
ලෝකයේ මුදල් ප්‍රධාන වශයෙන් කොටස් 2කට බෙදනු ලබයි. දෘඪ මුදල් හා මෘදු මුදල් වශයෙනි. අමෙරිකානු එක්සත් ජනපද ඩොලරය, යුරෝ, ජපාන යෙන්, කැනඩා ඩොලරය, ඕස්ට්‍රේලියා ඩොලරය දෘඪ මුදල් වේ. වසර 1971ට පෙර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට රත්ත්‍රන් හුවමාරු කරගත හැකි විය. නමුත් ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් මහතා එහි වෙනසක් කළේය. ඒ අනුව 1971න් පසු එක්සත් ජනපද ඩොලරය කඩදාසි කොළයක් බවට පත් විය. එදා මේ සිද්ධිය නික්සන් ෂොක් ලෙස හැඳින්විය.
ශ්‍රී ලංකාවේ රුපියල, ඉන්දියා රුපියල සහ අනෙකුත් දියුණුවෙමින් පවතින මුදල් ඒකක මෘදු මුදල් ගණයට අයත් වේ.
දෘඪ මුදල්වල (Hard Currency) බාහිර වටිනාකම නැති නම් අගය විශාල වශයෙන් වෙනසකට පත් නොවේ. මෘදු මුදල්වල (Soft Currency) බාහිර අගය සැලකිය යුතු මට්ටමින් උස්, පහත් මට්ටමකට පැවැතියා වුවත් නැති නම් අගය උච්චාවචනය වුවත් කාලයත් සමඟ එහි අගය පහළ යෑමේ උපනතියක් දක්නට ලැබේ.
දෘඪ මුදල් ලෝකයේ සංචිත මුදල් සේ සැලකෙන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරය, ස්ටර්ලින් පවුම, ජපාන යෙන්වල වටිනාකමින් කොපමණ ප්‍රමාණයක් වනවාදැයි ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබේ.
ලෝකයේ සංචිත මුදල්වලින් බහුලවම භාවිතා කරන ශක්තිමත්ම මුදල් ඒකකය වන්නේ ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරය වේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය පවුමට තිබූ තැන මේ වන විට එක්සත් ජනපද ඩොලරය විසින් දිනාගෙන ඇත. අද වන විට දෙවැනි වැදගත්ම මුදල් ඒකකය වන්නේ යුරෝවයි. යුරෝපීය සංගමයට අයත් රටවල් 28 අතුරින් රටවල් 19ක දැනට යුරෝ භාවිතා කරයි. ඒ වසර 1999 දී හඳුන්වා දුන්නේය.
ශ්‍රී ලංකා රුපියල ස්ථාවර විනිමය අනුපාතිකයක් ලෙස වසර 1977 වන තෙක් පැවැතිණි. එදා 1977 දී ශ්‍රී ලංකා ආර්ථිකය විවෘත කිරීමත් සමඟම රුපියල ද නිදහස් විය. ඉන්පසු රුපියලේ බාහිර අගය ආර්ථිකයේ බාහිර පැත්ත දුර්වලවීමත් සමඟම දිනෙන් දින අව ප්‍රමාණය වීමට පටන් ගැනිණි. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකයේ අන්තර්ජාතික ගනුදෙනු ශක්තිමත් නම් එම මුදලේ බාහිර අගය ශක්තිමත් වේ. බොහෝ දුරට ඉහළ යයි. එහෙත් වසර 1978න් පසු අප රටේ රුපියලේ බාහිර අගය, ආර්ථිකයේ බාහිර පාර්ශ්වය ශක්තිමත්ව නොතිබූ නිසා ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගැනිණි.
ඒ දුර්වලවීම් තුළ උස් පහත්වීම් මැද දිගුකාලීන උපනතියක් වශයෙන් දක්නට ලැබෙන්නේ රුපියලේ බාහිර වටිනාකම පහළ යෑමය. මුදලේ බාහිර අගය ශක්තිමත් කරගැනීමට ප්‍රධාන වශයෙන් විදේශ විනිමය ප්‍රමාණය වැඩි කරගත යුතුය. ශ්‍රී ලංකාවේ අපි දෘඪ මුදල් වැඩි වශයෙන් ලබාගෙන රුපියලේ බාහිර අගය ආරක්ෂා කරගත යුතුය. එහිදී වැඩි වශයෙන් විදේශ මුදල් තබාගැනීම අනිවාර්ය ය. එයට අමතරව රත්ත්‍රන්, විදේශ බැඳුම්කර, විදේශයන්ට දුන් ණය, විදේශීය කොටස් එක්රැස් කරගත යුතු ය. මේ අන්දමට බාහිර වටිනාකම් වැඩි නම් රුපියලේ බාහිර අගයද ඉහළ යනු ඇත.
වර්තමානයේ මුදලේ අගය තීන්දු වන්නේ මුදලේ ඉල්ලුම හා සැපයුම මතය. මේ ඉල්ලුම, සැපයුම කෙරෙහි සැබෑ සාධක මෙන්ම මනෝවිද්‍යාත්මක සාධක ද බලපානු ලබයි. සැබෑ සාධක යටතේ විදේශ මුදල් ලැබීම, සංචිත ඉහළ යෑම්, විදේශීය ආයෝජන වැඩි වීම, විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම තුළ විදේශ ආධාර වැඩි වීම්, විදේශීය මූල්‍ය වෙළෙඳ පොළින් ණය ලබාගැනීම මත රුපියලේ බාහිර අගය ස්ථාවර වේ. ඉහළ යයි.
මනෝවිද්‍යාත්මක සාධක වශයෙන් සලකන්නේ විදේශීය මුදල් මෙරටට එවන සහ මෙරටේ වියදම් කරන අය වැඩි වශයෙන් එය සිදු කරාවි යන මනෝ මූලික කරුණු මත ය. වැහි වලාකුළු අහසේ දකින විට සාමාන්‍ය ගෙදරදොර කටයුතු කරන ගෘහිණිය හණිකට වී පැදුර ගෙට ගනී. ඇඳුම් නිවසට ගනී. ඊට අමතරව ලහියේ දොරගුළු ජනෙල් පියන් වසා ආරක්ෂා වීමට ක්‍රියා කරයි.
මෙහිදී ඇත්තටම වසින්නටත් පුළුවන. නැති නම් වැසි නොලැබී වලාකුළු පහව යන්නටත් පුළුවන. නමුත් ගෘහිණිය වැහි වලාකුළු අහසේ දකින විට ක්‍රියා කළේ මනෝමූලික සිද්ධාන්ත මත ය. ඒ අන්දමටම රුපියලේ අගය ඉහළ යෑමට මනෝමූලික කරුණු ද බලපායි.
අද වන විට අප රටේ දේශපාලන අස්ථාවරභාවයෙන් මිදී යම් ස්ථාවර භාවයකට පැමිණ තිබීම, විදේශීය ණය ශ්‍රේණිගත කිරීම්, ආයතන ලබාදෙන ශ්‍රේණි ඉහළ ඒම, ආර්ථික වෘද්ධිය, උද්ධමනය, අයවැය හිඟය, ලෝකයේ වෙනත් රටවල ආර්ථික ක්‍රියාකාරීත්වය වැනි මනෝමූලික යහපත් ප්‍රවණතා ද රුපියලේ බාහිර අගය ඉහළ යෑමට මූලික විය.
වසර 2018 දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 20%කට කිට්ටු ප්‍රමාණයකින් අවප්‍රමාණය විය. එය මේ වන විට 4% - 5% අතර ප්‍රතිප්‍රමාණය වීම දැකිය හැකිය. ඒ සඳහා බලපෑ ප්‍රධානතම සාධකය වන්නේ විදේශ ගතවූවන් ශ්‍රී ලංකාවට එවන ප්‍රේෂණ මුදල් ඉහළ යෑම ය. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ගම් රටවල සිටින තම පවුලේ ඥාතීන්ට උසස් හා ප්‍රීතිමත් අවුරුද්දක් සැමරීමට අවකාශ සලසා දෙමින් විදෙස්ගත ඥාතීහු වැඩි වශයෙන් විදෙස් මුදල් මෙරටට එවති. එයද ශ්‍රී ලංකා රුපියල ප්‍රතිප්‍රමාණය වීමට බලපෑවේ ය.
අවුරුදු ආසන්නයේ ආනයනකරුවන් අනාගත ආනයන ඉල්ලුම් සපුරාලීමට වැඩිවශයෙන් කටයුතු කළ ද අපනයන වෙළෙඳ පොළද යම් වර්ධනයක් සිදු වීම රුපියල ශක්තිමත් වීමට බලපෑවේ ය.
ශ්‍රී ලංකාව විදේශයන්ගෙන් ලබාගත් ණය හා වාරික කොපමණ අමාරුකම් තිබුණද ආපසු ගෙවීමේදී හරියාකාරව සිදු කිරීම ලෝකයාගේ පැසසුමට ලක් වූ කරුණකි. ඒ අනුව යමින් මේ වසරේ මුලදී ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක් ශ්‍රී ලංකා රජය සාර්ථකව ගෙවා දැමීය. මේ ණය ගෙවීමේ ගුණය ද මේ වන විට රුපියලේ අගය ඉහළ යෑමට බලපෑ සාධකයක් විය.
වසර 2018 ඔක්තෝබර් 26 වැනි දා සිදුවූ දේශපාලන අස්ථාවරත්වයත් සමඟ බිඳවැටුණු ආයෝජන විශ්වාසය නැවත වරක් රජය මේ වන විට දිනාගෙන තිබේ. ඒ අනුව හම්බන්තොට වරාය පිහිටි භූමියේ ස්ථාපිත කිරීමට යෝජිත බැර කර්මාන්ත පුරයේ නව ආයෝජන සිදු කිරීමට විදේශ ආයෝජකයෝ පෙලඹී සිටිති. එයත් සමඟ මෙරටට ගෙන ආ විදේශ විනිමය වැඩි වීම රුපියලේ බාහිර අගය ස්ථාවර වීමට හේතු විය.
එපමණක් නොව විදේශ ආයෝජකයෝ කොළඹ කොටස් වෙළෙඳ පොළ තුළ ආයෝජන සිදු කිරීමට පෙලඹී සිටිති. එයට අමතරව රජයේ සුරැකුම්පත් වෙළෙඳ පොළේ ආයෝජන සිදු කිරීමට ඔවුහු කටයුතු කරති. මේ වර්තමානයේ දක්නට ලැබෙන යහපත් උපනතිය ද රුපියලේ බාහිර අගය ශක්තිමත් වීමට බලපෑවේය.
ඒ හැරුණු විට බටහිර රටවල සංචිත මුදල්වල ද ඉහළ ඉල්ලුමක් පැනනැඟී නැත. එක්සත් ජනපද ඩොලරයට, ස්ටර්ලින් පවුමට, ජපාන යෙන් එකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ඉහළ ඉල්ලුමක් සිදු වී නැත.
මේ අන්දමට යම් තරමකින් ශක්තිමත්ව ආ ශ්‍රී ලංකා රුපියල රැකගැනීමට අප කුමක් කළ යුතු දැයි විමසා බැලීම වටී. ශ්‍රී ලංකාවේ අප විදේශ විනිමයේ ඉපැයීම් වැඩි කරගන්න අතර, ආනයන සීමා කොට හැකි තරම් දුරට අපනයන වැඩි කරගත යුතුය. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය වැඩි කරගත යුතු ය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක මහාපරිමාණ සංවර්න ව්‍යාපෘති සඳහා දේශීය හවුල්කාරිත්වය වැඩි කරගත යුතු ය. හැකි තරම් දේශීය ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථාව හිමි කර දිය යුතු ය. මෙරට නිෂ්පාදනය කරගත හැකි බොහෝ දේ පිටරටින් ගෙන්වීම වෙනුවට මෙහිම නිෂ්පාදනය කිරීමට පෙලඹිය යුතුය.
ඒ සඳහා මෙවර අයවැයෙන් රජය යෝජනා ගණනාවක් ඉදිරිපත් කර ඇත. දෙස් විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට කළ දිරිදීම්, නීතිරීතිවල පවතින දැඩි බව දුරුකොට ලිහිල් කිරීම් වැනි දේ වේගවත් කළ යුතු ය. විශේෂයෙන් කර්මාන්ත සහ සේවා බස්නාහිර පළාතට පමණක් සීමා නොකොට රට පුරා සෑම පළාතක්ම ආවරණය වන පරිදි ව්‍යාප්ත කළ යුතුය. ඌන උපයෝජිත සම්පත් භාවිතයට ගත යුතුය. අඩු සංවර්ධනයක් සහිත ප්‍රදේශ කරා වේගයෙන් යටිතල පහසුකම් සංවර්ධනය ගෙන යා යුතුය. ගම්පෙරළිය ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතුය.
මේ අන්දමට මුළු රටම එකට බැඳුණු ආර්ථික යටිතල පහසුකම් මහජන උපයෝගිතා යටිතල පහසුකම්වලින් සම්පූර්ණ කරන අතර නව ආයෝජන අවස්ථා ජනිත කිරීමට නොවෙනස් ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට රජය කටයුතු කළ යුතුය.