහට කතා කරන්නේ මෙගාවොට් 200ක-250ක හිඟයක් ගැනයි. මේ හිඟය මතු වෙයි කියන-එක ගැන අප අනතුරු ඇඟෙවුවේ දැනට වසර දෙකකට පමණ පෙර සිටයි. විදුලිබල පනත අනුව විදුලි බලාගාර ඉදිකිරීමේ කටයුතු පැවරෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලයටයි. මහජන උපයෝගිතා කොමිසම කළ අධ්‍යයනයකින් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලයට 2016 මාර්තු 31 වැනිදා ලිපියක් යොමු කරමින් කියා සිටිනවා සැලැසුම් කළ හා ටෙන්ඩර් අනුමැතිය ලද විදුලි බලාගාර ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන්න කියලා. මොකද: අපට පෙනී-ගියා ඒවායේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වෙමින් පවතිනවා කියන-එක. ඒ අතර විදුලිය ඉල්ලුම ඉහළ යනවා. මේ තත්ත්වය අනුව ඉදිරියේදී විදුලිය හිඟයක් ඇති වේවි කියන දෙය අපට පැහැදිලිව පෙනුණා. එනිසා ඒ විදුලිය බලාගාර ඉදි කිරීමට කඩිනම් පියවර ගන්න කියලා අමාත්‍යාංශ ලේකම්ට, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරට මේ ලිපිය යොමු කළා. මෙතැනදී පැහැදිලි කරනවා ඉදිරියේදී සැකැසීමට හා වැඩ නිම කිරීමට ඇති විදුලි බලගාර ප්‍රමාණයක් ගැන. ඒ අනුව 2017දී නිම කරන්න තිබුණා මෙගාවොට් 37ක කිතුල්ගල බ්‍රෝඩ්ලෑන්ඩ් බලාගාරය. ඒ වසරේම වැඩ නිම කරන්න තිබුණා මෙගාවොට් 120ක උමා ඔය බලාගාරය. 2018දී නිම කරන්න තිබුණා මෙගාවොට් 100ක මන්නාරම සුළං විදුලි බලාගාරය. ඒ වසරේම වැඩ නිම කරන්න තිබුණා මෙගාවොට් 70ක ගෑස් ටර්බයින් විදුලි බලාගාරය. ඒ වගේම 2019දී වැඩ නිම කරන්න තිබුණු මෙගාවොට් 35ක ගෑස් ටර්බයින් විදුලි බලාගාරය. 2020දී හා 2021දී වැඩ නිම කරන්න තිබුණු තවත් බලාගාර 4ක් පිළිබඳ තොරතුරු අප ඔවුන්ට දැනුම් දුන්නා. මේවායේ කටයුතු නිම කරන්න කියලා අප 2016දී ඒ කියන්නේ මීට වසර 2කට ප්‍රථම නිල වශයෙන් අදාළ බලධාරීන්ට දැනුම් දී තිබෙනවා. ඒත් එයින් කිසිම දෙයක් සිදු නොවුණු තැන, 2016 නොවැම්බර් 18 නැවත ලිපියක් යොමු කළා ජාතික කටයුතු හා ආර්ථික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ලේකම් වෙත මේ ප්‍රමාද බලාගාර පිළිබඳ කටයුතු කරන්න කියලා. එහෙත් විදුලිබල මණ්ඩලය යහපත් ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඊට වසරකට පසු විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යවමින් ප්‍රකාශ කර සිටිනවා මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් විදුලිය හිඟතාවයක් ඇති වෙයි කියා පෙන්වා දී තිබෙනවා, එය කැබිනට් අමාත්‍ය මණ්ඩල උප කමිටුවටත් දැනුම් දී තිබෙනවා, එනිසා මේ බලාගාර කඩිනමින් ඉදි කරන්න ව්‍යාපෘති කළමනාකරුවන් පත් කොට ව්‍යාපෘති කාර්යාල විවෘත කරන්න පියවර ගන්නා ලෙසට.
පසුව විදුලිබල මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම්වරයා මහජන උපයෝගිතා කොමිසන් සභාවට ලිපියක් එවනවා විදුලි බලාගාර ඉදි කිරීම ප්‍රමාදයි, ඒ නිසා ඒවා කඩිනමින් ඉදි කරන්න කියලා අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම් දී ඇති බවට. ඒත් අද වන තුරු මේ බලාගාර කිසිවක් ඉදි වෙලා නෑ. මේ විදුලි බලාගාර ඉදි කර තිබුණා නම් මේ වන විට මෙගාවොට් දාහකට වැඩි ධාරිතාවක් පද්ධතියට එකතු වනවා. මේ සියල්ල මේ විදිහට සිදුවෙත්දී මේ අය විදුලිය හිඟයට බලාගාර ඉදි කරන එකට අවධානය යොමු නොකර දිගින් දිගටම 2015 සිට පෞද්ගලික අංශයෙන් කෙටිකාලීන ගිවිසුම් මත විදුලිය මිල දී ගෙන තිබෙනවා. මේ ආකාරයට කෙටිකාලිනව විදුලිය මිල දී ගෙන දිගු කාලීන ජනන සැලැසුම්වලින් අඩු වියදම් බලාගාර ඉදි නොකර, කෙටිකාලීන ගිවිසුම් මත විදුලිය මිල දී ගන්නවා. එය ඇත්තටම පාඩුවක්. මෙගාවොට් 100 ඇඹිලිපිටිය බලාගාරය ගිවිසුම්ගත නොවී මිල දී ගන්න කියලා රජය කියනවා. විදුලිය ගත්තත් - නොගත්තත්, මාසයකට එයට මිලියන 76ක් ගෙවන්න ඕනෑ! කෝප් කමිටු වාර්තා වෙන් පවා පෙන්වා දී තිබෙනවා හදිසි විදුලිය මිල දී ගැනීමේ පටිපාටිය වැරදි බව. යම් ආකාරයකින් හදිසි විදුලිය මිල දී ගැනීම සිදු වෙනවා. ඒත් ක්ෂණිකව ඇති විය හැකි විදුලිය හිඟය වර්ෂයක් පාසා සිදු වෙන්න බැහැනෙ. අවුරුදු පතා දැන් මේ තත්ත්වය ඇති වනවා. වැඩිමිලට විදුලිය නොගෙන, අනුමත ජනන සැලැසුම්වල ඇති අඩු වියදම් බලාගාර ඒ වේගෙන් හදන්න කියලයි අපි කියන්නේ.
කොමිෂන් සභාවේ නියාමන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු නොසැපයූවා වගේම, විදුලිය කප්පාදුව නොදන්වා සිදු කළා. එය විදුලිබල මණ්ඩලයෙන් සම්ප්‍රේෂණ බලපත්‍රයේ එන කොන්දේසිවලට අනුව වැරැද්දක්. මේවා ඉදිරියේදීවත් ක්‍රමානුකූලව ඉටු කරන්න කටයුතු කිරීමටයි අප විදුලිබල මණ්ඩලයට විරුද්ධව නඩු මාර්ගයට අවතීර්ණ වුණේ."
මේ පිළිබඳ විදුලිබල අමත්‍යාංශයේ ප්‍රවර්ධන අධ්‍යක්ෂ, මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ, මහජන උපයෝගිතා කොමිෂන් සභාව නීති ක්‍රියාමාර්ග ගත්තද ඒ අවස්ථාවේ විදුලි සැපයුම් සීමා කරන්නට සිදු වූයේ විදුලි සැපයුම් පද්ධතියේ තිබෙන අවශ්‍යතාව අනුව බවයි.
"විශේෂයෙන්ම මේ දිනවල පවතින විදුලි ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය විදුලි ජනනය සැලකිය යුතු අන්දමින් ඉහළ අගයක් ගන්නවා. ඒ ජනන ධාරිතාව ලබාදෙන්න යන විට සම්පූර්ණ ජනන පද්ධතියම විසන්ධි වනවා. එවිට විදුලිය විසන්ධි කිරීමකට යෑමට සිදු වනවා. මේ තත්ත්වය දුරු කරලීම සඳහා අප කෙටිකාලීන හා දිගුකාලීන විසඳුමකට යෑමට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතිනවා. අනෙක, මේ අර්බුදය විදුලිබල අමාත්‍යාංශය හෝ විදුලිබල මණ්ඩලය හෝ මහජන උපයෝගිතා කොමිෂන් සභාව හෝ මහජනතාව හෝ තනිතනිව මුහුණපාන ගැටලුවක් නොවෙයි. අප හැම දෙනාම එකට මුහුණ දෙන තත්ත්වයක්. මෙයට අප හැම දෙනාම සාමූහිකව විසඳුම් සෙවිය යුතුයි," සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා.
මේ අතර විදුලිය ඉංජිනේරු සංගමයේ සභාපති විදුලි ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු චෝදනා කරමින් පවසන්නේ පවත්නා විදුලි අර්බුදයට 50%ක්ම රජය හා මහජන උපයෝගිතා කොමිසම වගකිව යුතු බවයි.
"සැලසුම් කර තිබූ සාම්පූර් බලාගාරය ඇතුළු අත්‍යවශ්‍ය බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් පසුගිය වසර පහට රුපියල් බිලියන දෙදහසක පමණ පාඩුවක් විඳීමට සිදුව තිබෙනවා. සාම්පූර් බලාගාරය හදන්න ප්‍රොජෙක්ට් ඔෆිස්-එක දාලා වසර අටක් ගියාට පසු එය නැවැත්වූවා. එමෙන්ම මේ වන විට විදුලිබල මණ්ඩලයද වාර්ෂිකව රුපියල් බිලියන අසූවක් පමණ පාඩු ලබනවා. එය රටේ ආර්ථිකයට දැඩි ලෙස බලපා තිබෙනවා. එනිසා විදුලිබල මණ්ඩලය පිළිබඳ මීට වඩා නිවැරදි හා සැලැසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමයි. අද ජල විදුලියෙන් ලැබෙන්නේ 10%ක් පමණයි. නොරොච්චෝලේ 45%ක් දෙනවා. මොන අඩුපාඩු තිබුණත් නොරොච්චෝලේ එදා හැදුවේ නැති නම් අද රටටම දවසෙන් බාගයක් පමණ විදුලිය නැතිවයි ඉන්නට වෙන්නේ..." ඉංජිනේරු කුමාරවඩු පවසයි.
විදුලි අර්බුදයෙන් රට මුදාගැනීමට කිසිදු පියවරක් නොගන්නා බලධාරීන් හදිසි විදුලිය මිල දී ගැනීම්වලින් බොරදියේ මාළු බෑමට බලා සිටිනවා. මෙවැනි දෙයින් සිදු වන්නේ ජනතාව කබලෙන් ළිපට දැමීමක්. ඒ වගේ දෙයක් සිදු වුණොත් දෙවරක් නොසිතා වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට අප සූදානම්. රටේ විදුලිබල ඉල්ලුම සඳහා විසඳුමක් වන කිසිදු බලාගාරයක් ඉදි නොකිරීමත්, ඉදිකිරීමට සූදානම්ව තිබූ බලාගාර නවතාදැමීමත්, ඉංජිනේරුවරුන්ගේ සැලැසුම් ඉවත දමා විවිධ පාර්ශ්වවල සැලැසුම් ක්‍රියාත්මක කිරීමට යෑමත් නිසා මේ වන විට විදුලිබල ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් පැනනැඟී තිබෙනවා. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් දීර්ඝකාලීන අඩුවියදම් බලාගාර සැකසිය යුතුයි. ලංකා විදුලි ඉංජිනේරුවන් සැකසූ සැලැසුම්, 2014 සිටම වගකිව යුතු ඉහළ පුටුවල සිටින ප්‍රබලයන් අවුල් කිරීමට හා නවතා දැමීමට කටයුතු කළා. 2018දී පවා ඒ සැලැසුම් මහජන උපයෝගිතා කොමිසම අනුමත කළේ අප සංගමය දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට ගිය පසුයි. ඉංජිනේරුවන් සැකසූ විසි අවුරුදු දීර්ඝකාලීන සැලසුම් හා මධ්‍යකාලීන විසඳුම් යන දෙකම කඩාකප්පල් වූ තැන ඉතිරි වන්නේ විකල්ප දෙකක් පමණයි. එකක් තමයි: විදුලිය කැපීම. දෙවැන්න: මුදල් පුච්චමින් හදිසි විදුලිය මිලට ගැනීමය..." කුමාරවඩු මහතා වැඩිදුරටත් පවසයි.
මේ අතර පවතින විදුලි අර්බුදය පිළිබඳ විදුලිය ඉංජිනේරු සංගමයේ විධායක සභික ඉංජිනේරු ජානක අලුත්ගේ පවසන්නේ, විදුලිබල ඇමැතිවරයා පවසන අන්දමට වෙසක් පොහොයට පෙර අඛණ්ඩව විදුලි සැපයුමක් කළ හැක්කේ හදිසි විදුලි මිල දී ගැනීමකින් පමණක් බවයි.
"මේ කෙටිකාලය තුළ බලාගාර ඉදි කර අඛණ්ඩ විදුලි සැපයුමක් කිරීමට නම් වසර පහක්වත් ගත වනවා. විදුලි බලාගාර සැලැසුම් හැදුවත් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ පවතින රජයයි. මණ්ඩලයට තනිව බලාගාර හදන්න බැහැ. එය දැන දැනම සැලැසුම් ප්‍රමාද කරන්නේ සමහරුන්ගේ පෞද්ගලික වුවමනා මතයි. දැන් වත් නිවැරදි සැලැසුමකට නොගියොත් ඉදිරියේ අර්බුදය තවත් උත්සන්න වීම වළක්වන්න බෑ."
විවිධ දේශපාලන කණ්ඩායම්ද විදුලිය අර්බුදය සම්බන්ධයෙන් චෝදනා කරන්නේ විදුලිය අර්බුදය මේ වන විට ජාවාරමක් වී ඇති බවටයි. මේ නිසා රටත් ජනතාවත් ආර්ථික වශයෙන් විශාල පසුබෑමකට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.
ඒ වගේම රටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණය පිළිබඳ විදුලිබල මණ්ඩලයත් අමාත්‍යාංශයත් ආණ්ඩුව සමඟ එක් වී සැලැස්මක් සකස් කළ යුතු බවත්, 'වැස්ස නෑ' කියා රටකට විදුලිය නැතිව සිටීමට නොහැකි බවත්, රටට අවශ්‍ය විදුලිබල ප්‍රමාණය නිපදවාගැනීමට ජනන සැලැස්මක් සකස් කරගත යුතු බවත් ඔවුහු පවසති. ඒ අනුව 2018-2037 කාලයට ජනන සැලැස්මක් තිබෙනවා. එම ජනන සැලැස්ම මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කොට තිබෙන අතර එයට අනුව විදුලිබල මණ්ඩලය කටයුතු කළ යුතු බවත් ඔවුහු පෙන්වා දෙති.
විදුලිය පිළිබඳ ප්‍රමාණික විද්වතකු හා උපදේශකයකු වන කේ.සී.සෝමරත්න මහතා පවසන්නේ මේ විදුලිය අර්බුදය විසඳීමට සුදුසුම සූර්ය බල ශක්තිය බවයි.
"දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය විදුලිය නිපදවන්න ජල විදුලිය නැති වීමත් ගල් අගුරුවලින් දුවන්නට සිදු වී තිබීමත්. ජලවිදුලිය නිපදවන්න බැරි වැසි නැති නිසයි. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වන විට උෂ්ණත්වය වැඩි වනවා. මේ නිසා හැම දෙනාම දන්න දෙයක් තමයි උෂ්ණත්වය වැඩි වන විට වායුගෝලය වෑයම් කරන්නේ වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව ස්ථීර අගයක පවත්වාගන්න. ඒ සඳහා වැඩියෙන් ජලවාෂ්ප වායුගෝලයට උරාගන්න ඕනෑ. ගල් අඟුරු බලාගාරයක් දැම්මම කාබන්ඩයොක්සයිඩ් පිට වනවා. සති හයක් ඇතුළත වායුගෝලයේ ජල ධාරිතාව නැතිව යනවා. අද හැමෝම කයිවාරු ගහනවා 'ගල්අඟුරු බලාගාරයක් නැති නම් විදුලිය ලබාගැනීම ඉවරයි' කියලා. ගල්අඟුරු රකුසා ආවාම ජලවිදුලි කොමලිය වලාකුළුවල හැංගෙනවා. අද දවසේ එය තමයි මේ වෙලා තිබෙන්නේ. මේකට විසඳුම: අපට පුළුවන් මහාමාර්ග දෙපස වහල ගහලා සූර්ය පැනල සවි කර විදුලිය උත්පාදනය කරන්න. අප රට සමකය ආසන්නයේ පිහිටි රටක් වීම, ලංකාවට ලැබෙන සුළං ධාරා ගමන් කරන ආකාරය යන ස්වාභාවික කරුණු දෙකත් අපේ රටේ වර්ග කිලෝමීටරයට හරිතාගාර වායු ටොන් 590ක් පමණ හැම වසරකම පිට කිරීම හා අප රටේ මහාමාර්ග පද්ධතිය කියන අප විසින් හදාගත් කාරණා දෙකත් අද දවසේ අප මුහුණපාන මේ ගැටලුවට හේතු වන බව මම දකිනවා. එනිසා ලංකාව වගේ රටකට සුදුසුම සූර්ය පැනල භාවිතය මඟින් විදුලිය නිපදවීම කියලයි කෙටියෙන් පැවසිය හැක්කේ."
පවත්නා විදුලිබල අර්බුදයට විසඳුම් ලෙස හදිසි විදුලිය මිල දී ගැනීම් සඳහා විකල්ප ලෙස පාවෙන විදුලි බලාගාර දෙකක් ශ්‍රී ලංකාව සමීපයට පැමිණ ඇති බව වාර්තා වෙයි. විදුලි අර්බුදය සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉකුත් දා විදුලිබල අමාත්‍යාංශය දැන්වීම් මඟින් ප්‍රකාශ කර තිබුණු අතර, එහිදී ඉදිරිපත් වූ යෝජනා අතර පාවෙන බලාගාරයකින් රටේ හදිසි විදුලි අවශ්‍යතා සපුරාගැනීම යෝජනා වූ බවත්, ඊට අමතරව මෙරට විදුලිය සැපයීම විශාල අභියෝගයක් වී තිබෙන නිසා අනිවාර්යයෙන්ම හදිසි විදුලිය මිල දී ගැනීම්වලට යොමු විය යුතුව තිබෙන බවත් විදුලිබල අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පැවැසුවේය.